
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි- පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි- නෙත් යුග නැති ඔබ දකින තුරා"
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අරුත්බර සංකල්පනාවකට අනුව විශාරද නන්දා මාලිනියන්ගේ මනෝහර හඬින් ගැයෙන මේ ගීතය බොහෝ දේ හිමි වූවත් අහිමි වූ එකම දේ වෙනුවෙන් තැවෙන මිනිසුන්ගේ මනෝභාවයට කළ සියුම් සරදමක් වැන්න. අහිමි වූ දේ වෙනුවෙන් හඬන, තැවෙන බොහෝ මිනිසුන් අතර අහිමි දේ ගැන නොතැවී අභියෝගවලටත් අභියෝග කරන දිරිය මිනිසුන් ගැන ද අපට ඉඳහිට අසන්නට ලැබේ. මේ එවැනි දිරිය මිනිසුන් ගැන කතාවකි.
ඇය නමින් දිලේකා මනෝරි වික්‍රමනායක (52)ය. සීදුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ පිහිටි සිය සැමියාගේ නිවෙස වෙත පැමිණෙන්නේ මීට වසරකට පමණ පෙරදීය. දෑසින් ලොව දකින්නට වරම් නැති පිරිසකට ඔවුන්ගේ ජීවිත සාර්ථකව ගොඩනඟා ගැනීම සඳහා අත්වැළක් වීමට දිලේකාට සිතුණි. ඒ සිතිවිල්ල ඵල දරන්නේ දෘෂ්‍ය ආබාධිත අය වෙනුවෙන්ම ඇය විසින් ආරම්භ කරනු ලබන කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලාවෙනි. 'නේත්‍රාංජලී' නමැති මේ කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලාව ආරම්භ කර දැන් වසරක් පමණ වේ. දෘශ්‍යාබාධිත හත් දෙනකු මේ වන විට එහි සේවය කරන අතර, දෑස් පෙනෙන එක් කාන්තාවක් පමණක් එහි සේවය කරන්නීය. එහෙත් දෙපාවල ආබාධයක් නිසා ඇය සිය සේවය ලබා දෙන්නේ ද රෝද පුටුවක ආධාරයෙනි. දිලේකාගේ 'නේත්‍රාංජලී' ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පුහුණු උපදේශිකාව වන්නේ ද ඇයමය.
දෑසේ පෙනුම අහිමි වුවද 'නේත්‍රාංජලී' ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන කිසිදු අයකු එය බාධාවක් කරගෙන ඇති බවක් නම් නොපෙනේ. ඔවුහු කඩිසරය;කාර්යක්ෂමය. ඉතා පරෙස්සම් ලෙස සහ බුහුටිව ඔවුහු ඇඳුම් මැසීමේ නිරතව සිටිති. මේ දිනවල 'නේත්‍රාංජලී' ඇඟලුම් ආයතනයේ විශේෂ තේමාවක් අනුව ඇඳුම් නිර්මාණය වේ. අමු රෙද්දෙන් නිමවෙන ඉතා අලංකාර ගවුම් නිර්මාණය වන්නේ 'මම් ඇන්ඩ් බේබි' සංකල්පය අනුවය. එහිදී අම්මාට අමු රෙද්දෙන් නිම වූ ගවුමක් සහ දියණියට කුඩා සායක් නිර්මාණය වේ. 'නේත්‍රාංජලී' ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරත පිරිස අතින් දිනකට නිමවෙන ගවුම් සංඛ්‍යාව 12කට අධිකය. මේ සියල්ල දේශීයත්වයට ගැළපෙන ලෙසින් නිර්මාණය කිරීමට දිලේකා විශේෂ අවධානයක් යොමු කරන්නීය. 'නේත්‍රාංජලී' ඇඟලුම් කර්මාන්තශාලාවේදී නිමවෙන නිර්මාණ අතර, පරිසර හිතකාමි බෑගයක් ද වේ. ඒ පිළිබඳ දිලේකා වික්‍රමනායක මෙසේ කීවාය.
