මිනීමරුවන් අල්ලන ඒගර්ගේ හපන්කම් | සිළුමිණ

මිනීමරුවන් අල්ලන ඒගර්ගේ හපන්කම්

ලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේදී විසිහය හැවිරිදි කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර කුඹුරක දමා ගොස් සිටිය දී සොයා ගනු ලැබුවේ පසුගිය 11 වැනි දින පෙරවරුවේ ය. ඒ වනවිට මහනුවර පොලිස් කොට්ඨාසයේ තවත් පොලිස් බල ප්‍රදේශ දෙකක මිනිස් ඝාතන දෙකක් සිදුව තිබුණත් ඒවාට වඩා මෙම ඝාතනය සම්බන්ධයෙන් ජනතා අවධානය වැඩි වශයෙන් යොමු වීමට හේතු තුනක් බලපෑවේය. ඝාතනයට ලක්ව සිටියේ 26 හැවිරිදි රූමත් කාන්තාවක් වීම පළමුවැන්න ය. දෙවැන්න ඝාතනය කවුරුන් විසින් කළේ ද යන්න ඒ වනවිටත් අනාවරණය වී නොතිබීම ය. අනෙක් කාරණය වූයේ පේරාදණිය හා දවුලගල සිදුව තිබූ ඝාතන දෙකේ සැකකරුවන් ඒ වනවිටත් හෙළිදරවු වී තිබීම ය. 

ඝාතනයට ලක්ව තිබුණේ ධනුෂිකා මධුවන්ති නම් වූ විවාහක කාන්තාවකි. ඇගේ සිරුර සොයා ගනු ලැබුවේ නි‍ෙවසේ සිට මීටර් 100 ක් පමණ ඈතින් වූ කුඹුරේ දමාගොස් තිබියදී ය. මඩ සිරුර තුළට කවා ඊට උඩින් ගොයම් පැළ සිටුවීමට ඝාතකයා කටයුතු කර තිබුණි. නිවෙස ආසන්නයේ සිල්ලර කඩයක් පවත්වා ගෙන ගිය මධුවන්ති හා සැමියා අතර ඉඳහිට අඬදබර අසන්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

ඇය ඝාතනයට ලක්වූ දින රාත්‍රියේ ද ඇගේ නිවෙස දෙසින් කෑගැසීමක් ඇසුණු බවත් සැමියා හා අඬදබරයක් වන්නට ඇතැයි සිතා ඒ ගැන විමසිලිමත් නොවූ බවත් ප්‍රදේශවාසියකු පැවසුවේ සිදුව තිබෙන අපරාධය අදහා ගත නොහැකි බව මතු කරමිනි. ඝාතනය සම්බන්ධයෙන් මුලින් පොලිසියේ සැකය මධුවන්තිගේ සැමියා වෙත එල්ල වන්නට මෙම ප්‍රකාශ ද යම් ප්‍රමාණයකට බලපෑවේ ය. සුළු හෝ වරදකින් වැරැදි පුද්ගලයකු නීතිය හමුවට පැමිණ වීම එක්තරා අන්දමකින් තවත් අපරාධයකට පාර කැපීමකි. මේ නිසාම සැබෑ ඝාතකයා සෙවීම සඳහා පොලිස් නිල සුනඛ අංශයේ සේවය ලබා ගැනීමට අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක තීරණය කළේය.

ඝාතකයා සෙවීමට නිල සුනඛයකු යොදවන ලෙස මහනුවර පොලිස් නිල සුනඛ අංශයට පණිවිඩය ලැබුණේ 11 දින පෙරවරු 7.00 ට පමණය. ඒ වනවිට රාජකාරී සඳහා සූදානම්ව සිටියේ පොලිස් සැරයන් 42320 පී.ජී ජයරත්න සමඟ නිල සුනඛ ඒගර් (Agar)ය. ඒ වනවිටත් පොලිස් නිල සුනඛ අංශයේ අවුරුදු හතරක සේවා කාලයක් ඒගර් සම්පූර්ණ කර සිටියේ ය . ගෙවල් බිඳුම් දෙකක සැකකරුවන් නිවැරැදිව හඳුනා ගනිමින් තමන්ගේ දක්ෂතා ප්‍රකට සිටි ඒගර් ධනුෂිකාගේ ඝාතකයා සෙවීමේ මෙහෙයුම ආරම්භ කළේ හරියටම එදින පෙරවරු 11 ට පමණ ය. මළ සිරරු මත සිටවා තිබූ ගොයම් ගසකින් ඒගර්ට ඝාතකයාගේ සුවඳ (Smell) ලබා දීමෙන් පසු කිලෝ මීටර් තුනක පමණ දුරක් සැකකරු සොයා ගිය ගමන විස්තර කළේ ඒගර් ගේ ස්වාමියා වන පොලිස් සැරයන් ජයරත්න ය.

