දශක නවයක කතුවර මතක | සිළුමිණ

දශක නවයක කතුවර මතක

(1930 සිට 2023 දක්වා)

වසර 1930 මාර්තු 30 වැනිදා සිළුමිණ උපත සිදු විය. එදා සිට අද දක්වා ගතවූ වසර 93ක කාලය තුළ සිළුමිණ පුවත්පතේ සේවය කළ ප්‍රධාන කර්තෘවරුන් සංඛ්‍යාව 26 කි. සිළුමිණ කතුවරයකු වශයෙන් වැඩිම කලක් සේවය කර ඇත්තේ ධර්මපාල වෙත්තසිංහයන්ය. ඒ වසර 11කි. එමෙන්ම මාර්ටින් වික්‍රමසිංහයන් වසර 10ක් ද ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ වසර 9ක් ද සේවය කළ අය වෙති. මේ සමඟ පළ වන්නේ ඉකුත් වසර 93 තුළ කටයුතු කළ එම කතුවරුන් 26 දෙනා පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.

 

 පියසේන නිශ්ශංක (1930/34)

ගම්පහ කැන්දලියද්ද පාළුවේදී 1890 සැප්තැම්බර් 20 උපන් පියසේන නිශ්ශංකයන් සිළුමිණ සමාරම්භක කතුවරයාය. 'බාසුරු' යන ආරූඪ නාමයෙන් පුවත්පතට ලිපි ලියූ ඔහු විශ්‍රාම යෑමෙන් පසුවද උපදේශක කර්තෘ පදවියකින් පිදුම් ලැබීය. 'බුදුසරණ' සහ 'සුබසෙත' සමාරම්භක කතුවරයා ද වූ ඔහුට විදුදය සරසවියෙන් පුවත්පත් කලාව හා සම්බන්ධ ගෞරව උපාධියක් ද ප්‍රදානය කෙරිණ. වසර 1934දී සිළුමිණ කතුකමින් ඉවත් වූ හෙතෙම 'දිනමිණ' කර්තෘ ධුරය භාර ගෙන ඇත. ඔහු දිවියෙන් සමු ගත්තේ 1970 ඔක්තෝබර් 11 වැනිදාය.


 

මාර්ටින් වික්‍රමසිංහ (1934/44)

කොග්ගල ග්‍රාමයේදී 1890 මැයි 29 වැනිදා උපත ලැබූ මාර්ටින් වික්‍රමසිංහට 1895දී මුලකුරු කියවූයේ අන්දිරිස් ගුරුන්නාන්සේය. පසු කලෙක ශ්‍රී ලංකාවේ අද්විතීය සාහිත්‍යධරයකු වශයෙන් කීර්තියක් දිනූ වික්‍රමසිංහයන් විසින් නවකතා, කෙටිකතා සහ විචාර ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් රචනා කළ අතර, ඉන් මඩොල් දූව, විරාගය, ගම්පෙරළිය ඇතුළු ග්‍රන්ථ ගණනාවක් අතිශයින් ජනප්‍රිය විය. 'මයුරපාද' නම් අන්වර්ථ නාමයෙන් සිළුමිණට ලියන ලද ලිපි සංඛ්‍යාව 235කි. අභිමානවත් ලේඛක සම්ප්‍රදායක උරුමයක සිළුමිණට හිමි වන්නේ එකී පාදම මත පිහිටාය. වික්‍රමසිංහයන් දැයෙන් සමු ගත්තේ 1976 ජූලි 23 වැනිදාය.


 

ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ (1944/53)

 

ලේක්හවුස් ආයතනයට 1934දී දැන්වීම් අංශයේ භාෂා පරිවර්තකයකු වශයෙන් එක් වූ හෙතෙම කලක් දිනමිණ පුවත්පතේ කතුවරයා ද විය. එමෙන්ම ඔහු මිහිර, නවයුගය සහ තරුණි පුවත්පත්වල ද සමාරම්භක කතුවරයාය. හත් දරු පියකු වූ ශ්‍රීලාල් හික්කඩුව දිවියෙන් සමුගත්තේ 1998 සැප්තැම්බර් 30 වැනිදාය.


 

 ඩෙන්සිල් පීරිස් (1953/61)

වසර 1917 මාර්තු 15 වැනිදා මාතරදී උපත ලැබූ ඩෙන්සිල් පීරිස් කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඔබ්සර්වර් පුවත්පතේ සහ ජනතා පුවත්පතේ ද කතුවරයා වශයෙන් ඔහු කලක් කටයුතු කළේය. පසුකාලීනව විදේශ මාධ්‍යයන්හි වාර්තාකරණයට එක්වූ ඔහු දිවියෙන් සමු ගත්තේ වසර 1985 මාර්තු 06 වැනිදා බ්‍රිතාන්‍යයේදීය.


