
වසර ගණනාවක් ගත වුණත් තවමත් ඇයට කතා කරන්නේ සුදු නංගි කියලා. තම නමට වඩා ටෙලිනාට්‍ය චරිතයකින් ආමන්ත්‍රණය කරනවා කියන්නේ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එය වාසනාවක් කියන්න පුළුවන්. මේ වෙද්දී ඇය ජීවත් වෙන්නේ එංගලන්තයේ. ඇය අයෝමි ශානිකා ගමගේ. ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කළ ඈ එංගලන්තයට යන්නෙත් සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියාවකටමයි. බොහෝ දෙනෙක් ආදරේ කරන සුදු නංගිගේ අලුත් තොරතුරුයි මේ.
බොහෝ දෙනෙක් විදෙස්ගත වෙනවා වගේ අයෝමිත් රට අතැර දාලා ගියා නේද..?
ඔව්. මමත් මගේ පවුලේ අයත් දැන් ජීවත් වෙන්නේ එංගලන්තයේ. මේ ගමන කැමැත්තකින් ආව ගමනක් නෙමෙයි. දරුවන්ගේ යහපත ගැන හිතලා ආපු ගමනක්. මම ලංකාවට හරි ආදරෙයි. ඒ මගේ රට. නමුත් හිතාමතාම ගිනි ගොඩට පනින්න බැහැ. රටට ආදරයක් තිබ්බ නිසා තමයි මෙච්චර කාලයක් ඉවසගෙන හිටියේ. නමුත් බැරිම තැන මේ තීරණය ගත්තා. ෆ්ලයි එක ටෙක් ඕෆ් කරන වෙලාවේ මම හරියට ඇඬුවා. ඒ වෙද්දී හස්බන්ඩ් හා දරුවෝ ලංකාවේ , එයාලා මතක් වෙලා නෙමෙයි, රටින් යනවා නේද කියන හැඟීමයි හිතට ආවේ. ඒත් මොනා කරන්නද. මෙහේ දැනට ජීවත් වෙනවා. කවදා ලංකාවට යයිද දන්නේ නැහැ. නමුත් අන්තිම කාලේ හරි ලංකාවේ ජීවත් වෙනවා.
ඒ කියන්නේ අයෝමි සම්පූර්ණයෙන්ම රංගනයෙන් ඉවත් වුණා නේද..?
මම මේ වෙනකොට ටෙලි නාට්‍ය විස්සක විතර රඟපාලා තියෙනවා. ජනප්‍රියම හා වැඩ අධිකම කාලේ තමයි විවාහ වෙන්නේ. විවාහයත් එක්ක රඟපෑවේ නැහැ වගේ තමයි. නිර්මාණයකට දෙකකට සම්බන්ධ වුණා එච්චරයි . ඒත් ආසාවෙන් ඉන්නවා රඟපාන්න . බලමු ආයෙමත් අවස්ථා ලැබුණොත් ලංකාවට ගිය කාලෙක.
විවාහ වෙන්න කලින් කිවුවා රඟපෑමට සීමා දාන්නෙ නැහැ කියලා, අන්තිමට විවාහ වුණාට පස්සේ සැමියා දාන්න ඕන නිතිරීතී ඔක්කොම දැම්මා නේද..?
අනේ ඒක නම් කියලා වැඩක් නෑ. යාළු වුණ කාලේ කිව්වා ඔයා දිගටම රඟපාන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වුණාට විවාහ වුණු ගමන් දැන් ඇති රඟපෑවා කිව්වා. මොනා කරන්නද රංගනය සීමා කර ගත්තා.
ජනප්‍රියම කාලයේ අපරාදේ විවාහයක් කරගත්තේ කියලා හිතෙන්න ඇති..?
රඟපාන්න බැරි වෙනකොට දුකක් හිතුණු අවස්ථා තියෙනවා. අපරාදේ අවස්ථාව මඟ හැර ගත්තා නේද කියලත් හිතිලා තියෙනවා. නමුත් විවාහ වුණේ අපරාදේ කියලා මම එහෙම හිතෙන්නේ නැහැ. වෙන්න තියෙන දේවල් වෙනවා කියලයි මම හිතන්නේ.
සෙංකඩගල පුරවරයට පය නොතිබ්බා නම් ඔය ටික වෙන්නෙ නැහැනෙ..?
ඒකනේ, ඒ කාලේ මම වෛද්‍යවරියක් හැටියට වැඩ කළා. ඔය අතරේ දින දාගෙන රඟපාන්නත් යනවා. එතකොට හිටපු ආයුර්වේද කොමසාරිස් දම්මික අබේගුණවර්ධන සර් මට කිවුවා පල්ලේකැලේට එන්න ටික කාලයක් වැඩ කරන්න. ඒක ඔයාට ලැබෙන හොඳ අවස්ථාවක් හා අත්දැකීමක් කියලා. එතුමා කිවුව නිසා කැමැත්තෙන් ම ගියා. ඒ තමයි නුවරට ගිය ගමන.
ඔය ගිය ගමනෙදි, ඩොකියුමන්ට්රී එකක් කරන්න ආ තරුණයකුගේ වාහනයකට නැගලා එයාලගේ ගෙදර ගියා කියන කතාව..?
ඒ ගමන අන්තිමට කෙළවර වුණේ විවාහයකින්. එයා තමයි චින්තක දොළපිහිල්ල. කොමසාරිස්තුමා මට කිවුවා පුතේ ඩොකියුමන්ට්‍ර් එකක් කරන්න තියෙනවා. ඒකට මම කෙනෙක් දෙන්නම් එයත් එක්ක ගිහිල්ලා ඒ වැඩ කටයුතු කරන්න කියලා. එතුමා හොඳ කෙනෙක් කියලා එවලා තිබ්බේ චින්තකව. එයත් එක්ක වැඩකට යන දවසක යමු අපේ ගෙදර කියලා මට කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කර ගන්න ඉඩ නොදීම එයා මාව එක්කගෙන ගිහිං පවුලේ හැමෝටම හඳුන්වලා දුන්නා. පවුලේ අයත් මාව පිළිගත්තා. ඒ වෙද්දී එයාගේ හිතේ මම ගැන හිතිලා තියෙන්න ඇති නැත්තම් එහෙම කරන්නේ නැහැනේ.
ඒ වෙද්දී ඔබ නිළියක් කියලා ඔහු දැනගෙන හිටියද?
අප්පෝ දැනගෙන ඉන්න ඇති. මාව දැක්ක පළවෙනි දවසෙම කිවුවේ නංගි ඔයා නුවර කෙනෙක් නෙමෙයිනේ. මගේ අම්මා තාත්තා නංගිලා හැමෝම ඉන්නේ මෙහේ. ඒ හැමෝම ඔයාගේ පවුලේ අය කියලා හිතන්න. ඕන දෙයක් කියන්න. එයාලා ඔයාට ඉන්නවා. ඕන වෙලාවක අපේ ගෙදර යන්න එන්න පුළුවන් ඔයාගේ නුවර වගකීම මම සම්පූර්ණයෙන් ම ගන්නම් කියලා . අන්තිමට ජීවිතම වගකීම ගත්තා. ඒ වගේම එයා හැසිරුණේ මම නිළියක් කියලා දන්නේ නැහැ වගේ. අනේ මම නාට්‍ය බලන්නේ නැහැ. ඔය නළු නිළියෝ ගැන දන්නේ නැහැ කියලා තමයි කිවුවේ. එයා ටිකක් ආඩම්බරකාර චරිතයක්, අතිශයෝක්තියෙන් තමයි කතා කරේ. දැනටත් එහෙමයි. මම රංගනයට සමු දෙන්නේ එයා නිසා තමයි. එයා අකමැත්තෙන් මට ඒක කරන්න ඕන වුණේ නැහැ. ඊට වඩා මට පවුල ලොකුයි.
විවාහ මංගල්‍යය ගන්න තුරු ඔබේ මවුපියන් දැනගෙන හිටියේ නැහැ..?
මම චින්තක එක්ක යාළු වෙලා මාසයක් ගියේ නැහැ අපේ අම්මගේ හොර ඔත්තු සේවයට අහුවුණා. මම හැරෙද්දි අම්මා දන්නවා මොනාද කරන්නේ කියලා. මම චින්තක එක්ක කතා කර කර ඉන්නවා දැකලා අම්මා ඇහුවා මොකක් හරි සම්බන්ධයක පැටලිලාද කියලා. අවුරුද්දක් විතර ගියාට පස්සේ කියන්න හිටියේ. මාසයක් යන්න කලින් කියන්න වුණා. අන්තිමට අම්මා කිවුවා ගෙවල්වලට එන්න කියන්න කියලා කැමැත්ත දුන්නා. කැමැත්ත දීලා ටික දවසක් ගියාට පස්සේ හඳහන ගැළපෙන්නේ නැහැ කියලා එපාම කිවුවා. ඉස්සර ඉතිං තේරුමක් නැහැනේ, මම චින්තකට වචනයක් දීලා තිබ්බ නිසා අත අරින්න බැහැ කියලා හිතුවා. කලින්ම අකැමැති වුණා නම් මට මොකක් හරි හිතන්න තිබ්බා, හඳහනක් නිසා එපා කිවුවේ, මට නුවරින් වහාම එන්න කිවුවා. ඒත් මම මාස තුන හතරක් හිටියා. අපි හොරෙන් රෙජිස්ටර් වුණා. චින්තකගේ මවුපියන් දන්නවා. ඒ තාත්තා කිවුවා දුවේ ඔයා තව අම්මා කෙනෙක් අඩවලා ගත්ත තීරණයක් මේක. ඒ නිසා ඔයාලට ආශීර්වාද කරනවා විවාහ මංගල්‍යයට නම් අපි සම්බන්ධ වෙන්නේ නැහැ . තරහා වෙන්න එපා. අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා කියලා. අන්තිමට වෙඩින් එක මාධ්‍යයෙන් යද්දී තමයි ගෙදරින් දන්නේ. මේ කතාව මම අද තමයි මාධ්‍යයකට මුලින්ම කිවුවෙත්.
එදා ඒ ගත්ත තීරණය ගැන මවුපියන් ට දුකක් දීම ගැන අද මවක් වූ ඔබට හොඳින් දැනෙනවා ඇති..?
බොරු කියන්න ඕන නැහැනේ එදා මම මවුපියන් අඬවලා ගත්ත තීරණය ගැන දුක් වෙනවා. එයාලගේ කැමැත්ත අරන් බඳින්න තිබුණා. එදා හරියට එයලා දුක් වෙන්න ඇති . අද මම අම්මා කෙනෙක් මගේ දරුවෝ මට එහෙම කළොත් කොහොම දැනෙයිද. දරුවෙක් ඉන්න ඕන ඒ හැඟීම් දැනෙන්න දැන් දැනෙනවා. ඒත් චින්තක සැමියා කර ගත්ත තීරණය ගැන දුකක් නැහැ ,
කොහොමද දරුවෝ දෙන්නා..?
පුතා අභිරූ දොලපිහිල්ල. ඔහුට වයස අවුරුදු අටයි. නුවර ට්‍රිනිටි විද්‍යාලයේ ඉගෙන ගත්තේ. දුව නිහන්සා දොලපිහිල්ල . එයා හිල්වුඩ් විද්‍යාලයේ එක වසරේ ඉගෙන ගත්තේ. දැන් මෙහේ. දෙන්නම කලාවට දක්ෂයි. පුතා නම් මම වගේමයි. ඉස්කෝලේ හැමදේටම සම්බන්ධ වෙනවා. නටන්න චිත්‍ර අදින්න දක්ෂතා දක්වනවා. දරුවෝ ගැන මට ආඩම්බරයි.
අම්මා නිළියක් කියලා සතුටින් කතා කරපු අවස්ථා තියෙනවද..?
මම නිළියක් කියලා අවබෝධයක් තිබ්බේ නැහැ. පුතා දවසක් ඉස්කෝලේ ඇරිලා ඇවිත් මගෙන් ඇහුවා අම්මේ ඔයා නිළියක් ද කියලා. මම ඇහුවා ඇයි පුතේ එහෙම අහන්නේ කියලා. එයා කිවුවා ටීචර් කිවුවා ඔයාගේ අම්මා නිළියක්නේ කියලා ඒකයි කිව්වා. මම ඔවු කිවුවා. අම්මව ටීවී එකෙන් දකින්න ආසයි අම්මා රඟපාන්න කිවුවා. අප්පච්චි කැමැති නැහැ කියලා කියද්දි එයා හස්බන්ඩ්ට කිව්වා අප්පච්චි අපරාදේ අම්මට රඟපාන්න දෙන්න කියලා. මට රඟපාන්න එපා කිවුවට දරුවො කැමැති දෙයක් කරන්න එයා ඉඩ දෙයි.
අයෝමි රඟපාන්නේ නැති වුණත් තවමත් ජනප්‍රියයි, එංගලන්තයේ සුදු නංගිට තියෙන ඉල්ලුම කොහොමද ..?
මම මේ වෙද්දී නාට්‍ය තිහක විතර රඟපාලා තියෙනවා. ඒත් සුදු නංගිව නොදන්න කෙනෙක් නැහැ. හැමෝම ආදරේ එයාට. එංගලන්තයේ ආවත් මෙහේ ඉන්න සිංහල රසිකයින් මාව අඳුරගෙන කතාබහ කරනවා. අනේ සුදු නංගි ඔයත් මෙහෙද ඉන්නේ කියලා තමයි අහන්නේ. මට කවුරුත් අයෝමී නේද කියලා අහලා නැහැ මෙහේදි. හරිම සතුටුයි. සුදු නංගි මාව වෙනස් කරා.