
සේයාරූ සහිත සමරු ඵලකයක්, රාජ්‍ය මට්ටමේ සහතිකයක් සමඟ වටිනා තිළිණයකින් ආචාර්යවරුන්ට උපහාර පිදුණි
බොදු දූ දරුවන් යහපත් මාර්ගයට යොමු කරන්නට දහම් පාසල් ආචාර්යවරුන් විසින් සිදු කරන්නේ සුළු පටු සේවාවක් නොවේ. එහෙත් ඒ දහම් පාසල් ගුරුවරුන් ඇගැයීමට ලක් කිරීමක් හෝ ඔවුන්ට යම් පිළිගැනීමක් ඇත්නම් ඒ ඉතාමත් කලාතුරකිනි. ඉතාම කලාතුරකින් සිදු වන්නා වූ එවන් ඇගැයීමක් පසුගියදා මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
ඒ, මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් ආචාර්යවරුන් උදෙසාය. ඒ උපහාරය සිදු කිරීමේ මූලිකත්වය ගත්තේ මහර දහම් පාසල් ගුරු සංගමය විසිනි. මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ (1 කලාපයේ) දහම් පාසල්හි 2019 වසරේ සිට වසර 3කට වඩා අඛණ්ඩ සේවා කාලයක් හිමි ආචාර්ය භවතුන්ට එසේ උපහාර පිදීම සිදු කෙරිණි. මහර දහම් පාසල් ගුරු සංගමය විසින් මේ මහඟු පුණ්‍ය කර්මය සිදු කරන ලද්දේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි ඕනෑගම නන්දරතන, ගරු සභාපති පරකන්දෙණියේ ආර්ය ශ්‍රී මනොරථ, උප සභාපතිවරුන් වන කැන්දලියැද්දපාලුවේ සිරිනන්ද, පොතුවිල චන්දසිරි හා නියෝජ්‍ය ලේඛකාධිකාරි කිරිමැටියාගාරේ සිරිධම්ම ඇතුළු නාහිමිවරුන්ගේ උපදේශකත්වයෙනි.
පසුගිය මාර්තු 12 වෙනිදා මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති එම උපහාර උලෙළට ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර, එහිදී වසර 3කට වඩා සේවා කාලයක් සැපිරූ ආචාර්යවරුන් 271 දෙනකුට උපහාර හා සම්මාන ප්‍රදානය කෙරිණ. මෙම උත්සවයේ වූ විශේෂිතම සිදුවීම වූයේ උපහාර ලැබූ සියලු ආචාර්ය භවතුන්ට වටිනා විශේෂිත තිළිණයක් ලබා දීමයි. ඒ වටිනා තිළිණය සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක, මැලේසියාවේ සෙන්තුල් බෞද්ධ විහාරාධිපති මහා කරුණා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් පූජ්‍ය බූටාවත්තේ සරණකංර නා හිමියන් විසිනි.
මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් 1 කලාපයේ දහම් පාසල් 35ක් අතුරින් උපහාර ලැබූ මේ ආචාර්යවරුන් අතර අවුරුදු 50ක 60ක පමණ සේවා කාලයක් හිමි ආචාර්යවරු ද වූහ. ඒ අතුරින් වසර 60ක පමණ වැඩිම සේවා කාලයක් හිමි මහර නැලිගම ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ චන්ද්‍රා ජයතිලක ආචාර්යවරියට විශේෂ උපහාරයක් ද සිදු කෙරිණි. ඇයට එම විශේෂ උපහාරය පිදීම මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී අතින් සිදු කෙරුණු අතර, මේ අවස්ථාවට සමගාමීව මහර දහම් පාසල් ගුරු සංගමය විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පවත්වන ලද 6 -10 ශ්‍රේණි අතර දහම් දැනුම ඇගැයීම් නිපුණතාවයෙන් ජයගත් සිසු සිසුවියන්ට තිළිණ හා සහතිකපත් ප්‍රදානය ද සිදු කෙරුණි. මහර ප්‍රාදේශීය ලේකම් ජී. එස්. අයි. විමලසේන විසින් මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වායු සමනය කළ නව ශ්‍රවණාගාරය ලබා දීමෙන් විශේෂ අනුග්‍රහයක් දැක්වීම ගැන ගුරු සංගමයේ ස්තුතිය පළ කෙරිණි.