 

 මීමන ප්‍රේමතිලක (1961/65)

උපත ලැබුවේ වසර 1918 සැප්තැම්බර් 20 වැනිදා මීමනදීය. ලේක්හවුස් ආයතනයට 1936 ජුනි 16 වැනිදා භාෂා පරිවර්තකයකු ලෙස සේවයට එක්වූ ඔහු පසුකාලීනව සිළුමිණ පුවත්පතේ කතුවරයා විය. ඔහු ප්‍රවීණ කවියකු සහ පරිසරවේදියකු ද විය. සිළුමිණ කතුවරයා වශයෙන් සිටියදීම 1965 ජූලි 12 දිවියෙන් සමුගත් හෙතෙම මිය යන විට 47 වැනි වියේ පසු විය. සයදරු පියකු වූ ඔහුගේ එක් පුත්‍රයකු වූයේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී සුනිල් මාධව ප්‍රේමතිලකය.


 

සිරිවර්ධන සුබසිංහ (1965)

 

වසර 1931 මාර්තු 05 වැනිදා උපන් එස්. සුබසිංහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු ලේක්හවුස් ආයතනයට එක් වූයේ ජනතා පත්තරය ආරම්භ කිරීම සඳහා 1953 දී බඳවා ගත් කණ්ඩායමේ සාමාජිකයකු වශයෙනි. ඔහු විසින් ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු ලෙස දීර්ඝ සේවා සම්මානයෙන් 2000 වසරේදී පිදුම් ලැබීය.


 

 විමලසිරි පෙරේරා (1965/69)

වසර 1926 පෙබරවාරි 03 වැනිදා උපත ලැබූ විමලසිරි පෙරේරා කොළඹ කවි පරපුරේ දෙවැනි යුගය නියෝජනය කළ කීර්තිමත් කාව්‍ය පරපුරට උරුමකම් කියූවෙකි. ඔහුගේ පියා වූයේ ප්‍රකට කවියකු වූ බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරාය. පස්දරු පියෙකි. අගනුවර තරුණ කවි සමාජයේ සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළ විමලසිරි, 1992 ජුනි 27 වැනිදා දිවියෙන් සමු ගත්තේය.


 

ධර්මපාල වෙත්තසිංහ (1969/80)

වසර 1949 දී ලංකාදීප පුවත්පතින් සිය පත්‍ර කලා ජීවිතය ආරම්භ කළ වෙත්තසිංහයන් ලේක්හවුස් ආයතනයට එක් වූයේ 1953දීය. පසුව දිනමිණ, ජනතා සහ ඩේලිනිවුස් පුවත්පත්වල කතුවරයා ලෙස ද සේවය කළේය. සිළුමිණ පුවත්පතේ වැඩිම කලක් එනම්, වසර 11ක් කතුවරයා වශයෙන් කටයුතු කළේ ඔහුය. ඔහුගේ බිරිය ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහය.


 එඩ්මන්ඩ් රණසිංහ (1980-81) සහ (2016/2017)

දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම සහ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියා වන එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහ උපත ලැබුවේ 1930 අගෝස්තු 14 වැනිදාය. අධ්‍යාපනය ලැබුවේ කිරිවන්දල, රත්නපුර ෆර්ගියුෂන් සහ අවිස්සාවේල්ල සාන්ත මේරි යන විදුහල්වලිනි. ලේක්හවුස් ආයතනයට වසර 1952දී එක්වූ රණසිංහයන් 1977 දී දිනමිණ කර්තෘ විය. වසර 1980දී සිළුමිණ කතුවරයා විය. දෙදරු පියෙකි. උපාලි පුවත්පත් සමාගම මඟින් 1981 ඔක්තෝබර් 04 වැනිදා ආරම්භ කළ දිවයින ඉරිදා සංග්‍රහයේ සහ 1982 පෙබරවාරි 04 වැනිදා ආරම්භ කළ දිවයින දිනපතා පුවත්පතේ ද සමාරම්භක කතුවරයා වූයේ ඔහුය. වසර 1980 සිට 1981 ජූලි දක්වා ද 2016 ජූලි 01 සිට 2017 මාර්තු 31 දක්වා ද දෙවරක්ම සිළුමිණ පුවත්පතේ කතු පදවිය හෙබවූ ඔහුගේ සේවා කාලය වසර 2යි මාස 3කි.


