
‘සතරාව දීපනී’ කෘතගුණ උලෙළ ඉකුත් 16 වැනිදා සන්ධ්‍යාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතිවිණි. එහිදී ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සිනමා නිෂ්පාදන සඳහා දායක වූ කලාකරුවන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතින් උපහාර සම්මාන පිරිනැමීම සිදු විය. මෙරටේ ජ්‍යෙෂ්ඨතම රගංධරයා වන අනු එක් වියැති සිරිල් වික්‍රමගේ, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරුන් වන ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල යන මහත්වරු එහිදී ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍රවිය. එය නිමිති කොටගෙන ප්‍රවීණ රංගධර සිරිල් වික්‍රමගේ නිර්මාණ දිවිය අගයනු වස් සිළුමිණ තබන සටහනකි.
හිරු සඟවා අඳුරු වලාවන් වාතලය වසාගෙන තිබුණද වැස්සක පෙර නිමිත්තක් නොපෙනුණි. අප ලේක්හවුස් පරිශ්‍රයෙන් පිටතට පැමිණියේ ශ්‍රී ලාංකේය වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන තුන්ඈදුතු රංගනය තුළ විශිෂ්ට ලෙස පෙළහර පෑ අග්‍රගන්‍ය චරිතාංග නළුවකු වූ සිරිල් වික්‍රමගේ රංගවේදියාණන් හමුවනු පිණිසය.
අව්‍යාජ සිනහවකින් මුව සරසාගත් හෙතෙම කරුණාබර හැඟීමෙන් දෑත් එකතුකර අප පිළිගත්තේය.
ඉකුත් ජනවාරි මස 26 වැනිදා 91 වැනි වියට පා තැබූ ප්‍රතිභාපූර්ණ රංගවේදී සිරිල් වික්‍රමගේ කුරුණෑගල වෑපිටිය කොහිල ගෙදර ග්‍රාමයේදී චාර්ල්ස් වික්‍රමගේ සහ ලෙදියා වික්‍රමගේ ට දාව වර්ෂ 1932 ජනවාරි 26 වැනිදා මෙලොව එළිය දුටුවේය. සහෝදරයන් සහෝදරියන් අට දෙනකුගෙන් යුතු පවුලේ පස්වැන්නා වූ ඔහු වයස අවුරුදු පහ පූර්ණ වත්ම මුලකුරු කියැවීමට කුරුණෑගල වෙස්ලියන් පාසලක් වූ ගැලවීමේ හමුදා පාසලට ඇතුළත් කරනු ලැබීය. 1948 දී ප්‍රාරම්භක විභාගය සමත් වූ සිරිල් වික්‍රමගේ 1954දී පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් විය. හේ සංගීතයට හා නර්තනයට දැඩිව ඇලුම් කළේය. සිරිල් මේ කාලයේ නුවර පොල්ගම්පොළ සිරිල් පෙරේරාගේ කලායතනයට බැඳී වයලීන් වාදනය ද ප්‍රගුණ කළේය. අභ්‍යාස විද්‍යාලයේදී ශ්‍රී ජයනා ගුරුන්ණාන්සේගෙන් නර්තනය කලාව හැදෑරීමට ඔහුට අවස්ථාව උදා විය. ගුරු අභ්‍යාස විද්‍යාලයේ වසර දෙකක පුහුණුවෙන් පසු පේරාදෙණිය පුහුණු වීමේ පාසලට පත්වීමක් ලැබුණි. එහි වසර දෙකක පමණ කාලයක් කටයුතු කළ හෙතෙම අනතරුව රත්මලානේ පිහිටි අඳ ගොළු බිහිරි පාසලට පැමිණියේය. එහිදී දරුවන් සමඟ ග්‍රේෂන් නමැති ගුරුවරයා යටතේ නර්තන කලාව යොමු විය. ඒ වන විටත් නළුවකු වීමට ඔහු සිහිනෙනේවත් සිතා තිබුණේ නැත. නර්තනයට මෙතරම් ඇල්මක් දැක්වීමට හේතුව කුමක් දැයි හේ සිළුමිණට පැවසූවේ මෙසේය.
