කොමිෂන් සභා පනතට එරෙහි අත්තනෝමතික හැසිරීම් නිසා මානව හිමිකම් සභාපතිනියට එරෙහිව කොමසාරිස්වරු නැඟිටිති | Page 5 | සිළුමිණ

කොමිෂන් සභා පනතට එරෙහි අත්තනෝමතික හැසිරීම් නිසා මානව හිමිකම් සභාපතිනියට එරෙහිව කොමසාරිස්වරු නැඟිටිති

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණි මාරසිංහ සමඟ රාජකාරි කළ නොහැකි බව දක්වමින් එහි කොමසාරිස්වරුන් තිදෙනකු වන ආචාර්ය විජිත නානායක්කාර, වෛද්‍ය නිමල් කරුණාසිරි හා කලුපහන පියරතන හිමි යන තිදෙනා ලිපියක් මඟින් ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමැති ඇතුළු ඉහළ නියෝජිතයන් වෙත දැනුම් දී ඇත.

සභාපතිනිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතට පටහැණිව කටයුතු කරන බවත් කොමිසමේ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනාවලට ඇහුම්කන් නොදී පෞද්ගලිකව ඇගේ අභිමතය පරිදි කටයුතු කරන බවත් මෙම කොමසාරිස්වරුන් යැවූ ලිපියේ සඳහන් වේ.

කොමිෂන් සභාවේ බහුතර සාමාජිකයන් ගන්නා තීන්දු දිගින් දිගටම නොසලකා හරිමින් සභාපතිනිය කටයුතු කිරීම නිසා ඉකුත් පෙබරවාරි මාසයේ කොමිසමේ යෝජනා මාර්තු මාසයේදී අනුමත නොකිරීමට සාමාජිකයන් කටයුතු කළ බව ද ඔවුහු අවධාරණය කරති.

සභාපතිනිය කොමිසමට ඇහුම්කන් නොදීම නිසා ඇයගේ කිසිදු තීන්දුවකට සිය අනුමැතිය නොදීමට ද මෙම කොමසාරිස්වරුන් තිදෙනා දැනටමත් තීන්දු කර තිබේ. එම නිසා වහාම මේ ගැන අවධානය යොමු කරන ලෙස ද මෙම කොමසාරිස්වරුන් විසින් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, සභාපතිනිය ද සමඟ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත අතර ඉන් තිදෙනෙකු සිය අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබේ.

Comments