 

ඩී. එෆ්. කාරියකරවන (1981/82)

සිංහල නිවැරැදි භාෂා අක්ෂර වින්‍යාසය වෙනුවෙන් පෙනී සිටි පුරෝගාමියකු වූ ඩී.එෆ්. කාරියකරවනයන් උපත ලැබුවේ 1922 පෙබරවාරි 08 වැනිදා මීගමුව කුරණදීය. ලංකාදීපයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ හෙතෙම ලේක්හවුස් ආයතනයට එක් වූයේ 1952 දීය. හෙතෙම 1965 දී ජනතා පුවත්පතේ කතුවරයා විය. වසර 1955 ඔක්තෝබර් 08 වැනිදා ආරම්භ වූ ලංකා පත්‍ර කලා සංගමයේ සභාපතිවරයා වූ කාරියකරවනයන් එම සංගමය හරහා ජනමාධ්‍යවේදීන් සිය ගණනක් විදේශීය ශිෂ්‍යත්ව මඟින් පුහුණු කිරීමට මුල් විය. පස්දරු පියෙකි. කොළඹ සරසවියේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව ඇරැඹුවේ ද ඔහුගේ මැදිහත් වීමෙනි. 2015 අප්‍රේල් 21 වැනිදා ඩී.එෆ්. කාරියකරවන දිවියෙන් සමුගත්තේය.


 

 බන්දුල මෙත්තානන්ද (1982/84)

මතුගම වලගෙදර ඉපිද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙත්තානන්ද ලේක්හවුස් ආයතනයට එක් වූයේ 1953දී මාධ්‍යවේදියකු ලෙසිනි.වසර 1973දී දිනමිණ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කතුවරයා වූ හෙතෙම 1980 දී දිනමිණ කතුවරයා විය. 1977 සිට කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස ද වසර කිහිපයක් කටයුතු කළ ඔහු පසුව සිළුමිණ කර්තෘ විය. වකුගඩු සැත්කමකට ඉන්දියාවට ගොස් සිටියදී දිවියෙන් සමු ගත්තේ 1985 මැයි 10 වැනිදාය.


 

බන්දුල ශ්‍රී සරත්චන්ද්‍ර (1984/85)

පාණදුර නල්ලුරුවේ උපන් බන්දුල ශ්‍රී සරත්චන්ද්‍ර දිනමිණ කර්තෘ මණ්ඩලයට එක් වූයේ 1956 දීය. පසුව එහි ප්‍රධාන උපකර්තෘ සහ විශේෂාංග කර්තෘ ද විය. දිනමිණ පුවත්පතේ වසර 27ක් සේවය කිරීමෙන් පසු සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් 1983දී පත් විය. පසුව 1984 දී සිළුමිණ කතුවරයා විය. ජනතා පුවත්පතේ ද කතුවරයා වශයෙන් කලක් කටයුතු කළ ඔහු සිංහල ජාතික සංගමයේ හිටපු ලේකම්වරයෙකි. 1985 නොවැම්බර් 26 වැනි දින සිළුමිණ කතුවරයා වශයෙන් සිටියදී දිවියෙන් සමු ගත්තේය.


 

 ඩී. සී. කරුණාරත්න (1985/89)

වසර 1937 ඔක්තෝබර් 21 වැනිදා උපන් ඩී.සී. කරුණාරත්න ලේක්හවුසියට මාධ්‍යවේදියකු ලෙස එක් වූයේ 1956 දෙසැම්බර් 06 වැනිදාය. 1981දී දිනමිණ ප්‍රාදේශීය කර්තෘවරයා වූ ඔහු 1988 නොවැම්බර් 01 සිට 1989 ඔක්තෝබර් 31 වැනිදා දක්වා සිළුමිණ කතුවරයා ලෙස කටයුතු කළේය. ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම යෑමෙන් පසු ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ද ඉහළ තනතුරු දැරූ ඔහු, මේ වන විට 86 වැනි වියේ පසු වේ.


