මේ වසර අග වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා | සිළුමිණ

මේ වසර අග වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා

ඉදිරියට ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස සැලකිය නොහැකි බව ජනාධිපතිවරයා පැවැසුවා. ඇත්තෙන්ම අපි බංකොලොත් වුණේ ඇයි?

කාලයක් මුළුල්ලේ අපේ ගෙවුම් ශේෂයේ අඩුවක් තිබුණා. ඒ එක්කම අපි දිගින් දිගටම ණය ගත්තා. ණය අරගෙන යටිතල පහසුකම් සංවර්ධනය කළා මිස විනිමය උපයන දේ කිසිවක් කළේ නැහැ. මේ තත්ත්වය නිසා අපිට ගෙවීමට ඇති ණය ප්‍රමාණය දිගින් දිගටම වැඩිවීමක් සිදුවුණා. ඒ අතරේ සහරාන්ගේ පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කඩා වැටුණා. මේ අතර කොවිඩ් අභියෝගය පැමිණියා. පසුගිය කාලයේ දේශපාලන වශයෙන් අසමත් තීන්දු තීරණ ගත්තා. හිටි ගමන් බදු අඩු කිරීම, පොහොර භාවිතයේ සිදු කළ වෙනස්කම් නිසා ආර්ථික වශයෙන් විශාල අර්බුද මතු වුණා. අපේ ආදායම දිනෙන් දින අඩුවුණා. අපි පසුගිය කාලයේ ණය ගෙවා ගෙන ආවේ තවත් ණය ලබා ගනිමින්. මේ තත්ත්වය මත අවසානයේ ලොව ණය ශ්‍රේණිගත කිරීමේදී අපේ රට අමාරු තැනකට පත්ව සිටින හෙයින් තවත් ණය දෙන්න එපා කියලා ඔවුන් කියන තැනට අපි පත්වුණා. මේ වන විට අපේ ළඟ ඩොලර් තිබුණේ නැහැ. අත්‍යවශ්‍ය බඩු විශාල ප්‍රමාණයක් ගෙන්වූයේ විදේශයෙන්. පසුව ඒවාත් ගෙන්වා ගන්න බැරි වුණා. සැතපුම් ගණනින් පෝලිම් ඇති වුණා. අරගල ඇති වුණා. අවසානයේ අපි හිර වුණා. මේ අවස්ථාවේ අපිට යන්න තිබුණ එකම තැන IMF පමණයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙයට පෙර 16 වතාවක් ඇති කරගත් එකඟතා කැඩුණා. ඉදිරියේදි ඒ කටයුතු හරියාකාරව සිදුවන්නේ කෙසේද?

අපි පසුගිය 16 වතාවෙම ඔවුන් කියූ දේවල් කළේ නැහැ. අපි රටේ අවශ්‍යතාවන්ට අවධානය යොමු කරනවාට වඩා කළේ ජනප්‍රිය තීන්දු පිටුපස යෑමයි. සාමාන්‍යයෙන් IMF එක්ක දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියකට එකඟ විය යුතුයි. පසුගිය කාලයේ පළමු, දෙවැනි වාරික ගෙන අපේ මූලික ප්‍රශ්න විසඳෙද්දි අපේ අය ඡන්ද මුල් කරගෙන ජනප්‍රිය තීන්දුවලට ගියා. රටේ දීර්ඝකාලීන ගමනකට නොගැළපෙන ජනප්‍රිය තීන්දු ගත්තා. අපිට පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත්, කාලයක් යද්දි එසේ නොකරම යළිත් පරණ තැනටම ගියා. මේ නිසා නොදැනීම IMF එකඟතා කැඩුවා. අපි 16 වතාවම IMF ගියේ බංකොලොත් රටක් බවට පත්වීමට පෙරයි. නමුත් මේ වතාවේ බංකොලොත් රාජ්‍යක් ලෙසයි ඔවුන් හමුවට යන්නට සිදුවුණේ. මෙවර විශාල වගකිීමක් අපිට පැවැරී තියෙනවා. වෙනදට වැඩිය ඔවුන් අපේ දිහා අවධානයෙන් බලනවා. මේ පාර ඔවුන්ගේ කොන්දේසි අනිවාර්යයෙන්ම දින වකවානුවලට ඉටු කළ යුතු වෙනවා. ඒ සියල්ලම සිදුවන්නේ අපේ හොඳටයි.

