ස්ටීම් අධ්‍යාපනය පාසල් පද්ධතියට | සිළුමිණ

ස්ටීම් අධ්‍යාපනය පාසල් පද්ධතියට

ලොව රටවල් 96 ක භාවිත වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් වන විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මෙරට පාසල් අධ්‍යාපනයට එක් වේ. මෙරට අධ්‍යාපනයේ පරිවර්තනයක් ඇති කරමින් ආරම්භ කළ මෙහි සමාරම්භක අවස්ථාව පසුගිය සිකුරාදා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදි සිදු කෙරිණි. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන ස්ටෙම් නමින් (STEM- Science, Technology, Engineering, Mathematics) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දී එරටට හඳුන්වා දුන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය අද වන විට සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත් ව ස්ටීම් අධ්‍යාපනය නමින් (STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ලොව පුරා ප්‍රචලිත වී ඇත.

මේ හරහා කිසිදු දරුවකු පාසල් අධ්‍යාපනයෙන් අතරමඟ දී ඉවත් නොකෙරෙන, අතර සිසුන්ට විමර්ශනශීලී ව සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි සුහුරු පාසල් පරිසරයක් නිර්මාණය වෙයි. මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ නුදුරේදි මෙරටට විද්‍යා මධ්‍යස්ථානයක් ලබා දීමට ද පියවර ගන්නා බවයි.

Comments