 

කවුඩානේ පියදාස පෙරේරා(1989/93)

වසර 1942 මැයි 11 වැනිදා වේරහැරදී උපන් කවුඩානේ පියදාස පෙරේරා ලේක්හවුසියට එක් වූයේ 1979 මාර්තු මස 2 වැනිදාය. 1980 පෙබරවාරි 11 වැනිදා දිනමිණ පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු වූ ඔහු පසුව දිනමිණ පුවත්පතේ වැඩබලන නියෝජ්‍ය කතුවරයකු ද විය. 1989 නොවැම්බර් 01 වැනිදා සිළුමිණ පුවත්පතේ කතුවරයා විය. සිළුමිණ පුවත්පතේ කතුවරයා වශයෙන් 1993 ජූලි 18 දක්වා කටයුතු කළ ඔහු පසුව ලේක්හවුසියේ විවිධ තනතුරු දැරීය. 1999 ජනවාරි 29 වැනිදා ලේක්හවුසියෙන් විශ්‍රාම ලැබූ ඔහු දිවියෙන් සමුගත්තේ 2013 අප්‍රේල් 21 වැනිදාය.


 තිලකරත්න කුරුවිට බණ්ඩාර (1993/94) සහ (2002/04)

ලේක්හවුස් ආයතනයට මාධ්‍යවේදියකු ලෙස 1970 දෙසැම්බර් 11 වැනිදා සේවයට එක්වූ තිලකරත්න කුරුවිට බණ්ඩාර පසුව දිනමිණ උප කර්තෘවරයකු විය. සිළුමිණ කතුවරයා වශයෙන් 1993 සිට 1994 දක්වා ද 2002 පෙබරවාරි 6 සිට 2004 මැයි 11 දක්වා ද කටයුතු කළේය. සිළුමිණ කතුවරයා වශයෙන් සේවා කාලය වසර 3යි මාස 3කි. ලේක්හවුස් සේවයෙන් 1990 මාර්තු 14 වැනිදා විශ්‍රාම ලැබුවද 2004 ජූලි මස 21 දක්වා ඔහුගේ සේවය ලේක්හවුස් ආයතනයට ලැබිණි. හෙතෙම වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශකවරයෙකි.


 

නිමල් හොරණ (1994/99)

දෙහිවල ගල්කිස්ස ප්‍රථම නගර සභාවේ කරගම්පිටිය කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා ලෙස 1955දී පත්වූ නිමල් හොරණ ප්‍රකට වාමාංශික දේශපාලනඥයකු සහ වසර 1953 සිට සමසමාජ පුවත්පතේ වසර 16ක් කතුවරයා ලෙස කටයුතු කළේය. ඔහු සරසවි සඳරැස , පෙරමුණ, ජනයුගය, ජනදින, ජනසතිය, දිනකර, සහ දිනරැස යන පුවත්පත්වල ද කතුවරයා ලෙස කටයුතු කර ඇත. සේවා කාලය 1994 දෙසැම්බර් 23 සිට 1999 දෙසැම්බර් 30 දක්වා වසර 5කි.


සුජීව දිසානායක (1999/2001)

වසර 1959 ඔක්තෝබර් 13 වැනිදා උපත ලැබූ සුජීව ඇත්ත පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීය. පසුව යුක්තිය පුවත්පතේ ද මාධ්‍ය ‍ෙව්දියකු වූ සුජීව ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූයේ 1996 සැප්තැම්බර් 03 වැනිදාය. සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළ ඔහු 1999 දෙසැම්බර් මස කතුවරයා විය. ගාන්ධි ඇතුළු ග්‍රන්ථ 51ක කතුවරයා සහ පරිවර්තකයා ද වන ඔහු ලේක්හවුස් සේවයෙන් විශ්‍රාම ලැබුවේ 2008 අගෝස්තු 29 වැනිදාය. ඔහු දිවියෙන් සමු ගත්තේ 2014 නොවැම්බර් 29 වැනිදාය.


වජිර පැල්පිට (2004)

කෑගල්ල පැල්පිටදී 1939 දෙසැම්බර් 8 වැනි දින උපත ලැබූ වජිර පැල්පිට ප්‍රකට දේශපාලනඥයෙකි. බස්නාහිර පළාතේ ඇමැතිවරයකු ලෙස ද කලක් කටයුතු කළේය. විවිධ වාමාංශික පුවත්පත් ගණනාවක සහකාර කතුවරයකු වශයෙන් සේවය කළ හෙතෙම ලේක්හවුස් ආයතනයට එක් වූයේ 2004 මැයි 12 වැනිදාය. 2004 මැයි 14 වැනිදා සිට 2004 දෙසැම්බර් 10 දක්වා සිළුමිණ කතුවරයා ලෙස කටයුතු කළ ඔහුගේ සේවා කාලය මාස 7කි. හෙතෙම දිවියෙන් සමු ගත්තේ 2005 ජූලි 04 වැනිදාය.


