නෝර්වේ හිමේ පෙරළි කරන මොනරාගල ධනුෂ්ක | සිළුමිණ

නෝර්වේ හිමේ පෙරළි කරන මොනරාගල ධනුෂ්ක

ධනුෂ්ක හිම පුවරු ක්‍රීඩා පුහුණුවේ යෙදෙන සිසුන් සමඟ

යිකම්පන් කඳු මුදුනේ සිට හිම දෙබෑ කරන් පහළට රූටා යන වාරයක් පාසා ධනුෂ්කගේ හිත මතා සැහැල්ලුවකින් පිරී යයි. එය ඔන්චිල්ලාවක පැද්දී ඉහළ යන විට දැනෙන ආකාරයේ මහා නිදහස් හැඟුමකි. වරෙක හිම පියලි මුහුණට විසි වන තරම් වේගයකින් ලිස්සා යන ධනුෂ්කට, ගමේ කොලු නඩයට වැටී පොල් ගස් මුදුන්වල සිට තරගෙට ලිස්සා ආ අතීතයත් මතක් නොවෙනවා නොවේ. දැන් ඇති පදන් හිමේ කරණම් ගැසුවාට සිය අක්මුල් ඇත්තේ, ඉර ගිනියම් වෙච්ච මොනරාගල මාරිඅරාවේ, පල්ලේවෙල බැද්ද පිටිසර ගමේ බව කියන්නට ධනුෂ්ක කිසි විටෙකත් පැකිළෙන්නේ නැත.

පල්ලේවෙල බැද්ද ගමට යන්න නම් මොනරාගලින් පිටත් වන මාරිඅරාව බස් එක අන්තිමට නවත්වන ගම කෙළවරින් බැහැගෙන, තවත් කිලෝමීටර දෙක තුනක් ඇවිද යා යුතුය. එසේ යන විට පාර අද්දර හමුවන ගුණේ මුදලාලිගේ කඩේ දැන් ධනුෂ්ක නිසා තවත් ටිකක් ජනප්‍රිය වී තිබේ. ඒ, රූපවාහිනියේ ප්‍රවෘත්තිවලට සිය පුතු ගැන ගිය විස්තරය සහසුද්දෙන්ම දැන කියා ගන්නට එන ගමේ උදවිය නිසාය. ගුණේ මුදලාලි නොහොත් ධනුෂ්කගේ තාත්තා ගුණසේකරටත්, අම්මා සෝමාවතීටත් තම පුතු ගැන දැන් ඇත්තේ අහිංසක ආඩම්බරයකි. ඔවුන්ගේ එකම පුතු ගොල්ලගම්මන ගෙදර ධනුෂ්ක බණ්ඩාර නොහොත්, ධනුෂ්ක බී. ගුණසේකර නෝර්වේ රටේ දෙවැනි ශ්‍රේණියේ ස්නෝ බෝඩ් ගුරුවරයකු බව දැන් රටම දනී. වටිනාකම ඇත්තේ කාෂ්ටක මොනරාගල උපන් ධනුෂ්ක, හිම ගොඩේ උපන් නෝර්වේ දරුවන්ට නිවැරැදිව හිම පුවරු ක්‍රීඩාවේ නියැළෙන ආකාරය කියා දෙන ස්නෝ බෝර්ඩ් ගුරුවරයකු බවට පත්ව සිටීමය. 

“මගේ අම්මයි තාත්තයි දෙන්නම කළේ හේන් ගොවිතැන. මං පුංචිම කාලේ තාත්තා ගමේ පියුම් මහත්තයා විදිහටත් වැඩ කළා. මගේ අක්කා ස්වර්ණා වසන්ති, මහියංගණ ජාතික පාසලේ ගුරුවරියක්. මං පොඩි කාලේ මගේ තාත්තට හෘදයාබාධයක් හැදුනා. වෛද්‍යවරු කිව්වා මහන්සි වෙන්න එපා කියලා. ඒ නිසා ගොවිතැන නවත්වන්න වුණාම අම්මා පවුලේ සියලු බර කරට ගන්නවා. තනිවම අක්කර ගණන් බඩ ඉරිඟු වැවුවා, උක් කැපුවා. හේන් ගොවිතැන් කළා. සමහරදාට අම්මා මාවත් අරගෙන හේනට යනවා. උදේ පහට වැඩ පටන් ගත්තාම හවස හය වෙනකල් එක සීරුවට අම්මා වැඩ කළා. වාඩිවෙලා ඉඳලම මට එපා වෙනවා. මං ජීවිතේ හයිය දැක්කේ අම්මගෙන්. අපිව මෙහෙය වූයේ තාත්තා.

