දෙමළ පුවත්පත් කලාවේ අභිමානය තිනකරන් 91 වැනි වසරට පා තබයි | සිළුමිණ

දෙමළ පුවත්පත් කලාවේ අභිමානය තිනකරන් 91 වැනි වසරට පා තබයි

ලේක්හවුස් ආයතනයේ සහෝදර පුවත්පත් අතරින් තවත් එක් සුවිශේෂී පුවත්පතක් වන තිනකරන් පුවත්පතේ 91 වන ජන්මදිනය ඉකුත් 15 වැනිදාට යෙදී තිබිණ. එය ලංකාවේ පළ වූ පැරණිතම දමිළ පුවත් පත් අතරින් එකකි. 1932 මාර්තු මස 15 වැනිදා ආරම්භ කළ ‘තිනකරන් පුවත්පත මේ මෙහොත දක්වා ම සක්‍රියව පවතින ඓතිහාසික වැදගත් කමකින් යුතු වූ පුවත්පතකි. එහි ඓතිහාසික වැදගත්කම විමසා බැලීමේදී 19 වැනි සියවස මුල භාගයේ ආරම්භ වූ දමිළ පුවත්්‍පත් අතරින් දෙවැනි තැනට පත්වන්නේ තිනකරන් පුවත්පතය. 

ඉන්දීය නිදහස් සටන අනුව යමින් ශ්‍රී ලාංකික ජන ප්‍රජාව ගේ නිදහස් සටන කුළු ගැන්වෙමින් පැවති මොහොතක දමිළ බස කතා කරන ජනතාව වෙනුවෙන් ඔවුන් ආමන්ත්‍රණය කළ හැකි මුද්‍රිත ප්‍රකාශනයක අඩුව තදින් දැනෙමින් තිබිණි. එය අවබෝධ කරගත් ඩී. ආර් විජේවර්ධනයන් එවැනි මුද්‍රිත ප්‍රකාශනයක් මඟින් ජාතීන් අතර සංහිඳියාවක් සහෝදරත්වයක් ඇති කර ජාතික සටන බලගැන්විය හැකි බව කල්පනා කළේය. එසේම එමඟින් ජාතීන් අතර අන්‍යෝනය අවබෝධය ගොඩනැඟීමෙන් ජාතික සමගිය ද ශක්තිමත් වන බව හේ දුටුවේය. ඒ අනුව නව දමිළ පුවත්පතේ නාමය ලෙස ඒවනවිටත් ලේක්හවුස් ආයතනයේ දෛනිකව පළවන සිංහල පුවත්පත වූ ‘දිනමිණ’ පුවත්පතේ නමේ අර්ථයෙන්ම ‘තිනකරන්’ යනුවෙන් නම් කළේය. නව පුවත්පතට සුදුසු පුද්ගලයකු සෙවූ හෙතෙම ඒ සඳහා තෝරාගත්තේ මාධ්‍යවේදියකු මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයකු වශයෙන් ප්‍රකටව සිටි කේ. නඩේස අයියර්ය. දකුණු ඉන්දියානුවකු වූ හෙතෙම ඒ වනවිටත් ලංකාවේ ඉන්දියාවේ පුවත්පත් කලාවේදියකු ලෙස ප්‍රකටව සිටියේය. ඔහු වසරක පමණ කාලයක් තිනකරන් හි කර්තෘත්වය දැරු අතර ඔහුගෙන් පසුව තවත් දකුණු ඉන්දීය සම්භවයක් සහිත කර්තෘවරුන් දෙදෙනකු මෙහි කර්තෘත්වය දැරුවේය.

ඒවනවිට මෙහි පළ වූ බොහෝමයක් පුවත් දකුණු ඉන්දීය ඒවා වූ අතර උතුරේ ඇතැම් සිදුවීම් පමණක් වාර්තා විය. මෙනිසා ස්වදේශික කර්තෘවරයකුගේ අඩුව තදින් දැනෙමින් තිබිණි.

