
විපස්සනාව යනු මුළුමනින්ම අලුත් දැක්මකින් ජීවිතය අත්දැකීමට ඔබට කියා දෙන මානසික පුහුණුවකි. ප්‍රථම වරට ඔබ, ඔබ අවට හා ඔබ තුළ සැබැවින්ම කුමක් සිදුවන්නේ ද යන්න ඉගෙන ගන්නවා ඇත. එය ස්වයං ගවේෂණයකි. සිදු වන මොහොතේම එයට සහභාගී වෙමින් ඔබගේ අත්දැකීම් නිරීක්ෂණය කරන, සහභාගිත්ව නිරීක්ෂණයකි. මෙවැනි පුහුණුවකට අවතීර්ණ විය යුත්තේ මෙබඳු ආකල්පයකින් යුතුවයි. "මට කලින් උගන්වා ඇති දේ කුමක් වුවත් කම් නැත. පූර්ව නිගමන, න්‍යායයන් හා කලින් ඇති අදහස් අමතක කරමි. ජීවිතයේ සැබෑ ස්වභාවය දැක ගැනීමට මට වුවමනාය. සැබැවින්ම ජීවත් වනවා යැයි කියන අත්දැකීම විඳීමට මට අවශ්‍යයි. වෙනත් කෙනකු විසින් කරන විස්තරයක් භාර නොගෙන, ජීවිතයේ ගැඹුරු ගුණාංග තේරුම් ගැනීමට මට වුවමනාය. මා විසින්ම එය දැකිය යුතුයි."
මෙවැනි ආකල්පයකින් යුතුව භාවනාවේ නිරත වන ඔබ සාර්ථක වනු ඇත. මොහොතින් මොහොත වෙනස් වෙමින් ගලා යන සැටි දැක ගනී. එවිට ජීවිතය විස්තර කළ නොහැකි, විශ්වාස කළ නොහැකි තරම් සාරවත් බවක් අත්කර ගන්නවා ඇත.
භාවනාව යන පාලි වචනයෙහි මූලය වන්නේ "භූ" නොහොත් "වැඩීම" හෝ "පත්වීම" යි. එම නිසා භාවනාව යනුවෙන් වැඩීම නොහොත් දියුණුව යන්න හැමවිටම භාවිත කෙරෙන්නේ මනසට අදාළවයි. භාවනා යනු මනස වැඩීමයි. විපස්සනා යන්න මූලයන් දෙකකින් සැදී ඇත. 'පස්සනා' යනුවෙන් අදහස් වන්නේ දැකීමයි. 'වි' යන උපසර්ගයට බොහෝ තේරුම් ඇත. මූලික අරුත "විශේෂ ආකාරයෙන්" යන්නයි. 'ඇතුළතට' හා 'මින්' යන දෙවැදෑරුම් අර්ථයක් ද එයට ඇත. පැහැදිලිව හා නිවැරැදිව යමක් ඇතුළත බැලීම, සෑම සංඝටකයක්ම වෙන්කොට දැකීම හා එහි ඉතාමත් මූලික යථාර්ථය විනිවිද දැකීම එහි සමස්ත අරුත වේ. විමර්ශනයට ලක්වන වස්තුවෙහි යථාර්ථය විනිවිද දැකීමට මෙම ක්‍රියාවලිය මඟ සලසා දෙයි. සියල්ල එකතු කළ විට විපස්සනා භාවනාව යනු විනිවිද දැකීම හා පූර්ණ තේරුම් ගැනීම ඉලක්ක කොට විශේෂ ආකාරයන් සිත දියුණු කර ගැනීමයි.
