
උපන් බිමට හිතැති මිනිසුන්, මේ මහා පොළොව සුවපත් කිරීමේ කාර්යයේ නියැළෙනුයේ කොන්දේසි විරහිතව ය. ආචාර්ය ජයන්ත තෙන්නකෝන් ද, එවැන්නෙකි.
සිය ඥාති සොයුරා සහ මිතුරා වන සුසන්ත හපුආරච්චිට අයත් වාරියපොළ පියුම්ගල්ල වතුයාය හෙවත් අක්කර 20 කට වැඩි, කිසිදා රසායනික පොහොරක් නොයෙදූ පාරම්පරික පොල් වත්ත, ආචාර්යතුමා කාබනික පොහොර නිෂ්පාදනය කරන, ඒ ඇසුරෙන් වගා කෙරෙන සහ විවිධ නිෂ්පාදන බිහි කරන කුඩා කර්මාන්ත ජනපදයක් බවට පත් කළේය. 'මිහිසවිය' යනු, ආචාර්ය ජයන්ත තෙන්නකෝන් ඉටු කර ගත් ඒ උත්සාහය යි. හදවතින්ම හැදූ ව්‍යාපාරය යි.
'මිහිසවිය' පුද්ගලික සමාගමේ (Mihisaviya (Pvt) Ltd) කර්මාන්තශාලාව පිහිටි මෙම වතුයාය ස්වාභාවික සම්පත්වලින් අනූන සරුසාර කාබනික පොල් වත්තක් පමණක් නොවන්නේ, අද වන විට දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ලබා දීම සඳහා ස්වභාවධර්මයේ ක්‍රමය මත පමණක් පදනම් වූ ඒකාබද්ධ ගොවිතැන් ක්‍රමයක් උදෙසා නිරන්තර වෙහෙසෙන ජන කණ්ඩායමක් වෙසෙන කර්මාන්ත පරිශ්‍රයක් බවට පත්ව ඇති නිසා ය.
Molecular Biology හෙවත් අණුක ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි ජයන්ත තෙන්නකෝන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය සහ ඇමෙරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමි කර ගත්තේය. අබුඩාබිහි තෙල් සමාගමකින් සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළේය. ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩ කර අත්දැකීම් ලබා ගත්තේය. ලෝකය වටේ කරක් ගැසූවත්, මේ මහ පොළොවේ වටිනාකම අමතක කරන්නට ඔහුට නොහැකි විය.
2017 ඔහු ලංකාවට එන්නේ සිය ඥාති සොයුරු සුසන්තට යෝජනාවක් ද රැගෙන ය. ඒ වන විට කුඩා පොල් තෙල් කර්මාන්තයක් ඇතුළු සුළු කර්මාන්ත කිහිපයක් මේ පියුම්ගල්ල වතුයායේ සුසන්ත විසින් පවත්වා ගෙන ගියේය.
"අපි මේ පොල් වත්තේ කාබනික පොහොර ෆැක්ටරියක් හදලා, අහල පහළ උදවියට තව රස්සා ටිකක් හදමු..." යෝජනාවට පණ ලැබිණි.
අද පියුම් ගල්ල වතුයායේ 100%ක් දියර කාබනික පොහොර, දියර ජෛව පොහොර සහ ඝන කාබනික පෙති පොහොර නිෂ්පාදනය පමණක් නොව, ඉන් ඔබ්බට ගිය විශාල මෙහෙවරක් ඉටු කරන තැනක් බවට පත්ව තිබේ.
මිහිසවිය කාබනික දියර පොහොර පැසවන ටැංකි, පොහොර නිෂ්පාදනයට අදාළ කටයුතු පමණක් නොව, මිහිසවිය පොහොර භාවිතයෙන් කෙරෙන කාබනික වගාව නිසා වතු යායට එක්ව ඇත්තේ විශාල වටිනාකමකි.
ඊටත් වඩා, ඒ හා බැඳුණු ගොවි පවුල් තිහ හතළිහක් කාබනික පොහොර භාවිතයෙන් වගා කරන්නටත්, ඒ වගාවෙන් උසස් ප්‍රතිඵල ලබන්නටත්, ඒ සරුඵල යළි ආයතනයට ම අලෙවි කරන්නටත්, ඒ ඔස්සේ ජීවන තත්ත්වය උසස් වූ හොඳ ආර්ථිකයක් හදා ගන්නටත් මඟ හසර උදා කර ගෙන තිබේ.
මහපොළොව හා කෙරෙන මේ සියුම් ගනුදෙනුව හරහා කුඩා ජන කණ්ඩායමක ගේ හෝ ජීවන තත්ත්වය උසස් කරන්නට ලැබීම පිළිබඳ ආචාර්ය ජයන්ත තෙන්නකෝන් අදහස් දැක්වුයේ මෙලෙසිනි.
