සිළුමිණ හෙළි පෙහෙළි කළ සාහිත මඟක අසිරිය | සිළුමිණ

සිළුමිණ හෙළි පෙහෙළි කළ සාහිත මඟක අසිරිය

සාහිත්‍ය හා පුවත්පත් කලාව අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවකි. සාහිත්‍ය කලා ආදී දිවිය සුමට කරන දෑ වෙනුවෙන් පුවත්පත තරම් ඉඩක් අන් කිසිදු මාධ්‍යයක් වෙන් කර නැති බව සත්‍යයකි. එය ඉතිහාසයේ සිට ම අවිච්ඡින්න ව පැවත ආවකි. එහි පටන් ගැන්ම සටහන් වෙන්නේ සිළුමිණ පුවත්පතෙනි. සිළුමිණේ පළමු පුවත්පතේ සිට ම ශාස්ත්‍රීය හා ඓතිහාසික අතිරේකය පළ වූයේ එහි පටන් ගැන්මක් වශයෙනි.

සිළුමිණ ප්‍රධාන කතු පදවියට මුලින් ම පත් වෙන්නේ ප්‍රකට ලේඛකයකු වන පියසේන නිශ්ශංක සූරීන් ය. ඔහු පුවත්පත ගමන් කළ යුතු දිශානතිය ගැන මුල සිට ම යම් පැහැදිලි ආස්ථානයක සිටියේ ය. ආරම්භක සිළුමිණ පත්‍රයෙහි ශාස්ත්‍රීය අතිරේකය පළ ව තිබුණේ නවා කුඩා පොතක් සේ සකස් කරගත හැකි ආකාරයට ය. ඒ ගැන 1930 මාර්තු 30 දා පළ වූ පළමු පත්‍රයේ මෙසේ සඳහන් ව තිබිණි.

සිළුමිණ පත්‍රයේ තුන්වැනි හා හතර වැනි පිටු ශාස්ත්‍රීය අතිරේකයක් වශයෙන් සලකනු ලැබේ. ඒ කොළය පත්‍රයෙන් කඩා ඉවතට ගත් කල්හි වඩා හොඳ ප්‍රමාණයක පිටු 4ක් සේ ගණන් ගැනේ.

සිළුමිණ පත්‍රයේ ශාස්ත්‍රීය ලිපි හතර ම මේ පිටුවලට ඇතුළත් වෙන බැවින් එය පත්‍රයෙන් ගලවා පරෙස්සම් කිරීමෙන් කලකදී වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන්නේ ය. පත්‍රය විශාල බැවිනුත් එය මුළුමනින් ම රැස් කර තැබීම අපහසු බැවිනුත් මේ අලුත් ක්‍රමය යොදන ලදී. ශාස්ත්‍රීය ලිපි ගැන විශේෂ සැලකිල්ලක් ඇති සියලු භවතුන්ට ම මේ ක්‍රමය තුෂ්ටිදායක වෙතැයි විශ්වාස කළ හැකිය‘

ටැබ්ලොයිඩ් පත්‍ර කලාවක් හෝ අතිරේක සම්පාදනයක් ගැන කතිකාවක් නොතිබි අවදියක සිළුමිණ එකී සම්ප්‍රදාය ගොඩනැඟීමේ නිර්මාණශීලී භාවිතයක් සකස් කරන්නේ එලෙසිනි. සත දහයේ විශ්වවිද්‍යාලය යන ගෞරවාර්ථය පාඨක පර්ෂදයෙන් පුවත්පතකට ලැබීම මෙකල ජනප්‍රිය හෝ වෙන යම් ඕනෑ ම සම්මානයකට වඩා බෙහෙවින් වටනේ ය. ඥාන කෝෂයක් ඉරිදාට ගෙදරට එනතෙක් බලා සිටි පරම්පරාවක් නිර්මාණය කරමින් ජාතිකයකට කියැවීමේ පුහුණුව ඇති කළ පුරෝගාමී ඉරිදා පුවත්පත සිළුමිණ ය.

සිළුමිණ ආරම්භ වන්නේ යටත් විජිත යුගයේදී ය. මේ යුගයේ දේශීය චින්තනයකින් හෙබි සිංහල පුවත්පතක් ආරම්භ වීම වැදගත් සන්ධිස්ථානයකි. 1930 මාර්තු මස 30 වැනිදා සිළුමිණ පුවත්පත ආරම්භ වූ යුගය යටත්විජිත ශ්‍රී ලංක‍ාවේ දේශපාලනික පරිවර්තනීය වෙනසක් ඇති වූ සමයකි. 1931 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවණතාව කුමක් විය යුතු ද යන්න ගැන ඉංග්‍රීසි ආණ්ඩුව සලකා බලමින් සිටියේ ය. සිළුමිණ පත්‍රය බිහි වෙන්නේ ලංකාවේ සියලු දෙනා යටත් විජිතය ඇතුළත උපතින් සමානයන් බවට පත්කරන, අවුරුදු 21ට වැඩි සියලු ම පුරවැසියන්ට තමන්ගේ දේශපාලන නියෝජිතයා පත්කර ගැනීමට අවකාශ සලසා දෙන කාල වකවානුවක ය. ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දීමට ක්‍රියා කළ කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ සහ ඔහුගේ ඉල්ලීම් ගැන ලේක්හවුසියේ සිළුමිණ කර්තෘවරයා විශේෂයෙන් අවධානය යොමු කර ඇති බැව් සිළුමිණ ඉතිහාසය පිරික්සීමේදී පෙනේ. සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පැහැදිලිව පිළිගත් ප්‍රතිපත්තියක් සිළුමිණට තිබුණි. මුල්කාලීන සිළුමිණ ජනප්‍රිය වීමටත් ඒ කාරණය ඉවහල් වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟ ම ඇති වුණු පරිවර්තනය මිනිසුන්ට ක්‍රමක්‍රමයෙන් අවබෝධ කර දුන්නේ ද සිළුමිණ පත්‍රය ඔස්සේ ය.

සිළුමිණ පළමු පත්‍රයේ ම සිය පත්‍රයේ අන්තර්ගත වන දෑ පිළිබඳ කතුවැකියෙන් ම යම් ඉඟියක් දී තිබිණි. සිය පුවත්පතේ අරමුණ ‘අවංකව හා නොපසුබට වීර්යයෙන් යුතුව රටට සේවය කිරීමය...නොබෝ කලකින් පැවරෙන අලුත් වගකීම්වලට ලාංකික ජනයා සූදානම් කිරීම් වශයෙන් ඒ ජනයාට කරුණු අවබෝධ කරවීමේ යුතුකම අප කෙරෙහි ද රඳා පවතී. ජාත්‍යෙ­්න්නතිය, ශාස්ත්‍රොද්දීප්තිය, සදාචාරය, මහජන සේවය, මහාජන අර්ථ සංරක්ෂණය යන ආදියට රුකුල් දීමෙන් ජනතාභිවෘද්ධිය සැලසීම අපේ එකවන් අධිෂ්ඨානයයි‘ යනුවෙන් සඳහන් ව තිබිණි. ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් ඇති කිරීම කෙරෙහි සිළුමිණ කළ සේවාව ගැන ඉතිහාසය පුරා පටන් ගැන්මේ සිට සාක්ෂි සම්පාදනය වෙන්නේ ඒ ආකාරයෙනි.

සිළුමිණ පුවත්පත ගැන නූතන සිංහල සාහිත්‍යය ග්‍රන්ථයේ 125 පිටුවේ සඳහන් මේ උධෘතය අප උපුටා දක්වන්නේ එය සාහිත්‍ය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කළ සේවාව ගැන සඳහන් කරනු පිණිස ය.

‘සිළුමිණෙහි ආරම්භක සංස්කාරකවරයා වූයේ පියසේන නිශ්ශංක ය. ඉතා සුළු කාලයක් ඇතුළත සිළුමිණ ජනප්‍රිය ඉරිදා පුවත්පතක් කිරීමෙහි ඔහු බෙහෙවින් සමත් විය.

පත්‍රය පටන් ගෙන වසරක් පමණ ගත වූ තැන් සිට එහි ග්‍රන්ථ විවරණ මැයෙන් පොත් පත් විවේචන තීරයක් ඇරඹීම සාහිත්‍ය ප්‍රචාරයට හේතු විය. හැම පත්‍රයක ම කෙටිකතාවක් බැගින් පළ වන්නට වූ හෙයින්, සිංහල කෙටිකතාවේ දියුණුවට මේ පුවත්පතෙන් ලැබුණේ ලොකු රුකුලකි. සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය ද විද්වතුන්ගේ සැලකිල්ලට භාජන වූ අංශයකි.

පියසේන නිශ්ශංක පසුව දිනමිණ කතුවරයා වූ පසු සිළුමිණෙහි සංස්කාරකවරයා බවට මාර්ටින් වික්‍රමසිංහ පත් විය. ඔහු අස්වීමෙන් පසු සිළුමිණ සංස්කාරක ධුරයට පත් වූයේ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ය. සිළුමිණ, කමලා ළමා සමාජය හා මල්හාමි මාමාගේ කතා මණ්ඩපය ආදී විශේෂාංගවලින් මුල සිටම සරසමින් ආවේ ලියනගේ විසිනි. මේ පුවත්පත අග්නි දිග ආසියාවේ වැඩියෙන් ම පැතිරෙන පත්‍රය බවට පත් කරන ලද්දේය‘

සිළුමිණ නිසා කවියෝ බිහි වූහ. කවියන්ට වේදිකා තැනුණේ සිළුමිණ නිසා ය. සිළුමිණ නිසා කෙටිකතාකරුවෝ බිහි වූහ. වඩාත් ජනප්‍රිය ම උදාහරණ වන්නේ ජී. බී. සේනානායක හා ටී. ජී. ඩබ්ලිව් ද සිල්වා නිර්මාණකරුවන් ය. චිත්‍ර ශිල්පීන්, ශාස්ත්‍රීය ලේඛකයන්, පරිවර්තකයන් මෙන්ම විවිධ මාලිදියේ ලේඛකයෝ ද සිළුමිණ නිසා බිහි වූහ. මීමන ප්‍රේමතිලක, හොරණ කුමාරසිංහ, හක්ගල්ලේ සෙනෙවිරත්න, උඳුගොඩ නවරත්න මෙන් ම හඳපාන්ගොඩ උපනන්ද බටුගෙදර වැනි කවියෝ සිළුමිණ නිසා බිහි වූහ. සිය ප්‍රථම ලිපිය පළ වූයේ සිළුමිණෙහි බව කියන ප්‍රාමාණික විද්වත්හු මට පසුගිය දශක ද්විත්වයෙහි හමු වූහ. මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය තිස්ස කාරියවසම් ඒ අතරෙන් අතළොස්සක් පමණි. එකල සිට සිළුමිණට ලිපි සැපයූවන් අතර පියදාස සිරිසේන, මහාචාර්ය ගුණපාල මලලසේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, පුංචි බණ්ඩාර සන්නස්ගල, පැලෑනේ ශ්‍රී වජිරඥාන හිමි, කළුකොඳයාවේ ප්‍රඤ්ඤාසේකර හිමි, එඩ්මන් පීරිස් රදගුරු තුමා වැනි දේශප්‍රේමි, භාෂා ප්‍රේමී මෙන් ම විවිධ ආගමික ශාස්තෘවරුන් ද විය.

1939 අගෝස්තු 30 දා සිය වැඩිමහල් සොහොයුරාට ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ සිට ලිපියක් එවමින් සුනිල් ශාන්ත මෙසේ පවසයි.

‘මා බොහොම ආසයි සිළුමිණ පත්‍රය බැලීමට. ශත දහයක පත්‍රයක් ගෙන ශත දෙකක මුද්දර ගසා මට එවන්න, සෑම ඉරිදා ම‘

ගෙවී යන සෑම මතකයක් ම ශේෂ වන්නේ ඉතිහාසයේ ය. ඒ ඉතිහාසයේ ජීවිතයට නන්විධ අත්දැකීම් එකතු කළ දෑ සදානුස්මරණීය මතක සටහන් සේ තැන්පත් වෙන්නේ ය. සුනිල් ශාන්තයන් වැන්නවුන් බොහොමයක් නිසා සිළුමිණ එදා ලකඹර බැබළුණේ සා පිපාසාවෙන් යුතු වූවන් ට ලැබුණු දිය දෝතක් මෙනි. මේ මතක අප අලුත් කරන්නේ මේවා ඉතිහාසයේ නොමැකෙන ලකුණු නිසා ය.

පුවත්පත් කලාවේදියකු ලෙස හා ලේඛකයකු වශයෙන් ජනතා බුහුමනට ලක් වූ මාර්ටින් වික්‍රමසිංහයන් නිසා සිළුමිණ කතු ධුරය බැබළුණු බැව් අවිවාදිත ය. වික්‍රමසිංහයන් සිළුමිණ කතු ධුරයට පත් වෙන්නේ 1934 බැව් සඳහන් ය. ඒ පියසේන නිශ්ශංකයන්ට දිනමිණ කතු ධුරය භාර ගැනීමට සිදුවීම නිසා ය. මාර්ටින් වික්‍රමසිංහයන් ‘මයුරපාද‘නම් අන්වර්ථ නාමයෙන් සිළුමිණ පුවත්පතට ලියන්නේ 1934 අගෝස්තු 5 වැනිදා සිට ය. එහි ශීර්ෂය වූයේ ‘උත්සව සන්නිය හා සූදුව‘ යන්නයි. එතැන් සිට 1950 නොවැම්බර් 5 වැනි දින දක්වා මයුරපාද නමින් වික්‍රමසිංහයන් සිළුමිණට ලියන ලද ලිපි සංඛ්‍යාව 235කි. අවසන් ලිපියේ ශීර්ෂය වූයේ ‘ සිංහල නාටකය දියුණු කිරීම‘ යන්නයි. අභිමානවත් ලේඛන සම්ප්‍රදායක උරුමය සිළුමිණට හිමි වන්නේ එකී පාදම මත පිහිටා ය. ඒ අනුව විශ්වවිද්‍යාලයක් තරමට දැනුම සම්පාදනය කළ තෝතැන්නක් බවට සිළුමිණ පුවත්පත අනවරතයෙන් පත් විණි.

මෙකී සම්ප්‍රදායෙන් පොහොසත් වුණු සිළුමිණ 1934 දී තාගෝර්තුමා ලංකාවට පැමිණීම ගැන සිය පාඨකයන් දැනුම්වත් කළ ආකාරය එහි ගමන්මඟ හා අරමුණු පිළිබඳ ගැඹුරු චිත්‍රයක් මවාපායි. ඔහුගේ කවි පරිවර්තනය කර පුවත්පතේ පළ කරමින්, චිත්‍ර පළ කරමින්, ඔහු පිළිබඳ විශිෂ්ට ලිපි පළ කරමින් ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කිරීමේ ලා මහඟු මෙහෙයක් සිළුමිණ ඉටු කළේය. දේශීය කලා ශිල්ප නඟා සිටුවීමට ප්‍රබල හේතුවක් බවට සිළුමිණ පත්වන්නේ එකී ආරම්භය සමඟ වීම ශක්තිමත් පාදමක් නිර්මාණය වීමේ ලා උපස්ථම්භක විය. මේ ලිපි හා තාගෝර්තුමාගේ පැමිණීම සාමාන්‍ය ජනතාව අතරට පවා රැගෙන යෑමට සිළුමිණ ක්‍රියා කළ ආකාරය ඇතුළත කියැවෙන ශාස්ත්‍රීය ප්‍රබෝධය ඒක භාෂික සිංහල පාඨකයන්ට පුවත්පත බෙහෙවින් සමීප වීමේ ලා හේතු කාරණා විය.

දරුවන් වෙනුවෙන් කමලා ළමා සමාජය, මල්හාමි මාමාගේ කතා පිටුව ආදිය හඳුන්වා දුන් සිළුමිණ දරුවන් උදෙසා කථන බසට සමීප බසක් යොදා ගනිමින් ලිපි සම්පාදනය කර ළමා ලෝකයට නිවැරැදි ව ප්‍රවිෂ්ට වූයේ ය. සිංහ මාමාගේ සන්දේශය එහි වඩාත් ප්‍රචලිත පිටුවක් වූයේ ය. ළමා ප්‍රකාශන කලාවක මූලාරම්භය සිළුමිණ සකසන්නේ එපරිද්දෙනි. සිළුමිණ සැකසූ ඒ පාරේ ගොස් අද ළමා පත්තර කලා ප්‍රභේදයක් බිහි වී තිබේ.

1920 - 30 දශකවල දී පුවත්පත් සඳහා යෝග්‍ය වූ ව්‍යවහාරෝචිත බස් වහරක් ගොඩනැංවීමට කටයුතු කළ මාර්ටින් වික්‍රමසිංහ, 1934 සිට ‘සිළුමිණ’ පුවත්පතට ‘මයුර පාද’ නමින් ලිපි සැපයීය. සමකාලීනව වැදගත් වූ විවිධ මාතෘකා අනුව ලියැවුණු ඒ ලිපි සිංහල පුවත්පත් බස සකස් වීමට ද මහත් බලපෑමක් ඇති කෙළේය. ඒ ලිපි නිසා සිංහල භාෂා ව්‍යවහාරයට එක් වූ නව යෙදුම් හා විශේෂතා බොහෝ ය.

සිංහල භාෂා ව්‍යවහාරය අරබයා ලේඛකයන් අතර විවිධ මතවාද, යෝජනා හා මතභේද පැතිර ගිය අවදියක් ලෙස 1930 - 40 දශක දැක්විය හැකිය. එක් අතකින්, සංස්කෘත පද බහුල භාෂා රීතියත්, අනෙක් අතින් හෙළ බස් වහරත් අනුගමනය කළ වියතුන් පිරිසකගේ ශාස්ත්‍රීය කටයුතු නිසා භාෂා ව්‍යවහාරය පිළිබඳ ගැටලු සිංහල පුවත්පත්වල සාකච්ඡා විය. සකුව මුසු බස් වහරටත්, හෙළ බස් වහරටත් ගැති නොවී සමකාලීන ව්‍යවහාරය ඇසුරෙන් පුවත්පත් සකසා ගැනීමට ‘සිළුමිණ’ පුවත්පතට හැකියාව ලැබුණේ එහි කතුකම් කළ පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ ආදී ලේඛකයන් බස් වහර සම්බන්ධයෙන් දැක්වූ ජන සම්මතවාදී හා ශාස්ත්‍රීය අදහස් නිසා ය.

1944 දී ජේ. ආර්. ජයවර්ධනයන්ගේ රාජ්‍ය භාෂා යෝජනාව සම්මත වීමත් සමඟ, සිංහල භාෂාව නව අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ පිළිබඳ විද්වතුන් අතර සාකච්ඡා ඇති විය. 1944 ජූනි මස 25 වැනිදා ‘සිළුමිණ’ පුවත්පතේ ‘සිංහල භාෂාව ලිහිල් කිරීම’ මැයෙන් පළ වූ කතුවැකිය සහ ‘ලිහිල් සිංහලයක් ’ පිළිබඳව 1944 ජූනි - ජූලි මාසවල ‘සිළුමිණ’ පත්‍රයේ පළ වූ ලිපිවලින් පැහැදිලි වන්නේ සමකාලීන භාෂා ප්‍රශ්න සම්බන්ධයෙන් ‘සිළුමිණ’ සංස්කාරකවරුන් දැක්වූ උනන්දුවයි. කාව්‍ය සම්ප්‍රදාය හා කලාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වන්නේ 1961 සිට 65 දක්වා කතුකම් කළ මීමන ප්‍රේමතිලක සමයේ ය. 1965 වසර වනවිට ප්‍රධාන කර්තෘ ධුරයට විමලසිරි පෙරේරා පත් වීමත් සමඟ ම පුවත්පතේ ප්‍රධාන ආදායම් මාර්ග කෙරෙහි අවධානය යොමු වෙයි. ඒ අනුව ලුහුඬු දැන්වීම් හා මංගල යෝජනා සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය වෙයි.

සිංහල භාෂා ව්‍යවහාරයේ නිවැරැදි භාෂා ප්‍රයෝග පිළිබඳ වරින්වර පළ වූ ලිපි මෙන්ම භාෂා විෂයයි වාද - විවාදවලට සිළුමිණ පුවත්පත තෝතැන්නක් විය. 1969 දී ‘සම්මත සිංහල වාදයේ ’ දී ‘සිළුමිණ’ අනුගමනය කළ ස්ථාවරයෙන් ද පැහැදිලි වන්නේ සමකාලීන ව්‍යවහාරයට දැක්වූ නැඹුරුවයි. සිංහල ව්‍යාකරණඥයන්, භාෂා ගුරුවරුන් පමණක් නොව නූතන වාග්විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලැබූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් භාෂා විෂයයික කරුණු මුල් කරගෙන ලියූ ශාස්ත්‍රීය ලිපි රැසක් පසුගිය දශක කිහිපයේ දී ‘සිළුමිණ’ පුවත්පතේ පළ වී ඇත.

1978 දී සිළුමිණ තවත් සුවිශේෂී වෙනසකට අඩිතාලම දමයි. ඒ මෙතෙක් ජංගම පුස්තකාලයක් ලෙස ගෙන්ගෙට ගිය සිළුමිණෙහි නව්‍ය වෙනසක් වෙමින් ‘සිළුමිණ ඥාන කෝෂය‘ නමින් අතිරේකයක් හඳුන්වා දීමයි. 1978 ජනවාරි 15 දා සිට 1978 දෙසැම්බර් 31 ඉරිදා දක්වා සිත්ගන්නා සුලු මාතෘකා 731කින් යුත් තොරතුරු ගබඩාවක් පාඨකයන්ට තිළිණ විය. එහි පළමුවැනි විශේෂාංගය වී ඇත්තේ විද්‍යාව උපන් හැටි යන්නයි. අවසන් හෙවත් 731 වැනි මාතෘකාව වී ඇත්තේ ‘ලොව ලොකුම‘ පොත ලෙසයි.

සිංහල භාෂා විෂයයෙහි පසුගිය කාලය තුළ දී ඉස්මතු වූ වාද - විවාද කීපයකට ම හේතු වූයේ ‘සිළුමිණ’ පුවත්පතට වියතුන් විසින් සපයන ලද ලිපි ය. ශ්‍රී ලංකාවේ විද්වත් කතිකාවක් සඳහා ප්‍රථම වේදිකාව තනන ලද්දේ, “මයුර පාද” “බාසුරු” ආදී නම්වලින් ලිපි ලේඛන සැපයු විද්වතුන් විසිනි. 1984 දී ‘සිළුමිණ’ ශාස්ත්‍රීය අතිරේකයට මහාචාර්ය ජේ. බී. දිසානායක සැපයූ “සිංහලයේ නව මුහුණුවර” නමැති ලිපිපෙළ සමකාලීන සිංහලය හෙළි පෙහෙළි කිරීමට දැරූ වෑයමකි.