මේ ගමන් මගේ හමු වූ දුෂ්කරතා, එල්ල වූ චෝදනා අනන්තයි. ඒ පිළිබඳව සඳහන් කළොත්?

අපේ රටේ විපක්ෂය තවමත් සාම්ප්‍රදායිකයි. අපි වැටී ඇති ගැඹුරු වළ ගැන ඔවුන් සිතන්නේ නැහැ. එහෙම අයත් එක්කයි අපිට ගනුදෙනු කිරීමට සිදුව ඇත්තේ. ඒ අයගේ වගකිව යුතු නායකයෝ කිව්වා, අපි ආවොත් IMF ගෙවන්නේ නැහැ කියලා. තමන් ආවොත් ලිහිල් කොන්දේසි ලබා දෙන බව කිව්වා. බදු නොගහ කොහෙන්ද ආදායම් සොයන්නේ. මුදල් අච්චු ගහන්නත් බැරි නම්, ණය දෙන්නත් නැතිනම් අමතර මුදල් කො‍ෙහ‍න්ද හොයා ගන්නේ. මේ වගේ සරල දේවල්, ජනප්‍රිය තීන්දු තීරණ ජනතාව අතරට යවන විපක්ෂයකුයි අපිට තියෙන්නේ. ජනාධිපතිතුමා මේ අයට අදත් ආරාධනා කළා, වගකීම් ගන්න එන්න කියලා. වර්තමාන නායකත්වය හොඳ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළා. එසේ ඉදිරිපත් නොකළා නම් ආහාර අහේනියෙන් මැරෙන ජනතාවක් අපිට දකින්නට ලැබේවි.

එ් වගේම අපිට IMF යන්න තිබුණේ මීට බොහෝ කාලයකට පෙරයි. 16 වතාවක් IMF ගිය අපි 17 වැනි වතාවේ ගියේ බංකොලොත් වූ රටක් වශයෙනුයි. අපි බංකොලොත් නැහැ කියලා කියවා ගත හැකි ලොව එකම සුවිශේෂි බලවතා තමයි, මේ ප්‍රධාන මුල්‍ය උපදේශකයා. මේ නිසා ඉතා දීර්ඝ සාකච්ඡාවලට යා යුතු වුණා. ණය වූ රටවල් සමඟ සාකච්ඡා කිරීමේ වගකීම අපිට පැවැරුණා. ලොවට තාවකාලිකව අපි ණය ගෙවන්නේ නැහැ කියලා කිව්වට පස්සේ ණය දෙන මූල්‍ය ආයතනය අපිට කිව්වේ ණය දෙන්නම්; ඒත් ඊට පෙර කලින් ණය හිමියන් සමඟ එකඟතාවකට එන්න; ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා... එය විශාල අභියෝගයක් වුණා. ඒ සියල්ල කරන අතරේ මෙහෙ මිනිස්සු පෙළපාළි යනවා. කෙසේ වෙතත් අපි හිටපු තැන බලනකොට ඉතාම කෙටි කාලයකින් IMF ණය මුදල ලැබුණා.

IMF විස්තීරණ ණය මුදල ලැබෙන ආකාරය ගැන සඳහන් කළොත්?

පළමු වාරිකය වන ඩොලර් මිලියන 330 ලැබුණා. දෙවැනි වාරිකය ගන්නට පෙරාතුව අපිට කරන්නට වැඩ රාශියක් තියෙනවා. නමුත් මේ වන විට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් මුදලක් ලැබෙනවා. ඊට හේතුපාදක වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. මේ නිසා අපි ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගත්තා. රාජ්‍ය සේවයට අනවශ්‍ය ආකාරයෙන් බඳවා ගැනීමට නොහැකි වෙනවා. අනවශ්‍ය වියදම් කළමනාකරණය කිරීමට සිදු වෙනවා. පාඩු ලබන ආයතන තබා ගැනීමට බැහැ. පසුගිය කාලයේ ලොව බදු ආදායම අඩුම රට බවට අපේ රට පත්වුණා. දළ දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව පසුගිය වසරේ අපේ බදු ආදායම 8.3%ක්. වියදම ඊට සාපේක්ෂව 19.9%ක්. මේ මුදල් කොහොන්ද සොයා ගත යුත්තේ. දැන් අපිට කලින් කළ සෙල්ලම් කරන්න බැහැ. අපිට ගැළපෙන ආදායමක් සොයා ගත යුතු වෙනවා.

