
මුළු ගෙදරම ඩිජිටල් අවුරුද්දේ
පහනක් දැල්වෙන මල් පැලයක් නෑ
නොඉඳුල් අහරක් පුදන වගක් නෑ
ඉන්ටනෙට් එකෙන් නැකැත් බලාලා
අවුරුදු කුමරා කොළඹ වඩිනවා
ඔන්චිලි වාරම් ටික් ටොක් රැඟුමේ
රබන් සුරල් පද යූ ටියුබ් එකේ
පවුලෙ ඈයො තැන තැන බිසි වාගේ
මුළු ගෙදරම ඩිජිටල් අවුරුද්දේ
අම්මා කිරිබත ටික්ටොක් කරනවා
තාත්තා ටී වී චැනල් කිරනවා
ලැප් ටොප් නෙට්ෆ්ලික්ස් පුතා බලනවා
දෝණියැන්දා එෆ් බී සැරිසරනවා
හිරු දෙවියන් වඩිනවා කියන්නේ
සතුටින් පිරි ගේ දොරට ළමුන්නේ
ටීවී මොබයිල් ලැප් සමඟින්නේ
කෙලෙසද අවුරුදු සතුට ලබන්නේ
අජන්ත සෙනෙවිරත්න
කොතරම් මිහිරක්ද?
වනමල් පිපී හැඩවී ගේ අබියස ලන්ද
තැන තැන ඇසෙයි ඔන්චිලි වාරම් සද්ද
ගම හැම තැනම පැතිරෙයි අතිරස සුවඳ
කොතරම් මිහිරක්ද සිංහල අවුරුද්ද
කේ.ඒ. රාජවංශ
නගරයේ අවුරුදු
අයිසින් අතුරා කැටයම් කරලා
කේක් හැදෙන හැටි බලන් සුදු
සාප්පු මාර්කට් ඇතුළේ තද බද
නගරයේ අවුරුදු බලන් සුදු
ගල් අතුරා ඇති වත්ත පුරා නැත
එරබදු පිපෙන්න ඉඩක් සුදු
රූප පෙට්ටියේ කොවුල් නාදයත්
මිහිරියි අහගෙන ඉඳිමු සුදු
නව සඳ අහසට එබිකම් කරද්දි
වෙනස්කමක් නොදැනේවි සුදු
ගමේදි පෙනෙනා ඒ ලස්සන සඳ
නැකතට මෙහි සිට බලමු සුදු
මාලතී රූපිකා
අවුරුදු වෙනස
එරබදු මල් පෙති වැටිලා
රබන් පද අද නැවතිලා
ඔන්චිලි වාරම් සැඟවිලා
කොවුල් හඬ ගොළු වෙලා
චාන්දනී දේවිකා පුංචිහේවා
ක්ෂණික අවුරුදු මේසය
හෙළ බොජු සිරිතට
කැවුම් කොකිස්
ෆුඩ් සිටි සිරිතට
කේක් බනිස්
ගිල ගිල හනිකට
අනුභව නැකතට
වැඩ නම් හරියට
අවුරුදු දවසට
දරුවන් ටියුෂන්
ඇදගෙන යන විට
නෑ හිත මිතුරන්
ඈතට වී ඇත
ලයනල් ගමගේ
අවුරුදු සුබාසිරි
කැවුම් කිරිබත් කොකිස් අළුවා සුවඳ
පැතිරෙන බක්මහේ
නැවුම් මුට්ටියේ ඉදුණු සුවදැල් හාලෙ
රස බත බක් මහේ
වැසුම් හඬ මැද රබන් පද බැඳ නැඟුන
සුරලින් බක් මහේ
පියුම් මල්ගෙන බුදු පුදට යමු
පෙර සිරිතටම අපි බක්මහේ
ආනන්ද අබේවික්‍රම
අවුරුද්දට සැරසෙමු
එරබදු මල් පිපෙයි ගම හැඩ කොට යසට
කරළින් බරව කෙත්වතු නටනව හැඩට
ඉඳහිට කොවුල් හඬ ඇහෙනව අපේ ගමට
සිංහල අවුරුද්ද එනවා බක් මහට
අතිරස, කැවුම්, කිරිබත්වල සුවඳ දිගේ
හිත්වල නැවුම් ගතියක් නළියනව වගේ
