
- ලංකාවේ වාර්තාගත ළමා මවුවරුන් 3.9%ක්
- නාගරික හා ග්‍රාමීයව ළමා මවුවරු බිහිවීමට වෙනස් හේතු කාරණා බලපානවා
- ලොව ලක්ෂ 21කට ආසන්න පිරිසක් සෑම වසරකම ළමා මවුවරුන් වෙතැයි ගණන් බලා ඇත
- වයස අවුරුදු 18 ට අඩු ගැහැනු දරුවන් ගැබ් ගැනීම සුව කළ නොහැකි ප්‍රතිවිපාක ගෙන දෙන්නක්
- අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්නට රහස්‍යභාවය රකිමින් උපදෙස් දීමට පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සූදානම්
කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක තිබී හමු වූ බිලිඳාගේ කතාව පසුගියදා දරුවන් ඇති නැති කාගේත් හදවත ආමන්ත්‍රණය කළ උණුසුම් පුවතක් මැවූ කරුණක් විය. ඉතා අමානුෂික අන්දමින් දරුවන් මරා දමන යුගයක මෙසේ හෝ ඒ දරුවාගේ දිවි රැක දෙන්නට උපක්‍රමශීලිව මේ ළාබාල මවුපියෝ කටයුතු කර තිබුණි. නීතියෙන් ඔවුන්ට ගැලවීමක් නැති වුවද, සමාජයෙන් යම් අනුකම්පාවක් ලබන්නට ඔවුන්ට හැකි විය. මීනගයා දුම්රියේ හමුවූ දරුවාගේ මවුපියන් බාල වයස්කාරයන් නොවූවද, මේ සිදුවීම හා සබැඳි සමාජ වටපිටාවෙන් මතු වන දැඩි සමාජ ප්‍රශ්නයක් වූ ළමා මවුවරුන්ගේ අර්බුදය යළි කතිකාවතකට ලක් කළ යුතු කරුණකි.
දරුවන් මහ මඟ දමා යෑමට සිතක් යමකුට පහළ වන්නේ ඇයි? තමන්ට අනවශ්‍ය දරු පිළිසිඳගැනීම් ඇති වන්නේ ඇයි? ඊට හේතු වූ සමාජ, ආර්ථික පසුබිම් වූ හේතු කාරණා මොනවාද? අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීමකදී ගබ්සාවකට යෑමට නොහැකි නම් අත් වන්නේ කුමන ඉරණමක්ද? දරුවෝ අතට පත්වූ දරුවන්ගේ කතාව නොඑසේනම් මවුවරු වූ දරුවන්ගේ කතාවට ප්‍රවේශයක් සපයන්නට සිදු වන්නේ ඒ හරහාය.
මේ මවක් වූ දියණියකගේ සත්‍ය සිදුවීමකි. මේ කතාව ගොනු වන්නේ කතා කළ යුතු කතිකාවතට ප්‍රවේශයක් ලබා දීමටය.
“ මට දරුවා ලැබෙන කොට අවුරුදු 14යි. ඒ කාලේ ගෙදර නිතරම රණ්ඩු. තාත්තා අපිව දාලා ගියා. පස්සේ අම්මයි, තාත්තයි දික්කසාද වුණා. අල්ලපු වත්තේ හිටපු අයියත් එකක් මම යාළුවුණේ ගෙදරින් නොලැබෙන ආදරය මට එයාගෙන් ලැබුණු නිසා. අපි දෙන්නා ලිංගිකව එක්වුණා. මම හිතුවේ ආදරේ කියන්නේ ලිංගිකව එක්වීම තමයි කියලා. මේ නිසා මට දරුවෙක් ලැබෙන්න හිටියත් එ්කත් තේරුම් ගියේ මාස තුන හතරක් ගියාට පස්සෙයි. කොහොම හරි දරුවා ලැබෙන කොට මට අවුරුදු 14යි. පස්සේ යාළුවුණ කෙනත් මාව අතහැරලා ගියා. දැන් දරුවට තාත්තෙක් නැහැ. මගේ අම්මා තමයි දරුවා හදා ගන්නේ.....“ඒ මවක් වූ වයස අවුරුදු 14ක දැරියකගේ ශෝකාන්තයකි.
එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු පිරිස දරුවන් සේ සැලකුණද, යුනිසෙෆ් ආයතනයේ නිර්වචනයන්ට අනුව ළමා මාතෘත්වය වයස සීමාව වයස අවුරුදු 12 - 19ත් වෙයි. 2020 වර්ෂයේ සිදු කළ අධ්‍යයනයකට අනුව වාර්ෂිකව ලොව වයස අවුරුදු 15 ත් 19ත් අතර ගැහැනු ළමයින් මිලියන 16ක් පමණ මවුවරුන් වෙතැයි ගණන් බලා ඇත. එසේම යුනිසෙෆ් දත්තයන්ට අනුව 2008දී උපත ලද දරුවන් පස් දෙනකුගෙන් එක් අයකු ළමා මවක් වශයෙන් හඳුනා ගෙන ඇත. කනගාටුව මෙයින් 80%ක් සංවර්ධනය වෙමින් පවතින රටවලය.
ලංකාවේ ළමා මවුවරුන්ගේ වාර්තාගත සංඛ්‍යාව පසුගිය වසරවලට සාපේක්ෂව ක්‍රමිකව අඩු වෙමින් පැවැතියද, එය අපට සතුටුදායක ප්‍රවෘත්තියක් නොවන්නේ වාර්තගත නොවූ ඒවා ද බොහෝ වීම නිසාය. මේ හේතුවෙන් සමාජ විද්‍යාඥයෝ මේ පිළිබඳ දත්ත විශේලේෂණයන්හි නියැළෙන්නේ ඒ අපහසු වූ යථාර්ථය සමාජය මතුකර ගන්නටය. ලංකාවේ ළමා මවුවරු සම්බන්ධ පයේෂණයක නියැළි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අංශාධිපති ආචාර්ය කුමාරි තෝරදෙනිය පවසන්නේ ලොව වැඩිම ළමා මවුවරු වාර්තා වන්නේ නයිජර් (20.3%), මාලි (17.5%),ඇන්ගෝලා (16.6%). මොසැම්බික්, ගිනියාව, චැඩ්, මලාවි, කොංගෝ, මැඩගස්කරය සහ උගන්ඩාව වැනි රටවලින් බවයි. ඇයගේ පර්යේෂණ වාර්තාවට අනුව බංග්ලාදේශය 8.2%, ඉන්දියාව 7.9%, නේපාලය 6.0%, පාකිස්තානය 4.4%, ශ්‍රී ලංකාව 4.4% ක්ව ඇති අතර දකුණු ආසියාතික රටවල් අතරින් අඩුම ළමා මවුවරු වාර්තා වන්නේ මාලදිවයිනෙන්( 0.7%) බවයි.
2018 වසරේ අඩුම යොවුන් වියේ ගැබ් ගැනීම් ඇති රටවල් අතර දකුණු කොරියාව (0.1%), ඩෙන්මාර්කය (0.3%), සිංගප්පූරුව (0.3%), ස්විට්සර්ලන්තය (0.3%), නෙදර්ලන්තය (0.3%), ජපානය (0.4%) සහ නෝර්වේ (0.4) %) වූ බව ඇය සිය විශ්ලේෂණයෙන් හඳුනා ගෙන ඇත.
“ ලංකාව ඇතුළු ලොව පුරා කරන ලද සමීක්ෂණයන්ට අනුව සමාජමය කරුණු, පවුල් පරිසරය හා පෞද්ගලිකව මුහුණ දෙන කරුණු මෙම ළමා මවුවරු වැඩි වීම කෙරෙහි බලපානවා. දරුවන්ට ඇතිවන පීඩාකාරී සමාජ වටපිටාව ළමා මවුවරුන්ගේ සංඛ්‍යාව වැඩි වීමට සෘජුවම බලපා තියෙනවා. ඊට හොඳම උදාහරණයක් වන්නේ උතුරු, නැඟෙනහිර යුද්ධය පවතින සමයේ ඊට අදාළ ප්‍රදේශවල ළමා මවුවරු සංඛ්‍යාව වැඩි වීමයි. ඊට හේතු වුණේ යුද්ධයට දරුවන් බඳවා ගැනීමට පෙර ඔවුන් තම දරුවන් විවාහ කර දීමයි. මීට අමතරව දරිද්‍රතාව ද ළමා මවුවරුන්ගේ සංඛ්‍යාව වැඩි වීමට සෘජුව බලපා ඇති බව පෙනී ගියා. කර්කෂ සමාජ වටපිටාව, දැඩි දුප්පත්කම නිසා ළමා විවාහ සිදු වුණත් ඒවා කිසිදු තැනක නිවැරැදිව වාර්තා වන්නේ නැහැ. සමහර විට දරු උපත්වලදී බොරු වයස් ලබා දීම්, වැරදි උප්පැන්න ලබා දීම් සිදු වන්නට පුළුවන්. ලංකාවේ විවිධ දිස්ත්‍රික් හා සැසඳීමේදී දරිද්‍රතාවයෙන් යුතු පළාත්වල මේ වාර්තා වීම් වැඩි බව පර්යේෂණයේදී ඔප්පු වුණා. තවත් පැත්තකින් පවුල් පරිසරයේ විවිධ හැලහැප්පීම් මේ තත්ත්වය වර්ධනයට සෘජුව බලපෑවා. පවුල් විසංවිධාන වීම්, ගැහැනු දරුවන් හා මවුපියන් අතර සම්බන්ධතාව අඩු වීම්, මව විදෙස්ගත වීම්, මවුපියන් දික්කසාද වීම්, පවුල් ආරවුල් මෙන්ම තනි මවුවරුන්ගේ සංකල්පය ව්‍යාප්ත වීම තම දරුවන් නිසි වයස් යන්නට ප්‍රථම මවුවරු තත්ත්වයට පත්වුණා. නව යොවුන් වියට පත් තරුණියන්ට ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාව මතුවුවද, ඒවා ලබා ගැනීමේ අවස්ථා බොහෝ දුරට විරල වෙනවා. ලිංගික අධ්‍යාපනය සම්බන්ධ නිසි දැනුම්වත් වීමට අවස්ථාව බොහෝ දෙනෙකුට නොලැබෙන්න පුළුවන්. සමාජානුයෝජනය වීමේ ගැටලු මෙන්ම තමන් ආශ්‍රය කරන සම වයස් කණ්ඩායම්වලට වැඩි නැඹුරුව මෙන්ම ආදරය අහිමි වීම හරහා ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් ඉක්මනින් වැලඳ ගැනීම ළමා මවුවරුන්ගේ වැඩි වීම වේගවත් වීමට බලපා තියෙනවා.....“ ඒ ආචාර්ය කුමාරි තෝරදෙනියයි.
2015 වසරේදී මහනුවර රෝහල විසින් ළමා මවවුරු 182ක් යොදා ගෙන පර්යේෂණයක් සිදු කර ඇති අතර, එයින් සනාථ වී ඇත්තේ ද ළමා මවුවරු අතරින් 79%ක් අධික දරිද්‍රතාවයට මුහුණ දුන් ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි. ඉතිරි 21% නාගරික ප්‍රදේශවලින් වාර්තා වී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ මහාචාර්ය නේරංජි විජේවර්ධන පවසන්නේ ළමා මවුවරු බිහි වීමේ සම්භාවිතාව ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම නාගරික ප්‍රදේශවල ද පවතින බවත්, ඒ දෙකෙහි යම් යම් වෙනස් වීම් දැකිය හැකි බවත්ය.
“ ග්‍රාමීය ප්‍රදේශවලින් ළමා මවුවරුන් බිහිවීමට කරුණු කාරණා රැසක් බලපා තියෙනවා. විශේෂයෙන් ග්‍රාමීය පළාත්වල පවතින අධික දරිද්‍රතාවය, සමාජ සාක්ෂරතාවයේ අඩුකම, ජීවන රටාව, ලිංගික අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා අහිමි වීම මෙන්ම දරිද්‍රතාව හරහා ඇතිවන මවුපියන් විදෙස්ගත වීම් ආදි කරුණු රැසක් මේ සඳහා බලපා තියෙනවා. නමුත් නාගරික