මාරිඅරාව වගේ දුෂ්කර ගමක ඉපදුණු 99%කටම තිබුණේ කටුක ජීවිතයක්. මටත් එහෙමයි. අපේ මුළු ගෙදරටම තිබුණේ කොටස් දෙකයි. වහින වෙලාවට ඉලුක් වහලෙන් වතුර වැටෙනවා. අපි නිදා ගත්තේ බිම පැදුරු එළාගෙන. පාඩම් කළේ කුප්පි ලාම්පුවෙන්. අවුරුදු හතක් විතර වෙනකල් මගේ පුංචි කාලේ ෆොටෝ එකක්වත් නෑ.

ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න සල්ලි ඕනෙ වුණාම මම කළේ කුලියට උක් කපපු එක. නැත්තම් දරමිටි කපාපු එක. මට තිබුණු වටිනාම ඇඳුම රුපියල් 150 ටී ෂර්ට් එක. අවුරුදු දාහත විතර වෙනකල් මං කවදාවත් ඩෙනිම් කලිසමක් ඇඳලා තිබුණේ නැහැ. හර්මන් මයිනර් ඉස්කෝලෙදි පොකට් මනී විදිහට ලැබුණු සල්ලි එකතු කරලා තමයි, මං කොළඹට ආවට පස්සෙ ඩෙනිම් කලිසමක් ගත්තේ.

අද අම්මයි තාත්තයි ගමේ පොඩි කඩයක් කරනවා. ඒ දෙන්නත් ජීවිතේ පටන් ගත්තේ පුංචි පැලකින්. අද කරදරයක් නැති ආර්ථිකයක ඉන්න නිසා මගේ උදවු එයාලට අවශ්‍ය නැහැ. මාරි අරාව මහා විද්‍යාලයේදී හැම වෙලාවෙම මං හිටියේ එක, දෙක අතරේ. හැමදේටම ඉදිරිපත් වුණා. හැබැයි සමහරු මට පණ්ඩිතයා කියලා බැණ්නා. මං ගමේ ඉස්කෝලේ තියෙන හැම ක්‍රීඩාවක්ම කළා.

මං උසස් පෙළ කළේ මොනරාගල මඩුල්ල මහා විද්‍යාලයෙන්. මං හීන මැවුවේ ලෝයර් කෙනෙක් වෙන්න. මං කළේ කලා විෂයන්. මඩුල්ලේ ප්‍රින්සිපල් දවසක් මට ඇප්ලිකේෂන් එකක් දුන්නා, දුප්පත් ළමයින් දහ දෙනෙකුට SOS ළමා ගම්මාන නිර්මාතෘ හර්මන් මයිනර් නමින් පිදෙන ශිෂ්‍යත්වයක් සඳහා ඉල්ලුම් කරන්න. මේ ශිෂ්‍යත්වයෙන් හර්මන් මයිනර් විද්‍යාලයට ඇතුළු වෙලා, උසස් පෙළ අධ්‍යාපනය නොමිලයේ හදාරන්න අවස්ථාව ලැබෙනවා.

හැබැයි උසස් පෙළ පළමු පාර මට විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදි වුණා. මොකද, ඕලෙවල් මොනරාගලින් කළාට, ඒ ලෙවල් ගනන් ගැනුණේ කොළඹින්. ඒ නිසා A දෙකයි, B එකයි ගත්තත් මට කැම්පස් යන්න බැරි වුණා. හැබැයි මොනරාගලින් A එකයි, B දෙකයි, ගත්තු මගේ යාළුවා කැම්පස් ගියා.

