
මෙවර රයිගම් සම්මාන උලෙළේ දී හොඳම නිළියන් දෙපළක් සම්මානිත වූවා. ඒ මාණික්කාවතේ ගුණාදරි ලෙස රඟපෑ වොල්ගා කල්පනී සහ පිතෘ හි ගෞරි ලෙස රඟපෑ උමාලි තිලකරත්න. දෙදෙනාටම රසඳුන උණුසුම් සුබ පැතුම් එක්කරන ගමන් කතාබහකට සම්බන්ධ කර ගත්තේ මාණික්කාවතේ ගුණාදරි එහෙමත් නැත්නම් වොල්ගා කල්පනී.
ගුණාදරි එක්ක ජීවත් වුණු කාලය ගැන මතකය අවදි කළොත්?
ඒ කාලය ගැන මතක් කරද්දී මට මොකක්දෝ වෙනවා. ඒ තරම් ආදරණීය හැඟීමක් ඒක. ගුණාදරිට වොල්ගා ගොඩක් ආදරේ කරනවා. අපි රූපගත කළේ කල්තොට. ඒ අපේ ගෙදර ජීවත් වෙද්දී පුදුම නිස්කලංක කමක් දැනෙනවා. මම මෙතනදී අපේ ගෙදර කියලා අදහස් කරන්නේ ගුණාදරිගේ ගෙදර. ඒ දේවල් එක්ක ගුණාදරි එක්ක වොල්ගා ජීවත් වුණාට පස්සේ, වොල්ගා තව ටිකක් වෙනස් වෙන්න ගත්තා. ජීවිතේ තව ටිකක් නිවිලා ජීවත් වෙන්න උත්සහ කළා. ගුණාදරි එක්ක ජීවත් වුණු කාලයට ආයේ යන්න තියෙනවා නම් මම හරි ආසයි.
ගුණාදරි තමයි වොල්ගාව හොඳම නිළිය ලෙසින් සම්මානිත කරන්නේ, එදා දැනුණු හැඟීම
හොඳම නිළියට නිර්දේශ වූ පළමු අවස්ථාවත් මෙය. සම්මානය ලැබීම ගැන, ඇත්තටම ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න මම දන්නේ නැහැ. මට හීනයක් තිබ්බා කවදා හරි මගේ නමට හොඳම කියන කැටගරි එක එන්න ඕනේ කියලා. මම මේ කලාවට අහම්බෙන් නෙවෙයි ආවේ. හරි කැමැත්තෙන් වැඩමුළුවලට ගිහින් හරි ආදරෙන් මම මේක කළේ. ඉතින් ඒ දැනිච්ච හැඟීම වචනවලට පෙරළන්න මට ඇත්තටම තේරෙන්නේ නැහැ.
ගුණාදරි එක්කම පිච්චි කියන චරිතයත් නිර්දේශ වෙලා තිබුණා, හිතේ විශ්වාසයක් තිබ්බද ගුණාදරිට මේ සම්මානය ලැබෙයි කියලා
ඇත්තටම මම හා සමානවම උමා අසේනි, ජගත් චමිල අපි කට්ටියම කැපවීම් කළා. කාලයක් එක දිගට අපි බත් කෑවේ නැහැ. අපිට නාරද තොටගමුව අයියා දාන මේකප් එක නිසා. මට ඕනේ වුණේ මොනයම් හෝ සම්මාන උලෙළක මාණික්කාවත සම්මානිත වෙනවා දැකීමේ සතුටක්. මාණික්කාවතේ කවුරුන් හෝ සම්මාන ලැබීමත් එය අපේ කෙනෙක් ලද සම්මානයක්. එයයි වටින්නේ.
අනිත් පැත්තෙන් රයිගම් උලෙළේ දී සම සම්මාන ලැබෙන්නේ හොඳම නිළිය ලෙසින් උමාලිට සහ වොල්ගාට. සම්මාන ගත්ත වේදිකාව මතත් ඔබ හරි අපූරුවට ඒ හැඟීම වචන බවට පත් කරා, නැවතත් ඒ ගැන මතක් කළොත්?
ඒක මතක් කරන්නම ඕනේ. උමාලි අක්කා කියන්නේ සෑහෙන්න සම්මාන ගත්ත කෙනෙක්. මෙවැනි විදියට සම සම්මාන පිටරටවල නම් වෙලා තියෙනවා. උමාලි අක්කත් එක්ක එකම වේදිකාවක සම්මාන ලැබීම මට ආඩම්බරයක් සහ සතුටට කරුණක්.
මාණික්කාවත පොත කී සැරයක් කියවලා තිබුණද?
සුදත් අයියා මේ වැඩේට ලෑස්ති වුණේ ෂූටින් පටන් ගන්නත් අවුරුදු තුනකට කලින්. ඒ නිසා මම සෑහෙන වතාවක් මම මේ පොත කියෙව්වා. සුදත් අයියත් මට කිවුවේ නිතර නිතරම කියවන්න කියන එක. ඒ පොත කියවද්දිත් ගුණාදරිට තමයි ආදරේ හිතුණෙම.