ජීවිතය දකින විශේෂ කෝණයක් අපි විපස්සනා භාවනාවේදී වඩා ගනිමු. යථාර්ථය පවතින ආකාරයෙන්ම දැක ගැනීමට අපි අපව පුහුණු කරමු. එම විශේෂ තේරුම් ගැනීම, එළැඹි සිහිය නොහොත් සිහියෙන් සිටීම යනුවෙන් හඳුන්වනු ලබයි. අප සාමාන්‍යයෙන් කළ දෙයට වඩා එළැඹි සිහියෙන් සිටීම බෙහෙවින් වෙනස්ය. අප ඉදිරියෙන් සැබැවින්ම ඇත්තේ කුමක් ද කියා අපි කිසිවිටෙකත් සොයා නොබලමු. සිතිවිලි හා සංකල්ප තිරයක් තුළින් අප දකින ජීවිතය යථාර්ථය ලෙස අපි වැරදි වැටහීමක් ඇතිකර ගෙන සිටිමු. අප කෙතරම් දුරට නිමක් නැති සිතිවිලි ගංගාවට හසුවී ඇති දැයි කිවහොත් ගලායන ජීවිතය අපි නොදකිමු. නිරතුරුව අපගේ ආශාවන් මුඳුන් පමුණුවා ගැනීමේ හා වේදනාවන්ගෙන් පලා යෑමේ කාර්යය වෙනුවෙන් අපගේ මුළු ජීවිත කාලයම ගතවෙයි. අප මුළු ශක්තියම වැය කරනුයේ අප තුළ වඩා යහපත් හැඟීමක් ඇතිකර ගැනීමට හා අපගේ බිය වළලා දැමීම සඳහායි. අපි නිමක් නැතිව සුරක්ෂිත බව සොයමු. මේ අතරතුරේදී ජීවිතය, සැබෑ අත්දැකීම්හි රස නොබලාම, අපට නොදැනීම ගලා බසියි. විපස්සනාවේදී අපි, වැඩි සුව පහසුව සෙවීමට ඇති ආශාව යටපත් කර යථාර්ථය තුළට කිඳා බැසීමට පුහුණු වෙමු. පුදුමයට කාරණය නම්, සැබෑ සැනසීම ලබාගත හැක්කේ ඒ සැනසීම පසුපස හඹා යෑම නතර කළ විටය. එය තවත් උගුලකි.
සැබෑ පරිපූර්ණත්වය මතු වන්නේ සුව පහසුව පිළිබඳ ඇති ඔබගේ අසීමිත ආශාව ලිහිල් කළ විටය. ආශාවන් සංසිඳුවා ගැනීම සඳහා ඔබ දුවන කලබලකාරී තරග දිවිල්ල නතර කළ වහාම ජීවිතයේ නියම සුන්දරත්වය මතුවී එනු ඇත. ඔබට සැබෑ නිදහස හා සුරක්ෂිත බව ලැබෙන්නේ වේදනාව හා අනතුරු සහිතව ද මුළාවෙන් තොර යථාර්ථය සොයා යන විටයි.
බුදුදහමේ මූලික ආකල්ප අත්හදා බැලීම්වලට ගොදුරු කළ හැකි හා නිදහස් චින්තනයට අනුබල දෙන සුලුය. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්ප්‍රදාය විරෝධී වීමට හා පිළිගත් සම්මතයෙන් බැහැරව කටයුතු කිරීමට නිර්භය වූ පුද්ගලයකු වූහ. උන්වහන්සේ තමාගේ ඉගැන්වීම් ලෝකයට ඉදිරිපත් කළේ ආගමක් ආකාරයෙන් නොව, තමන් හට පරීක්ෂා කර බැලිය හැකි යෝජනා මාලාවක් ලෙසය. උන්වහන්සේ ගේ ආරාධනාව වූයේ "ඇවිත් බලන්න" යන්නයි. "තමාගේ හිසට උඩින් අන් පුද්ගලයකුගේ හිසක් පැලඳ නොගන්න" යයි කීහ. බුදුරජාණන් වහන්සේ එම කියමනෙන් අදහස් කළේ පිටස්තර පුද්ගලයකුගේ වචන පිළිනොගන්න කියාය. ඔබ විසින්ම දැකගත යුතුය.