“සිංහයෙක් වගේ ගමෙන් ඇවිත් බල්ලෙක් වගේ ගමට යන්න ලෑස්ති වෙන්න එපා, මෙහෙට ආවා නම් මොනවා හරි කරලා ජීවිතේ දිනන්න ඕනේ...” අපේ හර්මන් මයිනර් ඉස්කෝලේ සෝමා මිස් දවසක් කියූ කතාව මගේ ඔළුවේ තදින්ම වැඩ කළා.

එහෙම කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න කොට තමයි, ඒ වෙනකොටත් අපි ස්වේච්ඡාවෙන් වැඩ කළ Sunfo කියන රාජ්‍ය නොවන සංවිධානයේ දේශප්‍රිය විජේතුංග මහාචාර්යතුමා අඟුලානේ එයාගේ Sunfo කාර්යාලයේ මටයි මගේ යාළුවාටයි, නවතින්න අවස්ථාව දුන්නේ. දෙවැනි පාර උසස් පෙළ කරන ගමන්, ඒ කෘතගුණයට අපි තව තවත් Sunfo එකට ස්වේච්ඡාවෙන් වැඩ කළා. හැබැයි උසස් පෙළ දෙවැනි වරත් එම ප්‍රතිඵලයමයි.

Sunfo එකට වැඩ කරන කොට තමයි, මට ස්වේච්ඡා සේවිකාවක් ලෙස නෝර්වේ රටෙන් ආ වික්ටෝරියා මුණගැහෙන්නේ. එයත් මේ එන්.ජී.ඕ. එකේ විවිධ ව්‍යාපෘතිවලට සහභාගි වුණා. අපි රත්මලානේ අන්ධ විද්‍යාලයේ, අඳ ගොළු බිහිරි ළමයින්ට ඉගැන්වුවා. තව ඈත පළාත්වල දුප්පත් ළමයින් වෙනුවෙන් විවිධ වැඩසටහන් කළා. මේ වැඩවලදී වික්ටෝරියා ඇතුළු කණ්ඩායම එක්ක රටවල් දෙක තුනකටත් යන්න එන්.ජී.ඕ. එක හරහා අවස්ථාව ලැබුණා. අපි නෝර්වේට ගිය එවැනි අවස්ථාවක නැවතුණේ වික්ටෝරියාගේ ගෙවල් ළඟ තිබූ හිම පුවරු ක්‍රීඩා කරන මධ්‍යස්ථානයක් ළඟ. අපි ඒ වෙනකොට හොඳ යාළුවෝ. ඒ රටේදී එයා හොඳින් අපිට සැලකුවා. මට නෝර්වේ ගැන ආසාවක් ඇති වෙන්නේ, අපි නැවතිලා හිටපු මාස දෙක තුළ ඒ රට සහ ඒ රටේ මිනිස්සු ගැන දැනුණු දේවල් වගේම, හිම පුවරු ක්‍රීඩාව නිසා.

මම නෝර්වේට ගිහින් දිගටම හිම ක්‍රීඩා කරන්න පටන් ගත්තා. වික්ටෝරියා වැඩ කළේ හිම ක්‍රීඩා කෙරෙන හිම කන්දක් ළඟ තිබෙන සංචාරක හෝටලයක. ඒ හෝටලයේම රැකියාවක් ලැබුණාම මං තීරණය කළා, නෝර්වේ පදිංචියට යන්න. ඔය කාලේ වෙනකොට සල්ලි හම්බ කරනවාට වඩා ජීවිතේ විඳින්න ඕන කියන තැනට මම ඇවිත් හිටියේ. මම වික්ටෝරියා විවාහ කරගත්තා. එයා, ඉන්දියානු සම්භවයක් ඇති ඉතා සුන්දර කාන්තාවන්. යහපත් බිරියක්. අපි ඉන්නේ ෂයිකම්පන් හිම කන්ද කිට්ටුව තිබෙන අපේම ගෙදරක. "

ධනුෂ්කගේ මුහුණෙහි ඇත්තේ තෘප්තිමත් සිනාවකි. ජීවිතය දිනූ ඔහුගේ කතාව තවකෙකුට දිරිය දෙන අහන්නට ආස හිතෙන කතාවකි.

