ආදි නාලන්දීයන්ගේ මහඟු මෙහෙයක් | සිළුමිණ

ආදි නාලන්දීයන්ගේ මහඟු මෙහෙයක්

කුත් 16 වැනිදා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි නාලන්දීය 85 කණ්ඩායම සුවිශේෂී කටයුත්තකට මුලපිරුවේය. ඒ පාසලේ උසස් පෙළ හදාරන තෝරා ගත් සිසුන් 50 දෙනකු සඳහා ශිෂ්‍යත්වයක් පිරිනැමීමට කටයුතු කිරීමය. මෙය මෙරට පාසලක ශිෂ්‍ය කණ්ඩායමක් ඉදිරිපත් වී සිදු කළ පළමු ශිෂ්‍යත්ව වැඩපිළිවෙළය. ඒ අනුව මෙම ශිෂ්‍යත්වයට හිමිකම් කියන සිසුන් 50 දෙනා අධ්‍යයන කටයුතු සිදු කරන වසර දෙකක කාලය තුළදී මසකට 5000 බැගින් ශිෂ්‍යාධාරයක් ලබා දීම සිදු වේ. ඒ සඳහා මෙම කණ්ඩායම රුපියල් මිලියන 6ක් වැය කිරීමට බලාපොරොත්තු වේ.

මෙම ආදි නාලන්දීය ‘85 කණ්ඩායම සමන්විත වන්නේ වර්ෂ 1973 ජනවාරි මස 02 වැනිදා සහ ඊට පසුව විවිධ වසරවලදී විද්‍යාලයට ඇතුළත් වූ 85 වසරේ පාසල හැර ගිය සිසුන්ගෙනි.

උත්සව අවස්ථාවේදී මෙම සද්කාර්ය අගයමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා ප්‍රකාශ කර සිටියේ “ආදි නාලන්දීය 85 කණ්ඩායම සිය 50 වැනි සංවත්සරය නිමිත්තෙන් නාලන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරන දරුවන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට දායක වීම ඉතා අගය කළ යුතු බවයි.

“ 85 කණ්ඩායම මෙවැනි වටිනා කටයුත්තක් කිරීම පිළිබඳව මා ඉතා සතුටට පත්වනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මවුපියෝ කොච්චර මහන්සි වෙනවාද කියලා අපි දන්නවා. අද මේ දරුවන්ට මෙම ශිෂ්‍යත්වය ලබා දෙන ‘85 කණ්ඩායමේ සාමාජිකයන් අධ්‍යාපනය ලබා ගැනීමට වෙහෙස මහන්සි වී සමාජයේ ඉහළම තලයට පැමිණි අයයි. ඔබත් දවසක එවැනි පුරවැසියන් වනු දැකීම විදුහල්පතිවරයා හැටියට මගේත් ගුරුමෑණිවරුන්ගේ හා පියවරුන්ගේත් ඔබේ සහෝදර ආදි ශිෂ්‍යන් වන 85 කණ්ඩායමෙත් බලාපොරොත්තුව යි.

ආදි නාලන්දා 85 කණ්ඩායමේ සාමාජික හා අනුශාසක අභියාචනාධිකරණ විනිසුරු අධිනීතීඥ සෝභිත රාජකරුණා උත්සව සභාවේ ප්‍රධාන දේශනය පවත්වමින් ප්‍රකාශ කළේ “ආදි නාලන්දා 85 කණ්ඩායම 1973 ජනවාරි මාසේ 2 වැනිදා අකුරු පේළියක්වත් හරියට ලියා ගන්න බැරිව පාසල් මවු තුරුලට ආපු වෙලාවේ ඉඳන් 2023 වසරේ ජනවාරි 2 වැනිදා වනවිට අවුරුදු 50ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන කරන ලද කර්තව්‍යයක් වෙනුවෙන් තමයි අද අපි මේ රැස් වී සිටින්නේ.

මේ පුතාල අද මේ රැස්වෙලා ඉන්නේ ශිෂ්‍යත්වයක් ලබා ගන්න. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ කොලෂිප් කියලා. මෙහි සාමාන්‍ය සරල තේරුම ශිෂ්‍යාධාරය. නමුත් පුතේ ඒ සරල තේරුමට වඩා ඉතාමත්ම ගැඹුරු තේරුමක් අරුතක් මෙහි තිබෙනවා. ශිෂ්‍යත්වයක් කියන දේ ශිෂ්‍යාධාර කියන සරල වචනයට ලඝු කරන්නට බැහැ. එනිසා ඔබව අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවතවත් ඉහළට නැංවීම අරමුණු කරගෙන ඔබට කිසියම් රැකවරණයක් සැලසීම වෙනුවෙන් තමයි මේ ශිෂ්‍යත්වය පිරිනමන්නේ. මේ ශිෂ්‍යත්වය ලබාගෙන අධ්‍යාපනයෙන් ඉහළට ඇවිත් ලෝකයේ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්වන ශිෂ්‍යත්ව ලාභියකු වී ලොව ඉහළම පෙළේ විශ්වවිද්‍යාලයකට මම ඇතුළත් වෙනවා! කියන අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන“ යැයි හෙතෙම අවධාරණය කළේය.