බුදුදහමේ මූලික කරුණු ඇසුරෙන් සාරාංශයක් අපි මෙහිදී ඉදිරිපත් කරමු. විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට වෑයම් නොකරන්නේ ඒ කාර්යය හොඳින් කරන ලද වෙනත් පොතපත ඇති නිසාය. එසේ වුවත් විපස්සනා භාවනා පුහුණුව සඳහා ඉතා අවශ්‍ය වන මෙම කරුණු තරමක් හෝ සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ.
මනුෂ්‍යයන් වන අප ජීවත් වනුයේ අමුතුම තාලයකට බව, බෞද්ධ දර්ශනයට අනුව බලන කල පැහැදිලි වේ. අප අවට ඇති සියල්ලක්ම වෙනස් වන නමුත් එම තාවකාලික දේ ස්ථිර ලෙස දැකීමට අපි පුරුදු වී සිටිමු. වෙනස් වීමේ ක්‍රියාවලිය නිරන්තර මෙන්ම සදාකාලිකය. ඔබ මේ ලිපිය කියවන මොහොතේ ඔබගේ සිරුර වයසට යමින් පවතියි. නමුත් ඔබ එයට අවධානය යොමු කරන්නේ නැත. පුවත්පත්ද දිරා යමින් පවතියි. මුද්‍රිත අකුරු මැකී යමින් පවතින අතර පිටු ලිහිල්වී ගැලවී යයි. ඔබ අවට තිබෙන බිත්ති දිරාපත් වෙමින් තිබේ. බිත්තිවල අංශු ඉතා වේගයෙන් කම්පනය වන අතර සෑම දෙයක්ම වෙනස් වෙමින්, කැබලි බවට පත් වී, දියවී යමින් පවතියි. ඔබ ඒවාට ද අවධානය යොමු නොකරයි. පසුව යම් දිනෙක හදිස්සියේම, ඔබ අවට වටපිටාව දෙස බලනු ඇත. ඔබගේ ශරීරය රැලි වැටී ඇත. හන්දිපත් වේදනා දෙයි. පොත්පත් කහ පැහැ ගැන්වී අකුරු මැකී ඇත. ගොඩනැඟිලි කඩා වැටෙමින් පවතියි. තාරුණ්‍යය ගෙවී යෑම පිළිබඳ ඔබ දුක්වෙයි. ඔබගේ වස්තුව අහිමි වනවිට හඬා වැලපෙයි. මේ වේදනාව පැමිණෙනුයේ කොහේ සිටද? එය ඔබගේම අනවධානය නිසා පැමිණෙයි. ජීවිතය සමීපව දැකීමට ඔබ අසමත් විය. නිරන්තර වෙනස්වීම් දැක ගැනීමට ඔබට නොහැකි විය. 'මම', 'පොත' සහ 'ගොඩනැඟිල්ල' ආදී වශයෙන් මානසික නිර්මාණ එකතුවක් ඔබ ගොඩනඟාගෙන තිබුණි. ඒවා ශක්තිමත් යථාර්ථවාදී වස්තූන් බව ඔබ උපකල්පනය කළේය. ඒවා සදහටම වෙනස් නොවී, එසේම පවතීවි යැයි ඔබ විශ්වාස කළේය. කවදාවත් එසේ නොවෙයි. නමුත් දැන් ඔබට එම නිරන්තර වෙනස් වීමට කන් යොමා ගෙන සිටිය හැකිය. නිරන්තර ගලා යෑමක් ලෙස ඔබගේ ජීවිතය දැකීමට ඔබට ඉගෙන ගත හැකිය. හේතු නිසා හටගන්නා සියලු දේ නිරන්තර ප්‍රවාහයක් බව ඔබට ඉගෙන ගැනීමට පුළුවන. ඒ සඳහා ඔබට පුහුණුව සහ කාලය පමණක් අවශ්‍ය කෙරේ.