පළාත්වල ජීවන විලාසිතා, සමාජ මාධ්‍ය භාවිතය හා ඉතා පහසුවෙන් ලිංගික වෙබ් අඩවි සඳහා ප්‍රවේශ වීමේ හැකියාව, නව උප සංස්කෘතික කණ්ඩායම් ඇසුරට අවස්ථාව විවර වීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය නැඹුරුවට වැඩි අවස්ථා හිමි වීම, අනාරක්ෂිත ලිංගික සබඳතා ද මේ ළමා මවුවරුන්ගේ සංඛ්‍යාව නාගරික පළාත්වල වර්ධනයට රුකුල් දෙන හේතු හා මේ හේතුව නිසා නාගරික සමාජයේ ගබ්සා මධ්‍යස්ථාන ද දිනෙන් දින වැඩි වීමක් පෙන්නුම් කරනවා. එසේම බෝවන ලිංගික රෝගවලින් පෙළීමේ නැඹුරුව ද වැඩියි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව වයස අවුරුදු 18ට අඩු ගැහැනු දරුවන් ගැබ් ගැනීම සුව කළ නොහැකි ප්‍රතිවිපාක ගෙන දෙන්නක් බව පවසනවා. මේ හරහා සෘජුවම ගැහැනු දරුවකුගේ අයිතීන් උල්ලංඝනය වීමක් වෙනවා. ඇයගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යයට තර්ජන එල්ල වෙනවා. මේ වයස් සීමාව ඇයට මවත් ලෙස කායික හා මානසිකව සිදු වන වෙනස්කම් දරා ගැනීමට අපහසුයි. ඒ නිසා නීරෝගි ගැබ් ගැනීමකට ඇති අවදානම, මව හා දරුවා අනාරක්ෂිතබව, අඩු බර දරු උපත් මෙන්ම මව මානසික ව්‍යාකූලත්වය පත් වීම වැනි තත්ත්වයන්ට මුහුණ දෙනවා. මේ සුවකළ නොහැකි ප්‍රතිවිපාක රටට අනවශ්‍ය බරක්.“ ඒ මහාචාර්ය නේරංජි විජේවර්ධනය.
මහාචාර්ය නේරංජි පවසන්නේ ලොව ලක්ෂ 21කට ආසන්න පිරිසක් සෑම වසරකම ළමා මවුවරුන් බවට පත්වන බවය. මෙයින් බොහෝමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල වීම දෙවරක් අප සිතා බැලිය යුතු කරුණකි. දිය මත පාවෙන අයිස් කන්දේ පෙනෙන ප්‍රමාණයට වඩා නොපෙනෙන ප්‍රමාණය බොහෝ සේ වැඩි හෙයින් මෙවැනි සමාජ ව්‍යසනයන්ගේ ද නොපෙනෙන පැත්ත වඩාත් ගැඹුරු බව ද අවධාරණය කළ යුතුය.
සමාජ විද්‍යාඥයන් පවසන පරිදි අපේ සමාජ වටපිටාව තුළ ලිංගිකත්වය යන මාතෘකාව සැඟවුණ කරුණකි. මේ නිසාවෙන් උපත් පාලනය පිළිබඳ අඩු දැනුම්වත් වීම, ලිංගිකව දූෂණයකට ලක් වීමෙන් පසු ඊට අදාළ ප්‍රතිකර්ම කෙරෙහි යොමු නොවීම මෙන්ම ආදර සම්බන්ධතා හා ලිංගික සම්බන්ධතා පටලවා ගැනීම වැනි කරුණු නිසා වර්තමානයේ බොහෝ තරුණ දියණියන් අසරණ භාවයට පත් වන බවයි. මේ නිසා ගැබ් ගැනීමට ඇති අවදානම වළක්වා ගැනීමට නිසි උපදෙස් දීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ අති විශිෂ්ට සේවයක් සිදු කළද ඊට යොමු නොවීම හරහා මේ ව්‍යසනය සමාජයේ ප්‍රබලව මුල් බැස ඇති බවය.
