
තමන්ගේ කැළිකසළ ඉවක් බවක් නැතිව මහමඟට අතහැර යන නොමිනිස්සු අපට කොතෙකුත් දකින්නට ලැබේ. එවැනි නොමිනිසුන් ද දුලබ නොවන සමාජයක අනුන්ගේ කැළිකසළවලින් පරිසරයට වන හානිය වළක්වා ගැනීමට ඒවා නිසි ලෙස දහනය කළ හැකි යන්ත්‍රයක් හදන්නට තම දැනුම සහ ශ්‍රමය කැප කළ අපූරු මිනිසකු ගැන අම්පාර මහ රෝහලෙන් වාර්තා විය.
අපද්‍රව්‍ය හෙවත් කැළිකසළ අපේ රටට පමණක් නොව ලෝකයටම බලපාන ප්‍රබල පාරිසරික ගැටලුවකි. මෙරට රෝහල් පද්ධතියට ද අපද්‍රව්‍ය යනු බරපතළ ගැටලුවකි.
අම්පාර මහ රෝහල ද මෙකී ගැටලුවට මුහුණ දුන් රෝහලකි. දිනපතා බාහිර රෝගී අංශයෙන් සායනවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව එකතු වූ විට එය තුන් දහස් පන්සියයක පමණ ඉහළ අගයක් ගනී. දිනකට ඉවත් කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ දෙසිය පනහක් පමණ වේ. 2013දී පමණ අපද්‍රව්‍ය දහනය කිරීම සඳහා යන්ත්‍රයක් රෝහලට ලැබුණද එයින් දිනකට දහනය කළ හැක්කේ කිලෝ තිස්පහක ප්‍රමාණයක් පමණි. එහෙත් මෑත කාලයේදී එම යන්ත්‍රය ද අක්‍රිය වූයෙන් රෝහල් බිමේ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් දිනපතා ගොඩ ගැහෙන්නට විය. එම අපද්‍රව්‍යවල විවිධ රෝගකාරක විෂබීජ සහ රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා ඒවා අම්පාර නගර සභාව මාර්ගයෙන් විනාශ කිරීම අනතුරුදායක බව අම්පාර රෝහලේ අධ්යක්ෂවරයාගේ අදහස විය. දිනපතා එකතු වන අපද්‍රව්‍යවල දුගඳ නිසාත් සුනඛයන්ගේ ගහණය වැඩි වීමත් නිසා එය රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද දැඩි හිරිහැරයක් විය. ඊට පිළියමක් ලෙස එම අපද්‍රව්‍ය රෝහල් භූමියේදීම දහනය කිරීමෙන් සිදු වූයේ අවට ජනතාවගේ විරෝධය එල්ල වීමය.
එම ගැටලුවට විසඳුම් සෙවීම භාර වූයේ රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. ආර්.එම්.විතානගේටය. ඔහුට දිගින් දිගටම රෝහල අවට ජනතාවගෙන් පැමිණිලි ලැබෙන්නට වූයෙන් අම්පාර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක, රෝහලේ ලේකම් එච්.එම්.සී. හේරත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.ආර්.එම්.විතානගේ ඇතුළු පිරිස තීරණය කරනු ලැබුවේ නව දහනාගාරයක් නිර්මාණය කිරීමටය. විවිධ ආයතනවලින් ඉදිකිරීම් මිල ගණන් කැඳවූ අතර, දහනාගාරය ඉදි කිරීමට කෝටි දෙකක් පමණ වැය වන බව ඇස්තමේන්තු වශයෙන් ලැබිණ. එහෙත් එය රෝහලට දැරිය නොහැකි විශාල මුදලකි.
