
ඉකුත් පසුගිය 2022 මැයි මාසයේදී භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යාම හෙවත් අධි උද්ධමනය ඇති ලොව රටවල් අතරින් සිම්බාබ්වේට පමණක් දෙවැනි වූ ශ්‍රී ලංකාව මේ වන විට අධි උද්ධමන ලැයිස්තුවෙන් දැන් ඉවත් කර තිබේ.
අමරිකාවේ ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ලෝක උද්ධමන ලැයිස්තුවට (RANK IN HANKE’S INFLATION DASHBOARD) අනුව අධි උද්ධමනය ඇති රටවල් අතුරින් කඩිනමින් යථා තත්ත්වයට පත් වී ඇති රටවල් අතර ශ්‍රී ලංකාවට මුල් තැනක් හිමිව තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුබ ලකුණක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව අධි උද්ධමන ලැයිස්තුවෙන් ඉවත්වීම ඉතාම ධනාත්මක තත්ත්වයක් බව මේ පිළිබඳව අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීවේය.
උද්ධමනය 95% සිට 70% ක් දක්වාත් පසුව එය 70% සිට 50% දක්වාත් අඩු කර ගැන්මට හැකි වූ බවත් පෙන්වා දුන් ඇමැතිවරයා පැවසුවේ දෙසැම්බර් මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමේ ඉලක්කයක් රජයට ඇති බවය.
ලෝක උද්ධමන පුවරුවට අනුව පසුගිය මාර්තු 23 වැනිදා වන විට අදාළ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය වෙනිසියුලාවට හිමිව තිබූ අතර එහි දෙවෙනි ස්ථානය සිම්බාබ්වේ රාජ්‍යයට හිමිව තිබුණි. තුන්වන ස්ථානය ලෙබනනයටත් සිවුවැනි ස්ථානය සිරියාවටත් හිමිව තිබුණි.
2022 වසරේ දෙසැම්බර් මස අවසානයේ ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ලෝක උද්ධමන ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 106% දක්වා ඉහළ ගොස් තිබුණු අතර එම අවස්ථාවේ ශ්‍රී ලංකාව ලෝකයේ උද්ධමනය අතින් පස්වන ඉහළම උද්ධමන අනුපාතය පෙන්නුම් කර තිබුණි. සිම්බාබ්වේ, වෙනිසියුලාව, ලෙබනනය සහ කියුබාව පමණක් ශ්‍රී ලංකාවට වඩා වැඩි උද්ධමනයක් පෙන්නුම් කර පිළිවෙළින් ලැයිස්තුවේ පළමු, දෙවන, තුන්වන සහ සිවුවන ස්ථාන හිමි කරගෙන තිබුණි.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් සහ ජාත්‍යන්තර ආර්ථික සහාය ලැබීම මත පසුගිය පෙබරවාරි 16 දින නිකුත් කළ ලෝක උද්ධමන ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව 13 වන ස්ථානයට පත්ව තිබුණි. එයින් සති 5කට පමණ පසුව එනම් පසුගිය 23 වෙනිදා වන විට අදාළ ලැයිස්තුවේ අවසන් උද්ධමන රට ලෙස කොළොම්බියාව පෙන්නුම් කර තිබුණු අතර පාකිස්ථානයද එම ලැයිස්තුවේ 12 වන ස්ථානය හිමි කරගෙන තිබුණි.
එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික ධනාත්මකභාවය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව පෙන්වා දුන් මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අන්තර්ජාතිකව ඇතිවන මෙවන් පිළිගැනීම් ශ්‍රී ලංකාවේ අත පෙවීමකින් තොරව සිදුවන බවත් ඒ අනුව මෙරට ආර්ථික ක්‍රියාවලියේ ගමන් ඉතා සුබදායි බවත්ය.