‘සිළුමිණ’ පුවත්පත භාෂා විෂයයික කරුණු සම්බන්ධයෙන් සංවේදී වූ බව පැහැදිලි වේ. මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුචරිත ගම්ලත්, ඩී. එෆ් කාරියකරවන, අ.ආ. ගුණතිලක, සිරි තිලකසිරි ආදී නොයෙක් ගුරුකුලවලට අයත් වියතුන් ‘සිළුමිණ’ ‘පුන්කලස’ අතිරේකයට සැපයූ ලිපි සිංහල භාෂාවේදීන්ගේ විශේෂ අවධානයට ලක්විය. ‘වියත් වහර සොයා’ (2001), ‘කව්ලැකිය’ (2002), නමින් මහාචාර්ය ජේ.බී. දිසානායක ලියූ ලිපි පෙළ ද ‘බස නැසෙන සැටි’ (2002), මැයෙන් ඩී. එෆ් කාරියකරවන ලියූ ලිපි පෙළ ද ‘සිළුමිණ’ භාෂා විෂයක සිදු කළ මෙහෙය විමසීමේ දී සඳහන් කළ යුතුය.

එදා මෙදාතුර විවිධ අනුපාන එකතු වෙමින් අඩුවෙමින් සිළුමිණ පාඨක මනරංජනය වෙනුවෙන් කැප වූයේ ය. විවිධ කල්හි එහි ශාස්ත්‍රීය අතිරේකය නාමකරණයෙන් වෙනස් විණි. එය ශාස්ත්‍රීය හා ඓතිහාසික අතිරේකය යන්නෙන් පටන් ගෙන සියපත, පුන්කලස, සත්මඬල හා වර්තමානයේ දීපානී ලෙසින් නාමකරණය වී තිබේ.

අනූ තෙවසරක් යනු පුවත්පතකට පරිණතම අවදියකි. පාඨක සහෘදය ප්‍රජාව හා අර්ථ සම්පන්න සහසබඳතාවක් දශක නවයක් තිස්සේ අවිච්ඡින්න ව පවත්වා ගෙන යෑම පහසු කරුණක් නොවේ. සිළුමිණ දශක නවයක් ගෙවද්දී මෙරටට සර්ව ජන ඡන්ද බලය ලැබී ද දශක නවයක් ගත වී ඇත (1931-2021). සිළුමිණ හා ප්‍රජාතන්ත්‍රීය නැඹුරුව කියවා ගැන්මේ ලා එය ශක්තිමත් පදනමකි.

සරු බීජ වැපිරීම සඳහා පොළොව සාරවත් කරන්නට සිළුමිණ ද අද ද පෙරගමන්කරුවෙකි. ආනන්දයේ හා ප්‍රඥාවේ සංවේදී සංවාද මණ්ඩපයක් නිර්මාණය කිරීමට සිළුමිණට හැකි වන්නේ යුතුකම එපරිද්දෙන් ඉටු කිරීමට වගවීමෙනි. ජාතියක අනේකවිධ විවිධතාවලට වේදිකාවක් වෙමින්, තරගකාරී ධාරාවල අභියෝග අභියෝගයක් නොකර ගනිමින් ධනාත්මක හා සංස්කෘතික සමාජයක් ගොඩනැංවීමේ ලා පුරෝගාමී මෙහෙවරක් කළ සිළුමිණෙහි, දශක නවයක ශාස්ත්‍රීය මතක එක්කිරීමේ ව්‍යායාමය සයුරකින් දිය දෝතක් ගැනීමක් බඳු ක්‍රියාවකි. එහිදී මග හැරුණු දෑ අමතක වීම් නොව හුදු පෘතග්ජන කියැවීමක ඵලයක් පමණක් බැව් සටහන් කර තබමි.

එදා සිළුමිණ ඇරඹී ශාස්ත්‍ර සම්ප්‍රදානය අදත් මුද්‍රිත කලාව අනුගමනය කරනු දැකීම සතුටකි. විද්යුත් මාධ්‍යවලට සාපේක්ෂ ව මුද්‍රිත මාධ්‍ය කලාවේදී කලාවට, සාහිත්‍යයට වැඩි ඉඩක් වෙන් වීමේ පෙරගමන්කරුවා වීමේ ගෞරවය අයිති සිළුමිණට ය. සබුද්ධික හා දැනුම්වත් ප්‍රජාවක් මාධ්‍යකරණය ඔස්සේ ගොඩනැංවීමේ වගකීම දැරීමට මූලික වීම මේ සියලු කරුණු ඔස්සේ විෂද වන්නේ ය.

Comments