හොඳ නිළිය වීම තුළින් පොඩි බරක් එකතු වෙනවා ඉදිරි ගමනට, කොහොමද ඉදිරියේදී චරිත තෝරා ගන්නේ?
ඒ බරට මම කැමැතියි. මට මේ සම්මානය ලැබුණාම ක්ෂේත්‍රයේ ප්‍රවීණ අය කතා කරලා මට කිවුවේ “ඔයා ඉතින් වැඩ ගොඩක් කරලත් නැහැ, කරන වැඩේ තුළත් හදිසියක් තිබ්බේ නැහැනේ“ කියන එක. මම මේ වෙනකම් වැඩ ගොඩක් කරලා නැහැ. ඒ වගේම මට කවදාවත් හදිසියක් තිබ්බෙත් නැහැ. තාමත් මට හදිසි නැහැ. මම තිරයේ බොළඳ පෙම්වතිය වෙන්න අකැමැති කෙනෙක්. මම කොහොමත් භාර ගන්නේ මට දැනෙන චරිත. මට බොහොම කලාතුරකින් තමයි දෙයක් දැනෙන්නේ. ඒ නිසා මට දැනෙන විදියේ නිර්මාණ ලැබුණාම කලින් වගේම තෝරා බේරාගෙන වැඩ කරයි.
මේ කාලය තුළ කළ කී නිර්මාණ ගැන තෘප්තිමත් ද?
අනිවාර්යයෙන්ම තෘප්තිමත්. මම මෙතෙක් කරපු හැම නිර්මාණයකටම ගොඩක් ආදරේ කරනවා. මම නිර්මාණ ගැන විතරක් නෙවෙයි මගේ ජීවිතේ ගොඩක් දේවල් ගැන හරිම තෘප්තිමත්. ඒ දේවල් මට හරි ගියාද වැරදුණාද කියන එක නෙවෙයි. ඒ හැම දෙයක්ම මගේ ජීවිතේට එකතු වුණු අත්දැකීම්. ලබපු අත්දැකීම් ගැන මම කොහොමත් තෘප්තිමත්.
මේ දවස්වල දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන සුමුදු වෙල්ලාලගේ අධ්‍යක්ෂණය කරන “වැකේෂන්“ නාට්‍යය, සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ “පාර දිගේ” නාට්‍යය විකාශය වෙනවා. තව ලබන මාසේ සිට රනිල් කුලසිංහගේ සිත් යාය විකාශය වෙන්න නියමිතයි.
සිනමාවට ලැබෙන ඇරයුම් අඩුවීම ගැන මොකද හිතෙන්නේ
ටෙලි නිර්මාණවලට තරම් මට සිනමාවට ඇරැයුම් ලැබෙන්නේ නැහැ. නමුත් මංගල තෑග්ග -2 ට සහ අර්ජුන කමලනාත්ගේ නිර්මාණයකට සම්බන්ධ වුණා. ඇයි ඇරැයුම් ලැබෙන්නේ නැත්තේ කියන්න මම දන්නේ නැහැ. හොඳ ඇරැයුමක් ලැබුණොත් මම භාර ගන්නවා.
ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ
ඇත්තටම මේ අපි කතා කරන මොහොත වෙද්දී පවා ප්‍රතිචාර. මට පුළුවන් විදියට හැමෝටම මම ප්‍රතිචාර දක්වමින් ඉන්නේ. ඒ කියන්නේ මට දැනෙනවා ඒ ලැබෙන ප්‍රතිචාර සියල්ල හරි අවංකයි කියන එක. ප්‍රේක්ෂකයින් නැත්නම් අපි නිර්මාණ කරලා වැඩක් නැහැ. මට මතකයි මම ගුණාදරි චරිතය කරන කාලේදීත් මඟ තොටේදී දකින ආදරණීය ප්‍රේක්ෂකයින් විශ්වාසයෙන් යුතුව කිවුවා ඔයාට නම් සම්මානයක් ලැබෙන්න ඕනේ කියන එක.
ඒවගේම කියන්න ඕන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගුණාදරි ලිවුවේ නැත්නම් මේ ලෝකේ ගුණාදරි කෙනෙක් නැහැ. සුදත් අයියා, ෆාහිම් අයියා, තුසිත අයියා ඇතුළු මුළු කණ්ඩායමම ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද ගුණාදරි කියන්නේ වොල්ගා තනියම කරපු එකක් නෙවෙයි. ඒ වෙනුවෙන් කැපවුණු තේ එක හදලා දුන්නු කුමාර අයියා දක්වාම අපේ මුළු කණ්ඩායමේ අයවම මම ආදරෙන් මතක් කරනවා. ඒ එක්කම මම මේක අවස්ථාවක් කර ගන්නවා මාව නිර්මාණවලට සම්බන්ධ කර ගත්තු නිර්මාණකරුවන්ට මෙන්ම මා එක්ක වැඩ කරපු සියලුම ශිල්පීන්ට ස්තුතිවන්ත වෙන්න.