“ මගේ තාත්තා හොඳ ගැමියෙක්. ඒවගේම හොඳ කලාකාරයෙක්. එතුමා හොඳ නැට්ටුවෙක් ඒ වගේම හොඳ බෙර වාදකයෙක්. කොහොඹාකංකාරි, සොකරි, නාඩගම්වල ඉහළටම ගිය කෙනෙක්. නමුත් තාත්තා දන්න ශිල්පය අපට ඉගැන්නුවේ නැහැ. නමුත් මමත් සහෝදර සහෝදරියනුත් හරිම ආසාවෙන් තාත්තා නටන දිහා බලන් හිටියා. මටත් ආස හිතුනා දවසක තත්තා වගේ හොඳ නර්තන ශිලිපියෙක් වෙන්න. ඒත් අපට ඒ දේවල් තහනම් කරලයි තිබුණේ. අපිව නැට්ටුවො කරන්න තාත්තට ඕනේ වුණේ නැහැ. අපිව පාසල් යවලා හොඳට උගන්වන්නයි තාත්තට ඕන වුණේ. අධ්‍යාපනය නිසා නර්තනයට තිබුණු ආශාව යටපත් වී තිබුණත් අභ්‍යාස විද්‍යාලයේ ශ්‍රී ජයනා ගුරුන්නාන්සේ දැක්ක ගමන් මෙච්චරකල් යටපත් වී තිබූ ආශාව එළියට පැන්නා.” යැයි හෙතෙම සිනාසෙමින් පැවසීය.
අඳ ගොළු බිහිරි පාසලේ සේවය කරන අතරතුර දවසක් සිරිල්ට ජාතික ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ සෝමවංශ පට්ටිආරච්චිව හමු විය. ඔහුවෙත ගිය හෙතෙම ගොළු විද්‍යාලයේ ගත කළ වසර දෙකක කාලය තුළ වයලීන් වාදනය තවදුරටත් ප්‍රගුණ කළේය.
ඔහුට වෙස්ලි විද්‍යාලයට මාරුවීමක් ලැබුණේ මේ අතරය. එහිදී නැවතත් ශ්‍රී ජයනා නර්තනාචාර්යවරයා ඔහුට මුණ ගැසිණි. ඒ හමුවවීමත් සමඟ තවදුරටත් නර්තනය හැදෑරීමේ අවස්ථාව සිරිල්ට උදාවිය.
මේ කාලයේදී ශ්‍රී ජයනා ගුරුන්නාන්සේ විසින් ‘රණතිසර’ නමින් බැලේ නාට්‍යයක් නිර්මාණය කළේය. එහි චරිතයක් සඳහා සිරිල් තෝරා ගැණින. මෙම නාට්‍යයේ ගීත රචනා කිරීම සඳහා පැමිණි ආනන්ද සමරකෝන් සිරිල් සමඟ බෙහෙවින් මිත්‍ර විය. මේ කාලයේදී ආනන්ද සමරකොන් ‘පහන සහ රන්එතනා’ නමින් ගීත නාටකයක් නිර්මාණය කළේය. එහි ප්‍රධාන නළුවා වූයේ ද සිරිල් ය. නාරද දිසාසේකර හා නන්දා මාලනී එය ගීතවත් කළෝය. අනතුරුව ෆීලික්ස් ප්‍රේමවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ ‘මිනිස් ගතිය’ නම් වේදිකා නාට්‍යයට හේ සම්බන්ධ විය. මෙය ඔහු රඟ පෑ ප්‍රථම වේදිකා නාට්‍ය වූ අතර එය ලෙස්ලි විද්‍යාලයේ දී රංග ගත කෙරිණි. මෙම නාට්‍ය බැලීමට ගුණසේන ගලප්පත්ති ද පැමිණ සිටියේය. හෙතෙම සිරිල්ගේ රංගනයෙන් මහත් සතුටට පත්ව ‘මුහුදු පුත්තු’ නාට්‍යයේ තේගීස් නම් චරිතය සඳහා ඔහුට ආරාධනා කළේය. ‘මුහුදු පුත්තු’ වේදිකා නාට්‍ය තුළින් ප්‍රසිද්ධ වේදිකාවට ආ සිරිල් වික්‍රමගේ අනතුරුව මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’, ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘කදාවළලු’, හෙන්රි ජයසේනගේ ‘කුවේණි’,‘තවත් උදෑසනක්’, යන වේදිකා නාට්‍යවල මෙන්ම ‘දේවතා එළි’, ‘අහසින් වැටුණ මිනිසුන්’, ‘ලියතඹරා’, ‘වෙස් මුහුණු’, ‘නැට්ටුක්කාරි’ සහ ‘ඉඩම’ යන නාට්‍යයවලින් චරිතාංග නළුවකු ලෙස ඉදිරියට පැමිණියේය.