ඒ අනුව ප්‍රථම ස්වදේශික කර්තෘවරයා බවට පත්වන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය කේ. කෛලාසපතිය. කෛලාසපති මෙරට සිටි ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍යවේදියකු විය. යාපනය සරසවියේ ප්‍රථම සභාපතිවරයා වූවේ ද ඔහුය. 70 දශකයෙන් පසු ශාස්ත්‍රීය කටයුතුවලට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කළ කෛලාසපති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දෙමළ හා හින්දු අධ්‍යයන අංශ ප්‍රධානී ලෙස ද කටයුතු කළේය. ‘තිනකරන්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා (1974-1977) ලෙස හේ ඉටු කළ කාර්ය අප්‍රමාණය. ‘තිනකරන්’ පුවත්පත වේගයෙන් ජනතාව වැලඳ ගත්තේ මේ කාලයේදීය. දෙමළ භාෂාවෙන් පළ වූ මුද්‍රිත මාධ්‍ය අතර සරසවිය බවට ‘තිනකරන්’ පුවත්පත පත් වී තිබුණි. මෙහි ස්වර්ණමය යුගය ලෙස සලකන්නේ මහාචාර්ය කේ. කෛලාසපති කර්තෘත්වය දැරූ සමයයි. මහාචාර්ය ජෝර්ජ් තොම්සන්ගේ අධීක්ෂණය යටතේ ‘දෙමළ වීර කාව්‍ය‘ පිළිබඳ ලියන ලද ආචාර්ය උපාධි නිබන්ධනයට අමතරව වැදගත් පර්යේෂණාත්මක කෘති හා ලිපි ලේඛන ගණනාවක් ඔහු විසින් සම්පාදනය කර ඇත. රබීන්ද්‍රනාත් තාගෝර් හා භාරතීයාර්ට සමකාලීනව යාපනයෙන් මතු වූ දීප්තිමත් සාහිත්‍යධරයන් හා අධ්‍යාපනඥයන් වූ පාවලර් තුරෛයප්පා පිල්ලේ හා නවාලි සෝමසුන්දර පුලවර් වැන්නන් දෙමළ භාෂා නොදත් පාඨක ලෝකයට හඳුන්වා දෙන ලද්දේ මහාචාර්ය කෛලාසපති විසිනි. ශ්‍රී ලංකාවේ දමිළ සාහිත්‍යය පෝෂණය කිරීම උදෙසා හෙතෙම ‘තිනකරන්’ පුවත්පත සිය අවිය කොට ගත්තේය. එනිසාම ඔහුගෙන් තිනකරන් පුවත්පතට විශාල ආලෝකයක් ලැබිණි. අදත් යාපනය විශ්වවිද්‍යාලයේ ඔහුගේ නමින් නම් කළ ශාලාවක් තිබේ.

පසුව මෙහි කර්තෘත්වයට පත් වූයේ ආර්. සිවගුරුනාදන්ය. හෙතෙම වසර 32ක් තරම් දීර්ඝ කාලයක් ‘තිනකරන්’ පුවත්පතේ කර්තෘත්වය දැරුවේය. ඔහු විසින් මහාචාර්ය කෛලාසපති විසින් දැල්වූ නැණ පහන එලෙසින්ම පවත්වා ගෙන යාමට උත්සාහ ගත්තේය. මේ කාලයේදී සති අන්ත දමිළ පුවත්පතක අවශ්‍යතාව ඩී. ආර් විජේවර්ධනයන්ට වැටහී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සති අන්ත පුවත්පක් ලෙස 1948 දී ‘වාරමංජරී’ ආරම්භ කළ අතර එහි කර්තෘවරයා වූයේ ද ආර්. සිවගුරුනාදන්ය. දෙමළ සාහිත්‍යයේ හා සංස්කෘතියේ උන්නතියට විශාල දායකත්වයක් ලබාදීමට ‘තිනකරන්’ සහ ‘වාරමංජරී’ යන පුවත්පත් දෙක මෙහෙයවීමට කර්තෘවරයා ලෙස සිවගුරුනාදන් කළ සේවය ඉමහත්ය. අනතුරුව මේ භාරධූර කාර්ය පැවරෙන්නේ වත්මන් කර්තෘ ටී. සෙන්දිල්වේලවර්ටය. ඔහු සිය කර්තෘ මණ්ඩය සහ කාර්ය මණ්ඩලය සමඟ එකී කාර්ය හැකි උපරිමයෙන් සක්ෂාත් කර ගැනීමට උරදී සිටිති.



Comments