ලොව රටවල් 96ක ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමයක් අපේ රටටත් | සිළුමිණ

ලොව රටවල් 96ක ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමයක් අපේ රටටත්

සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන් ම ඉන් බාහිර ව ද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ පාසල් දරුවන්ට මාර්තු 31 වැනිදා සිට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 
 
ස්ටීම් අධ්‍යාපනය මේ වන විට අමෙරිකාව ප්‍රමුඛ ලොව පුරා රටවල් 96ක පමණ භාවිත වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයකි. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන ස්ටෙම් නමින් (STEM- Science, Technology, Engineering, Mathematics) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දී එරටට හඳුන්වා දුන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය අද වන විට සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත් ව ස්ටීම් අධ්‍යාපනය නමින් (STEM- Science, Technology, Engineering, Arts, Mathematics) ලොව පුරා ප්‍රචලිත ව ඇති බව අමාත්‍යවරයා පැවසී ය.
 
අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා මේ බව කියා සිටියේය. 
 
ලොව අංක එකේ අධ්‍යාපන ක්‍රමය පවතින ෆින්ලන්තයේ පවතින්නේ ද මෙම ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය බවත් අප රට තව මත් ඊට අනුගත ව නැති නිසා එම අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වය මැන බැලීමට 15 වයස් සීමාවේ පසු වන දරුවන්ට වාර්ෂික ව පවත්වන පීසා නම් වූ ජාත්‍යන්තර තක්සේරුකරණ පරීක්ෂණය (PISA- Program for International Students Assessments)  සඳහා පෙනී සිටීමට මෙරට දරුවන්ට අවස්ථාව නොලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා, ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ටීම් අධ්‍යාපනය වසර 20ක් ක්‍රියාත්මක වීමෙන් පසු ව එරට ජාතික ආදායමෙන් 62%ක් නියෝජනය කරන්නේ ද ස්ටෙම්-ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලියෙන් බිහි වූ නවෝත්පාදකයන් ඇතුළු නිර්මාණශීලී පුරවැසියන් බවත් මෙහි දී සඳහන් කළේ ය.
 
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ තොරතුරු පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පන්ති කාමරයට සීමා නොකර කෞතුකාගාර, මින් මැදුරු වැනි විවිධ ස්ථාන හා පරිසරය සමග මුසු වී ප්‍රායෝගික නිරීක්ෂණ සහ අද්දැකීම් ලැබීමට අපේ දරුවන්ට ද අවස්ථාව සලසා දිය යුතු බවත් ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් බිහි කර පාසල් දරුවන්ට පැමිණ භාවිත කිරීමට අවකාශ සලසමින් නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි නැගී එන විෂයන් පාසල් දරුවන්ට ද විවර කළ යුතු බවත් නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ මොඩ්‍යුලර් භාවිතය ඊට මනා රුකුලක් වන බවත් ප්‍රකාශ කළේ ය.
 
කොළඹ නවරඟහලේ දී මාර්තු 31 වැනිදා මෙරටට ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන පැවැත්වේ. 

Comments