
1983 ජූලි මාසේ රට පුරා ජාතිවාදි කල කෝලාහල ගිනි ඇවිළුණු අවස්ථාවේ සරසවි සිසුවකුව සිටි මම පයින් ම නුගේගොඩ පිහිටි සනත් නන්දසිරි නිවෙසට ගියෙමි. එතැන නොසන්සුන් කලබලකාරී වාතාවරණයක් පැවතුණි. එම පටු මාවතේ ජීවත් වූ දෙමළ පවුලක් ආරක්ෂා කරගෙන එහි පැමිණි මැර කණ්ඩායමක් මෙල්ල කරමින් සිටි සනත් නන්දසිරිගේ නිර්භීතකම මට පසක් විණි. සූර, වීර, ධීර ගුණසම්පන්න ස්වීයත්වයක් පළට කළ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මිය යන විට 81 හැවිරිදි වියේ පසුවිණි. ඒ වන විටත් හෙතෙම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර බැබළවීය.
සංයෝගය හා වියෝගය ජීවිතයේ ප්‍රධාන ධර්මතා වන්නේ ය. 1942 පෙබරවාරි 15 දා කොලොන්නාව ගොතටුව ගමේ උපන් හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි අප්‍රමාණ කාර්යභාරයක් රට, ලොව, ජන සමාජය වෙත ඉෂ්ට කොට 2023 මාර්තු 28 දා අප අතරින් වියෝ වූයේ ඉමහත් සංවේගයක් මෙන් ම අනියත දහම ද පසක් කරමිනි.
1947 ගමේ උත්සවයකදී ඔහු ජීවිතයේ මුල් ම ගීතය ගැයුවේ සිය අක්කා සමඟිනි. එම අවිචාර සමය ලෝක යුද්ධ කාලයයි. ගමේ පාසලෙන් ද දෙමටගොඩ සාන්ත මැතිව් විදුහලෙන් ද අකුරු උගත් සනත් රාත්‍රී කාලයේ තාත්තා ගයන ගී හඬටත්, ග්රැමෆෝන් ගී නාදයටත් ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීතයටත් සවන්දීමේ පුරුද්දක් ඇතිව සිටියෙකි. 1955 දී නන්දා ජයමාන්නගේ මඟ පෙන්වීමෙන් ගුවන් විදුලිය ළමා මණ්ඩපයේ දී 'මාලා ගන්ධ විලේපන' නම් ගීය හා පුරා කියා සනත් විසින් ගයන ලදී. සූරියලතා කුරුප්පුආරච්චි පබැඳූ එම ගීය තනු නිර්මාණය කොට පුහුණු කළේ හේමතිලක දයාරත්න සංගීත ගුරුතුමා ය. විල්ෆ්රඩ් පීරිස්, මහේෂ් සින්නයියා, ඩී.ආර්. පීරිස් ඔහුට සංගීත ගුරුවරු වූහ. තබ්ලා වාදනය ඔහුට මැනැවින් ප්‍රගුණ විණ.
රජයේ සංගීත විද්‍යාලයේ විදුහල්පති විශාරද ලයනල් එදිරිසිංහ හා විශාරද එස්. ද එස්. ජයසේකර ගේ මඟ පෙන්වීමෙන් 1960 දී සනත් භාරතයේ ලක්නව් සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වී ගායනය හා තබ්ලා වාදනය හදාරා විශාර ද උපාධි ලබා ගති. උස්තාද් අහමඩ් ජාන් තිරක්වාගෙන් ශාස්ත්‍රීය තබ්ලා වාදනය උගත් එකම ලාංකික ශිෂ්‍යයා සනත් ය. 1966 ලංකාවට පැමිණි සනත් ගුවන් විදුලියේ පරීක්ෂණයකට පෙනී සිට ඉහළින් සමත් විණි. විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතවත් කළ විමල් අභයසුන්දර රචනා කළ නවදැලිහේන ගීත නාටකයේ "නයන භෘංගී හාස හංසී" ගීතය ගායනා කර තම ප්‍රතිභාව පෙන්වීය. එකල වෙළෙඳ සේවයේ සංගීත පාලක පී. ඇල්. ඒ. සෝමපාල ඒ ගී අසා සනත්ට ගී ගැයීමට ආරාධනා කළේය.