අප මුලින් කී අපූරු මිනිසා මේ කතාවට ප්රව්ෂ්ට වන්නේ එතැනදීය. අම්පාර මහ රෝහලේ දහනාගාර සේවකයකු වශයෙන් වසර දහයක පමණ කාලයක් සේවය කළ එම්. යු. එන්. ලලිත් අරුණ කුමාර සිය පළපුරුද්ද සහ අත්දැකීම් තුළින් මේ සඳහා මැදිහත්වීමට අදහස් කළේය. සාකච්ඡා වට කිහිපයකින් පසුව ලලිත් අරුණ කුමාරට එම වගකීම පැවරුණු අතර, 2022 අගෝස්තු මස 08 වැනිදා දහනාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණ. රෝහල් අධ්යක්ෂවරයා ඇතුළු පාලන අධිකාරිය තමා කෙරෙහි විශ්වාසය තබමින් භාර ගත් රාජකාරිය කිසිදු අඩුපාඩුවකින් තොරව අකුරටම ඉටු කරන්නට ලලිත්ට අවැසි විය.
" ඒක ඉතා සංකීර්ණ අභියෝගයක් වුණා. ගෙදර හිටියත් වැඩ කළත් නින්දට යන වෙලාවෙත් මගේ හිත තිබුණේ මේ ගැනමයි. හුඟක් වෙලාවට මම නිදි නැතුව කල්පනා කළේ දහනාගාරය හදන්නේ කොහොමද? ඒකට භාවිත කරන තාක්ෂණය මොකක්ද කියලයි"
ලලිත් අරුණ කුමාරගේ වචනවලින්ම ඔහු ඒ අභියෝගයේ බරපතළකම ගැන අපට කීවේය. ලලිත්ගේ බිරිය ඩබ්. නදීකා දිල්හානි ලලිත්ට හැකි සෑම සහයෝගයක්ම දෙන්නට සැදී පැහැදී සිටියදී ඇයට අලුත් අදහසක් පහළ විය.
"ඇත්තටම ඒ දවස්වල හැම වෙලාවෙම අපේ ගෙදර ප්‍රධාන මාතෘකාව වුණේ දහනාගාරය හදන එකයි. මම හැම තිස්සෙම ඒ ගැනම හිත හිතා කල්පනා කර කරනකොට මගේ බිරිය මට ගෙදර අඩුපාඩු ගැනවත් නොකියා ඒ කිසිම බරක් මට නොදී එයාට පුළුවන් උපරිමයෙන් මට නිදහස දුන්නා. ඒ අතරෙ නදීකා මට කිව්වා කාඩ්බෝඩ්වලින් දහනාගාරය හදන විදිහයක් ගැනත්. ඒ එක්කම අවුරුදු දහයක් විතර දහනාගාරයේ වැඩ කිරීමෙන් ලැබුණු අත්දැකීම් එක්ක රෝහලේ පැරණි යන්ත්‍රයේ තිබුණු දෝෂත් මම හඳුනා ගෙන තිබුණා. ඒ අනුව අපද්‍රව්‍ය දහනය කිරීමෙන් පිටවන විෂ දුම පරිසරයට මුසු වීම වළක්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණය ගැන මම තවදුරටත් කල්පනා කළා. ඒ ගැන රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමඟත් සාකච්ඡා කළා. "
ඉන් පසු ලලිත් දහනාගරය ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැයිස්තුව පිළියෙල කළ අතර, ඒ සඳහා ඔහුට අම්පාර මහ රෝහලේ තාක්ෂණික නිලධාරී මහින්ද සෙනවිරත්න ඇතුළු රෝහලේ අනෙකුත් නඩත්තු අංශවලින් විශාල සහායක් ලැබිණ. ආසාදන පාලක හෙද නිලධාරී එම්.ඩි.වික්‍රම ගේ නිරන්තර උපදෙස් ද ලලිත්ට විශාල ශක්තියක් විය.
"හැම දෙනාගේම සහාය උපරිමයෙන්ම මට ලැබුණා. අවශ්‍ය අමු ද්‍රව්‍ය නිසි පරිදි නිසි කලට වෙලාවට ලැබුණා. අම්පාර රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයත් දිවා රෑ නැතිව මාත් එක්ක කැපවීමෙන් වැඩ කළා.