 කරුණාරත්න අමරතුංග (2005)

වසර 1946 අප්‍රේල් 18 වැනිදා මහරගම පමුණුවේදී උපන් කරුණාරත්න අධ්‍යාපනය ලැබුවේ ඇක්වයිනාස් විදුහලෙනි. දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස 1995 ජනවාරි 01 වැනිදා එක්වූ ඔහු පසුව දිනමිණ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සමකර්තෘ විය. අනතුරුව දිනමිණ කතුවරයා ද විය. වසර 2005 මාර්තු 01 වැනිදා සිට 2005 ඔක්තෝබර් 23 දක්වා සිළුමිණ කතුවරයා ලෙස කටයුතු කළ ඔහුගේ සේවා කාලය මාස 7කි. හෙතෙම වසර 2007 නොවැම්බර් 25 වැනිදා ලේක්හවුසියෙන් විශ්‍රාම ලැබුවේය. අනතුරුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයකම මාධ්‍ය උපදේශකවරයකු ද විය. දිවියෙන් සමු ගත්තේ 2022 ජුනි 15 වැනිදාය. දෙදරු පියෙකි.


 

කරුණාදාස සූරියආරච්චි (2005/13)

ගුරුවරයකු වශයෙන් කටයුතු කළ කරුණාදාස සූරියආරච්චි 1980 ජූලි වැඩවර්ජනයට එක්වීම නිසා රැකියාව අහිමි විය. පසුව දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතට මාධ්‍යවේදියකු ලෙස එක්වූ ඔහු එහි නියෝජ්‍ය කතුවරයා ද විය. කෙටි කලක් නවලිය පුවත්පතේ කතුවරයා ලෙස ද කටයුතු කළේය. සිළුමිණ කතුවරයා වශයෙන් 2005 දෙසැම්බර් 05 වැනිදා සිට 2013 සැප්තැම්බර් 16 දක්වා කටයුතු කළේය. සේවා කාලය වසර 7යි මාස 9කි. ලේක්හවුසියේ සේවය නිම කළේ 2014 ජුනි 04 වැනිදාය. ප්‍රවීණ තීරු රචකයකු, ජනප්‍රිය ග්‍රන්ථ රැසක කතුවරයකු වන ඔහු දිවියෙන් සමුගත්තේ 2014 නොවැම්බර් 16 වැනිදාය.


 

සුන්දර නිහතමානී ද මැල් (2013/15)

වසර 1953 අප්‍රේල් 19 වැනිදා මොරටුවේදී උපන් සුන්දර නිහතමානී ද මැල්, ගාල්ල මහින්ද විදුහලේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකි. දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස දශකයකට ආසන්න කාලයක් කටයුතු කළේය. ප්‍රවීණ තීරු ලිපි රචකයකු සහ ගත් කතුවරයකු වන හෙතෙම ලක්බිම ඉරිදා පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙස වසර 13ක් කටයුතු කළේය. 2013 නොවැම්බර් 12 වැනිදා සිළුමිණ කතුවරයා වූ ඔහු ලේක්හවුසියේ සේවය නිම කළේ වසර 2015 ජනවාරි 12 දක්වා සේවා කාලය වසර 1යි මාස 2කි. ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ ලේකම් ලෙස සහ පුවත්පත් පැමිණිලි කොමිසමේ අධ්‍යක්ෂ වශයෙන් ද ඔහු කටයුතු කළේය. සුන්දරගේ පියා කෘතහස්ත ලේඛකයකු වන ලාල් ප්‍රේමනාත් ද මැල්ය.


 

ලක්ෂ්මන් පියසේන (2015/18)

වසර 1964 මාර්තු 14 වැනිදා කළුතර බෝඹුවලදී උපත ලැබූ ලක්ෂ්මන් පියසේන 1989දී කර්තෘ මාණ්ඩලිකයකු ලෙස දිවයින පුවත්පතට එක් වූ අතර, පසුව එහි සහකාර කර්තෘවරයකු විය. දිවයින පුවත්පතේ වසර 19ක සේවා කාලයෙන් පසු සිළුමිණ පුවත්පතේ කතුවරයා ලෙස 2015 ජනවාරි 13 වැනිදා සිට 2018 මැයි 20 දක්වා කටයුතු කළේය. සේවා කාලය වසර 3යි මාස 4කි. හෙතෙම ලේක්හවුස් සේවය නිම කළේ 2019 අවසාන භාගයේදීය.