මනුෂ්‍යයන් වන අප සමහර අවස්ථාවලදී යමක් කියන්නේ හෝ තේරුම් ගන්නේ පුදුමාකාර අනුවණකාරී බවකිනි. අපට ලැබෙන මුළු ඉන්ද්‍රිය උත්තේජකවලින් සියයට අනූනවයක්ම අපි නොසලකා හැර, ඉතිරිය අපගේ රුචිය අනුව මනසින් ස්ථාපිත කර ගනිමු. පසුව එම මානසික වස්තූන් කෙරෙහි පුරුදු වී ඇති පරිදි ප්‍රතිචාර දක්වමු.
උදාහරණයක් මෙන්න, එක්තරා රාත්‍රියක ඔබ තනිව සිටින විට ඈතින් බල්ලකු බුරන හඩ ඇසෙනවා යැයි සිතන්න. තනිව ගත්විට එය හොඳ හෝ නරක නොවන සිදුවීමක් පමණි. නිසල බව තුළින් ශබ්ද තරංග ගලා එයි. ඔබට ඇසෙන සංකීර්ණ ශබ්ද ඔබගේ ස්නායු පද්ධතිය තුළදී දීප්තිමත් විද්‍යුත් උත්තේජක බවට පරිවර්තනය වීමක් සිදු වෙයි. මෙම ක්‍රියාවලිය අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ධර්මතා පිළිබඳ අත්දැකීමක් ලෙස භාවිතා කළ හැක. මිනිසුන් වන අපි එය මුළුමනින්ම නොසලකා හරිමු. ඒ වෙනුවට අපි එම දැකීම මානසික වස්තූන් හැටියට පදිංචි කර ගනිමු. එයට මානසික පින්තූරයක් අලවා ගන්නා අපි මෙලෙසින් ආවේගශීලී හා සංකල්පිත ප්‍රතික්‍රියා මාලාවක් දියත් කරමු. "අන්න අර බල්ලා අදත් බුරනවා. ඌ බුරන්නේ රෑටමයි. සෑම රැයකම මුගෙන් කෙතරම් කරදරයක්ද? මම පොලිස්කාරයෙකුට කතා කරනවා. නෑ, බල්ලන් අල්ලන පුද්ගලයෙකුට කියනවා. එහෙම නැත්නම් බල්ලාගේ අයිතිකරුවාට තදින් ලියුමක් ලියනවා. නෑ, ඒකත් කරදර වැඩක්. එක්කෝ මම කන් දෙකට ඇබ ගසා ගන්නවා." මේවා හුදෙක්ම සම්ප්‍රජානන මානසික පුරුදු වෙයි. ඔබ අවට සිටින වැඩිහිටියන්ගේ සම්ප්‍රජානන පුරුදු අනුකරණ කිරීමෙන් කුඩා අවධියේදී ඔබ මෙලෙස ප්‍රතිචාර දැක්වීමට ඉගෙන ගෙන ඇත. මෙවැනි ප්‍රතිචාර ස්නායු පද්ධතිය තුළ සහජයෙන් පවතින්නක් නොවෙයි. තවද ඔබගේ මානසික යන්ත්‍රණය පාවිච්චි කළ හැකි එකම ක්‍රමය මෙය නොවෙයි. කලින් ඉගෙන ගත් දේ අමතක කළ හැක. ඔබ කරන දෙය එම මොහොතේම වටහාගෙන, එය දෙස නිශ්චලව බලා සිටීම එහි පළමු පියවරයි.
බෞද්ධ දැකීමට අනුව බලන විට මිනිසුන් වන අපට ඇත්තේ ජීවිතය පිළිබඳ පසුගාමී දැක්මකි. ඇත්ත වශයෙන් දුකට හේතුව දෙස බලා එය සතුට ලෙස ගැනීමට අපි පුරුදු වී සිටිමු. දුකට හේතු වන්නේ අප කලින් කී පරිදි ඇලීම් - ගැටීම් රෝග කාරකයයි. ඔබගේ සිතට යම් අරමුණක් පිවිසුණා යයි සිතමු. රූමත් ගැහැනියක්, කඩවසම් තරුණයෙක්, අධිවේගී බෝට්ටුවක්, බේකරියක පාන් පුළුස්සන සුවඳ, පසුපසින් ලුහුබඳින මෝටර් රථයක් හෝ එබඳු ඕනෑම දෙයක් විය හැකිය. අපගේ ක්ෂණික ප්‍රතික්‍රියාව වන්නේ බොහෝ සංවේදීව එයට ප්‍රතිචාර දැක්වීමයි.