විමලධර්ම ජයවීරගේ ඇවිළුණු ගිනිදැල්, බණ්ඩාර විජේතුංගගේ මහද පෙම් විලේ, ප්‍රේමකීර්ති ද අල්විස් හා පුරා ලියූ මිහිරාවී ගී ගැයීමෙන් එක්වනම සනත්ගේ කුසලතාව රසිකයන් විසින් වටහා ගන්නා ලදී. එකල ඔහුට හමු වූ මල්කාන්ති මිහිරාවී ගීයේ සහාය ගායනයට එක්වූවාය. එදා මෙදාර තුර නවක ගී පද රචකයන්ගේ ගීත දහස් ගණනින් තනු නිමවා ගැයූ සනත් ආධුනික මෙන්ම ප්‍රවීණ ගායක ගායිකාවන් රාශියකට සිය පිළිබා ගුණයෙන් මනෝරම්‍ය සංගීත නිර්මාණ කළේ පෙරළා කිසිවක් අපේක්ෂා නොකරමිනි.
අම්පාර උහන පාසලේ රජයේ පත්වීම් ලද සනත් සංගීත උපදේශකයකු විය. පසුව රජයේ ලලිත කලායතනයේ කථිකාචාර්ය ධුරයකට පත් ඔහු පසුකාලීනව බිහිවූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හා ප්‍රථම සංගීත පීඨාධිපතිවරයා ලෙස අනලස් අනල්ප වැඩ කොටසක් ඉටු කළේ උසස් සංගීත රසඥානයක් තම සිසුන්ටත් රටවැසි සුළවතුන්ටත් දායාද කරමිනි.
වේදිකා නාට්‍ය, ගීත නාටක, චිත්‍රපට, ටෙලිනාට්‍ය වැනි සෑම ක්ෂේත්රයකට ප්‍රතිභා සම්පන්න වික්‍රමාන්විත තනු හා සංගීත නිර්මාණ කරමින් ගායනා ඉදිරිපත් කළ සංවේදී සහානුභූතියෙන් යුත් සැබෑ මිනිසකු වූ සනත් අපට අහිමි වීම ඉමහත් කනගාටුවට කරුණකි.
සනත් නන්දසිරි කවර වූ හෝ ඡන්දස් වෘත්ත අලංකාර පාදක කොට ගත් අපේ සිංහල කවි - ජනකවි - සන්දේශ කවි ගායනයෙහි සමතෙකි. එමෙන්ම කවිතාව මැනැවින් පිහිටා තිබූ ඔහු කවි පබැඳීමට ද නිපුණයෙකි. ලිපි සියගණනක් පුවත්පත් සඟරාවලට ලියූ ඔහු තනුව, සංගීතාභි නන්දන, භාරත ජීවිතයේ චමත්කාරය වැනි රසවත් හරවත් නිර්මාණ කෘති හා ශාස්ත්‍රීය ග්රන්ථ රචනා කරන්ට තම කාලය වෙන්කැර ගත්තේ ගුණ මසුරු නොවෙමිනි. බාලවියේ සිට ශාස්ත්‍රීය ගායන වාදන සවන්දීමට සවන් පුරුදු පුහුණු කළ සනත් ඉන්දියාවේ දී උත්තර භාරතීය රාගධාරී සංගීතය මැනවින් සාධනය කළේය.