ගුණසේන ගලප්පත්තිගේ ‘මුහුදු පුත්තු’ රඟ දක්වන දවසේ එය නැරඹීමට පැමිණ සිටි හර්බට් එම්. සෙනෙවිරත්න සහ සිසිර සේනාරත්න ඩබ්ල්යූ. ඒ. සිල්වා ශූරීන්ගේ නව කතාවක් පදනම් කොටගෙන කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘හඳපාන’ (1965) චිත්‍රපටයේ චරිතයක් සඳහා සිරිල්ට ආරාධනා කළේය.“හරමා කියන, ගෑනියෙක් හොරකම් කර ගෙන යන චරිතයක් තමයි සිරිල්ට කරන් තියෙන්නේ. ඔයාට විජිත මල්ලිකාව තමයි උස්සගෙන යන්න තියෙන්නෙ. සිරිල් හොඳ ‘බොඩි බිල්ඩර්‘ කෙනෙක්නේ, වැඩේ එච්චර අමාරු වෙන එකක් නැහැ” යැයි හර්බට් එම්. සෙනෙවිරත්න සිරිල් වික්‍රමගේට පවසා තිබුණි.
ගැහැනු හොරකම් කරන ‘හරමා’ නමැති මැරයා ලෙස සිරිල් වික්‍රමගේ ඉදිරිපත් කළ චරිත නිරූපණය ඔහුගේ රංග දිවියේ ප්‍රථම සිනමා අත්දැකීම විය. නමුත් ඔහු කාගේත් අවධානයට ලක් වූයේ මව රැක ගැනීමට වෙහෙසෙන කෙළිලොල් ධීවර තරුණයකු ලෙස රඟපෑ සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘සත්සමුදුර’(1967) චිත්‍රපටයේ ‘ගුණදාස, නම් චරිතයෙනි. ‘මුහුදු පුත්තු’ ‘සත්සමුදුර’ වූ ආකාරය ගැන සිරිල් වික්‍රමගේ පවසන්නේ අපූරු කතාවකි.
“මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’ නාට්‍ය රංග ගත කළ දවසේ වෛද්‍ය ලීනස් දිසානායක ඒක බලන්න ඇවිත් හිටියා. ඔහු මා සමඟ මිත්‍ර වුණා. ලීනස්ට චිත්‍රපටියක් කරන්න ආශාවක් තිබුණා. ඔහුගේ අදහස තිබුණේ මාව එහි ප්‍රධාන නළුවට තෝරගන්නයි. ඔහු මාව එක්කගෙන මීගමුවට ගියා; ගිහින් ඔහු පිටපතක් දුන්නා කියවන්න කියලා. මට ඒක ඇල්ලුවෙ නැහැ. පස්සේ මං කිව්වා, “ඩොක්ටර්, මේක හොඳ නැහැ; මේක කරනව නම් හොඳ නාට්‍යයක් තියෙනවා, මුහුදු පුත්තු කියලා. අපි ඒකෙන් චිත්‍රපටියක් හදමු කියලා. ඊට පස්සේ මායි , ඩොක්ටර් ලීනසුයි, මහගම සේකරයි, ගුණසේන ගලප්පත්තියි හමුවෙලා මේ ගැන කතා කළා. එතකොට ගලප්පත්ති කිව්වා සිරිගුණසිංහ ඇවිත් ඉන්නවා අපි මේ වැඩේ එයාට බාරදෙමු ද කියලා. අපි කිව්වා නෑ නෑ එයා නෙමෙයි ඔයා මේක කරන්න කියලා. එතකොට ගලප්පත්ති කිව්වා ‘නැහැ මට වැඩිය හොඳට මිනිහ වැඩේ කරයි; එයාට බාරදෙමු කියලා. ඒ විදියට තමයි සිරිගුණසිංහට වැඩේ බාර වුණේ. එයයි වසන්ත ඔබේසේකරයි එකතුවෙලා මේක ලිව්වා.‘මුහුදු පුත්තු’ ‘සත්සමුදුර’ වුණේ ඒ විදියට. ”
තමන්ට ලැබෙන චරිතය කුමක් වුවත් ඊට සාධාරණයක් කරන්නට සිරිල් හැමවිටම කැපවුණේය. වාණිජ රැල්ලෙන් මිදී කලාත්මක සිනමාවක් පිළිබඳ අදහසක් ඇති වූයේ සත්සමුදුර නිසාය. එතෙක් සිනමාවේ පැවති ප්‍රධාන නළු ප්‍රතිරූපය වෙනස් වුයේ මේ ධීවර තරුණයාගේ රංගනයත් සමඟය. මවාගත් පුහු චරිත නිරූපණය වෙනුවට සමාජයේ ජීවත්වන සැබෑ චරිත තාත්විකව සිනමාව තුළ ප්‍රතිනිර්මාණය විය යුතුය යන විචාරක අදහස මේ සමඟ මුසු වූ අතර පසුව නිර්මාණ කරුවන් බොහෝ දෙනා ඒ මඟ යනු දක්නට ලැබුණි.
සිරිල්ගේ රංගනයේ තවත් සංධිස්ථානයක් සටහන් වන්නේ 1978 දී තිරගත වූ ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයි. පාරම්පරික වෙළඳ ප්‍රජාව අබිබවමින් නැඟෙන නව යටත්විජිතවාදී නාගරික වෙළෙඳ පන්තිය ගැනත්, ඒ හරහා නිර්මාණය වන ආර්ථික, දේශපාලන සමාජීය සහ ලිංගික සූරාකෑම ගැනත් මෙහිදී අවධානය යොමු කර තිබීම විශේෂයි.
“පතී මට සිරිල්ගේ චරිතය රඟපාද්දී පොඩි ෂොට් එකක්වත් දාන්න ඉඩ දුන්නේ නැහැ. චිත්‍රපටිය ඉවර වෙනකම් නොබී හිටපු එකම පුද්ගලයා මම” සිරිල් කියන්නේ ඇත්තකි. එහෙත් සිනමාපටයෙහි බීමත්ව සිටීම හැර සිහියෙන් සිටීමට සිරිල්ට අවස්ථාවක් ලැබුණේ නම් ඒ ඉතාම ස්වල්ප වශයෙනි. සිය රංගන පරිචය ගැන සිරිල් වික්‍රමගේ පවසන්නේ මෙවැන්නකි.
“රංගනය කියන්නේ අභිනය තුළින් කෙරෙන රස නිෂ්පත්තියකට. ආංගික, වාචික, සාත්වික සහ ආහාර්ය යන සතර අභිනයට අමතරව ඔහු ඒ පිළිබඳව හැදෑරිය යුතුයි. යම් චරිතයක් ලැබුණු විට ඒ පිළිබඳ අධ්‍යනය කළ යුතුයි. සමාජයේ එවැනි චරිත පිළිබඳව විමසිලිමත්ව අධ්‍යයනය කළ යුතුයි. මේ සම්බන්ධයෙන් මට බෙහෙවින් උපකාර වුණේ ආර්. ආර්. සමරකෝන් සමඟ එකතු වී වැඩ කිරීමෙන්. ඔහු අනුගමනය කළේ කොන්ස්ටන්ටින් ස්ලාවින්ස්කිගේ තාත්වික රංග විධික්‍රමයයි. මට වේදිකාවෙන් ලැබුණු ලොකුම පරිචය එයයි.”
සිරිල් වික්‍රමගේ නම් වූ මේ විශිෂ්ට රංගධරයා 1965 හඳපාන, 1967 සත් සමුදුර, 1969 බිනරමලී, පාරාවළලු, මොකද වුණේ, 1970 දී නිම් වළල්ල, වෙස්ගත්තෝ, 1972 සිහින ලොවක්, 1973 හත්දින්නත් තරු, 1974 අහස් ගව්ව, 1976 වල්මත්වූවෝ, 1977 එයා දැන් ලොකු ළමයෙක්, 1978 සෙලිනාගේ වලව්ව, බඹරු ඇවිත්, 1979 චුඩා මාණික්‍යය, විසි හතර පැය, 1980 කරුමක්කාරයෝ, 1981 සොල්දාදු උන්නැහේ, ටැක්සි මල්ලි 1983 මුහුදු ලිහිණි, 1984 පරසතුරෝ, 1985 සුද්දිලා ගේ කතාව, 1987 මංගල තෑග්ග, කිවුලේ ගෙදර මොහොට්ටාල, 1989 සිරි මැදුර, 1990 පාලම යට, 1991 ස්ත්‍රී, 1992 කුලගෙය, 1994 එකදා වැහි, අඹුසැමියෝ, මී හරකා, 1995 සෙයිලම, මාරුතය, 1996 තුන්වෙනි ඇහැ, බිතු සිතුවම්, 1997 BLENDINGS , 1999 සෙක්සි ගර්ල්, නගරං, 2000 අනුරාගයේ අනන්තය, 2002 තහනම් ගහ, 2004 ගිනි කිරිල්ලි සහ 2017 බන්ධනය වැනි 60 කට ආසන්න චිත්‍රපට තුළින් දැක්වූ රංග ප්‍රතිභාව මෙතෙකැයි කිව නොහැකි තරම්ය.
‘සිහින ලොවක්’ හා ‘කරදිය වළල්ල’ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකය. සිහින ලොවක් සිනමා පටයේ එන අමරදේවයන් ගයන ‘මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කළ බව’ ගීතය නිර්මාණය වූ පසුබිම පිළිබඳ හරි අපූරු කතාවක් ඔහු සිළුමිණට පැවසීය.
“ රඟපාල විතරක් හරියන්නේ නැහැ, චිත්‍රපටියක් හදන්න” ඩොක්ටර් ලීනස් මට කිව්වා. ඒ අනුව තමයි මේ චිත්‍රපටය හැදුනේ. මං මේකට ගීතයක් ලියව ගන්න මහගම සේකර එක්ක යනව ගම්පහ ගෙස්ට් හවුස් එකට. එයා ගීතයක් ලියල මට දුන්නා.
“මං කිව්වා, සේකර මේක මට එපා. මේක හරියන්නේ නැහැ” කියලා. ඔහොම දෙවැනි දවසෙත් අපි ගෙස්ට් හවුස් එකට ගියා. සේකර කිව්ව “මට හදිස්සියට සින්දු ලියන්න බෑ සිරි. මං දිනපොතක ලියපු පරණ ගීතයක් තියෙනවා; බලපන් මේක උඹේ වැඩේට හරියයිද කියලා.”
මං කිව්වා; “යකෝ මේ තියෙන්නෙ මං හොයපු සිංදුව, මේකනෙ මං ඉල්ලුවෙ” කියලා. පහුවදාම සෝමදාස ඇල්විටිගල හම්බවෙලා තනුව හදලා මියුසික් කළා. ඒ පාර සෝමදාසයි සේකරයි දෙන්නම කිව්වා, “මේක අමරදේව ඇරෙන්න වෙන කවුරුවත් කියල වැඩැක් නැහැ කියලා. මාත් ඒක අනුමත කළා. සින්දු පටිගත කළා.
“පස්සේ මං මේක රේඩියෝ සිලොන් එකේ රෙකෝඩ් බාර් එකෙන් ගත්ත කියලා ලොකු ආන්දෝලනයක් ඇති වුණා. අද ඇල්විටිගලත්, සේකරත්, අමරදේවත් දැන් නැහැ. ඒත් ඒ ගීතය මට තවමත් ඇහෙනවා.”
මේ ප්‍රතිභාපූර්ණ රංගවේදියා රඟපෑ ටෙලිනාට්‍ය අතර ළාහිරු දහසක්, සසර සයුරෙන්, කුමාරිහාමි, මරුවැල, සාප නොකරව් දරුවනේ, අඹ යහළුවෝ, පලිඟු මැණිකේ, කන්දෙ ගෙදර, කැදැල්ලක් සොයා, ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වලව්ව, මැණික් නදිය ගලා බසී, කඩුල්ල, සත් මාල ගිරවි, හූ මිටයාවත, පහන් සිත්, සුභ අසුභ, අඩව් කස්තිරම්, මාරුක් මල්, රාම සැරිය, අඳු කොළ, ඒ ගෙදරයි මේ ගෙදරයි, දුමාරය, හිත හොඳ කරෝලිස්, නුඹ නාඩන් සෙනෙහෙලතා, වන්නිහාමි, කිරි කඳුළක්, කනේරු, නිලා කූරු, වාසනා වේවා, දූවිලි මල්, පරස්පර, තවත් එක් ගැහැනියක් මෙරට ප්‍රේක්ෂක ජනතාව ඇද බැඳගත් ප්‍රබල චරිත නිරූපණයන්ගෙන් සමන්විත විය. හෙතෙම කලක් සිලොන් ටී සමාගමේ සභාපති ධුරය දැරූ අතර එකල ලංකාවේ තේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ අතර සම්මානයටද පාත්‍ර විය. එමෙන්ම ඔහු කලක් ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂක ධුරයද හෙබවීය. ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පියෙක් ලෙස 1979 ජනාධිපති සම්මානය උලෙළේදී බඹරු ඇවිත් සිනමා පටය වෙනුවෙන් කුසලතා සම්මානයක් ද, 1986 ජනාධිපති සම්මාන උලෙළේදී සුද්දිලාගේ කතාව වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානයද, ස්වර්ණ සංඛ, ඕ.සී.අයි. සී සම්මාන රැසක් ද හිරු රන් සම්මාන ද හිමිකරගෙන ඇත.
ඡායාරූප - දුෂ්‍යන්ත මයාදුන්න