" අපි මුලින්ම නිර්මාණය කළේ පරිසර හිතකාමී බෑග්ය. අවුරුදු 3ක් පමණ කාලයක් එය පාවිච්චි කළ හැකියි. එහි විශේෂත්වය වෙන්නේ එය ඇතුළට අපි මී ඇටයක් හරි ඉඟිනි ඇටයක් හරි දාලා තියෙනවා. අවුරුදු 03ක කාලයක් ඒ ඇට බෑග් එක ඇතුළේ සක්‍රියව තියෙනවා. පාවිච්චියෙන් පස්සේ බෑග් එක විසි කළාම බෑග් එකේ රෙදි පවා ඉක්මනින් දිරනවා. අන්ධ අයට ගස් සිටුවන්න බැරි වුණත් අපි දහස් ගණනකට මේ විදිහට බීජ බෙදලා දීලා ඒ අය ලවා ගස් සිටුවලා මේ පරිසරය ලස්සන කරන්න දායක වෙනවා. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පරිසරය ආරක්ෂා කරන ගමන් අනිත් අයටත් ඒ ආදර්ශය ලබා දෙන්නයි. අපි අමු රෙද්දෙන්ම 'මම් ඇන්ඩ් බේබි කන්සෙප්ට්' එක ආරම්භ කළෙත් ඒ අරමුණින්. දැන් අපි වෙනත් නවීන විලාසිතාවලටත් ගැළපෙන විදිහට බ්ලවුස් ආදිය පවා නිර්මාණය කරනවා" දිලේකා පවසන්නේ සතුටිනි. එවැනි අලංකාර අරුත්බර නිර්මාණය කරන පිරිස දෑස් පෙනීම අහිමි වූවන් වුවත් ඒ ඇඳුම් අඳින දෑස් නොපෙනෙන අයට කිසිදු අඩුපාඩුවක් නොවන්නට ඒවා නිර්මාණය කිරීම තම එකම අරමුණ බව ද ඇය කීවාය. මේ වන විට ඔන්ලයින් ව්‍යාපාරයක් ලෙස ඔවුන්ගේ නිර්මාණ අලෙවිය සිදු වෙන අතර, ඒවායේ මිල ඉතා සාධාරණ බව ද දිලේකා වැඩිදුරටත් පැවසුවාය. නේත්‍රාංජලී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු දෘශ්‍ය ආබාධිත පිරිස ඇඳුම් මැසීමට පමණක් නොව වාදනයට සහ ගායනයට ද දක්ෂයන්ය. හිටපු ඇමැති අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට නේත්‍රංජලී ඇඟලුම් ආයතනය වෙත පැමිණියේ දෘශ්‍යාබාධිත වුවත් ඔවුන් සිදු කරන කාර්යය පිළිබඳ ඇගයීමටය.
"මේ අය සමාජයට හොඳ ආදර්ශයක්. තමන්ට මොන ආබාධයක් තිබුණත් ජීවිතය ජයගන්න පුළුවන් කියන දේ පෙන්වන්න ඔවුන් හොඳ උදාහරණයක්. අපි කවුරුත් විශ්වාස කරන්නේ නෑ දෘෂ්‍ය ආබාධිත කෙනකුට ජුකී මැෂිමකින් මහන්න පුළුවන් කියලා. මමත් මේ ආයතනය බලන්න ආවේ ඒ නිසයි. ඔවුන් ඉඳිකටුවට නූල දාන්න, පාට වර්ග හඳුනා ගන්න වගේම ඇද වෙන්නෙ නැතිව කෙළින් මහන්නෙ කොහොමද කියන දේවල්වලට පවා විශේෂිත ක්‍රම හඳුනාගෙන තිබෙනවා. මේක ඇස් පේන, අත පය තියෙන, උගත් කියලා සහතික ගොඩක් තියාගෙන ඉන්න සියලු දෙනාටම ස්වෝත්සාහයෙන් තමන්ගේ ජීවිතය ජය ගන්න හොඳ ආදර්ශයක් "
නේත්‍රාංජලී ආයතනයේ සේවයේ නියුතු දෘෂ්‍ය ආබාධිත අමිල චන්දිම කීවේද දෑස් නොපෙනුණ ද තමා සමාජයෙන් අනුකම්පාවක් අපේක්ෂා නොකරන බවයි.
"ඇස් නොපෙනීම වැඩ කරන්න බාධාවක් නෙමෙයි. ඇතැම් අය අපේ ඔළුව අතගාලා කියනවා කරුමේ තමයි, ගිය ආත්මයේ කරපු පාපයක් තමයි මේ ඵල දීලා තියෙන්නේ, ඒ නිසයි ඇස් පේන්නේ නැත්තේ කියලා. ඒත් හොඳට ඇස් පේන, කන් ඇහෙන අයත් වැරදි වැඩ කරනවා. ඒ වගේ අයටයි අපි පවු කියන්නෙ. දෑස් නොපෙනුණත් අපි යම් රැකියාවක් කරනවා"
නේත්‍රාංජලී ආයතනයේ හිමිකාරිනි දිලේකා මනෝරි වික්‍රමනායක පැවසුවේ සේවය කරන සියලු දෙනාටම වැටුපක් බැවින් ඔවුන්ගේ ජීවිතවලට එය සවියක් වී ඇති බවයි.
" ඒ වගේම ඔවුන් වයසට ගියාම තනි වීම, සමාජයෙන් කොන් වීම වළක්වා ගන්නත් අපි දීර්ඝකාලීන සැලැස්මක් හදලා තියෙනවා. දැනට මවුපිය රැකවරණය යටතේ ඉන්න අයගෙ මවුපියන්ට අපි කියලා තියෙනවා, මේ අයට වෙනමම පර්චස් දෙකක් අරගෙන ඔවුන්ගෙ නමට පවරලා දෙන්න කියලා. ඒ ඉඩමේ කාමරයක්, කුස්සියක් හා බාත්රූම් එකක් හදලා දෙන්න මාසිකව මුදලක් වෙන් කිරීමටත් අපි දැන් අඩිතාලම සකස් කරගෙන යනවා. මේ අය මගේ දරුවෝ වගේ. මගේ දරුවෝ දෙන්නත් මේ අයට තමන්ගේම සහෝදර සහෝදරියන්ට වගේ සලකනවා.
NETHRANJALI ෆේස් බුක් පිටුව හරහා මෙන්ම 071-1290175 , 0701524529 හා 070 508 0010 දුරකථන අංකවලින් ඔවුන් සම්බන්ධ කර ගත හැකිය.
අනුරාධපුර, තිසර සමල්