ලලිත්ගේ වදන් තුළ පිරී ඇත්තේ ඒ සාර්ථකත්වයේ සතුටයි. දැනට මෙකී දහනාගාරය තුළ දිනකට කිලෝ දෙසිය පනහක අපද්‍රව්‍ය දහනය කළ හැකි අතර, ඒ සඳහා ඩීසල් ලීටර් තිහක් අවශ්‍ය වේ. දහනාගාරයේ කුටිර තුළ සෙල්සියස් අංශක 1000ත් 900 වැනි උෂ්ණත්වයක් රඳවා ගත යුතු අතර, එවැනි උෂ්ණත්වයක් ඇති කිරීමට දහනාගාරය ඇතුළත ගිනි ගල් සහ උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි තාක්ෂණය භාවිත කිරීමට ලලිත්ට සිදු විය. අපද්‍රව්‍ය දහනයේදී විෂ දුමක් පිට නොවන ලෙස එය කිරීම ලලිත්ට අභියෝගයක් වූ නමුත් ඔහු ඊට ද සාර්ථකව මුහුණ දුන්නේය.
ලලිත්ට තමා කළ කාර්ය ගැන අභිමානයක් ඇත. ඒ මේ වෙනුවෙන් ඔහු කළ කැපවීම, වෙහෙස මහන්සිය අසීමිත වන නිසාය.
"මට වෙනත් සේවකයන්ට වගේ වැඩ කරන්න පැය ගණන් තිබුණේ නෑ. පැය විසි හතරෙම වැඩ කළා වගේ තමයි, ඒ මාස කිහිපය ගත වුණේ. ඒ මොනවා වුණත් මම කාලය ගැන හිතුවේ නෑ. වැඩේ අවසන් වන තුරු රෑ දවල් නැතිව වැඩ කළා. "
ඒ කැපවීමේත් වෙහෙස මහන්සියේත් ප්‍රතිඵල අද අම්පාර මහ රෝහලට ලැබී ඇත. ඒ නිසාම ඔහු කළ කාර්ය ගැන බොහෝ දෙනා පසසයි. අම්පාර මහා රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.ආර්.එම්. විතානගේ ඒ ගැන මෙසේ කීවේය.
ලලිත් අරුණ කුමාර එයාගේ දැනුම යොදා ගනිමින් දහනාගාරය ඉදිකර දීමට භාර ගැනීම අපිට විශාල අස්වැසිල්ලක් වුණා. රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක ඇතුළු අපි හැමෝටම ලලිත් ගැන විශ්වාසයක් තිබුණා, ඔහු මේ කටයුත්ත සාර්ථකව කරයි කියලා. අපි කිසිම ශ්‍රමයක් පිටතින් ලබා ගත්තේ නෑ. රෝහලේ නඩත්තු අංශත් මේ කාර්යයට උපරිම සහාය දුන්නා. අද විදේශීය රටකින් දහනාගාර ගෙන්වන්නේ නැතිව අපේ රටේ නිසි ප්‍රමිතියෙන් යුතු දහනාගාරයක් නිර්මාණය කරන්න දක්ෂයෙක් ඉන්නවා. රටේ බොහෝ රෝහල්වලට අපද්‍රව්‍ය විනාශ කිරීම ගැන ගැටලු තිබෙනවා. අඩු ඉඩ ප්‍රමාණයක් තුළ පරිසර හානිය අවම කරමින් මෙම දහනාගාරය ඉදි කර තිබීම විශේෂත්වයක්"
ලලිත්ගේ දක්ෂතාවත් කැපවීමත් අම්පාර මහා රෝහලේ ලේකම් එච්.එම්.සී.හේරත් ගේ ඇගයීමට ලක් වූයේ මෙලෙසිනි. "ලලිත් දිවා රාත්‍රී කියලා කාලය ගැන හිතන්නේ නැතිව වැඩ කළා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සැපයුම් එච්.එම්.එම්.දිනිත් ප්‍රිය හේරත් ද පැමිණ නිරීක්ෂණය කළා. මෙම දහනාගාරය ඉදි කිරීමට මිල ගණන් කැඳවද්දී කෝටි දෙකක් වැනි මුදලක් ඇස්තමේන්තු ලෙස ලැබුණා. නමුත් ලලිත් අරුණ කුමාර තමන්ගේ දක්ෂතාව තුළින් මාස අටක් වැනි කාලයක් තුළ ඉතා අගනා දහනාගාරයක් නිර්මාණය කළා. අම්පාර මහ රෝහලට තිබුණ ලොකුම ගැටලුට අපේ රෝහලේ සාමාජිකයෙක්ම තම දක්ෂතාව තුළින් විසඳුමක් ලබා දීම ගැන අපිට ආඩම්බරයක් තිබේනවා. ඔහු අපේ රෝහලේ වටිනා මානව සම්පතක්. ඔහුගේ හැකියාව රටට වැඩදායක ලෙස යොදා ගැනීම අපේ වගකීමක්"
බොහෝ දෙනකුගෙන් එසේ පැසසුම් ලබන ලලිත් අරුණ කුමාර අධ්‍යාපනය ලබා ඇත්තේ අරලගංවිල විලයාය විද්‍යාලයේය. පසුව මාවනාවල කාර්මික විද්‍යාලයේ ද ඉගෙන ගත් ඔහු සෞඛ්‍ය කාර්ය සහායකයකු ලෙස අම්පාර මහ රෝහලේ සේවයට එක් වන්නේ 2013 දීය. සිය හැකියාවන් තවත් මුවහත් කර ගැනීමේ අරමුණින් ලලිත් මේ වන විට අම්පාර වෘත්තීය පුහුණු අධිකාරියෙන් විදුලි කාර්මික ශිල්පය හදාරන්නේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය මිනිසකු වන ලලිත් අරුණ කුමාර ජීවත් වන්නේ අම්පාර නවගම්පුර ග්‍රාම සේවා වසමේ සිය වෙහෙස මහන්සියෙන් ඉදිකර ගත් නිවෙසකය. ලලිත් කරන කියන කොයි දේටත් උපරිම සහයෝගය දෙන ඔහු මෙන්ම දිරිමත් කාන්තාවක වන ඩබ්. නදීකා දිල්හානි ය. ලලිත්- දිල්හානි යුවළගේ වැඩිමහල් දියණිය ඉසුරි විහංගා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දක්ෂ දියණියකි. බාල දියණිය ජේනාධී දහම්යා පළමු වසරේ ඉගෙනුම ලබන්නීය. සහෝදර සහෝදරියන් පස් දෙනකුගෙන් යුතු පවුලේ බාල පුතු වන ලලිත් රැකවරණය අද ඔහුගේ මව වන එන්.ජී. කොයින් මැණිකේට ද හිමිය. ඒ සියලු යුතුකම් වගකීම් මැද රටට, සමාජයට තමාගෙන් විය යුතු වගකීම් ද හැකි උපරිමයෙන් ඉටු කිරීම සිය ජීවිත අපේක්ෂාව කරගත් ලලිත් අරුණ කුමාර අධ්‍යාපනයේ වටිනාකම මනාව හඳුනා ගත් අයෙකි.
" මට මේ දහනාගාරය හදන්න පුළුවන් වුණේ කාර්මික විද්‍යාලයෙන් ලැබූ දැනුම සහ වසර ගණනක් තිස්සේ ලබා ගත් අත්දැකීම් නිසයි. ඒ නිසාම මගේ එකම බලාපොරොත්තුව මගේ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දී ඔවුන් හොඳ පුරවැසියන් කරන එකයි"
ඔහු පැවසුවේ පැහැබර අනාගතයක අරුණලු දකින දෑසින් සිනාසෙමිනි.
චන්දන ලියනආරච්ච්, දිගාමඬුල්ල සමුහ