85 කණ්ඩායමේ සභාපති වසන්ත පෙරේරා සිළුමිණට පවසා සිටියේ “ නාලන්දා 85 කණ්ඩායම විශේෂිත කණ්ඩායමක් වූ නිසා බොහෝ දෙනා අප හඳුන්වන්නේ අන් මැච් කියලා. ඒ කාටවත් සමාන නැහැ කියන තේරුමින්. මොකද අප ක්‍රියාකාරී වුණු දවසේ පටන් විශාල වැඩ කොටසක් පාසල වෙනුවෙන් හා සමාජය වෙනුවෙන් සිදු කළා. රටේ පැවති ව්‍යසනකාරී තත්ත්වයන්වලදී පාසලට වගේම පාසලෙන් පිටතත් අපි සක්‍රීය මැදිහත් වීමක් සිද්ධ කළා. උදාහරණයක් ලෙස කොවිඩ් වසංගත සමයේ ඈත ගම්බද ප්‍රදේශවල සිටින අඩු ආදායම්ලාභි පවුල්වලට උදව් උපකාර කළා. පසුගිය ජනවාරි මාසෙට මේ කණ්ඩායමට වසර 50ක් පිරුණා. ඒ නිමිති කොටගෙන අපි කල්පනා කළා රටේ පවතින ආර්ථික තත්ත්වය දිහා බලලා නාලන්දාවේ ඉගෙන ගන්න උසස් පෙළ සඳහා යොමු වූ දරුවන් 50 දෙනකු තෝරගෙන ඔවුන්ට ශිෂ්‍යත්වයක් පිරිනමන්න. මේක ඇත්තටම ආධාරයක් නෙමෙයි. අප පාසල වෙනුවෙන් රට වෙනුවෙන් කරන ආයෝජනයක් යැයි හෙතෙම පැවසීය.

85 කණ්ඩායමේ ආදී නාලන්දියකු වන කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සහ පර්යේෂණ කටයුතු පිළිබද අතිරේක උප කුලපති මහාචාර්ය ජානක රුවන්පුර මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය පිළිබඳව අදහස් දක්වමින් සිළුමිණට ප්‍රකාශ කර සිටියේ, “ මා වගේම නාලන්දා මෑණියන්ගෙන් අධ්‍යාපනය ලැබූ 85 කණ්ඩායමේ සියලුම සහෝදරයන් ඉතාමත්ම සන්තෝෂයෙන් කරපු සද්කාර්යයක් මේ. 85 කණ්ඩායමේ සාමාජිකයන් මේ වන විට විවිධාකාර ක්ෂේත්‍රවල ඉහළම තනතුරු දරන පුද්ගලයන් සිටිනවා. ඒ තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයෙත් නාලන්දාවෙන් ඉගෙන ගෙන ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළක් වෙලා ඉන් එහාට ගිහින් ජාත්‍යන්තරය ජයගන්න මට අවස්ථාව හිමි වුණේ නාලන්දා විද්‍යාලයෙන් ලැබුණු මූලික අඩිතාලම නිසයි. අද ලංකාවේ පවතින තත්ත්වයත් එක්ක කෙනකුට ඉගෙන ගන්න ආස වුණත් මවුපියන්ට මේ තියෙන ආර්ථික අපහසුකම් එක්ක ඒ ගමන යන්න මේ පුතාලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න නොහැකි වෙන්න පුළුවන්. ඒ අපහසුකම් මඟ හරවා ගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට ම යන්න මේ ශිෂ්‍යත්වය පිටුවහලක් වේ යැයි අප කල්පනා කරනවා යැයි හෙතෙම පවසා සිටියේය.