එම දැනුමත්, අවබෝධයත්, ජන සංගීත ආභාසයත්, ඉන්දියානු සත්‍යසායි හා රාම්භජන් ගීත සංගීත ආභාසයත්, හින්දි චිත්‍රපට සංගීත ආභාසයත්, බටහිර සංගීත ධාරාවන්ගෙන් කිසියම් පෝෂණයක් ද ලැබීමෙන් නිතර සුභාවිත - පවිත්‍ර සංගීතය ඇසීමෙන් ද, ධාරණය කර ගැනීමෙන් ද තම තනු හා සංගීත නිර්මාණයන්ටත් ගායනයටත් ඉමහත් පිටිබලයක් ලැබූ බව ප්‍රකට කරුණකි. තම දියණිය වූ අනුරාධාටත් දස දෙසින් ඔහු හමුවට පැමිණි කවර සිසු සිසුවියකට වුවත් ඉගැන්වූයේ ගුරු මුෂ්ටි නොසඟවා එක ම පොදු ආකාරයකට ය. කුල, වංස, ගෝත්‍ර, ජාති ආගම් භේද නොතකා පොදු මනුෂ්‍ය හැඟීමකින් නිතර ක්‍රියා කළ හෙතෙම උදාර ගුණ නුවණින් හැසිරුණු මහත්මයෙකි. සනත් විසින් ගයන ලද බොහෝ ගීත පැරණි රසිකයන් වහා ඇඳ බැඳ ගත් ගුණෙන් රසයෙන් යුතු විය. ඉන් නිදසුනක් දෙකක් සිහිපත් කිරීම අගනේය.
මගේ රටට දළදා හිමි සරණයි
ඈත එපිට ගම්මානෙන් නැඟ එන
නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
සිනා නඟන්නි ලැසි ලැසි
ගමනින් යන්නී
(සුනිල් සරත් පෙරේරා)
කොහෝ කොහෝ
(සුජාතා අත්තනායක)
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පෙමාතුර හැඟුම්
ආදර සැමරුම් කැටිවුණ
දේ දුන්නෙන් එන සමනලුනේ
ජගදානන්දන මහා කාරුණික
(අජන්තා රණසිංහ)
එක යායට මල් පීදුණු බිම් තීරේ
චේතනා පරිශුද්ධ වූවත්
සීත රෑ යාමේ අඳුරේ
සීත රෑ වසන්තේ
(සුනිල් ආරියරත්න)
දඟකාර ඔය දෑස
හිච්චි නඟේ
ගමේ ලඳුනි
(සුනිල් ගුණවර්ධන)
මේ ප්‍රථම වසන්තයයි
(කුලරත්න ආරියවංස)
ගීතා - දයාබර ගීතා
දූ අනුරාධා
(බුද්ධදාස ගලප්පත්ති)
අනන්ත වූ දෙරණ සරා
මේ නිහඬ නිල් තලය
(සුගතපාල සෙනරත් යාපා)
ඉරා අඳුරුපට පෙරදිග අහසේ
(චන්ද්‍රසිරි පල්ලියගුරු)
බෝමළුවේ මල් සුවඳක පැටලි
සුදු බිත්ති හැඩ කෙරූ
(ප්‍රියානන්ද විජේසුන්දර)
සුවඳ පිරුණු පුංචි කාමරේ
(ධර්මරත්න පෙරේරා)
මා හද අසපුව
ලස්සන නම් නෑ පෙනෙන්නේ
සඳ බලන්න බෑ
ආයාචනාත්මක බැල්මෙන්
(කරුණාරත්න අබේසේකර)
සිහින තොටුපළේ
(ප්‍රේමකුමාර ජයවර්ධන)
වාසනා වේවා
විකසිත වත කමලේ
(කැමිලස් පෙරේරා)
සනත් විසින් ගයනා ලද හා තනු නිර්මාණය කළ ගීත හා වැඩසටහන් පිළිබඳ කලක් තිස්සේ මවිසින් එකතු කළ සාධක අනුව දහස් ගණන් තොරතුරු එකතුවක් පවතී. යාපා බණ්ඩාර සෙනෙවිරත්න සනත් නන්දසිරි අපදානයක් පළ කළේය. සුළවත් පහන් සර සනත් නන්දසිරි කාර්ය සඵල්යතාව ගැන ශාස්ත්‍රීය හා සමරු සටහන් කෘතියක් ද පළ කිරීමට එදවස 1997 දී අපට හැකි විය.
මෙලොවට පැමිණ ආවාට වඩා ලෝකයට සේවයක් කර නික්මී මරණයට යන්නේ නම් ඒ අමරණීය පුද්ගලයෝ ය.
සනත් නන්දසිරි එබඳු අග්‍රගණ්‍ය මනුෂ්‍යයෙකි.
කලාවේදියෙකි.
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර