
ලංකාව පුරා විසිරී සිටින විදුලි පාරිභෝගිකයන් අතරෙන් විදුලි වංචා සිදු කරනු ලබන බවට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කොට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම් ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයට වන අතර, සියලු වැටලීම් සිදු කරන්නේ එම ඒකකය මඟිනි. මේ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ජීව ඉන්දික ප්‍රනාන්දු අදහස් දැක්වූයේ මෙලෙසිනි.
" සෑම වසරකම විදුලි වංචා සම්බන්ධයෙන් වැටලීම් විශාල සංඛ්‍යාවක් අප සිදු කරන අතර, ඊට අදාළ දඩ මුදල් අප ආයතනය විසින් අධිකරණ ක්‍රියා මාර්ගය හරහා අය කර ගනු ලබනවා. අපේ විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය මිලියන 6කට වැඩියි. මේ අතරෙන් අයථා ලෙස විදුලිය පරිහරණය කරන පුද්ගලයන් පිළිබඳ විමර්ශන සිදු කොට අත්අඩංගුවට ගැනීම සඳහා අප විශේෂ විමර්ශන ඒකකය යටතේ කණ්ඩායම් 18ක් සිටිනවා. ඔවුන් මුළු දිවයිනම ආවරණය වන පරිදි දින 365 ම පැය 24 පුරා රාජකාරි සිදු කරනවා.
මෙම වැටලීම් සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිබඳ සහාය අප වෙත ලැබෙනවා. මාගේ විශේෂ විමර්ශන ඒකකය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළුව පොලිස් නිලධාරීන්ගෙන් යුතු විශේෂ කණ්ඩායමක් ද සිටිනවා. ඊට අමතරව, දිවයින පුරා ඕනෑම පොලිස් ස්ථානයකින් මෙම වැටලීම් සඳහා අවශ්‍ය පොලිස් නිලධාරීන් ඕනෑම මොහොතක නිදහස් කිරීමට අදාළ පොලිස් ස්ථානාධිපතිවරු විසින් කටයුතු කරනවා. එමඟින් වැටලීම් කටයුතුවලදී විදුලි බල මණ්ඩලයට විශේෂ සහයෝගයක් ලබා දෙනවා.
අයථා ලෙස විදුලි පරිහරණය යනුවෙන් අදහස් කරන්නේ, පාරිභෝගිකයා වෙත සපයා තිබෙන විදුලිය මනුගත නොවන ආකාරයෙන් භාවිත කිරීම (Meter Cases) සහ ප්‍රධාන රැහැන්වලට කොකු ගසා (Hook Cases) ඒ මඟින් විදුලිය වංචනිකව ලබා ගැනීම යි.
පෞද්ගලික පරිභෝජනයට මෙන්ම සතුන් දඩයම් කිරීම වැනි කටයුතු සඳහා ද භාවිත කරනු ලබන මෙවැනි අනාරක්ෂිත ලෙස විදුලි රැහැන්වලට කොකු සම්බන්ධ කර විදුලිය ලබා ගැනීමට යෑමේ දී, සෑම වර්ෂයක ම සැලකිය යුතු මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වනවා. කෙසේ නමුත් විදුලි ආශ්‍රිත කටයුතුවලදී සැර වැදීමෙන් වර්ෂයකට සියයකට ආසන්න ප්‍රමාණයක් මිය ගිය අවස්ථා වාර්තා වන අතර, ඒ තුළ අනවසර ලෙස විදුලිය ලබා ගැනීමේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මිනිස් ජීවිත අහිමි වූ අවස්ථා පවතිනවා. එසේ විදුලිය හොරකම් කිරීම හේතුවෙන් වැය වන මණ්ඩලීය විදුලි ගාස්තු පිරිවැය දැරීමට සිදු වන්නේ එම ප්‍රධාන විදුලි මාර්ගයට සම්බන්ධ වී ඇති නිවෙස්වල ජනතාවට බැවින් ජනතාව මේ පිළිබඳ අවදියෙන් සිටිය යුතුයි.
මෙවැනි පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය සතු නීතිමය වාතාවරණය ගැනත් කිව යුතුයි. 2013 අංක 31 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතින් සංශෝධිත, 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත 49 සහ 50 වගන්ති දෙකෙහි, වංචනික විදුලි පරිහරණය වරදක් බව සඳහන්. 49 වැනි වගන්තිය තවදුරටත් විස්තර කළහොත්, විදුලි බලය නිස්සාරණය කිරීම, විදුලි රැහැන්වලට කොකු සම්බන්ධ කොට අයථා ලෙස විදුලිය භාවිතයට ගනු ලබන සැකකරුවන්, 49 වගන්තිය යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. අයථා ලෙස විදුලිය භාවිත කරන පුද්ගලයන් එනම්, විදුලි මනු හරහා නිවසට විදුලිය සපයා ඇති විට, මනුගත නොවන ආකාරයෙන් පරිභෝජනයට ගන්නා අවස්ථාවලදී 50 වැනි වගන්තිය යටතේ වරදක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ පූර්ණ හැකියාවත් විදුලිබල මණ්ඩලය සතුයි.
