වන අලි ප්‍රහාරයෙන් වන ජීවි ප්‍රධානියා මරුට | සිළුමිණ

වන අලි ප්‍රහාරයෙන් වන ජීවි ප්‍රධානියා මරුට

ගලෙන් බිඳුණුවැව පඩිකාරමඩුව ප්‍රදේශයට ඊයේ දින (28)උදෑසන කඩාවැදුනු වන අලි රංචුවක් වගා බිම් රැසක් විනාශකර පුද්ගලයන් දෙදෙනෙකුටද පහර දී තිබේ. 
 
ඉන් එක් පුද්ගලයෙක් රිටිගල වනජීවී කාර්යාලයේ ප්‍රධානියා වන අතර ඔහු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත. අනික් පුද්ගලයා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබේ.
 
ඊයේ දින උදෑසන පඩිකාරමඩුව වැව් රක්ෂිතයේ සිට පැමිණි  පනස් දෙනෙකුගෙන් (50)පමණ සමන්විත වන අලි රංචුවක් පඩිකාරමඩුව ගම්මානය පුරා සැරිසරමින් බෝග රැසක් විනාශකර ඇත.
 
 එහිදී ගම්වාසීන් එක්ව වන අලි පලවා හැරීමට උත්සහ දරා තිබේ.
 
එහිදී කුලප්පු වූ වන අලීන් එහි සිටි පුද්ගලයෙකුට පහර දී ඇත.
 
 මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවෙ සේවයේ නියුතුව සිට නිවාඩු ලබා පැමිණ සිටි අයෙකි. 
 
ඔහුගේ එක් පාදයකට බරපතල හානි සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුලත් කර ඇත. පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
 
මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීන්,රිටිගල වනජීවී කාර්යාලයේ නිලාධාරීන් මෙන්ම ගලෙන්බිඳුණුවැව පොලීසිය හා ගාම්වාසීන් එක්ව ඊයේ සවස් වන තුරුම වන අලි පලවා හැරීමට දැඩි වෙහෙසක් දැරීය. මෙහිදීද කුලප්පු වූ වන අලි රංචුව පඩිකාරමඩුව වෙල් යායේ දී වනජීවී නිලධාරීන්ට පහර දී තිබේ. 
 
එහිදී රිටිගල වනජීවී කාර්යාලයේ ප්‍රධාන අඩවි ආරක්ෂකවරයා වන අලි පහරින් එම ස්ථානයේදිම මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පී.බී.ජේ.විජේකෝන් නම් 42 හැවරිදි දෙදරු පියෙකි.
 
මෙම සිදුවීම් හේතුවෙන් වන අලි පලවාහැරීම තාවකාලිකව නවතා දමන ලදි. ගලෙන්බිඳුණුවැව පොලීසිය සිද්ධිය සම්භන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments