රජරට හෙල්ලූ කැලැත්තෑවේ ඝාතන රැල්ල | සිළුමිණ

රජරට හෙල්ලූ කැලැත්තෑවේ ඝාතන රැල්ල

නීතිඥ එස්.එම්.ජයසූරිය

පෞරාණික නගරයක් වශයෙන් ලොව ප්‍රකට අනුරාධපුරය එක්තරා යුගයක මෙරට අගනුවර විය. අනුරාධපුර යුගයට අයත් සාහිත්‍ය කෘති මෙන්ම සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවස්තු රාශියක් ඇති අතර, ඈත අතීතයේ සිටම මෙහි විසු ජනතාව ඉතා සාමකාමි පිරිසක් වූහ.

එහෙත් කාලයේ ඇවෑමෙන් අනුරාධපුරයට පිටස්තරයන්ගෙන් විවිධ බලපෑම් එල්ල වූ අතර, අනුරාධපුර ගැමි ජනතාවගේ සාමකාමී ජීවිතයට පිටස්තරයන්ගේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් බලවත් බාධාවක් විය. හැටේ දශකයේ අග භාගය වන විටත් අනුරාධපුර නගරය ජනශුන්‍ය නගරයක් විය. අනුරාධපුර නගරය ආශ්‍රිතව සේවය කළ වෘත්තිකයන් සවස් යාමයේ සිය වෙහෙස නිවා ගැනීමට නගරයේ රෝවින්ග් ක්ලබ් නමැති සමාජ ශාලාවට රැස්වීම පුරුද්දක් වශයෙන් සිදු විය. වෛද්‍යවරුන්, නීතිඥයන් මෙන්ම රජයේ උසස් පරිපාලන නිලධාරීන්ට රෝවින්ග් ක්ලබ් තෝතැන්නක් විය. ඔවුන්ගේ සාද බොහොමයක් පවත්වන ලද්දේ මෙම සමාජ ශාලාවේය. සමහර දිනවල මෙම සාද පසුදා අලුයම් කාලය වනතුරු නතර වූයේ නැත. මෙම සාදවලට අවශ්‍ය වූ මධුවිත අසල පිහිටි ඇල්ෆ්‍රඩ් සොයිසා නමැති පුද්ගලයාගේ තැබෑරුමකින් ලබා ගන්නා ලදී. අනුරාධපුර නගරයේ අවට තැබෑරුම් රැසක හිමිකරු වූයේ ඇල්ෆ්‍රඩ් සොයිසා නම් ඇපෝතිකරි වෛද්‍යවරයෙකි. රෝවින්ග් ක්ලබ් එක සඳහා අවශ්‍ය වූ මධුවිත සැපයීම සිදු කළේ ඇල්ෆ්‍රඩ් සොයිසාගේ තැබෑරුම්වලින්ය.