“ගුරුවරයෙක් වෙන්න කලින් මම අවුරුදු දෙකක් අඛණ්ඩව පුහුණුවීම් කළා. හිම ක්‍රීඩාවේ අදියර තුනක් යටතේ විභාග තිබෙනවා. මම දෙවැනි ශ්‍රේණිය දක්වා සම්පූර්ණ කළා. නොර්වේ නීතිරීතිවලට අනුව මම දෙවැනි ශ්‍රේණියේ snowboard ගුරුවරයෙක්. අපිට වෙනම හැඳුනුම් පතක් තිබෙනවා. ඒක ලෝකයේ ඕනෑම රටක ගිහින් වැඩ කරන්න පුළුවන් සුදුසුකමක්. ළමයින්ට හිම පුවරු ක්‍රීඩාව උගන්වන නිසා, ශීත ඍතුවේදී මං හුඟක් කාර්යබහුලයි. සමහර වෙලාවල දී ඉඩ ලැබුණාම part time jobs කරනවා.

බොහෝ දෙනෙක් මාව දන්නේ youtuber කෙනෙක් හැටියට. ඒ මගේ Travel in Europe, youtube channel එක නිසා. මට දැන් ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා. ලංකාවේ තරුණ අය නව නිර්මාණ කරනවා. නමුත් මාකට් එකට දාගන්න ක්‍රමයක් නැහැ. ඒ අය වෙනුවෙන් සමාජ මාධ්‍ය උපරිමව ප්‍රයෝජනයට ගත හැකි ඔන් ලයින් මීඩියා හවුස් එකක් හදන්න මම වැඩ කරගෙන යනවා. මම ලංකාවේ ඉගෙන ගත්තේ. මම ලංකාවට ණයයි. ඒ නිසා, අපේ රටේ තරුණ අයට මොනවා හරි කරන්න ඕනේ කියන අරමුණින් තමයි, මං ඒ දේට සූදානම් වෙන්නේ. කාලයක් තිබුණා, සල්ලි නැත්නම් මුකුත් කරන්න බැහැ, ඒ නිසා සල්ලි හොයන්න ඕනේ කියලා හිතපු සහ ඒ වෙනුවෙන්ම මහන්සි වුණු. දැන් මං ඒ ආකල්පයෙන් ටිකක් ඈත් වෙලා. මෙහෙ ආවට පස්සේ මම ජීවිතේ විඳින්නයි වැඩිපුර මහන්සි වෙන්නේ.

අද මම නෝර්වේ තෝන් ගෲප් හෝටල් ජාලයට අයත්, ෂයිකම්පන් හිම කන්ද අසල පිහිටා තිබෙන 'තෝන් ස්කී රිසෝට්' එකේ, ස්නෝ බෝර්ඩ් ගුරුවරයා. සෑහෙන සිසුන් පිරිසක් මගෙන් ඉගෙන ගන්නවා. ඒ අය ස්නෝ බෝර්ඩ් ඉගෙන ගන්න මාව හයර් කරන්න, පැය දෙකකට ලංකාවේ සල්ලිවලින් නම් රුපියල් 60,000ක් ආයතනයට ගෙවනවා. මම යූ ටියුබර් කෙනෙක් නිසා, මටත් නොදැනීම මම දැන් සමාජය දන්නා පුද්ගලයෙක් බවට පත් වෙලා. ඒ ගැන නිහතමානී සතුටක් විඳිනවා. "

ධනුෂ්කගේ කතාව, මාරිඅරාවේ පල්ලේවෙල බැද්ද ගමේ කාෂ්ටක බවට සිසිලක් එක් කරන මුතුකණ්ඩිය ජලාශයේ වැව් දියේ සිසිලසට දෙවැනි නැත.

Comments