උදාහරණයක් ලෙස සිත් තැවුල නොහොත් සාංකාව ගන්න. අපි බොහෝ සිත් තැවුල් උපදවා ගනිමු. එයම ප්‍රශ්නය වෙයි. සිත්තැවුල පියවර සහිත ක්‍රියාවලියකි. හුදු මනෝභාවයක් නොව ක්‍රියාපටිපාටියකි. ඔබ කළ යුත්තේ එම ක්‍රියාපටිපාටියේ මුල් අවස්ථාව දෙස බැලීමයි. වඩාත් ව්‍යාකූල වීමට පෙර තිබූ මුල්ම අවස්ථාව දැකීමට වෑයම් කිරීමයි. සාංකාව නමැති දම්වැලේ ආරම්භක පුරුක ඇලීම් - ගැටීම් ප්‍රතික්‍රියාව බව එවිට පෙනේ. කිසියම් අරමුණක් සිතට ඇතුළු වූ විගස අපි එය මනසින් අල්ලා ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙලඹෙමු. සිත් තැවුල් නොහොත් සාංකා ක්‍රියා පටිපාටිය ආරම්භ වන්නේ එතැනිනි. වාසනාවකට, මෙය ඒ මොහොතේම නිෂේධ කර දැමීමට සමත් කුඩා මෙවලමක් අප සතුව තිබේ. ඒ විපස්සනා භාවනාවයි.
අපගේ සිතුවිලි ක්‍රියාවලිය ඉතාමත්ම නිවැරදිව පරීක්ෂාවට භාජන කරන්නේ කෙසේදැයි විපස්සනා භාවනාව අපට උගන්වයි. සිතුවිලි හා සංකල්පනා සිතෙහි පැනනඟින අන්දම සන්සුන්ව ඇලීමකින් තොරව බලා සිටීමට අපි ඉගෙන ගනිමු. විවිධ උත්තේජකයන්ට අප ප්‍රතික්‍රියා දක්වන අන්දමද නිසලව, පැහැදිලිව දැකීමට අපි ඉගෙන ගනිමු. ප්‍රතික්‍රියාවල නොපැටලී, ප්‍රතික්‍රියා දැක්වීමට අප පටන් ගන්නා බව අපිම දකිමු. සිතුවිලිවල පීඩාකාරී බව ටිකින් ටික පහව යයි. අපට විවාහ වීමට අවශ්‍ය නම් තවම එය කළ හැකිය. අප ලුහුබැඳ එන මෝටර් රථයේ මාර්ගයෙන් ඉවත් වීමට තවම පුළුවන. එහෙත් ඒ එකක්වත් නිසා අනවශ්‍ය සිත් පීඩා ඇති කර ගැනීමට දැන් වුවමනා නැත. මෙලෙස, සිතිවිලිවල පීඩාකාරී බවෙන් මිදීම තුළින් යථාර්ථය පිළිබඳ මුළුමනින්ම නැවුම් දැක්මක් අපට ලැබෙයි. මෙය අපගේ චින්තනයේ පූර්ණ පරිවර්තනයකි. පීඩාකාරි සිතිවිලිවලින් නිදහස් වීමේ ප්‍රමෝදය එය රැගෙන එයි. මෙම ප්‍රයෝජන නිසා, අරමුණු මේ ආකාරයෙන් දැකීම "නිවැරැදි දැකීම" ලෙස බුදු දහමේ දී හැඳින්වේ. බෞද්ධ ග්‍රන්ථවල මෙය ඇත්ත ඇති සැටියෙන් දැකීම නොහොත් "යථාභූත ඥානය" ලෙස නම් කෙරේ.
(ලබන සතියේ දුෂ්ට හා සිත්පිත් නැති ක්‍රියා පැන නැඟීමට හේතුව)