“ ප්‍රජාව වෙනුවෙන් තමයි පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සිටින්නේ. ඒ අය මේ රහස් උපරිමයෙන් ආරක්ෂා කරනවා. ගැබිනි බව කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. ඊට කායිකවත් මානසිකවත් සූදානම් විය යුතුයි. නමුත් අවුරුදු 12-19 අතර වයස් සීමාවේ පසුවන නව යොවුන් තරුණියන්ට ඊට සුදුසු වාතාවරණයක් නැහැ. අපේ මවුවරුන් හා සැසඳීමේදී මවුවරුන්ගෙන් සියයට තුන් දෙනෙක් ළමා මවුවරුන්. මේ අය සමහර විට වයස් සීමා වසන් කරන්නට පෙලඹෙනවා. ඒත් උපක්‍රමශීලිව වයස සොයා ගන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ අනුව මේ අය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන්. ලංකාවේ වතු ප්‍රජාව අතර, ධීවර ප්‍රජාව අතර මේ ළමා මවුවරුන්ගේ ප්‍රතිශතය වේගවත්. ඊට කරුණු කාරණා රැසක් බලපා තියෙනවා. සාක්ෂරතාව අඩු වීම, සමාජ මට්ටම්, අර්ථික මට්ටම වැනි කරුණු ඊට ප්‍රධාන වශයෙන් බලපා තියෙනවා. වර්තමානයේ මේ ප්‍රශ්න නිසා සාමාන්‍ය පෙළින් පසුව බොහෝ දරුවෝ පාසල් ගමන අත් හරිනවා. වෙනත් රැකියා සඳහා යොමු වෙනවා. අවසානයේ නතර වන්නේ ආදර සම්බන්ධතා දුර දිග ගිහින්. මේ ආදර සම්බන්ධතා සඳහා විවාහක පිරිමියකු සම්බන්ධ වුණොත් මේ දරුවන් නිරපරාදේ විනාශ වෙනවා. නව යොවුන් දරුවකුට මවගේ රැකවරණය අත්‍යවශයයි. වර්තමානයේ දුරකතන සම්බන්ධතා හරහා සොයා ගන්නා ඔන්ලයින් රැකියා මෙන්ම සමාජ සම්බන්ධතා භයානක තත්ත්වයකට ගමන් කරනවා. කෙසේ වෙතත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් මේ සියලුම මවුවරු ලේඛනගත කිරීමක් කරනවා. නමුත් අපි ඉල්ලා සිටින්නේ තමන්ට යම් කරදරයට හෝ ලිංගික හිංසනයකට මුහුණ දුන්නොත් ගැබ් ගැනීමෙන් වැළකීමට ඕන තරම් ක්‍රමෝපායන් තියෙනවා. ඒ සඳහා රහස්‍යභාවය ආරක්ෂා කරමින් උපදෙස් දෙන්නට නිතරම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සිටිනවා.....“ ඒ වරකාපොල පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි ඒ.ඒ.එස් ස්වර්ණලතාය.
ලංකාවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ සංවාදය දිගින් දිගටම ගලායන මාතෘකාවක් බවට පත් විය යුතු කාලය එළැඹ ඇත. උපත්පාලන ක්‍රමවේද, ලිංගික චර්යා සම්බන්ධ බරපතළ සංවාද ඉස්මතු වෙමින් පවතී. ඇය තම පෙම්වතා සමඟ එක්වීමට ප්‍රථම දැනුම්වත් සිටියා නම් සියල්ල හොඳින් සිදු වනු ඇත. ලිංගික චර්යාවන් පිළිබඳ පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත්තේ බොහෝ විදේශ රටවල තරුණ කතුන්ගෙන් හරි අඩක්ම තමන්ගේ දිවියේ ප්‍රථම ලිංගික හැසිරිමේදී උපත් පාලන ක්‍රම භාවිත කරන්නට තරම් ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව ඇති බවය. එහෙත් අපට ඒ අත්දැකීම, ආරක්ෂාව නැත. ආරක්‍ෂා සහිතව ලිංගික හැසිරීම් පිළිබඳ ( safe sex ) අපේ රටේ තරුණ දූ දරුවන්ගේ දැනුම ඉතා අල්පය. මේ නිසා තම පෙම්වතිය සමඟින් අනාරක්‍ෂිතව ලිංගිකව එක්වන ඇතැම් තරුණ ප්‍රේමවන්තයෝ ඇයගේ ජීවිතය විනාශය කරා කැඳවා යති. අවසානයේදී ඇයට සිදුන්නේ ළමා වියේදීම මවක් බවට පත්වීමටය. මේවා හුදු ප්‍රලාප නොවේ. යථාර්ථය සොයන්නට ඈත එපිට ගම්දනව් පීරන්නටම අවශ්‍ය නැත. නගරයෙන් ද ඒ තත්ත්වය මනා සේ අවබෝධ කරගත හැකි වනු ඇත.
නිරතුරුව කාම ගින්න අවුළුවන සමාජ වටපිටාවක් සහිත පරිසරයක වෙසෙන අපේ තරුණ දරුවන්ට අනාගත දිවියට අත්‍යවශ්‍ය වන ලිංගික විද්‍යාත්මක කාරණා ඉගැන්වීම සබුද්ධිකව විමසා බැලිය යුතුය. ඇයට අත් තටු ලැබෙන්නට පෙර අකාලයේ පියාඹා යන්නට ඉඩ නොදීම සමාජයේ ප්‍රබල වගකීමකි.