 

චාමර ලක්ෂාන් කුමාර (2018)

මතුගම උපන් චාමර ලක්ෂාන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ලක්බිම දිනපතා පුවත්පතින් මාධ්‍ය ක්ෙෂ්ත්‍රයට එක්වූ ඔහු පසුව රිවිර ඉරිදා පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙසත් රිවිර දිනපතා පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කතුවරයා ලෙසත් කටයුතු කළේය. පසුව ඉරුදින පුවත්පතේ ද නියෝජ්‍ය කතුවරයකු ලෙස ද කටයුතු කළ ඔහු සිළුමිණ පුවත්පතේ කතුවරයා වූයේ 2018 මැයි 21 වැනිදාය. රැස පුවත්පතේ කතුවරයා ලෙස ද කටයුතු කළ ඔහු සිළුමිණ පුවත්පතේ කතුවරයා වශයෙන් සිටියදීම 2018 ජුනි 30 වැනිදා හදිසියේ දිවියෙන් සමු ගත්තේය. සේවා කාලය සති 5කි.


 

සුනිල් ජයසේකර (2018)

රාවය පුවත්පතේ ප්‍රවෘත්ති කතුවරයා වූ සුනිල් ජයසේකර ඉරුදින පුවත්පතේ ද හිටපු නියෝජ්‍ය කර්තෘවරයෙකි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් ද කලක් කටයුතු කළ හෙතෙම ලේක්හවුස් ආයතනයට එක් වූයේ 2018 ජුනි 31 වැනිදාය. සිළුමිණ පුවත්පතේ කතුවරයා වශයෙන් 2018 දෙසැම්බර් 05 සිට දෙසැම්බර් 31 දක්වා කටයුතු කළේය. සේවා කාලය දින 26කි. හෙතෙම ලේක්හවුසියේ සේවයෙන් ඉවත් වූයේ 2020 පෙබරවාරි 01 වැනිදාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු වශයෙන් ද සුනිල් කලක් කටයුතු කළේය.


 

චාමින්ද වාරියගොඩ (2018/19)

 

වසර 1974 පෙබරවාරි 26 වැනිදා කඩුගන්නාවේදී උපන් චාමින්ද වාරියගොඩ මහනුවර ධර්මරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. විදුසර පුවත්පතින් මාධ්‍ය ක්ෂේත්‍රයට එක්වූ චාමින්ද වාරියගොඩ, රිවිර පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘය. එමෙන්ම ‍ෙජ්‍යෂ්ඨ ව්‍යාපාරික කර්තෘවරයෙකි.

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් 2018 ජුනි 05 වැනිදා සේවයට එක් විය. පසුව 2018 ජූලි 13 වැනිදා සිට 2018 දෙසැම්බර් 04 දක්වා ද 2019 ජනවාරි 1වැනිදා සිට 2020 ජනවාරි 16 දක්වා සිළුමිණ කතුවරයා විය. සේවා කාලය වසර 1යි මාස 5කි. ඔහු ලේක්හවුසියේ සේවය නිම කළේ 2020 අගෝස්තු 13 වැනිදාය. ලංකාසර නෙට්වර්ක් වෙබ් අඩවියේ වර්තමාන සංස්කාරකය.


 

ධර්මන් වික්‍රමරත්න (2020 සිට මේ දක්වා)

 

මාතර පාතේගම උපන් දෙණියාය බෙරලපනාතර සිය ළමා විය ගෙවූ ධර්මන් වික්‍රමරත්න සිළුමිණ වර්තමාන කතුවරයාය. කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස 1984 ජනවාරි 15 වැනිදා සේවයට එක්වූ ඔහු දිනරැස දිනපතා පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කර්තෘය. ඉරිදා ලංකාදීප, ඉරිදා රිවිර, ඉරිදා දිවයින ඇතුළු පුවත්පත් ගණනාවකට ඉකුත් දශකය තුළ ඔහු ලියූ විශේෂාංග සංඛ්‍යාව 500කට ආසන්නය. සිළුමිණ පුවත්පතේ කතුවරයා වශයෙන් සේවයට එක් වූයේ 2020 ජනවාරි 17 වැනිදාය.

ග්‍රන්ථ 54ක කතුවරයෙකි. වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2 වැනි කැරැල්ල පිළිබඳව නිර්වද්‍ය විස්තරයක් ඔහු විසින් ග්‍රන්ථ 3කින් ඉදිරිපත් කිරීමෙන් එම ග්‍රන්ථ පුළුල් ලෙස සම්භාවනාවට පාත්‍ර විය.

Comments