දරුවන්ට දස වධ දෙන අද්භූත වැඩ වෙන නුවර ඉස්කෝලේ | සිළුමිණ

දරුවන්ට දස වධ දෙන අද්භූත වැඩ වෙන නුවර ඉස්කෝලේ

පේ රටේ දැන් හැම තැනකම පාහේ පෞද්ගලික පාසල් බිහි වී ඇත්තේ හතු පිපෙන්නාක් සේය. ඒ අතර ප්‍රමිතිගත දැවැන්ත පෞද්ගලික පාසල් මෙන්ම කිසිදු වැදගම්මකට නැති පාසල්ද නැත්තේම නැත.

මහනුවර බොක්කාවල මොරන්කන්දේ පිහිටි බෝඩිං පාසල ද මෙම පාසල් ගොන්නේම ඇති තවත් එක් පාසලකි. මෙම පෞද්ගලික පාසල මෙතෙක් කලක් පවත්වාගෙන ගියේ නම් ඒ සෙසු පෞද්ගලික පාසල්වලින් වෙනස්ම වූ ආකාරයකිනි. ඒ මුළුමනින්ම නේවාසික පහසුකම් සහිත පාසලක් වශයෙනි. පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම සිසුන් වෙනුවෙන් මෙහි දොරගුළු විවර කර ඇති බව ඒ අයගේ ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ නිතරම කියැවෙන්නෙකි. හැබැයි ඒ හැම අයෙක්ම මෙහි අධ්‍යාපනය ලැබිය යුත්තේ නේවාසිකවය. එසේ නොමැතිව මෙම පාසල තුළ කිසිවකුටත් අධ්‍යාපනය ලබන්නට හැකියාවක් නැත.

මහනුවර නගරයෙන් ඈත ගම්මානයක නිදහස් දැකුම්කළු පරිසරයක කඳුගැටයක් මත ඇති ගොඩනැගිල්ලක පිහිටි මෙම පෞද්ගලික පාසල එහි පාලකයන් විසින් මාර්කට් කරනු ලැබුවේ “අත්භූත වැඩ වෙන නුවර ඉස්කෝලේ“ යැයි කියාය. මෙම පාසල් ගොඩනැගිල්ලේ පිහිටීම නිසාම එය පියාඹන පීරිසියක් වගේ යැයි කියා ද කීවේය. පාසල මාර්කට් කරනු ලැබුවේ ගොඩනැගිල්ලෙහි එම පිහිටීමේ ආකර්ෂණීය බව මුල් කරගෙනය.

මෙම පාසලට දරුවන් ඇතුළත් කර ගන්නා විට පාලකයන් දෙමාපියන්ට පවසන්නේ දරුවන්ව “ඇස් දෙක වගේ රැක ගන්නම්, රජකුට වගේ සලකන්නම්“ යැයි කියාය. එය හුදෙක් වචනවලට පමණක් සීමා වූවක් බව පසක් වන්නේ එහි නේවාසිකව අධ්‍යාපනය ලබන දරු දැරියන් දස දෙනකුට පාසලේ ගුරුවරු පිරිසක් විසින් කළ ක්‍රෑර වධ හිංසනයක් හේතුවෙනි. රටේම අවධානයට මේ වන විට යොමු ව ඇති මෙම ක්‍රෑර වධ හිංසනය ගැන මේ වන විට විමර්ශන පැවැත්වෙන්නේ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ඝෘජු අධික්ෂණය යටතේ මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ සහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසිනි.

සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක් දෙමින් පවත්වාගෙන ගිය මෙම පාසල තුළදී දරුවන් පිරිසකට සිදුවූ මෙම ක්‍රෑර වධහිංසන පිළිබඳව තොරතුරු එළියට එන්නේ වධ හිංසා ඉවසා ගැනීමට නොහැකිව සිසුවියන් තිදෙනෙක් පසුගිය 13 වෙනිදා අලුයම එම පාසලෙන් පළාවිත් මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටට පැමිණිමත් සමඟිනි. එම දරුවන් පාසලෙන් පලාවිත් ඇත්තේ ද පහරදීම් ඇතුළු හිංසා තවදුරටත් දරා ගැනීමට නොහැකි වූ තැනය. මේ දරුවන් දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ රැඳී සිටියදී පාසලේ ගුරුවරු ඇතුළු පිරිසක් ඔවුන්ගේ පසුපස පැමිණ ඒ අයව රැගෙන යන්නට සූදානම් වූ විට මේ දැරිවියන් පිහිට පතා දිව යන්නේ දළදා මාළිගා පොලිස් මුරපොළ වෙතය. එහි ගොස් ඒ අය තමන්ට සිදුවූ වධ හිංසා ගැන පොලිස් නිලධාරින්ට හැඩූ කඳුළෙන් කියන විට හිත උණුවන ඔවුන් මෙම දරුවන්ව යොමු කරනු ලබන්නේ මහනුවර පොලිසියේ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය වෙතය.

ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් හමුවේ මෙම දැරිවියන් කියන්නට වූයේ හද කකියන කතාවකි. ඒ තමන්ව බිම දාගෙන පාගමින් පහරදී කළුවර කාමරයකට දමා කළ අඩත්තේට්ටම් ගැනය. තවත් පිරිසක් එසේ පාසල තුළ සිර කරගෙන සිටින බව මේ අය පැවසීමත් සමඟ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් බොක්කාවල පිහියි බෝඩිං පාසල වෙත යන්නේ මොහොතක්වත් ප්‍රමාද නොකරමිනි. ඒ සැබෑ ලෙසම එහි සිදුවී ඇත්තේ කුමක් දැයි පැහැදිලිවම දැන ගැනීමේ අරමුණ ද ඇතිවය. අමානුෂික ලෙස පහරකෑම්වලට ලක්ව කාමරයක සිරකර සිටි පිරිමි දරුවන් පිරිසක් බේරා ගන්නේ මෙම ගමනේදීය.

මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යංශයේ නිලධාරීන් එහි ගොස් කළ මූලික විමර්ශනයන්වලින් හෙළි කරගත් තොරතුරුවලට අනුව එම පහරදීමට මුල්වී ඇති සිදුවීම පෙළ ගැසෙන්නේ මෙසේය.

මෙහි අධ්‍යාපනය ලබන සිසුන් පස් දෙනෙක් පසුගිය 12 වෙනිදා මහා රෑ සිය නේවාසිකාගාර කාමරවලින් පිටතට විත් රිංගන්නේ සිසුවියන්ගේ නේවාසිකාගාරයක් වෙතය. ඒ එම නේවාසිකාගාරයේ රැඳී සිටින මිතුරියන් සමඟ කතාබහක නිරත වන්නටය. එය හුදෙක් කතාබහක් මිස ඊට එහා ගිය එකක්ද නොවීය. එක් සිසුවියකගේ නේවාසිකාගාර කාමරයේ මේ සිසුන් කතාබහ කරමින් සිටියදී තවත් සිසුවියන් සිවු දෙනෙක්ද එම කාමරයට පැමිණ තිබුණාය. මේ අය අල්ලාප සල්ලාපයේ නිරතව සිටියදී එතැනට එකවරම එන්නේ සිසුවියන්ගේ නේවාසිකාගාර පාලකවරිය වූ ගුරුවරියකි. සිසුන් පස්දෙනෙක් සහ සිසුවියන් පස් දෙනෙක් එක කාමරයක මහා රෑ රැඳී සිටිනු දුටු ඇය කලබලවී ඒ බව මුලින්ම දැනුම් දෙන්නේ සිසුන්ගේ නේවාසිකාගාර පාලක ගුරුවරයාටය. මේ ගැන විදුහල්පති ඇතුළු මුළු පාලනාධිකාරියයේම කණ වැකෙන්නට ගතවන්නේ විනාඩි කිහිපයක් වැනි කෙටි කාලයක් පමණි. 

මෙම සිසු පිරිස අමානුෂික පහරකෑම්වලට ලක්වන්නේ ඒත් එක්කමය. මුලින්ම පහර දෙන්නේ සිසුන් පස් දෙනාටය. එම පහර දීම සිදු කළා යැයි කියැවෙන්නේ බිම පෙරළා ගෙන පයින් පාගමිනි. අනතුරුව පිරිමි සිසුන්ගේ හිසකෙස් කපමින් සහ බූ ගාමින් ඔවුන්ව තවත් වධ බන්ධනයට ලක්කර ඇත්තේ කායික වධ බන්ධනයට අමතරව මානසික වධ බන්ධනයකට ද ඔවුන්ව ලක් කරමිනි. අවසානනයේදී මෙම සිසුන් පස් දෙනාගේ දෑත් ඔවුන් හැද සිටි බැනියම්වලින් ගැටගසා දණ ගස්සවා තබන්නේ සිසුවියන්ගේ නේවාසිකාගාරය ඉදිරිපිට හැමෝටම දැක ගන්නටය.

සිසුවියන් පස්දෙනා ක්‍රෑර වධ හිංසනයට ලක්වන්නේ ඉන් අනතුරුවය. ඔවුන්ට ද ඒ ආකාරයටම පහරදී කොණ්ඩ එකට තබා ගැට ගසා දණ ගස්ස වන්නේ සිසුන්ගේ නේවාසිකාගාරය ඉදිරිපිටය. බොහෝ වේලාවක් මෙම සිසුන්ව මෙසේ දණ ගස්සවා තබා ඔවුන්ව දමන්නේ කාමර දෙකකටය. සිසුන් නම් පවසන්නේ ඒවා කළුවර කාමර බවය. මෙහිදී එක් සිසුවෙක් බැඳ තිබුණු දෑත් ලිහාගෙන කම්බියක ගෙල සිර කරගෙන සියදිවි හානිකර ගැනීමට ද උත්සහයක නිරතව සිට ඇත. එම සිසුවාගේ දිවි ගැලවෙන්නේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරින් එහි ගොස් සිසුවාව වහාම රෝහලට රැගෙන යෑම නිසාය.

මෙසේ කළුවර කාමරවල සිර කර සිටි සිසුන් බියෙන් මිරිකෙමින් සියදිවි හානිකර ගැනීමට පවා පෙලඹෙන විට සිසුවියන් එසේ මුළුගැන්වී නොසිටියාය. තමන්ව රඳවා සිටි කාමරයේ දොරගුළු කඩාගෙන සිසුවියන් තිදෙනෙක් එතැනින් පැන්නේය. මුරකරුවන්ගෙන් ද බේරී පාරට එන ඔවුන් තිදෙනා මොරන් කන්දෙන් ත්‍රීරෝද රථයකට ගොඩවී කෙළින්ම එන්නේ බොක්කාවලය. මහනුවරට එන්නේ බොක්කාවලින් බස් රථයක නැඟීය. දළදා මාළිගා පරිශ්‍රයට ඔවුන් එන්නේ තමන්ට ආරක්ෂාව හොඳින්ම ඇත්තේ එතැන යැයි සිතාය. ඒ සිතූ හැටියටම ඔවුන්ට එදා ආරක්ෂාව ලැබුණා පමණක් නොව, ඔවුන්ට ක්‍රෑර ලෙස සැලකූ බෝඩිං පාසලේ ගුරුවරුන්ව නීතිය හමුවට පවා ගෙනවිත් මේ අපූරු පාසල ඇතුළේ සිදුවන අද්භූත දේවල් ගැන මුළු රටටම හෙළි කළේය. ඒ අතර පාසලේ විදුහල්පතිවරයා ද සිටියේය. දැන් ඒ හැමෝම සිටින්නේ බන්ධනාගාරගතවය.

මේ කියන අපූරු පාසලේ ගුරුවරුන් මෙන්ම පාලනාධිකාරිය නම් පවසන්නේ මෙය සුළු දඬුවමක් බවය. ඒ අයගේ පාර්ශ්වයෙන් කියන්නේ මෙය සිසුවකුට දුන් දඬුවමක් මිස ක්‍රෑර ලෙස පහරදීමක් නොවන බවය. එය විනය විරෝධි ක්‍රියාවක් වෙනුවෙන් දුන් දඬුවමක් බව මිස ඉන් එහාට කිසිවක් පාසල පාර්ශ්වයෙන් කියැවෙන්නේ නැත. ඒ අයට අනුව සිසුන් පස්දෙනා සිසුවියන්ගේ නේවාසිකාගාර පැත්තට ගියේ යැයි කියන්නේ ද පෙම්වතියන් හමුවීමටය.

මේ හැම දෙයක්ම කියන්නේ විදුහල පාර්ශ්වයෙන් ඔවුන්ගේ ගැලවිල්ලටය. පෙම්වතියන් මුණ ගැසීමට පෙම්වතුන් මහා රෑ කාමරවලට ගියේ නම් එය ද පරිපාලනයේ දෝෂයකි. එම දෝෂය වසාගෙන සිසුන්ට මේ ආකාරයට අමානුෂික ලෙස පහර දීමට අයිතියක් ඔවුන්ට තිබේ දැයි කියා ඇත්තේ ප්‍රශ්නයකි. මෙසේ පහර කෑමට ලක්වන්නේද මේ බෝඩිං පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි සිසු සිසුවියන් පිරිසකි.

මෙම පාසල සම්මතයෙන් පිට බොහෝ වැඩ කරන පාසලකි. 09 සහ 10 පන්තියේ දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට හිඳුවති. උසස් පෙළ විභාගයට යොමු කරනුයේ අවුරුද්දකිනි. මෙහි පාඨමාලා සංවිධානය වී ඇත්තේ ද ඒ වෙනුවෙනි. මෙහි පාඨමාලා පැවැත්වීමට එක එක විදිහේ ගුරුවරු එන යන බව සඳහන්ය. ඒ අය අතර ජනප්‍රිය ටියුෂන් ගුරුවරුන් සිටින බව ද කියැවෙති. රජයේ පාසල්වල විශ්‍රාමික ගුරුවරුන් ද ඉඳහිට පැමිණ දේශන කර යන බව ද සඳහන්ය. ඒ හැරුණු කොට මෙම පාසලේ තරුණ ගුරු මණ්ඩලයක්ද සිටිති. ඒ අය ද එහි සිටින්නේ නේවාසිකවය. පාසලේ පාලනාධිකාරිය පවසන ආකාරයට අනුව මෙහි ආරක්ෂාවට යොදවා සිටින්නේ හමුදාවේ විශ්‍රාමිකයන්ය.

මෙම නේවාසික පාසල ගැන කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශ මෙන්ම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශවල නිලධාරීන් විසින් කළ සොයා බැලීමේදී හෙළි වන්නේ මෙම පාසල පිහිටි ගොඩනැගිල්ල කලකට ඉහත පවත්වා ගෙන ගොස් ඇත්තේ ළමා සුභසාධන සංවිධානයක් විසින් බවය. වසර පනහක් හැටක් පමණ පැරණි බව කියැවෙන වටකුරු මේ ගොඩනැගිල්ලෙහි එකල පවත්වා ගෙන ගොස් ඇතැයි කියැවෙන්නේ එම සංවිධානයේ රෝහලකි. ස්වීඩන් ජාතික ඇනා ග්‍රේටා සහ ජෙකොබ් පෙරේරා පියතුමන් ගේ නිර්මාණයක් බව කියැවෙන මෙහි බෝඩිං පාසල පවත්වාගෙන යන්නේ කුලියටය.

මෙම බෝඩිං පාසලේ ප්‍රධානියා බව කියැවෙන්නේ මෙරට කලක් ජනප්‍රිය තලයේ සිටි උසස් පෙළ ගිණුම්කරණ දේශකයකුගේ සහෝදරයකුය. ඔහුද උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙස එළියට ආ උපාධිධාරියෙකි. අලුත්ම ආකෘතියක පාසලක් ගොඩනැඟීම වෙනුවෙන් පවත්වාගෙන ගිය මෙම බෝඩිං පාසල මෙහි ඇරඹුණේ යැයි කියැවෙන්නේ වසර 16කට පෙරය. මෙහි සිසුන් 400කට නේවාසික පහසුකම් ඇති බව ද කියැවෙති. පන්ති පැවැත්වීමට දේශන ශාලා 60ක් ද තිබෙන බව සඳහන්ය. නමුත් අධ්‍යාපනය ලැබීමට සිටින්නේ 200කට අඩු සිසු පිරිසක් පමණි. මේ පිරිසට අධ්‍යාපනය ලබාදීමට මෙහි සිටින බව කියැවෙන ස්ථාවර ගුරුවරු ගණන 36ක් හෝ ඒ ආසන්න ගණනකි. ඒ අය අතර මෙම පාසලේම අධ්‍යාපනය ලැබූ අය ද සිටිති.

පොලිසියට ඇති ගැටලුව මේ දේවල් නොව, මෙම නේවාසික පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ට සිදුව ඇති අමානුෂික පහර දීම ගැනය. පොලිසිය විශ්වාස කරනුයේ මෙම පහර දීම එළියට ආ එක් සිදුවීමක් පමණක් විය හැකි බවය. එබැවින් මෙහි නේවාසිකව අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබා ගනිමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ එවැනි දේවල් මෙයට පෙරත් සිදුව තිබේ දැයි දැන ගැනීමටය. ඒ අතර මෙම අමුතු ගොඩනැගිල්ලක පිහිටි අමුතු පාසලේ තවත් අද්භූත වැඩ ගැන ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ සහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සොයා බලමින් සිටින්නේ එහි නේවාසිකව අධ්‍යාපනය ලද දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි ප්‍රමුඛතාව ලබා දෙමිනි.

Comments