මම නිර්මාණ ලැබුණ පළියට තෝරා ගන්නේ නෑ | Page 3 | සිළුමිණ

මම නිර්මාණ ලැබුණ පළියට තෝරා ගන්නේ නෑ

 

අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පීයකු වූ ෂෙල්ටන් පෙරේරාගේ ආදරණීය දියණිය වන ඇය අනුරාධා පෙරේරා ය. කාලය ළඟයි මධු වසන්තේ, මට නුඹ හිමි නැති , කණාමැදිරි එළි, වැස්ස වෙලා ඔබ වහින්න ආදී රසික ආදරය නොමදව දිනාගත් ගීත රැසක් ඇගේ හඬින් ගීතවත් විය. කාලයක් තිස්සේ විදේශගතව සිට පසුගිය දිනක මව්බිමට පැමිණි අවස්ථාවේ රසඳුන සමඟින් මෙලෙස කතා බහට එකතු වුණා.

 

කාලෙකට පස්සේ මව්බිමට පැමිණීම කොහොමද දැනෙන්නේ ?

ඇත්තටම සතුටුයි. කවදත් මගේ රටට එන එක තමයි මගේ බලාපොරොත්තුව වුණේ. මේ වතාවේ මම ලංකාවට ආවේ අවුරුදු තුනකට විතර පස්සේ. මගේ පුතාගේ අධ්‍යාපන වැඩ කටයුතුත් යම් තරමකට නිමා කරලා.

ඔබ නැවතත් විදේශගත වෙනවද?

ඔව්. බොහොම ඉක්මනින් නැවත විදේශගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තව සතියකින් දෙකකින් වගේ මම නැවත කැනඩාවට යනවා.

 

ඔබ ලංකාවේ හිටියනම් කියලා සිතුණ අවස්ථා නැද්ද?

හැමතිස්සේම හිතෙනවා. මගේ රටේ සුන්දරත්වයට මම ගොඩක් ආදරය කරනවා. මගේ පවුලේ අයත් එක්ක ඟූාතීන් එක්ක, හිත මිතුරන් එක්ක එකට එක්ව ඉන්න තමයි මම ගොඩක්ම කැමැති. ඒ නිසා ලංකාවේ ඉන්න තිබුණනම් කියන එක තමයි මගේ හිතේ හැමවෙලාවෙම තියෙන්නේ. මම හිතන්නේ මගේ ජීවිතෙන් බාගෙකට වැඩි කාලයක් ලංකාවෙන් පිට තමයි මම ඉඳලා තියෙන්නේ. ඒත් මං ආසයි මගේ රටේ ඉන්න.

 

විදෙස්ගත වීමත් එක්ක ඔබ නිර්මාණවලින් ඈත් වුණාද ?

මම වෘත්තීමය වශයෙන් ගායිකාවක් නෙමෙයි. ඒ නිසා මම ලංකාවට එන හැමවෙලාවකම මගේ ආසාවට නිර්මාණවලට දායක වෙනවා. නිර්මාණ කරනවා. ගොඩක් වෙලාවට නිර්මාණ කරලා ඒවා එළිදක්වන්නේ නැතුව මමම තනිවම ඒවා විදගෙන ආයෙමත් යනවා. මම ලංකාවේ හිටියනම් ඒවා කාටහරි ඉදිරිපත් කරලා එළිදක්වන්න තිබුණා. නිර්මණවලින් ඉවත් වුණාම කියලා කියන්න අමාරුයි. මේ වතාවේ මම ලංකාවට ආවට පස්සේ ගොඩක් නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම වික්ටර් රත්නායක මහත්මයා සමඟ යුග ගීතයකුත්, එතුමාගෙම සංගීත නිර්මාණයකට අනුව බිහි වූ තවත් ගීතයකුත් ගායනා කළා, ඒවගේම ප්‍රියානි පී. ණසිංහගේ ගීත දෙකක් මම ගායනා කළා. ඒ නිර්මාණ සියල්ලම ඉතාම ඉක්මනින් ප්‍රේක්ෂකයින්ට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබේ පියාගේත් සහෝදරයගෙත් ගීත ඉදිරියටත් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාමේ වගකීම තියෙන්නේ අනුරාධට නේද? ඒ ගැන කතා කළොත්?

මගේ පියාගේ ගීත රසිකයන්ට අමතක නොවෙන්න මගේ සහෝදරයා බොහොම ලස්සනට ගායනා කළා. දැන් මගේ සහෝදරයත් නෑ. මම හැකි විදියට ඒ ගීත ගායනා කරනවා. කවුරුහරි මගෙන් ඒ කටයුත්ත බාර ගන්න තුරු මම ඒ ගීිත ගායනා කරනවා. මගේ එකම බලාපොරොත්තුව ඒ ගීත කොහෙන්හරි ඇහෙන්න ඕන කියන එකයි. කවුරුහරි ගායනා කරන්න ඕන කියන එක. මට හැකි හැම අවස්ථාවකම මම ඒ දේ කරනවා.

 

අනාගතයේ ඔබේ පුතා ගීත කලාවට එකතු වෙයිද?

මම හිතන්නේ නැහැ. මගේ පුතාට ඇත්තටම දක්ෂතාව තියනවා. ඔහු ගිටාර් වාදනය කරනවා. ඒවගේම ගීත ගායනා කරනවා. හැබැයි ඒක විනෝදාංශයක් විතරමයි කියලා සියට සියයක් විශ්වාසයි. ඔහු කැමැති නෑ පිරිසක් ඉස්සරහා ගීත ගායනා කරන්න. මම හිතන්නේ පුතා නම් කලාවට සම්බන්ධ වෙන එකක් නෑ.

 

ඔබ විදේශ රටක ඉන්නේ. එහිදිත් නිර්මාණ කටයුතුවලට දායක වෙනවද?

ඔව්. කැනඩාවෙදිත් මට නිර්මාණවලට අවස්ථා ලැබෙනවා. නමුත් මම ඒ හැම අවස්ථාවක්ම භාර ගන්නේ නෑ. කැනඩාවෙදිත් ඉන් පිටතත් හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා. නිර්මාණ ලැබුණ පළියට තෝරා ගන්නව වෙනුවට ගුණාත්මක නිර්මාණවලට විතරයි මම සම්බන්ධ වෙන්නේ.

 

ඔබ මෑතකදී ගායනා කළ ගීත බොහෝමයක පද ඉතා සරල අර්ථ ජනනය කරන බවක් දැනුණා. එහෙම ගීත ගායනා කරන්න විශේෂ හේතුවක් තියනවද?

එහෙම විශේෂ හේතුවක් නෑ. මම හිතනවා ඒ ගීත මගේ හඬට ගැළපෙන ගීත කියලා. හැබැයි වෙනස් ආරක ගීත ලැබුණත් ඒවා ගායනා කරන්න උත්සාහ කරන්නත් කැමැතියි.

 

ගීත කලාවට බිහි වන නවක ගායක ගායිකාවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද ?

ඇත්තටම ගොඩක් දක්ෂතා තියන අය ඉන්නවා. ඒ අයට මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳිලා ඉන්න අවශ්‍යනම් දක්ෂකමෙන් ප්‍රයෝජන ගන්න ඕන. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් තමන්ගේ නිර්මාණ තමයි කරන්න ඕන. මගේ සින්දුවක් හරි මගේ තාත්තගේ සින්දු කවුරු හරි ගායනා කළාට මට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් ඒවයින් හැමදාම රැඳෙන්න බෑ. ඒ නිසා තම තමන්ගේ ස්ව නිර්මාණ කරගන්න එක තමයි හොඳ. ඒ හරහා ඒ අයට ලොකු ගමනක් යන්න පුළුවන් කියලයි මම හිතන්නේ.

 

ඉදිරියේදී ලංකාවේ නවතින්න අදහසක් නැද්ද?

දැන්ම ගොඩක් දේ කියන්න බෑ. කොහොම වුණත් මගේ කැමැත්ත තියෙන්නේ ලංකාවට එන්න. ලංකාවේ ස්ථිරවම නවතියිද නැද්ද කියන එකනම් දැන්ම හරියටම කියන්න අමාරුයි.

Comments