මෙවැනි පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නඩු විභාගයකින් පසුව සැකකරුවන් සඳහා රුපියල් 10,000ට සිට රුපියල් 50,000 දක්වා දඩ මුදලක් මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය පරිදි දඩ වශයෙන් පනවනු ලබනවා. එමෙන්ම, අදාළ විදුලි අයථා පරිහරණය නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ අලාභහානියට සමාන වූ මුදලක් ද, දඩයක් ලෙස වැරැදිකරු වෙත පනවනු ලබනවා. මීට අමතරව පනස් වැනි වගන්තියේ සඳහන් වී ඇති ආකාරයට විදුලි බලය අයථා ලෙස පරිහරණය කිරීම මහේස්ත්‍රාත්වරයකුගේ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගත හැකි ගණයේ අපරාධමය වරදක් සහ ඇප ලබා දිය නොහැකි වරදක් ලෙසයි දැක්වෙන්නේ. ඒ නිසා වැටලීමකදී හසුවන මෙවැනි පුද්ගලයන්ට නීතියෙන් කිසිදු ගැලවීමක් ලැබෙන්නේ නැහැ.
ඊට අමතරව, පාරිභෝගිකයන් කෙටිකාලීන මූල්‍යමය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙවැනි අයථා විදුලි පරිහරණ සිදු කරනු ලැබූවත් මෙම වංචනික විදුලි පරිභෝජනය හේතුවෙන් ඔවුන්ට ඊට වඩා මූල්‍යමය හානියක් සහ සමාජමය වශයෙන් හානියක් සිදු වන බවට ඔවුන් දැනුවත් විය යුතුයි. මොකද, ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් පසු මණ්ඩලයට වී ඇති පාඩුව හා හානිය සලකා බලා ඊට සමාන මුදලක්, දඩය ලෙස මණ්ඩලයට ගෙවීමට අධිකරණ කටයුතු සඳහා යොමු වීමේදී, නීතිමය වියදම් දැරීමටත් ඔවුන්ට සිදු වනවා. ඒ වගේම, සමාජය ඉදිරියේ අවමානයට පත් වනවා.
මෙවැනි වරදවල් සිදු කරන අය පිළිබඳ බොහෝ විට අප අංශයට තොරතුරු ලැබෙන්නේ මහජනතාවගෙන්මයි. ඒ විතරක් නෙවෙයි, රට පුරා විසිරී සිටින අපගේ 25,000ක් තරම් වන විදුලිබල සේවකයන් සහ නිලධාරීන් හරහාත් නව තාක්ෂණික ක්‍රම උපයෝගි කොට ගෙන ඒවා විශ්ලේෂණය කිරීම මඟිනුත් තොරතුරු අප වෙත ලැබෙනවා.
විශේෂයෙන් අපගේ විදුලි කාර්මිකයන් සහ නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරිවල නියැළෙද්දී සැක සහිත තැන් ඉතා සූක්ෂ්මව හඳුනා ගන්නවා.
ඒ වගේම තවත් දෙයක් කිව යුතුයි. කුලී නිවෙස්වල පදිංචිව සිටින අය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි, තමන් ගෙදර භාවිත කරන විදුලි උපකරණ අනුව තමන්ට ප්‍රමාණවත් බිලක් ලැබෙනවාද කියන කාරණය සම්බන්ධයෙන්. මොකද, කලින් සිටි කුලී නිවැසියන් යම් මනු වංචාවක්, වෙනස් කිරීමක් කර ඉවත්ව ගොස් තිබුණා නම්, එම වරද හසු වන විට වංචනික ලෙස ලබා ගෙන තිබූ විදුලිය වර්තමානයේ පරිභෝජනය කරන නව පදිංචිකරුවන් තමයි, නීතිය ඉදිරියේ වැරැදිකරුවන් බවට පත් වන්නේ.
ඒ නිසා, තමන් පාවිච්චි කරන උපකරණ අනුව ලැබෙන විදුලි බිල අඩු නම්, වහාම විදුලිබල මණ්ඩලයට දැන්වීම එවැනි ජනතාව ගේ වගකීමක්. ඒ වගේම, පෙර කී වැරැදි සිදු කරන අවස්ථා දුටුවහොත් වහා විදුලිබල මණ්ඩලයේ වැටලීම් ඒකකයට දැනුම් දීම ජනතාවගේත් වගකීමක්..."