ලංකාව සමඟ ඇති කරගත් විස්තීර්ණ ණය පහසුකම් වලින් ලැබෙන මුදල වියදම් කෙරෙන ආකාරය ගැන බොහෝ දෙනා විවිධ දේ පවසනවා?

මහ බැංකුවේ ඩොලර් ගිණුමටයි මෙය ලැබෙන්නේ. මුල් වාරිකය පහුවදාම ලැබුණා. කලින් මේ මුදල මහා භාණ්ඩාගාරයට ගන්න බැහැ. එය මහා බැංකුවේ තබා ගෙන ණය ගෙවීම් හෝ අඩු වැඩි වූ ශේෂය පියවා ගැනීමට තමයි යොදා ගත්තේ. නමුත් මෙවර ඔවුන් අපිට විශේෂ අවස්ථාවක් දුන්නා එය අය වැය ශක්තිමත් කිරීමට යොදා ගැනීමට. ඔවුන් පසුගිය 16 වතාවෙම අය වැය ශක්තිමත් කිරීමට දුන්නේ නැහැ. මේ වතාවේ මේ මුදල මහා භාණ්ඩාගාරයේ ගිණුමට අරගන්න දුන්නා. ඔවුන් අපේ ශක්තිමත් වැඩපිළිවෙළ කළමනාකාරිත්වය තේරුම් ගත්තා. පසුගිය කාලයේ තෙල් ගෑස් පෝලිම් නැති කළ ආකාරය ඔවුන් විශේෂ අවධානයකට යොමු කළා. අපි වියදම් සාර්ථකව කළමනාකරණය කළා. තෙල්, ගෑස්, ඖෂධ, රාජ්‍ය සේවක වැටුප් සාර්ථකව කළමනාකරණය කර ගන්න හැකි වුණා. ඒ නිසයි මේ මුදල් භාවිතය සඳහා ගැනීමට අවසර ලබා දුන්නේ. නමුත් ඔවුන් නිති සුපරික්ෂාවක් සිදු කරනවා.

මේ ණය මුදල භාවිතයට අවසර ලබා දුන් බව ඔබ කියනවා. එය තවත් පැහැදිලි කළොත්? 

මේ මාස තුනේ අපේ ආදායමට වඩා වියදම තුන් ගුණයකින් වැඩියි. අපි අත්‍යවශ්‍ය දේ කරගන්න බැරිව හිර වුණා. මෙය ණය පොලී ගෙවීම්, ණය ගෙවීම් සඳහා යොදා ගැනීමට අවසර තියෙනවා. අපේ පෙළ ගැස්මේ ඉහළින්ම ඇත්තේ ඖෂධ, රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා ඇතුළු අත්‍යවශ්‍ය දේට මේ මුදල් යොදවා ගැනීමේ හැකියාව පවතිනවා.

IMF ණය හරහා ජනතාවට දැනෙන වාසි අත්වන්නේ කවදාද?

අපිට ලොකුම ප්‍රශ්නය බඩු මිල වැඩිවීම. මේ අතරේ වියදම් පියවා ගැනීමට රජය මුදල් මුද්‍රණය කළා. මේ නිසා ආහාර උද්ධමනය ඉහළ ගියා. ඩොලර් සංචිත නැති වුණා. ඩොලරයේ මිල ඉහළ ගියා. රුපියලේ අගය අඩුවීම හරහා අධි උද්ධමනයකට හේතු වුණා. මේ IMF මුදල ඉදිරියේදී අපේ ඩොලර් සංචිත වැඩි වීමට හේතු වෙනවා. එවිට අපේ ඩොලර් සංචිත වැඩි වීම හරහා රුපියලේ අගය වැඩි වෙනවා. අනතුරුව භාණ්ඩ මිල අඩු වෙනවා. එය හෙට එළිවෙන විට සිදුවන්නක් නෙමෙයි. සාධාරණ කාලයක් තුළ යථා තත්ත්වයට පත්වෙනවා. රටේ සෑම කෙනකුටම මේ හරහා වාසියක් සැලසෙනවා.