නව දලු දාන ගහකොළ දඟ කරන අගේ
හෙළ කුල සිරිත්වල සුන්දර ගතිය හැඟේ
එක මව කුස උපන් දරුවන් ලෙසට සිතා
පසෙකට දමා අසමගිකම් රුදුරු කතා
හෙළ දූ පුතුන් ලෙස එක ලෙස සතුට පතා
අවුරුදුවලට සැරසෙමු හෙළ දියුණ පතා
ගාමිණි චන්ද්‍රසේන
නව අවුරුදු සිරියාවයි
වසන්ත කාලෙට අවුරුදු සිරියාවයි පරිසරයේ
හිරු කුමරුන් මංගල්ලෙට සැරසෙනවා ලහි ලහියේ
සුදුසු වලා මල් යහනේ පහස ලබන දින හෙළි වේ
අවුරුදු කුමරිය නැකතට හිනැහෙන වලු කල එළියේ
ගැඹුරු සයුර තරණය කර නෑදෑයින් එන පියඹා
කුරුලු කැලේ ආසිරි ගී නාද ඇසෙයි සිත කලඹා
අසිරි මවන සුදු දිය ඇලි ගලන මිහිරි සිරි නරඹා
මියුරු සිහින සිතට දැනේ අවුරුදු කාලය අරඹා
සිරි දන්තනාරායන
ආදරබර මුදු සුන්දර කොවුලාන
නවම් මහේ මත්
හඬනා කොවුලාන
අමතක ඇයි
බක් මහ රෑ
කිරිසුදු සඳපාන
ඉරබදු මල්
හිනාවෙලා පිපුණාම
තනියක් දැනේදෝ
තව ඉගිළෙයි
හිත් ගිරදුන් රෑන
සුර සැප ලැබෙන්නට
හැඬුවත් කොවුලාන
ඉකුලුම් පමණි
අවසානේ දුක ගේන
හනි හනිකට මවු බිම
වෙත පියඹා යන්න
ආදරබර ප්‍රිය තෙපුලන
මුදු සුන්දර කොවුලාන
විශ්ව ජයම්පති බණ්ඩා
අවුරුදු කාලේ
කැවුමක පුසුඹ
මග හැරුණ ද
සුළං පොදට...
එරබදු පොකුරේ
හැඩ වත
නොදුටුව ද නෙත...
පංචා පෙතක
එකමුතු මුකුළු
සිහිවෙනව ද නිතර
කුලුණු කඳු මැද්ද කුටියේ
නැකතට කැවිලි
මිලයට ගෙන ආවා ද...?
නොස්ටැල්ජියා මතකයේ
කිරි උතුරවමු ද..?
පරාක්‍රම ඒකනායක
අවුරුදු සිරි
උණ වෙඩි රබන් හඬ ගම නිරතුරු ඇසෙන
වැඩිහිටි දෙගුරු ළඟ සැම දෙන දණ නැමෙන
අවුරුදු සිරිත් සුපුරුදු දන මන රැඳුන
මතකෙට කරයි කොවුලන් ගම කොන සැඟුන
නිමකර ගෙබිම පිල ඔපකර ඇමද ගොම
අමතක කරන් පෙර කල කී වැරදි සැම
සමඟිව එකමුතුව අවුරුදු කරන නිම
නිම නැති සතුට ඇත ඉතිරිව සැමගෙ ළැම
ටී.ඇම්. පොඩිරාලහාමි
ලොව සැනසේවා
තෙපලා සුමියුරු වදන්
සනසනු සැමසිත් තුටින්
විස කටුවැනි රුදු බසින්
පෙළනු එපා සත දුකින්
රුවන් රිදී මුතු මැණික්
නියම කළැකි හොඳ මිලක්
මියුරු රසැති මුදු වදන්
අමිලය ලොව නැති නිමක්
අරුතක් නැති පුහු වදන්
යවුලකි පෙළනා සවන්
සතහට නොමැතිය සියුම්
සතුටක් කිසි කල එයින්
රත්නපාල වික්‍රමසිංහ
අවුරුදු පැතුම
සම්මා සම්බුදු රැස් දහර ලොව තුළ විහිදේවා
