
සුබන්ධු සිනමා වත මා අත පත්වන්නේ මාර්තු 15 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති සගරාව දීපනී උලෙළේදීය. මෙරට තෝරාගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට ප්‍රඥා බන්ධු ශිෂ්‍යත්ව පිරිනැමීම හා ශ්‍රී ලාංකීය සිනමාවට විශිෂ්ට මෙහෙවරක් කොට ඇති සිනමාකරුවන් කිහිප දෙනකුට ගෞරව සම්මාන පිරිනැමීමේ චාම් එහෙත් අභිමානවත් උත්සවයට සමඟාමීව නිකුත් වූ සුබන්ධු සිනමා වත සංග්‍රහය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සැත්තෑ වන ජන්ම දිනයේදී ඔහුට පිදුනු සැමරුම් තිළිණයක් ලෙස ද දකිමි. බන්දුල ගුණවර්ධන ආර්ථික විද්‍යා උපකාරක පංති දේශකයාගේ භූමිකාව කුමක්දැයි ඔහුගෙන් සිප් ලද මෙරට සුවහසක් සිසු සිසුවියෝ දනිත්. 1989 සිට ඔහු නිරතව සිටින ඔහුගේ දේශපාලන භූමිකාව පිළිබඳ හා ඔහුගේ කාර්ය සාධනය පිළිබඳ සුබන්ධු සිනමා වත කෘතියෙහි තොරතුරු නොවේ. මෙම ලිපි සංග්‍රහය හුදෙක් ම වෙන්වී ඇත්තේ බන්දුල ගුණවර්ධන නම් වූ සිංහල සිනමා අර්ථපති භූමිකා ඉතිහාසයෙහි ලියැවී ඇති එතෙර මෙතෙර සම්මාන දිනූ විශිෂ්ට අර්ථපතියා ගේ සම්ප්‍රදාන පිළිබඳ ලියැවුණු විචාරශීලී හරස්කඩක තොරතුරු රැගත් සාරවත් ලිපි මාලාවක් වෙනුවෙනි.
1983 තුන්වන යාමයේ (නිෂ්පාදන අනුග්‍රහය) සිට 2020 සහෝ සම නිෂ්පාදනය (එච්.ඩී.ප්‍රේමසිරි හා රවින්ද්‍ර ගුරුගේ සමඟ) දක්වා බන්දුල ගුණවර්ධන නම් වූ නිර්භීත සිනමා අර්ථපතියාගේ 'සුද්දිලාගේ කතාව, සිරිමැදුර, අයෝමා, ද නිව්ස් පේපර්'හා අප්‍රේල් මස 07 වැනිදා තිරගත වීමට නියමිත 'සහෝ' චිත්‍රපටය දක්වා නිෂ්පාදිත චිත්‍රපට මාලාවක හැඩ රුව විචාරාත්මක ඇසින් දුටු ලේඛන මාලාවක් සංග්‍රහ කිරීමට සංස්කාරකවරුන් පිරිසක් ගත් උත්සාහයක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.
සබැවින්ම මේ කෘතිය මෙරට සිංහල සිනමාව පිළිබඳ අධ්‍යනය කරන විද්‍යාර්ථීන්ට මෙන්ම පොදු සිනමා පාඨකයන්ට ද එක සේ වැදගත් ලිපි එකතුවකැයි නොබියව කිව හැකිය.
සුබන්ධු සිනමා වත ලිපි සරණිය සංග්‍රහ කිරීමට දායකත්වය පළ කළෝ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, අරුණ ගුණරත්න, දිනූශ කුඩාගොඩගේ, බර්ට්‍රම් නිහාල්, නිමල් විජේසිරි සේනාධීර, ඒ.ඩී.රන්ජිත්කුමාර හා ප්‍රසන්න හෙන්නායක ආදීහු ය. තුසිත ජයසුන්දර, සයිමන් නවගත්තේගම, ගුණසිරි සිල්වා, (ඇත්ත 1983) ගාමිණී වේරගම ( ඉරිදා දිවයින 1985 ) ගාමිණී සුමනසේකර හා එච්.ඒ. සෙනෙවිරත්න ( ඉරිදා දිවයින 1985 ) මහාචාර්ය සුචරිත ගම්ලත්, එරික් ඉලයප්පාරච්චි ( සිනෙසිත් 1990 ) සමුද්‍ර වෙත්තසිංහ ('ලූෂන් ' නූතන ගීතයේ රූපක රචකයා කෘතිය) ගාමිණී විජේතුංග ('ගාමිණී විජේතුංග චින්තන සංහිතා ' කෘතිය ) ඊ.එම්.ජී.එදිරිසිංහ ('චිත්‍රපට විචාරයට පෙරවදනක් ' කෘතිය) ගාමිණී වේරගම (දිවයින පුවත්පත) අනුර දසනායක, ඉනෝකා සමරවික්‍රම (සිළුමිණ) මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ආදී ප්‍රවීණ සිනමා විචාරක ලේඛක පිරිසක් විරචිත අගනා ලිපි මාලාවක් ඔස්සේ බන්දුල ගුණවර්ධන සිනමා අර්ථපතියාගේ දායකත්වයෙන් නිර්මිත මෙරට සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් කළා වූ අපූරු චිත්‍රපට රැසක් පිළිබඳ විචාරාත්මක කියවීමකට පාඨකයා කැඳවාගෙන යනු ලබන බව පැහැදිලි වේ.
සිනමා කෘතියකට මුදල් ආයෝජනය කරන්නෝ පෙරළා තම ආයෝජනය වෙනුවෙන් ලාභ අපේක්ෂා කිරීම සාමාන්‍ය සිරිතය.
එවැන්නෝ බොහෝ කල්හි තෝරා ගනු ලබන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැන්මට හැකියාව ඇතැයි ඔවුනට පෙනෙන වාණිජමය වශයෙන් ලාභ ඉපයීමට ශක්‍යතා සහිත තිර පිටපත් හා ඒ පිළිබඳ නම් දැරූ අධ්යක්ෂ්යවරුන්ය. මෙහිදී බන්දුල ගුණවර්ධනගේ අර්ථපති භූමිකාව වෙනස්ය. ලාභ ඉපයීම හෝ යටත් පිරිසෙයින් ආයෝජිත මුදල හෝ පෙරළා ලැබේය යන අපේක්ෂාවෙන් තොරව බැංකු ණය පවා ලබා ගෙන නවක අධ්යක්ෂවරයකු වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වන යාමය නිෂ්පාදනයට හවුල් වූයේය.
ඔහුගේ පූර්ණ චිත්‍රපට නිෂ්පාදන භූමිකාව ඇරැඹෙන්නේ ධර්මසිරි බණ්ඩාරනායකගේ හා සයිමන් නවගත්තේගම සුසංයෝගයෙන් බිහි වූ 'සුද්දිලාගේ කතාව' සමඟිනි. ආචාර්ය ගුණදාස අමරසේකර සුද්දිලාගේ කතාව පිළිබඳ මෙවැනි අදහසක් පළ කළ බව මේ කෘතියේ සඳහන්ය. ' මිනිස් පැවැත්ම ව්‍යාජය, වංචාව මුල්කොට පවතින්නකි. දයාව, කරුණාව, විශ්වාසය, භක්තිය මේවා සියල්ල බොරුය.
මිනිස් මනස සාධු දහම්වලට තෝතැන්නක් නොවේ. මෙවැනි ව්‍යාධියකින් පෙළෙන මනසකි සුද්දිලගේ කතාව පිටුපස ඇත්තේ. (දිවයින ඉරිදා සංග්‍රහය 85 ජූනි) බන්දුල ගුණවර්ධන සිනමාව විෂයයෙහි මූල්‍ය ආයෝජනයෙහි දී වාණිජ පරමාර්ථ දෙවැනි තන්හි තබා කලාත්මක ගුණය සිනමානුරූපී බව කෙරෙහි විශ්වාසය තබන අර්ථපතියකු බව ඔප්පු කරමින් සිරිමැදුර චිත්‍රපටය සඳහා අර්ථපතිත්වයට එක් වන්නේ පරාක්‍රම නිරි ඇල්ල නම් ආධුනික සිනමා අධ්යක්ෂවරයා සමඟිනි.
ඔහුගේ මෙම නිර්භීත බව පසුකාලීන චිත්‍රපට සඳහා කළ ආයෝජන තුළින් ද ප්‍රකට වන බවට සාක්ෂි සැපයෙන ලිපි මෙම සංග්රහයෙහි වේ.
'ද නිව්ස්පේපර් හා අප්‍රේල් 07 වැනිදා සිට තිරගත වීමට නියමිත සහෝ වැනි චිත්‍රපට සඳහා ඔහු හවුල් වන්නේ කිසිම දිනක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට නොමැති, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර හා මහචාර්ය ආරියරත්න ඇතුගල වැන්නන් සමඟය. බන්දුල ගුණවර්ධන සිනමා අර්ථපතිත්වයෙහි කැපී පෙනෙන අනෙක් වැදගත්ම ලක්ෂණය ලෙස මා දකින්නේ සාහිත්‍ය කෘති මුල් කරගත් චිත්‍රපට තිර නාටක සඳහා අභිරුචියක් දැක්වීමයි.
එමඟින් සාහිත්‍යය හා සිනමාව අපූරු බන්ධනයකට රැගෙන එයි. සුද්දිලාගේ කතාව (සයිමන් නවගත්තේගම) අයෝමා (දෙනගම සිරිවර්ධන) සහෝ (ආරියරත්න ඇතුගල) නිදසුන් වේ.
සුබන්ධු සිනමා වත ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සුභාවිත සිනමා කලාවක් අරබයා ඔහුගේ නිර්මල ආධ්‍යාශය මොනවට ප්‍රදර්ශනය කෙරෙන තොරතුරු ඇතුළත් වටිනා ලිපි එකතුවකි.
එම ලිපි ආශ්රයෙන් මෙරට සිනමාවේ සිනමානුරූපී හා කලාත්මක බව මනාව රැකගත් චිත්‍රපට රැසක් පිළිබඳ විචාරාත්මක විග්රහයකට ද ඊට අර්ථපතිත්වයෙන් නිර්භීතව දායක වූ සැබෑ කලාකරුවකුගේ ගුණරුව ද පැහැදුල් දිය දෝතක් සේ පාඨකයන් හමුවේ දිස්වන බව කිව යුතුය.