2023 මැද භාගය වන විට උද්ධමනය තනි අගයක් දක්වා ගෙන ඒමට උත්සාහ කරන බව ජනාධිපතිවරයා පැවැසුවා. බඩු මිල අඩුවීමේ සුබ ලකුණු ළඟදීම දැකිය හැකි වෙයිද?

අපේ බලාපොරොත්තුවේ මේ වසර අග වන විට උද්දමනය තනි ඉලක්කමකට ගෙන ඒමයි. ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වෙනවා.

ඉදිරියේදි ඉන්ධන මිල තීරණය කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අධිකාරියෙන් ඉවත් කිරීමටත්, 2018 මිල සුත්‍රයට අනුව ක්‍රියා කිරීමටත් කටයුතු කරන බව පවසනවා. ජනතාවට මින් සහන සැලසෙන්නේ කෙසේද?

ඉදිරියේදී විදුලි බිල මිල මාස 6න් 6ට ගළපනවා. දැන් ගළපලා තියෙන්නේ වියදම සමානයි ආදායම ලෙස. විදුලියේ විශාල වියදමක් යන්නේ ගල් අඟුරුවලට හා තෙල් වලට. මේ දෙකටම යන්නේ ඩොලර්නේ. නමුත් ඩොලරයේ අගය 360 සිට බැස්සවීමට හැකි නම් අනිවාර්යයෙන්ම ගළපන ඉදිරි මාස 6 දී විදුලි මිල අඩු විය යුතුයි. ඩොලරයේ අගය අඩුවී රුපියල වඩාත් ශක්තිමක් වෙනවා නම් ඉදිරියේදී තෙල් මිල අඩු කළ හැකියි. 2018 මිල සූත්‍රය අනුගමනය කරනවා. කිසිවකුටත් හොර බොරු කළ නොහැකියි.

බැංකු ණය පොලී අනුපාත, බදු මුදල් ක්‍රමක්‍රමයෙන් අඩු වීමේ ලකුණු පෙන්නුම් කරයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා?

අපිට බදු මුදල් ඉහළ දාන්න සිදු වු‍ණේ ආර්ථිකය හැකිළුණු නිසයි. ඩොලරය ශක්තිමත් වුණාම අපි විදේශයන්ගෙන් බඩු ගෙන්වීම සම්බන්ධව දමා ඇති තහංචි එකින් එක අඩු කරනවා. ඒ අනුපාතය තුළම ආදායම් ලැබීම වැඩිකර ගන්නවා. එමනිසා ආර්ථිකය නියමාකාරයෙන් ප්‍රසාරණය වීමට පටන් ගත් පසු අපිට ක්‍රමක්‍රමයෙන් බදු, බැංකු පොලී අඩු කළ හැකි වෙනවා.

විපක්ෂය පවසනවා IMF තවත් ණය පමණක් බව. නමුත් මේ මුදල් ලැබීම හරහා අපේ රටට අත්වන ඉදිරි වාසි ගැන සඳහන් කළොත්?

මෙය හුදෙක් ණයක් පමණක් නෙමෙයි. අපි කෙරෙහි ලොව තුළ යළිත් විශ්්වාසය ගොඩ නැඟීම මේ ලැබුණු මුදලට වඩා වටිනවා. දැන් නැවත ණයක් ගැනීම, ණයවර ලිපියක් ලබා ගත හැකිවීම, ව්‍යාපාර­ිකයන් සමඟ ගනුදෙනු කළ හැකිවීම ඇතුළු වාසි බොහෝයි. කවුරු හරි කියනවා නම් මෙය තවත් ණයක් පමණයි කියලා, ඔහු ඉතාම ද්වේශයෙන් කටයුතු කරන්නෙක්. එහෙම නැතිනම් මෙලෝ දෙයක් නොදන්නා අයෙක්.