මළ සිරුර ළඟ සෙරෙප්පුවක් තිබුණා. එය ඝාතනයට ලක්ව සිටි කාන්තාවගේ සැමියාගේ බව ප්‍රකාශ වුණා. සිරුර කුඹුරේ තිබෙනවා දැක එය එසවීමට යාමේ දී සෙරෙප්පුව මඩේ එරුණු බව සැමියා පොලිසියට පවසා තිබුණා. මේ නිසා මම ලෑලි කෑල්ලක් අරන් කාන්තාවගේ ඇඟ මත තිබූ ගොයම් ගස් කිහිපයකුයි මඩේ එරී තිබුණු සෙරෙප්පුවයි ඒක උඩ තියලා ඒගර් ට ඒවායින් ඉව දුන්නා. ඉව ගත්ත ගමන් එයා කුඹුර මැදට ගියා. මමත් පස්සෙන් ගියා. දෙන්නම එරුණා. මම ඒගර් ව උස්සගෙන ඇවිත් ගොඩින් තියලා සේදුවා. ඒ වෙලාවේ කුඹුර පැත්තට මීදුම බාලා තිබුණේ. ඒ වගේ පරිසරයක දී නිල සුනඛයකුට ඉව ලබා ගන්න පහසුයි. මම ඒගර් ට ආයෙත් ගොයම් ගස්වලිනුයි සෙරෙප්පුවෙනුයි සුවඳ දුන්නා. එයා කුඹුර කෙළවරකින් තියෙන සිමෙන්ති පඩි පෙළක් දිගේ නගින්න ගත්තා. පඩි පෙළේ අඩි 150 ක් විතර ගියාම නිවාස කිහිපයක් තිබුණා. ඒ ගෙවල් පසුපස තිබූ රෙදි වැල් ළඟ නතර වෙලා ඉව කරලා නතර වුණා. රෙදි වැල්වල වනලා තියෙන කාන්තා ඇඳුම් අතුරුදන් වීම් පහුගිය කාලේ සිද්ධ වුණා ද කියලා මම ඒ ගෙවල්වල අයගෙන් ඇහුවම ඔවුන් ඔව් කිවුවා. මේ පුද්ගලයා හා ඝාතකයා අතර සම්බන්ධයක් ඇති බව මට තේරුණා. ඊට පස්සේ ඒගර් කෙළින්ම ගියේ එහායින් තිබූ තේ වත්තට. ඒක අක්කර 40 ක් විතර ලොකු තේ වත්තක්. මීටර් 500 ක් විතර දුරක් තේ වත්තේ ගිහින් ඇල්ලකඩේ අලවතුගොඩ පාරට ආවා. කිලෝ මීටර් දෙකකට වඩා ඇවිද්ද නිසා ඒගර් ට මහන්සියි. වතුර ටිකක් බීලා අපි දෙන්නම මහන්සි ඇරියා. වටේ ඉන්න බල්ලෝ බුරන්න ගත්තා. බල්ලෝ බුරන කොට එයා වැඩ කරන්න කැමැති නැහැ. මම අවට සිටි අයට කිවුවා බල්ලෝ අයින් කරන්න කියලා.

පාරෙන් අනිත් පැත්තේ ලොකු පස් කණ්ඩියකට ගොඩවෙන්න ඒගර් උත්සාහ කළා. එයාට නගින්න අමාරුයි. මම උස්සලා තිබ්බා. කෙළින්ම ඒගර් ගියේ කණ්ඩියට උඩින් තිබ්බ ගේ ළඟට. මිදුලේ සරමක් ඇඳගෙන හිටපු හීන්දෑරි පුද්ගලයා ළඟට ගිහින් ඒගර් මුහුණ බලලා මගේ දිහා බැලුවා. එයා එහෙම කරන්නේ අවශ්‍ය කෙනා හඳුනා ගත්තා කියන්නයි. මම කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව ගේ ඇතුළට ගියා. ඒ ගෙදර කාමර දෙකක් තියෙනවා. ඒගර් ටිකක් නැවතිලා ඉඳලා එක කාමරයක් ඇතුළට ගියා. ඒකේ තිබ්බ ඇඳට අත්දෙක තියලා ඉව කරලා ඒගර් ආයෙත් එළියට ඇවිත් සැකකාරයා ළඟ වාඩි වුණා. මම අලවතුගොඩ පොලිසියේ මහත්වරුන්ට කිව්වා මෙන්න සැකකාරයා අල්ල ගන්න කියලා. මිනිහා වෙව්ලන්න පටන් ගත්තා. ඇඟිලි පරීක්ෂා කළාම ඒවගේ මඩ තැවරිලා තිබුණා...