සතර වරම් දෙවි පිහිටෙන් ලෙඩ දුක් දුරු වේවා
සැම මොහොතකම සතුටට මුල් තැන හිමි වේවා
උදාවුණ සිංහල අවුරුද්ද සැමට සුබ වේවා
ඩබ්.පී. ඉන්ද්‍රානි
අවුරුදු මංගල්ලේ
කොහෝ හඬින් ලද ඇරයුම් අරගෙන
බක්මාසය මෙහි පැමිණෙන්නේ
එරබදුමල් මැද ඔංචිලිවාරම්
ගැයෙන හඬින් සිත් පිබිදෙන්නේ
අටුකොටු සාරයි දැයම උදාරයි
සතුටු සිනා හඬ පැතිරෙන්නේ
ගත වෙහෙසා ලද අස්වනු තරමට
කැවිලිපෙවිළි නොවැ සැකසෙන්නේ
එදිරිවාදුකම් අමතක වී ඇත
නෑ සිය මිතුරන් පැමිණෙන්නේ
තෑගි භෝග ලද ළමා ළපටි මැද
වැඩිහිටි සොම්නස ඉතිරෙන්නේ
කුමාරි කුමරසේකර
බක්මහ සිරිය
වැට අද්දර පේළියට සිටවා ඇති එරබඳු ගස් තුරු හිස
රතට රතේ රත් පැහැයෙන් පිපි පොකුරු මල් තුරු හිස
ඉද්ද අරලිය කොබෝලීල පොකුරු පොකුරු පිරි තුරු හිස
බක් මහ කුමරිය පරිසරය ලස්සනට හැඩ කරන තුරු හිස
දෙරණ සිසාරා කෙත්වතු සරු සාරෙට පැසෙන්නයි
අලුත් සහලෙන් අටු කොටු නොඅඩුව පිරෙන්නයි
හැම සිතකට සතුට සාමය සෙනෙහස පිරෙන්නයි
බක් මහ කුමරිය දෙරණත සිරි අසිරිය මවන්නයි
සුනේත්‍රා ප්‍රේමසුන්දර
රිවි දෙවි හිනැහෙන මංගල අසිරිය
මල්බරව වසත්සිරි පරිසරය මඳහසිනි
අස්වැන්න නෙළාලා කමත් කෙළි මඬුලු විනි
ගඩාගෙඩි වලු බරව තුරුලතා සහ තුටිනි
කොලු රැලක් එහි සුවඳ විඳ ගන්න ඉවෙන් මෙනි
රස කැවිලි අතර මැද කිරිබතක් පෙනෙන්නා
මේසෙ මැද තෙල් පහන රජ වරම් ලබන්නා
වෙඩි හඬක් ළං ළංව ගිඟුම් දී ඇසෙන්නා
මීනයෙන් මේෂයට රිවි දෙවිඳු වඩින්නා
සරත් කුමාර වික්‍රමගේ
අවුරුදු සිරිසර
දුප්පත් පොහොසත් ලොකු පොඩි කවුරුත්
සොම්නස් ගඟුලැල්ලක නාවා
නගරත් ගම්බද පෙදෙසෙත් මිහිරක් ඇති කර
නව අවුරුදු ආවා
තුටුවෙන් ජාතික කෙළි සෙල්ලම් දැක ලංකාවම
කල එළි වුවා
සැපවත් දිවිය ද සාමය සතුට ද පිරිපුන්
නව වසරක් වේවා
අමුවල අමරසේන
සූරිය නමස්කාර
ඉරා තිර අඳුරු පට
ගලා එයි හිරු එළිය
මෙතෙක් පෑ තරු එළිය
බියව යයි රිවි රැසට
පණදෙමින් තුරු හිසට
ඇළදොළට පන් විලට
පුබුදුවයි හිස් මනස
අලුත් දවසක් ලෙසට
දොළොස් පැයකට පහන
සොඳුරු කරවන සිහින
ඔබට දින මිණ කියන
නමද කදිමැයි සුපින
බැද්දෙ මල් පිපීයන්
බක් මාසෙ බැබළියන්
ඉරු දෙවිඳු වැඳ පුදන්
අලුත් අවුරුදු වරෙන්
රඹුක්කන කීර්ති එස්. කුමාර