
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සංකල්පයකට අනුව සංවිධානය කළ “ සතරාව දීපනී” උපහාර උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 16 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මහා නායක හිමිපාණන් වහන්සේලා, අනුනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන්, කලාකරුවන්, මාධ්‍ය ප්‍රධානීන්, මාධ්‍යවේදීන්, වෘත්තිකයන් ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මීට වසර දෙකකට ප්‍රථම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සංකල්පයක් අනුව පාසල් සිසු දරු දැරියන් උදෙසා වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන “ප්‍රඥා බන්දු” ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කළ අතර, එය ඇමැතිවරයාගේ පෞද්ගලික මුදල් ලක්ෂ සියයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.
පසුව මෙම දරුවන් උදෙසා ඉටු කළ උතුම් සද් ක්‍රියාවට ආශිර්වාද කළ හා සුබ පැතුම් එක් කළ පිරිසකගේ දායකත්වය ද හිමි වූ බැවින් මෙම අරමුදල තව තවත් වර්ධනය විය. මෙය ඕනෑම අයකුට දායකත්වය ලබා දිය හැකි අරමුදලක් වන අතර, එය ඉතා විනිවිද භාවයෙන් යුතුව සිදු කරනු ලබන ඉතා දානමය පුණ්‍ය කර්මයකි.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙරට අපොස උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ට මෙවැනි ශිෂ්‍යත්ව වැඩ පිළිවෙළක් ආරම්භ කරන තෙක් මේ රටේ ඔවුන් වෙනුවෙන් එවැන්නක් නිර්මාණය වී නොතිබුණි. එවැනි පසුබිමක ආරම්භ කළ මේ සද් ක්‍රියාව එතුමන්ගේ ඡන්ම දිනය යෙදී තිබූ ඉකුත් 16 වැනිදා මෙවර අපොස උසස් පෙළ හදාරණ සිසු දරු දැරියන් 251 දෙනකු වෙනුවෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනකුට සංකේතාත්මකව ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරුණු අතර, අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු පිරිසගේ අතින් එය සිදු කෙරිණි. උසස් පෙළ සඳහා පෙනී සිටින මෙම දරුදැරියන්ට වසර දෙකක කාලයක් පුරා මෙම ශිෂ්‍යත්වය හිමි වේ.
එසේම මෙම උත්සවයේ විශේෂිතම අවස්ථාව වූයේ ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ දායකත්වයෙන් නිර්මාණය වූ කලා කෘති උදෙසා දායක ලබා දුන් කලාකරුවන් වූ අනූ එක් වැනි වියෙහි පසු වන මෙරට ජ්‍යේෂ්ඨතම රංගධරයා වන සිරිල් වික්‍රමගේ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක සහ ප්‍රවීණ කලාකරු පරාක්‍රම නිරිඇල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ සුරතින් ගෞරව සම්මානයට පාත්‍ර වීමය.
එසේම ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘සහෝ’ චිත්‍රපටය වෙනුවෙන් මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ද, ජාත්‍යන්තර සම්මාන රාශියකින් පුද ලැබූ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය වෙනුවෙන් කුමාර තිරිමාදුර, සරත් කොතලාවල යන ප්‍රවීණ කලා ශිල්පීන් ද ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය හා ආචාර්ය බන්දුල ගුණවර්ධන අතින් මෙහිදී ගෞරව සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානී, ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් විසින් සමාරම්භක දේශනය පැවත් වූ අතර, උත්සවයේ ප්‍රධාන දේශනය ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම විසින් සිදු කළ කළේය. එහිදී හෙතෙම පවසා සිටියේ මෙරට සිනමාවේ විශිෂ්ටතම කලා කෘති වෙනුවෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන දැක් වූ දායකත්වය අගය කළ යුතු බවත්, මෙරට සිනමා උන්තිය වෙනුවෙන් හෙතෙම කළ සහ කරමින් සිටින සේවය සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස නඟා සිටුවීමේදී මහත් අස්වැසිල්ලක් වී ඇති බවය.
ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සිනමා දිවිය ඇසුරෙන් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, රන්ජිත් කුමාර, අරුණ ගුණරත්න, දිනුෂ කුඩාගොඩගේ යන ප්‍රවීණ මාධ්‍යවේදීන් විසින් සංස්කරණය කරන ලද “සුබන්ධු සිනමා වත” කෘතිය එළිදැක්වීම ද මේ අවස්ථාවේදී සිදු විය.
දිවිගමනේ විවිධ ඉසව් පසුකරමින් ආ බන්දුල ගුණවර්ධනට ධර්මසිරි බණ්ඩාරනායක හමුවන්නේ හංස විලක් සිනමාපටය සඳහා නිෂ්පාදකයකු සොයමින් සිටි අවදියේදීය. උපකාරක පන්ති පවත්වා අමාරුවෙන් ඉතිරි කරගත් මුදලකුත් ඔහු සතුව තිබූ වාහනයත් ඉඩමකුත් ඇපයට තියා මුදල් සෙවීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
පසුව බන්දුල කළේ සිය මිතුරකුගේ මාර්ගයෙන් හංස විලක් සඳහා අර්ථපතියකු සොයා දීමය. සිනමාව වෙනුවෙන් එලෙස දායකත්වය ලබා දුන්න ද සිතේ පැවති ආශාව ඉන් ඉටු නොවුණි. ඔය අතර ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වැනි යාමය සිනමාපටයට චිත්‍රපට සංස්ථාවෙන් ලබා දී තිබූ ණය මුදල ප්‍රමාණවත් නොවූයෙන් ඊට සම නිෂ්පාදකයකු ලෙස දායක වීමට බන්දුලට අවස්ථාව උදා වී තිබුණි.
ඒ අනුව සිය කුලුඳුල් සිනමා නිෂ්පාදනයට හෙතෙම පියවර තබන්නේ හෙළ සිනමාවේ විශිෂ්ට නිර්මාණයක් වූ තුන්වෙනි යාමයෙනි.
අනතුරුව සයිමන් නවගත්තේගමයන්ගේ විශිෂ්ට කෙටි කතාවක් වූ සුද්දිලාගේ කතාවෙන් සිනමාපටයක් තැනීමට බන්දුලයන්ට සිත් විය. මේ පිළිබඳ නවගත්තේගමට හා ධර්මසිරිට දැන්වීමෙන් පසු සයිමන් නවගත්තේගමයන්ගේ ප්‍රථම සිනමා රචනය ලෙසත් බන්දුල ගුණවර්ධනගේ පූර්ණ නිෂ්පාදනයක් ලෙසත් ‘සුද්දිලාගේ කතාව’ සිනමාව පටය නිර්මාණය විය.
එය චිචාරකයන් අතර මෙන්ම ප්‍රේක්ෂකයන් අතර ද මහත් ආන්දෝලනයක් ඇති කළ සිනමා පටයක් බවට පත් විය. එලෙසින්ම සිරි මැදුර නිෂ්පාදනය කරමින් පරාක්‍රම නිරිඇල්ල සිනමාවට රැගෙන එන්නේ ද බන්දුල ගුණවර්ධනය.
අනතුරුව ‘අයෝමා’, ‘ද නිව්ස් පේපර්’ සහ තිරගත වීමට නියමිත මහාචාර්ය ආරියරත්ත ඇතුගලයන්ගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘සහෝ’ සිනමාපටය ද බන්දුල ගුණවර්ධනයන්ගේ නිෂ්පාදනයකි.
මේ සියලුම සිනමා නිර්මාණ විමසා බලන විට ලාංකේය සිනමාවට ඉතා විශිෂ්ට ගණයේ වෙසෙස් සිනමාපට බිහි කිරීමට හෙතෙම දායක වී ඇති අයුරු සිහිපත් කළ හැකිය.
මෙම ප්‍රභාවත් උත්සව අවස්ථාව චන්න උපුලි රංගනායතනය විසින් සිය නර්තනයෙන් වර්ණවත් කළ අතර විශාරද චතුර සහන් ගුණවර්ධන සහ විශාරද දේවිකා චතුරාණි සුමධුර ගායනයෙන් උත්සව සභාව රසවත් කළහ.