ඇල්ෆ්‍රඩ් සොයිසා අනුරාධපුරයට පිටස්තරයෙකි. ඔහුට අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර් එකළොහක දුරකින් පිහිටි කැලැත්තෑවේ විශාල වත්තක් අයිතිව තිබුණි. බස්නාහිර පළාතේ දෙල්ගොඩ ග්‍රාමයේ උපන් ඇල්ෆ්‍රඩ් සොයිසාගේ ජීවිතය නව මාවතකට යොමු වන්නේ ඇපෝතිකරි වෛද්‍ය කර්මය ඉගෙනුම සඳහා විදෙස්ගත වීමත් සමඟය. වෛද්‍ය කර්මය ඉතා සාර්ථකව හදාරා නැවත ලංකාවට එන ඇල්ෆ්‍රඩ් සොයිසා පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අතර, එකල මෙරටට ආගන්තුක වූ ඇපොතිකරි වෛද්‍ය කර්මය හරහා පෞද්ගලික ප්‍රතිකාර ලබා දී මුදල් ඉපයීම ඔහුගේ අරමුණ වූයේය. එහෙත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී කෙටි කලකින් විශාල මුදලක් ඉපයීම අතිශය දුෂ්කර කාර්යයක් බව ඇල්ෆ්‍රඩ් සොයිසා අවබෝධ කර ගත්තේය. එම නිසා ඉතා ඉක්මනින් මුදල් ඉපයීමේ ක්‍රමයක් පිළිබඳ ඔහු කල්පනා කළේය. අවසන ඔහු තීරණය කළේ වෛද්‍ය කර්මය අතහැර දමා කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමටය. සිය ගම් ප්‍රදේශය වූ දෙල්ගොඩ අතහැර දමා ඇල්ෆ්‍රඩ් සොයිසා අනුරාධපුරයට යන්නේ සිතේ වූ ව්‍යාපාරික සැලසුම් කීපයක් ක්‍රියාවට නැංවීම සඳහාය. අනුරාධපුරයට පැමිණ එහි නතර වූ ඇල්ෆ්‍රඩ් සොයිසා කෙටි කලකින් රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් කීපයක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ඉදිකිරීම්වල තත්ත්වය ඉතා ප්‍රශස්ත මට්ටමක පැවති නිසා රජයේ කොන්ත්‍රාත් වැඩ විශාල සංඛ්‍යාවක් දිගටම ගලා ගෙන ආවේය. මේ නිසා ඇල්ෆ්‍රඩ් සොයිසා කෙටි කලකින් ධනවතකු බවට පත් විය. මහකනදරාව වැව් බැම්ම නැවත ඉදිකිරීම ඔහුගේ එක් කොන්ත්‍රාත්තුවක් විය. මේ අතර, ඇල්ෆ්‍රඩ් සොයිසා තවත් වැඩකට අත ගැසුවේය. ඒ මත්පැන් ව්‍යාපාරයයි. මේ සඳහා ඔහුට රේන්ද බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, අවස්ථා කීපයකදීම ඔහුගේ උත්සාහය අසාර්ථක විය. එහෙත් අවසානයේදී ඇල්ෆ්‍රඩ් සොයිසා ජය ගත්තේය. රේන්ද බලපත්‍රය ලබා ගත් වහාම මත්පැන් ව්‍යාපාරයට අත ගැසූ ඇල්ෆ්‍රඩ් සොයිසා සිය අලුත් ව්‍යාපාරයෙන් අධික ලාභයක් උපයා ගැනීමට සමත් විය. එහෙත් මේ සියල්ලම මධ්‍යයේ වුවත් ඔහු තම මුල් රැකියාව අත් හැරියේ නැත. මේ නිසා තමන් සොයා එන රෝගීන්ට ඔහු ප්‍රතිකාර කළේය. අද මෙන් එදා මේ රටේ සංවිධානාත්මක පාතාලයක් නොතිබුණු අතර අපරාධකරුවන් පොලිසියේ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් තිබුණි. කෙසේ වෙතත් ජාවාරම්කරුවන් තමන්ගේ ජාවාරම් කිසිදු බාධාවක් රහිතව කරගෙන යෑම සඳහා මැරයන් සහ ත්‍රාඩයන් යොදා ගන්නා ලදී. ඇල්ෆ්‍රඩ් සොයිසාගේ ජීවිතයේ තවත් වැදගත් කඩඉමක් පසු කරන්නේ මේ අවදියේදීය. ඔහුගෙන් බෙහෙත් ගැනීමට පැමිණ බොහෝ දෙනා ත්‍රාඩයන් සහ මැරයන් වූ අතර, ඔවුන් වැඩි දෙනෙක් පැමිණියේ තුවාලවලට බෙහෙත් දමා ගැනීමටය.

මේ නිසා ත්‍රාඩයන් සහ මැරයන් හඳුනා ගැනීමේ අවස්ථාව ඇල්ෆ්‍රඩ් සොයිසාට ලැබුණු අතර, ඔහුගේ ව්‍යාපාර ජාවාරම් බවට පත් වන්නේ මේ වකවානුවේය. ඇල්ෆ්‍රඩ් සොයිසා සිය අපරාධ දාමය ආරම්භ කරන්නේ 1966 වසරේදීය. හැටේ දශකයේ මැද භාගය වන විට ඔහු තමන්ගේ නීති විරෝධී ජාවාරම්වල කටයුතු කිරීම සඳහා සේවකයන් බඳවා ගැනීම ආරම්භ කළ අතර, එම සේවකයන් දෙකොට්ඨාසයක් විය. එක් කොට්ඨාසයක් වූයේ සාමාන්‍ය සේවකයන්ය. අනෙක් කොට්ඨාසය වූයේ ත්‍රාඩයන් සහ මැරයන්ය. කළු ඇල්බට් සහ විලි එසේ බඳවා ගත් අපරාධකරුවන් දෙදෙනකි. ඇල්ෆ්‍රඩ් සොයිසාට කැලැත්තෑවේ විශාල වත්තක් තිබුණු අතර, එම වත්තේ වැඩ සඳහා ද සාමාන්‍ය සේවකයන් බඳවා ගත්තේය.

ඇල්ෆ්‍රඩ් සොයිසා ඉතා ඉක්මනින් කේන්ති යන හිතුවක්කාර පුද්ගලයකු විය. ඔහුට එරෙහිව කටයුතු කරන ඕනෑම පුද්ගලයකු රහසිගතව කැලැත්තෑවේ වත්තේ මිහිදන් වූ අතර, එසේ මිහිදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු බාහිර සමාජයට හෙළිදරව් වූයේ ද නැත. තමන්ට එරෙහිව කටයුතු කරන සේවකයන් සහ අනිත් පුද්ගලයන් ඝාතනය කිරීමේ වගකීම භාර දී තිබුණේ කළු ඇල්බට්ට සහ විලීටය. මේ දෙදෙනා ඇල්ෆ්‍රඩ් සොයිසාගේ හොර අරක්කු ජාවාරම් පිළිබඳ මෙන්ම වෙනත් ජාවාරම් සහ අපරාධ පිළිබඳ හොඳින් දැන සිටියහ. එක් අවස්ථාවකදී යාපනයේ ව්‍යාපාරිකයකු ඝාතනය කර ඔහුගේ ඔස්ටින් කේම්බ්‍රිජ් කාරය කැලැත්තෑවේ වත්තේ වළ දැමීමේ වගකීම භාර දී තිබුණේ ද කළු ඇල්බට්ට සහ විලීටය. එම ව්‍යාපාරිකයා කලක් ඇල්ෆ්‍රඩ් සොයිසාගේ මිතුරකු වූ අතර, ඔහුත් ආණ්ඩුවේ ඉදිකිරීම් කොන්ත්‍රාත් වැඩ කීපයක් භාර ගෙන තිබුණි. අනුරාධපුර නගරයේ සිට කොන්ත්‍රාත් වැඩ නොකරන ලෙසත් පිට පළාතකට ගොස් කොන්ත්‍රාත් කරන ලෙසත් ඇල්ෆ්‍රඩ් සොයිසා කීප වතාවක් එම ව්‍යාපාරිකයාට පැවසුවත් ඔහු එය නොසලකා කටයුතු කිරීම නිසා ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදු විය.

කැලැත්තෑවේ වත්තේ සේවය සඳහා බඳවා ගන්නා සේවකයන්ට ඇල්ෆ්‍රඩ් සොයිසා විසින් කොන්දේසි කීපයක් පනවා තිබුණි. සේවයට බඳවා ගැනීමෙන් පසුව කවර හේතුවක් නිසාවත් එම සේවකයාට ගමේ යෑම තහනම් විය. තවද කිසිදු පුද්ගලයකුට කැලැත්තෑවේ වත්තට ලෙහෙසියෙන් ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි විය. කෙසේ වෙතත් තම සමීපතම සහ විශ්වාසවන්ත සේවකයන් දෙදෙනා ලෙස සැලකුවේ කළු ඇල්බට් සහ විලී ය.

කාලය මෙසේ ගෙවී යද්දී ඇල්ෆ්‍රඩ් සොයිසා තම වත්තේ කටයුතු සඳහා තවත් සේවකයන් දෙදෙනකු බඳවා ගත්තේය. එයින් එක් සේවකයකු වූයේ පෙරේරාය. තලංගම පදිංචිකරුවකු වූ ඔහු විවාහ වී සිටියේ සොපි නෝනා නමැති කාන්තාවක සමඟය. ඔහුට දරුවන් දහ දෙනකු සිටි අතර, දැඩි ආර්ථික අපහසුතාවලින් මිරිකී සිටි නිසා ඇල්ෆ්‍රඩ් සොයිසාගේ කොන්දේසි පිළිගෙන රැකියාව භාර ගත්තේය. අනිත් සේවකයා වූයේ සන්ද්‍රසාගර ය. ඔහු දීර්ඝ කාලයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියකු ලෙස සේවය කර තිබුණි. එහෙත් ඔහු සිදු කළ අක්‍රමිකතාවක් නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර තිබුණි. සන්ද්‍රසාගර බිරියගෙන් දික්කසාදව සිටි පුද්ගලයකු විය. කොන්දේසි සහිතව සේවය ආරම්භ කළත් ඇල්ෆ්‍රඩ් සොයිසාගේ අසාධාරණකම් හමුවේ ඔවුන් දෙදෙනා මුනිවත රැක්කේ නැත. වැටුප් සහ වෙනත් සේවක ප්‍රශ්න පිළිබඳ පෙරේරා සහ සන්ද්‍රසාගර නිතරම ඇල්ෆ්‍රඩ් සොයිසා සමඟ ගැටුම් ඇති කරගත්තේය. තමන්ට ගෙවන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව ප්‍රකාශ කළ ඔවුන් කියා සිටියේ වැටුප් වහාම වැඩි කළ යුතු බවයි. එහෙත් වැටුප් වැඩි කිරීම කළ නොහැකි බව ඇල්ෆ්‍රඩ් සොයිසා තරයේ ඔවුන්ට ප්‍රකාශ කළේය. එහෙත් පෙරේරා සහ සන්ද්‍රසාගර ද සටන අතහැරියේ නැත. අවසානයේදී ඔවුන් දෙදෙනාගේ ජීවිතය පිළිබඳ තීන්දුව ගත්තේ කළු ඇල්බට් සහ විලීය. ඇල්ෆ්‍රඩ් සොයිසාට එරෙහිව කටයුතු කළ පුරෝගාමී සේවකයන් මෙන්ම පෙරේරා සහ සන්ද්‍රසාගර ද කැලැත්තෑවේ වත්තේදී අවසන් ගමන් ගියහ.

මේ අතර ඇල්ෆ්‍රඩ් සොයිසාගේ හොර ජාවාරම් පිළිබඳ පොලිසියට පැමිණිලි ගණනාවක් ලැබුණි. කැලැත්තෑවේ වත්තේ සේවය කළ බොහෝ දෙනකු අතුරුදන්වීම පිළිබඳ ද පැමිණිලි රාශියක් ඒ අතර විය. කෙසේ වෙතත් ඇල්ෆ්‍රඩ් සොයිසාට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් පොලිසිය වෙත චෝදනා එල්ල විය. ඒ අනුව පොලිස් විමර්ශනවල දුර්වලතා ඇති බව රජයට පෙනී ගිය නිසා ඇල්ෆ්‍රඩ් සොයිසා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසියට භාර දෙන ලදී .

කෙසේ වෙතත් ඇල්ෆ්‍රඩ් සොයිසා අත් අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පොලිසියට සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව ඇල්ෆ්‍රඩ් සොයිසා සාක්ෂි සහිතව අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ඉතා සූක්ෂ්ම සැලැස්මක් පිළියෙල කළේය. එම සැලැස්මේ පළමු අදියර වූයේ පොලිස් නිලධාරියකු විරුදු කරුවකු ලෙස වෙස් ගන්වා අනුරාධපුර නගරයට යැවීමයි. ඔහු අනුරාධපුර විවිධ ස්ථානවල විරිදු කියමින් සැරිසැරුවේය. එහිදී මෙම පොලිස් නිලධාරියාට විවිධ පුද්ගලයන් හමු විය. ඔහුගේ අවසන් අරමුණ වූයේ ඇල්ෆ්‍රඩ් සොයිසාගේ ගෝලයන් අතරට යෑමය. ඇල්ෆ්‍රඩ් සොයිසාගේ ගෝලයන් ද අනුරාධපුර නගරයේ නිතර නිතර කරක් ගැසුවේ

ඔත්තු බැලීමටය. තම ස්වාමියා වූ ඇල්ෆ්‍රඩ් සොයිසාට එරෙහිව කිසියම් බලවේග පවතින්නේ ද යන්න නිතරම මොවුහු සොයා බැලුහ.

එක් දිනක අනුරාධපුර නගරයේ ස්ථායකදී ඇල්ෆ්‍රඩ් සොයිසාගේ ගෝලයකුට වෙස් වලා ගෙන සිටි පොලිස් නිලධාරියා හමු විය. ඔහු විරිදු කියන අන්දම බලා සිටි ඇල්ෆ්‍රඩ් ගෝලයා ඔහුට කියා සිටියේ තැන තැන විරිදු කියමින් මහන්සි වීමට අවශ්‍ය නැති බවත් අවශ්‍ය නම් රැකියාවක් සොයා දිය හැකි බවත් ඔහු විරිදු කරුවාට ප්‍රකාශ කළේය. එහෙත් තමගේ හාම්පුතා ඇල්ෆ්‍රඩ් සොයිසා බව ඔහු ඇඟවූයේ නැත. ඇල්ෆ්‍රඩ් සොයිසාගේ ගෝලයාගේ යෝජනාවට වෙස් වලා ගෙන සිටි පොලිස් නිලධාරීයා එකඟ විය. ඒ ඔහු මඟින් ඇල්ෆ්‍රඩ් සොයිසා පිළිබඳ රහස් තොරතුරු ලබා ගත හැකි යන විශ්වාසයෙනි. ඇල්ෆ්‍රඩ්ගේ ගෝලයා වෙස් වලා ගෙන සිටි පොලිස් නිලධාරියා කැලැත්තෑවේ වත්තට කැඳවාගෙන ගිය අතර, ඇල්ෆ්‍රඩ් සොයිසාට ඔහු පිළිබඳ කිසිදු සැකයක් ඇති වූයේ නැත. ඇල්ෆ්‍රඩ් සොයිසා ඔහුට වත්ත බලා ගැනීමට සහ සේවකයන් සඳහා කෑම සකස් කිරීම පැවරුවේය. ඇල්ෆ්‍රඩ් සොයිසා කැලැත්තෑවේ වත්තේ මහා පරිමාණ ගංජා වගාවක් පවත්වාගෙන ගියේය. බොහෝ දිනවල ඔහු කළු ඇල්බට් සහ විලී සමඟ රාත්‍රියේ වත්තේ නිදා ගත් අතර, වරින්වර අවදි වී වත්ත පිළිබඳ සෝදිසියෙන් සිටියේය.

මේ අතර වෙස් වලා ගෙන සිටි පොලිස් නිලධාරියා ඉහළ උපදෙස් පරිදි තම සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමට කල් බලමින් සිටියේය. එක් දිනක් සුපුරුදු පරිදි රාත්‍රී ආහාර සූදානම් කිරීම ආරම්භ කළ ඔහු වෑංජන කීපයකට ගංජා මිශ්‍ර කළේය. මෙම ආහාර ගත් ඇල්ෆ්‍රඩ් සොයිසා, කළු ඇල්බට් සහ විලී තද නින්දට වැටුණහ. පොලිස් නිලධාරියාගේ සංඥාව පරිදි පොලිස් කණ්ඩායමක් වත්තට ඇතුළු වූ අතර, මුළු වත්තම පීරා බැලුහ. වත්තේ සිටි ඇල්ෆ්‍රඩ් සොයිසා, කළු ඇල්බට්, විලී ඇතුළු සියලුම පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට පත් වූහ. සියලු දෙනා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඇල්ෆ්‍රඩ් සොයිසාගේ ජාවාරම් රාශියක් පිළිබඳ තොරතුරු සහ මනුෂ්‍ය ඝාතන රැසක් පිළි තොරතුරු පොලිසියට අනාවරණය කර ගැනීමට හැකි විය. කෙසේ වෙතත් ඝාතනය කළ කිසිවකුගේ මළසිරුරු සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. එහෙත් වළ දමා තිබුණු ඔස්ටින් ක්‍රෙම්බිජ් කාරය සොයා ගත හැකි විය..

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඇල්ෆ්‍රඩ් සොයිසා ගේ මූලිකත්වයෙන් සිදු කළ අපරාධ රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය. ඒ අනුව සංවිධානාත්මක ලෙස පුද්ගලයන් ඝාතනය කිරීම, නීති විරෝධී ජාවාරම්වල නිරත වීම ආදි චෝදනා ගණනාවක් නීතිපතිවරයා විසින් ඇල්ෆ්‍රඩ් සොයිසා, කළු ඇල්බට් සහ විලීට එරෙහිව කොළඹ මහාධිකරණයේදී ගොනු කරන ලදී. ඉංග්‍රීසි කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කළ අතර, ජූරියේ තීන්දුව වුයේ චෝදනාවලට විත්තිකරුවන් තිදෙනාම වරදකරුවන් බවයි. ඒ අනුව ඇල්ෆ්‍රඩ් සොයිසාට සහ කළු ඇල්බට්ට මහාධිකරණය 1971 වසරේදී මරණීය දණ්ඩනය නියම කළ අතර, විලීට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී. විත්තිකරුවන් තිදෙනාම රඳවා ගෙන සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. තමන් කළ අපරාධවලට විපාක ලැබීමට පෙර ඇල්ෆ්‍රඩ් සොයිසා සිය දේපොළවලින් කොටසක් විකුණා දැමු අතර, කොටසක් තම පවුලේ සාමාජිකයන් ට පැවරුවේය. අනුරාධපුරය සොලවමින් සිටි මහා බල පරාක්‍රමයක් පෙන්වු ඇල්ෆ්‍රඩ් සොයිසා කල්ලියේ අපරාධ එතනින් නිමාවට පත් විය.

එවකට වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ කටි ජෑන්ස් මහතා ප්‍රකාශ කළේ එල්ලා මැරීමට පෙර ඇල්ෆ්‍රඩ් සොයිසා වෙනුවෙන් ආගමික මෙහෙය පැවැත් වූයේ ක්ලෝඩ් ලෝරන්ස් පියතුමා බවයි. එහිදී ක්ලෝඩ් ලෝරන්ස් පියතුමා ඇල්ෆ්‍රඩ් සොයිසා අමතා මෙසේ ප්‍රකාශ කර ඇත.

" ඇල්ෆ්‍රඩ්, ඔබ එන තෙක් සූරදූතිකාවන් එහි බලා සිටියි. බිය නොවන්න"

Comments