ජයරත්න ඒගර්ගේ වීරකම කියද් දී තමන් ගැන කතා කරන බවක් දැනුණාක් මෙන ඒගර් ස්වාමියාගේ මුහුණ ලෙව කෑවේය. ඉන් නොනැවතුණු ඒගර් ජයරත්නගේ පපුව මත ඉදිරි පාද දෙක තබා පසුපස පාදවලින් සිටගත්තේය. නෙදර්ලන්තයේ දී 2017 වසරේ දී උපත ලද ඒගර් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ අංශය වෙත රැගෙන විත් තිබෙන්නේ වයස අවුරුද්දක් සපුරා තිබියදී ය. මහනුවර නිල සුනඛ කොට්ඨාසයේ දී උප පොලිස් පරීක්ෂක ජයරත්න හා උපදේශක උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ යන අය යටතේ ලද මූලික පුහුණුවෙන් පසු අපරාධ පරීක්ෂණ පුහුණුවට යොමු වූ ඒගර් එහි ප්‍රවීණතාව ලද පසු ක්ෂේත්‍ර රාජකාරි සඳහා 2020 වසරේ සිට යොදවා ඇත. සැරයන් ජයරත්න හා ඒගර් එක්ව වැඩ කරන්නට පටන් ගෙන ඇත්තේ 2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිටය.

‘මම කලින් බැලුවේ පබ්ලෝ කියන ඩොබමන් ප්‍රින්ටර් වර්ගයේ නිල සුනඛයෙක්. කොන්දේ ආබාධයක් නිසා එයා සේවයෙන් විශ්‍රාම ගැන්වූවා. ඊට පස්සේ තමයි ඒගර් මට ලැබුණේ. වත්තේගම පොලිස් වසමේ නත්තරන්පොත ප්‍රදේශයේ රන්බඩු සොරකමක් වාර්තා වුණා. 

අපි දෙන්න පරීක්ෂණ කටයුතුවලට ගියා. නිවෙසේ තිබූ ප්‍රංශයේ නිෂ්පාදිත සුවඳ විලවුන් බෝතලයක් කාමරයක වැටිලා තිබුණා. මම ඒකෙන් ඒගර් ට ස්මෙල් එක දුන්නා. එක පිම්මට ඒගර් කිලෝ මීටර් දෙකක් විතර ඇවිදගෙන ගිහින් ගෙදරකට ගොඩ වුණා.

සොරාගත් භාණ්ඩ ඒ ගෙදර තිබිලා වත්තේගම පොලිසිය සොයාගත්තා. මත්කුඩුවලට ඇබ්බැහිව සිටි සැකකරු ප්‍රදේශයෙන් ඒ වනවිටත් පලාගොස් සිටි නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා. ඔහු අත්අඩංගුවට ගැනීමට වත්තේගම පොලිසිය කටයුතු කරමින් ඉන්නවා‘ ජයරත්න ප්‍රකාශ කළේය.

අපරාධකරුවන් ඇල්ලීමට මෙන්ම ඒගර් සන්දර්ශනවලදී විවිධ ක්‍රියාකාරකම් දක්වන්නට ද සමත්ය. පොලිස් නිලධාරියකු විසින් පදවන යතුරුපැදියේ තවත් නිල සුනඛයන් සමඟ නැඟී ඒගර් අපූරුවට ගමන් ගන්නේ ය. ඒගර් ජයරත්න සුසංයෝගය හරි අපූරු එකකි. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි. සෑම දිනකම පෙරවරු 5.30ට පමණ අවදි වන ඒගර්ගේ දත් මැද මුහුණ සෝදා මල මූත්‍ර පහ කිරීම සඳහා රැගෙන යාම ජයරත්නගේ මුල්ම රාජකාරිය යි. ඉන්පසු පුහුණුවීම් සඳහා සහභාගි වීම ඔවුන්ගේ දෛනික ක්‍රියාවලියේ අංගයකි. අපරාධයක් වූ ස්ථානයක දී ලබා දෙන සුවඳ ඔස්සේ ගොස් අපරාධකරු හඳුනා ගැනීම සඳහා ඒගර්ට ඇත්තේ හොඳ ඉවකි. පෙර ක්‍රියාකාරකම්වලින් ඒගර් ඒ බව මොනවට ඔප්පු කර තිබේ. ඉදිරියේ දී ඒගර් ජයරත්න සුසංයෝගයෙන් අපරාධකරුවන්ට පහසුවෙන් බේරී යාමට නොහැකි වනු නොඅනුමානය.

ඡායාරූප-රුවන් මීගම්මන

Comments