"අපේ ප්‍රධාන අරමුණ වුණේ මේ වතුයායෙන් ඉවත ලන අපද්‍රව්‍ය කිසිවක් අපතේ නොයවා තත්ත්වයෙන් උසස් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම. මම වෘත්තියෙන් පිළිකා පිළිබඳ පර්යේෂණ කරන අණුක ජීව විද්‍යාව පිළිබඳ ආචාර්යවරයකු වුවත් මට කර්මාන්ත ක්ෂේත්‍රයේ අවුරුදු 20ක අත්දැකීම් තිබෙනවා. ඒ දැනුමෙන් මට ලොකු විශ්වාසයක් තිබුණා මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් කියා.
මුලින්ම අපි හැදූ පොහොර, මේ වතුයාය අවට ගොවිතැන් කළ ගොවි පවුල්වලට බෙදා දුන්නා. ඊළඟට අපිම මේ වත්තෙන් කොටසක් වෙන් කරගෙන හේනක් වගා කළා. ඒ හේන් ගොවිතැනටත් භාවිත කළේ අපි හැදූ කාබනික පොහොරමයි. ඒ ලබපු උසස් ප්‍රතිඵලත් එක්ක අපි මේ කර්මාන්තය ටිකක් පුළුල්ව කරන්න හිතුවා. ඒ අනුව පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය ලබා ගෙන, එම නීති රීතීන්වලට අනුකූලව වාණිජව නිෂ්පාදනය ආරම්භ කළා. ඒ තමයි, මිහිසවිය කාබනික පොහොර අපේ කතාවේ ආරම්භය.
අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ අවුරුදු දහයක් ඉදිරියට සැලසුම් කරලා. ඒ අනුව අප රජයට කාබනික පොහොර නිෂ්පාදනය කර දීමෙන් පමණක් නවතින්නේ නැහැ.
පරිසරයෙන් ඉවතලන සියලුම කොටස් උපයෝගී කරගෙන කළ හැකි උසස්ම නිෂ්පාදන සිදු කොට, ඒවා value-added නිෂ්පාදනයක් ලෙස දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සහ එම ක්‍රියාවලිය ඇතුළේ සිටින සියලුම දෙනා ඒ සඳහා ඒකාබද්ධ කොට ගෙන ඔවුන් ගේ ජීවන තත්ත්වය උසස් කිරීමයි, අපගේ සැලසුම වන්නේ. ඇත්තටම එය එක්තරා විදියක චක්‍රයක්.
දැන් අප නිෂ්පාදනය කරන පොහොර පුළුවන් තරම් කුරුණෑගල සහ වාරියපොළ අවට ගොවීන්ට දෙනවා. ඒවා පාවිච්චි කර හදන ඔවුන්ගේ ඵලදාව අප ම මිල දී ගන්නවා. විශේෂයෙන් ඉඟුරු සහ කහ විශාල ලෙස කාබනිකව වගා කොට, ඒවායේ සාරය ගෙන ස්පිරිට් එකක් බවට පත්කොට, value-added නිෂ්පාදනයක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළට යැවීමට අප කටයුතු කරනවා. මෙවැනි සැලසුම් නිසා අප සාමාන්‍ය කාබනික ඉඟුරු වගාවක් හෝ එළවළු පලතුරු අපනයනය කිරීමක් නෙවෙයි සිදු කරන්නේ. මෙවැනි අගය එකතු කළ නිෂ්පාදන සඳහා පිටරට ආහාර සමාගම් ජාලවල සහ ඖෂධ සමාගම්වල ඉහළ පිළිගැනීමක් සහ ඉල්ලුමක් තිබෙනවා. අපි ඉලක්ක කරන්නේ එම විරල අපනයන වෙළෙඳපොළයි.
ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තරව පිළිගත් කාබනික ප්‍රමිතිකරණ සහතිකය, මෙරට Control Union ආයතනයෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. නමුත් රජය පැත්තෙනුත් යම් සහයෝගයක් අවශ්‍යයයි. ඉඟුරු සාරය වැනි value-added නිෂ්පාදන කර ඇත්තේ රජය පැත්තෙන් ලබාගත යුතු අනුමැතීන් තිබෙනවා. සැබෑ ආයෝජකයන් හඳුනාගෙන, ඒවා වළක්වනවා වෙනුවට අවශ්‍ය සහයෝගය දෙනවා නම් අපිට පුළුවන් ජාත්‍යන්තරයට ගැළපෙන නව නිෂ්පාදන ඇතිකොට, ග්‍රාමීය ආර්ථිකය නංවන්න දායක වෙන්න.