විදේශ විනිමය තත්ත්වය දියුණු වෙන්න අද ආනයන සීමා, විනිමය සීමා ක්‍රමානුකූලව ඉවත් කරන්න යන බව පවසනවා. පළමු වටේට වැටෙන්නේ මොනවාද?

තවමත් බඩු 600කට ආසන්න ප්‍රමාණයක් නවත්වා තියෙනවා. ඒ අතරම මේවා ගෙන්වීම සම්බන්ධව හැකි සෑම විටම අපි නම්‍යශීලි වුණා. නමුත් අපිට නිෂ්පාදනය කළ හැකි දේවල් හැර අනෙක් ඒවායේ සීමා ටිකෙන් ටික ලිහිල් කරමින් යනවා.

දූෂණය නාස්තිය පිටු දැකිම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සඳහන් කළොත්. අධිකරණ ඇමැතිවරයා ද ඒ සම්බන්ධ පනතක් ගෙන ඒමේ සූදානමක් පවතිනවා?

IMF එකඟතාවල 5 වැනි වගන්තියේ පැහැදිලිව තියෙන්නේ දූෂණය හා නාස්තිය වළක්වා ගැනීමට ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවයි. ඒ සඳහා නුදුරේදීම පනතක් ගෙන එනවා. අපිට නීත්‍යනුකූලව අහිමි වූ සොයා ගත හැකි දේපළක් වෙතොත් සොයා ගැනීම, වත්කම් අනාවරණය ආදිය මේ හරහා ගෙන එනවා. මේ බැඳීම තුළ ඒ සියල්ලම පවතිනවා. එය ජනතාව බලාපොරොත්තු වන්නක්.

රජය මුදල් අච්චු ගැසීමෙන් ඉවත් බව කියනවා. එසේ නම් ඉදිරියේදී ණය ගැනීමකින් තොරව ආදායම් උපදවා ගන්නේ කෙසේද?

මුදල් අච්චු නොගසා ඉදිරියේදී අපේ රාජ්‍ය ආදායම වැඩි කර ගත යුතු වෙනවා. කලින් මහා භාණ්ඩාගාරයට හැකියාව තිබුණා, අපේ අවශ්‍යතාව දැනුම් දුන් පසු භාණ්ඩාගාර බැඳුම්කර ලෙස ණය ලබා දීමට. නමුත් දැන් අපිට මුදල් අච්චු ගහන්න බැහැ. මේ වසරේ අපේ අවශ්‍යතාවට වැඩියෙන් මුදල් අච්චු ගැහුවා. ඒ නිසා අපිට යම් දෙයක් පියවා ගැනීමට හැකිවන්නේ යමකුගෙන් ණයට ගැනීමෙන් පමණයි. එසේත් නැතිනම් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමෙන්. ඉදිරියේදි මහ බැංකු පනත සම්මත වීමෙන් අනතුරුව මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වාඩි වෙන්නේ නැහැ. එය ස්වාධීනයි. ජනතාව සිස්ටම් වේන්ජ් එකක් ලෙස බලාපොරොත්තු වූ සියල්ලම මේ තුළ තියෙනවා.

IMF ප්‍රධානීහු කියනවා මැතිවරණය කල් දැමීමක් ගැන ඔවුන් නොපැවසූ බව?

ඒ අය මැතිවරණ කල් දාන්න කියන්නෙත් නැහැ; මැතිවරණය ඕන කියන්නෙත් නැහැ. ඒක ඒ අයට අදාළ නැහැ. අපි කල්පනා කළ යුතු වන්නේ මැතිවරණයක් අවශ්‍ය තැනක ද අපේ රට තියෙන්නේ කියලා. අපිට යෝජනා කරන්න පුළුවන්ද IMF දුන් මුදල්වලින් මැතිවරණය තියන්න කියලා. එහෙම කීම සාධාරණ නැහැ. මැතිවරණයක් තියන්න පෙර විසඳා ගත යුතු ප්‍රශ්න කොතරම් ලංකාවේ තියෙනවද?

ඡායාරූප - රුක්මාල් ගමගේ

Comments