85 කණ්ඩායමේ ආදි නාලන්දීයකු වන රියඅද්මිරාල් සෙනරත් චන්ද්‍ර තිස්ස විජේසූරිය සිළුමිණට පවසා සිටියේ මීට ප්‍රථම පාසලෙන් පිටවූ ආදි සිසුන් කොපමණ සිටිය ද පාසලෙන් ඉවත් වූ පසුව කණ්ඩායමක් විදියට ගොඩනැඟුණු පළමුවැනි කණ්ඩායම 85 කණ්ඩායම බවයි. මෙහි වාණිජ, ව්‍යාපාර, බැංකු, ත්‍රිවිධ හමුදා, අධ්‍යාපන, සිවිල් සේවා, ජනමාධ්‍ය, ක්‍රීඩා, කලා ආදී සියලු ක්ෂේත්‍ර නියොජනය කරන ආදි නාලන්දීයන් සිටින බවත්, ඒ නිසා මෙම සද්කාර්යය සඳහා ඒ සියලු දෙනා කිසිදු පැකිළීමකින් තොරව දායක වීමට කැමැත්ත පළ කළ බවත් හෙතෙම පැවසීය.

‘85 කණ්ඩායමේ සාමාජිකයකු වන දෙස්විදෙස් හි ප්‍රකට ව්‍යාපාරිකයකු වන ජගත් රාමනායක සිළුමිණට පවසා සිටියේ මෙවැන්නකි. 

‘නාලන්දා 85 කණ්ඩායම පාසලට ඇතුළු වී අවුරුදු 50 ක් සම්පූර්ණ වන අවස්ථාවේදී, එම වසර සැමරීම සඳහා අපට ගත හැකි හොඳම වැඩසටහනක් හැටියට විධායක කමිටුව විසින් දැනට අධ්‍යාපනය හදාරන උසස් පෙළ ශිෂ්‍යයන් සඳහා අවුරුදු දෙකක ශිෂ්‍යත්ව වැඩසටහන සූදානම් කළ බවයි. නාලන්දා විද්‍යාලය වෙනුවෙන් එවැනි කර්තව්‍යයක් කිරීමට ලැබීම තමන් සහ සහෝදර ආදි ශිෂ්‍යන් ලද භාග්‍යයක් බවත් හෙතෙම පැවසීය.

85 කණ්ඩායම නියෝජනය කරන ආදී නාලන්දියකු වන සිසිර දාබරේ සිළුමිණට පවසා සිටියේ නාලන්දාවේ කණ්ඩායමක් වශයෙන් බිහි වුණු පළමු කණ්ඩායම එකතු වෙලා මේ ලබාදෙන ශිෂ්‍යත්වය කියලා කියන්නේ ආධාරදීමක් නොවන බවකි. 85 කණ්ඩායමේ සොයුරන් පනස් දෙනකු එකතුවී මිලියන 6ක මුදලක් යොදවන්නේ නාලන්දාවට කරන ආයෝජනයක් විදියටයි. ඒ මේ දරුවො නිසියාකාරයෙන් මේ මුදල් තමන්ගෙ අධ්‍යාපන කටයුතු සඳහා යොදාගෙන අනාගතේ දවසක නාලන්දාවට රටට කීර්තියක් අත් කරදෙයි කියන විශ්වාසය පෙරදැරිවයි. ඒ නිසා මේක ශිෂ්‍යාධාරයක් නොවෙයි; නාලන්දාව වෙනුවෙන් කරන ආයෝජනයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

85 කණ්ඩායමේ විධායක මණ්ඩලයේ සාමාජිකයකු වන වරලත් ගණකාධිකාරී සංජීව පෙරේරා සිළුමිණට පවසා සිටියේ “ අද මේ ශිෂ්‍යත්ව ලබන දරුවන් අනාගතයේදී වෛද්‍යවරුන්, වෛද්‍ය විශේෂඥයන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් සහ වෙනත් වෘත්තිකයන් බවට පත් වී මේ පාසල මේ රට බබළවයි කියන විශ්වාසයක් අපට තිබෙනවා. මේ ආයෝජනයෙන් බලාපොරොත්තු වන ප්‍රතිලාභය එය බව හෙතෙම සඳහන් කළේය.

කණ්ඩායමක් විදිහට මෙවැනි දෙයක් සඳහා අප අවධානය යොමු කළේ නාලන්දාවට වගේම අනෙකුත් සහෝදර පාසල්වලට පණිවිඩයක් ලබා දීමට අප ඉගෙන ගත්ත පාසලට කොහොමද ප්‍රණාමය පුදකරන්නේ කියන එක. අපි 85 නාලන්දාවෙන් එළියට ආවට පස්සේ සිල්ව මෙරූන්ස් 85 කණ්ඩායම කියල නමකුත් දාගත්තා.

ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්නේ

Comments