අපගේ කර්මාන්ත ශාලාව තුළ මසකට කාබනික දියර පොහොර ලීටර ලක්ෂයක් පහසුවෙන්ම හදන්නට පුළුවන්. කාබනික පොහොර සහ ජෛව දියර පොහොරත් එසේම සෑදිය හැකියි. ඊට අමතරව, පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සහ අදාළ පරීක්ෂණ සහතික හිමි ආයතනවලින් අපි pellets හෙවත් කුඩා කැට පොහොර මිලදී ගෙන, තත්ත්වය වැඩි දියුණු කරනවා. මේ සියලු කාරණා ඔස්සේ අප බලාපොරොත්තු වන්නේ මේ අක්කර 20 තුළ, සර්ව සම්පූර්ණ කුඩා කර්මාන්ත ජනපදයක් නිර්මාණය කිරීමයි. ඒ තුළින් විදේශ විනිමය උපයන මාර්ග පුළුල් කොට, මේ ගොවි පවුල්වල තත්ත්වය උසස් කිරීමයි.
අපිට පොල්කටු අඟුරු කර්මාන්තයකුත් තිබෙන නිසා, ජීව වායු පද්ධතියක් සහ නව නිෂ්පාදන හරහා පරිසර හිතකාමී කර්මාන්ත පද්ධතියක් මේ භුමිය තුළ ගොඩ නඟන්න පුළුවන්. මේ වතුයාය ඇතුළේ ජලය පිරුණු වැවක් තිබෙනවා. අප පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජලය සපයා ගන්නේ එයින්. හිරු එළියත් ඕනෑ තරම්. අපේ ඉදිරි සැලසුම් අතර, සූර්ය බලශක්ති පද්ධතියක් නිර්මාණය කිරීමත් ඇතුළත්. එවිට අපිට අවශ්‍ය ගෑස් සහ බල ශක්තිය නොඅඩුව තිබෙනවා. පොහොර තිබෙනවා. අපගේ ම කාබනික පොහොර පාවිච්චි කර අපට පුළුවන් වගාව තවත් පුළුල් කරන්න. ඒ වගාව ඕගනික් බවට සහතික කර පිට රට යවන්න.
හිතන්න, ලංකාවේ අපිට මොනවද අඩු. අවශ්‍ය වෙන්නේ හරි සැලසුමක් සහ ක්‍රියාත්මක වීම පමණයි.
දැනට කාබනික වගාවේ විශාල ලෙස යෙදෙන කාබනික ගොවිපළ කිහිපයක්ම තිබෙනවා. අපි බලාපොරොත්තු වනවා, ඒ අය සමග අනුබද්ධ වී සාධාරණ මිලක් යටතේ බීජ මිල දී ගෙන අපගේ ගොවීන්ට ලබා දෙන්න. ඒ ඵලදාව අපිම මිලට අරන් පිටරට යවන්න. දේශීය වී වර්ගයක් වන ගෝනබරු අප වගා කළා. අපගේ කාබනික පොහොරවලට ඒ වී වර්ගය ඉතා හොඳ ප්‍රතිචාර දැක්වූවා. ඉහළ අස්වැන්නක් ලැබුණා.
මිහිසවිය දියර ජෛව පොහොර නිපදවන්නේ ශ්‍රී ලංකාවේ නොඉඳුල් වැසි වනාන්තර ඇතුළු විවිධ සාරවත් ස්ථානවලින් ගත් බැක්ටීරියාවන් ගෙන් පොහොසත්වයි. අපගේ ජෛව පොහොරවල නයිට්‍රජන් සවි කිරීමට, පොස්පේට් ද්‍රාව්‍ය කිරීමට සහ පොටෑසියම් ද්‍රාව්‍ය කරන බැක්ටීරියා වික්‍රියා, සූඩෝමොනාස් විශේෂ සහ දිලීර විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි. මිහිසවිය දියර ජීව පොහොර නැවත නැවත භාවිත කිරීම, හිතකර පාංශු ක්ෂුද්‍ර ජීවී ඝනත්වය වර්ධනය කරනවා. කාලයත් සමඟ පස පෝෂණය කරනවා. අපගේ පොහොර සෑම කාණ්ඩයක් ම පොහොර ලේකම් කාර්යාලය හරහා නිරන්තරයෙන් පරීක්ෂා කර, සහතිකකරණයට ලක් වනවා. ඕනෑම වගාවකට අපගේ කාබනික පොහොර භාවිත කර කර බලන්න යැයි අප ගොවි මහත්වරුන්ට ආරාධනා කරන්නේ දැඩි විශ්වාසයකින්.
ලංකාවට දැනට ගේන්නේ, වැඩිපුරම දෙමුහුන් බීජ නිසා ඒවාට ගැළපෙන්නේ රසායනික පොහොර වර්ග පමණයි. නමුත් කාබනික පොහොරවලට ගැළපෙන වී වර්ග සහ බීජ වර්ග වෙනත් රටවලත් තිබෙනවා. අප ඒ පිළිබඳ සොයා බලමින් සිටිනවා. එවැනි බීජ ගෙනැවිත් ගොවි මහත්වරුන්ට බෙදා දෙන්නත් අප බලාපොරොත්තු වනවා.
මොකද, ලංකාවේ ගොවි මහත්තුරු විශාල පීඩනයක සිටින නිසා ඔවුන්ට සිතන්නට සිදුව තිබෙන්නේ, වාණිජ වගාවක් පිළිබඳ විතරයි. නමුත් මේ කාබනික රසායනික සංකලනය හෝ කාබනික වගාව වියට්නාමය සහ තායිලන්තය වැනි රටවල ඉතා හොඳින් කරගෙන යනවා. ඒ රටවල ගොවීන් තමන්ගේ ව්‍යාපාරය ගැන විතරක් නෙවෙයි, තම රට සහ මහපොළොව ගැනත් හිතනවා.
අපි ශ්‍රී ලංකාවේ ගොවි මහත්වරුන්ටත් ප්‍රශ්නවලින් ගොඩ එන ක්‍රමයක් පුරුදු කළ යුතුයි. ඔවුන් සිතන ආකාරය වෙනස් කළ යුතුයි. කාබනික පොහොර භාවිතයෙන් ගිය ඉහළ ඵලදාවක් ලැබිය හැකි, ගැළපෙන බීජ ලබා දීමයි, මේ සඳහා ඇති හොඳම විකල්පය.
ඒ වගේම, ලංකාවේ කාබනික වගාවට කැමැති උදවිය එක්ක අපි සම්බන්ධ වෙන්න කැමැතියි. ලංකාවේ මොන පළාතක හිටියත් ඔවුන්ට ගැළපෙන කාබනික පොහොර නිෂ්පාදනය කර දෙන්න යැයි ඉල්ලීමක් ආවොත් අප මුලින්ම කරන්නේ, එම ප්‍රදේශයේ පස් පරීක්ෂාවක් සිදු කිරීම. ඒ පසට ගැළපෙන විදියේ පොහොරක් හදන්න ඒ පසේ ස්වභාවය, බැක්ටීරියා ඝනත්වය වගේ කරුණු රාශියක් අධ්‍යයනය කළ යුතු වනවා. සංකීර්ණ ක්‍රමවේද අනුගමනය කරන්නේ ඒ අනුවයි. පසකට ගැළපෙන්න පොහොරක් නිෂ්පාදනය කරනවා කියන එක තරමක් කරදරකාරී කටයුත්තක් ලෙස පෙනුණත් අපි ඒ දේට කැමැතියි.
ඒ වගේම, ආත්ම තෘප්තිය පෙරදැරි කරගත් කාබනික පොහොර වගාව හා බැඳුණු චක්‍රයක් බඳු මෙම ව්‍යාපෘතියට අමතරව, ව්‍යාපාර කිහිපයක් අප පිට රටවල පවත්වාගෙන යනවා.
Marvel Molecular LLC යනු, ඩුබායි කාර්මික නගරයේ අප පවත්වාගෙන යන ස්වයංක්‍රීය සත්කාර, ඩිටර්ජන්ට් සහ විෂබීජ නාශක නිෂ්පාදනය කරන ව්‍යාපාරය. Beluga trading LLC යනු, ඩුබායි හි ක්‍රියාත්මක අපගේ ජාත්‍යන්තර වෙළෙඳ අංශය. ඒ වගේම, Brightora Paints - UAE, අපගේ නවතම ව්‍යාපාරය වන අතර, එයින් මැද පෙරදිග වෙළෙඳපොළ සඳහා නවීනතම තීන්ත නිෂ්පාදනය කරනු ලබනවා.
අංක 06, ලේක්සයිඩ් වත්ත, බමුණු ගෙදර පටුමග 2, කුරුණෑගල, කියන්නේ අපගේ ප්‍රධාන කාර්යාලයේ ලිපිනය. කාබනික පොහොර පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනකුට අපගේ mihisaviya@gmail.com විද්යුත් ලිපිනය ඔස්සේ අප හා සම්බන්ධ විය හැකියි.
ඒ වගේම, ආයතනයෙන් ඉටු විය යුතු සමාජ වගකීමක් ලෙස, ඩොක්ටර් ලලිත් ඒකනායකගේ මූලිකත්වයෙන් පවත්වා ගෙන යන කල්පිටියේ පිහිටි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය සඳහාත් අප දායකත්වය දක්වනවා. ගොවි මහතුන්ට කාබනික පොහොර නිෂ්පාදනය කර දී, මේ මහ පොළොව සුවපත් කරනවා වගේම, වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවුන් සංරක්ෂණය සඳහාත් අප කැප වී සිටින්නේ මුළු හදවතින් ම යි..."