
- උස් කඳු ගැටයක් මත හුදෙකලාව පිහිටි වලව්වේ සිටි එකම පිරිමියා වූයේ හීන් බණ්ඩා නම් මුරකරු පමණි
- පසුදාට පහන් වී බොහෝ වේලාවක් යන තෙක් ශ්‍යාමා නින්දෙන් අවදි නොවූවාය
1984 වසරේ පෙබරවාරි 26 වැනිදා උදෑසන කෑගල්ල ප්‍රදේශයේ පැතිර ගිය ආරංචියක් නිසා බොහෝ අය කම්පාවට පත් වූහ.
“දැදිගම වලව්වේ ශ්‍යාමා හාමු මරලා”
“කොහොමද මරලා තියෙන්නේ ?” ඇතැමකු ප්‍රශ්න කරන්නට විය .
කෑගල්ල ශාන්ත මරියා කන්‍යාරාමයේ ගුරුවරියක ලෙස සේවය කළ ශ්‍යාමා දැදිගම මෙනෙවිය එවකට කෑගල්ල ප්‍රදේශයේ විසු ප්‍රසිද්ධ නීතිඥයකු වූ නැසී ගිය රිචඩ් වැලන්ටයින්ගේ එක් දියණියක වූවාය. පාරම්පරික වලව් පෙළපතකින් පැවත ආ රිචඩ් වැලන්ටයින් ඉඩකඩම් රාශියකට හිමිකම් කියු ධන කුවේරයකු ද විය. රිචඩ් වැලන්ටයින් මිය ගියේ 1954 වසරේදීය. ඔහුගේ මරණයත් සමඟ ගැහැනු දරුවන් පස් දෙනකු සමඟ ඔහුගේ බිරිය තනි වුවාය .1967 වසරේදී රිචඩ් වැලන්ටයින්ගේ බිරිය වූ ඊඩින් දැදිගම ද මිය ගියා ය. ඉන් වසර කීපයකට පසු එදා ප්රතාපවත් ලෙස දිස් වු දැදිගම වලව්ව ක්‍රමයෙන් පරිහානියට පත් වන්නට විය. එයට ප්‍රධාන හේතුව වූයේ 1972 වසරේ එවකට බලයේ සිටි සමගි පෙරමුණ රජය ගෙන ආ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතයි. එම පනතට අනුව පුද්ගලයකුට දැරිය හැකි උපරිම ඉඩම් අක්කර ප්‍රමාණය අක්කර පනහකට සීමා විය. තවද පනත සම්මත වීමෙන් පසු ඉඩම් අක්කර පනහකට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් ඇති පුද්ගලයකුට එම සීමාවට වඩා ඇති ඉඩම් වෙන අයකුට පැවරීම ද කළ නොහැකි වූ අතර, මෙම ප්‍රතිසංස්කරණ නිසා වලව් හා සබැඳි සිරිත් සහ පිළිවෙත්වලට ප්‍රබල අභියෝගයක් එල්ල විය ඒ අනුව දැදිගම වලව්වේ ඉඩම්වලින් ද වලව්වට ඉතිරි වූයේ ඉඩම් අක්කර පනහක් පමණි. මේ නිසා වලව්ව සතු වූ ආර්ථික පදනම ද බිඳ වැටුණු අතර, 1977 වසරේ කරළියට ආ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා සම්ප්‍රදායික ධනපති පන්තිය අබිබවා නව ධනපති පන්තියක් ද බිහි විය. සමාජයේ මුදලට අසීමිත පිළිගැනීමක් හිමිවූ නිසා විවිධ අපරාධ සහ ජාවාරම් ඔස්සේ මුදල් සෙවීමට ඇතැම් පුද්ගලයන් පෙලඹුණි.
දැදිගම වලව්ව පිහිටියේ කෑගල්ල , සර්කියුලර් පාරේ කඳු ගැටයක් උඩය. දැදිගම වලව්ව විශාල වැරැන්ඩාවකින්,කාමර විශාල සංඛ්‍යාවකින් සහ මැද මිදුලකින් සමන්විත විය. වලව්ව උස් කඳු ගැටයක් මත පිහිටීම නිසා එය හුදෙකලා නිවෙසක් වූ අතර, වලව්වේ සිටි එකම පිරිමියා වූයේ හීන් බණ්ඩා නම් මුරකරු පමණි. හීන් බණ්ඩා දැදිගම වලව්වට දැඩි හිතවත්කමක් දැක්වූ අතර, වලව්වේ බොහෝ කටයුතු පිළිබඳ සොයා බැලුවේද ඔහුය.
රිචඩ් වැලන්ටයින්ගේ සහ ඊඩින් දැදිගමගේ ඇවෑමෙන් පසු වලව්වේ ඉතිරි වූයේ ඔවුන් දෙපළගේ අවිවාහක දියණියන් දෙදෙනකු පමණි. ඒ වන විට ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරියන් දෙදෙනකු විවාහ වී වලව්වෙන් පිටවී ගොස් තිබුණු අතර, තවත් දියණියක් ඒ වන විට පිළිකා රෝගයෙන් මිය ගොස් තිබුණි. ඒ අනුව වලව්වේ ඉතිරි වූයේ ශ්‍යාමා දැදිගම සහ රාණි දැදිගම යන දෙසොහොයුරියන්ය.මේ දෙදෙනාම අවිවාහක ජීවිත ගත කිරීම විශේෂත්වයක් විය.
කාලය මෙසේ ගෙවී යද්දී රාණි දැදිගම වරින් වර බරපතළ ලෙස අසනීප වන්නට විය.මේ නිසා වාර කිහිපයක් කෑගල්ල රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තාය.
කෑගල්ල ශාන්ත මරියා කන්‍යාරාමයේ ගුරුවරියක සේවය කළ ශ්‍යාමා දැදිගම ගුරු මණ්ඩලයේත් සිසුවියන්ගෙත් සිත් දිනාගත් ගුරුවරියක වූවාය. සොහොයුරිය නිතර නිතර අසනීප වීම ශ්‍යාමාගේ සිතට බලවත් කනස්සල්ලක් ඇති කළේය. මුරකරු හැර කිසිදු වෙනත් කිසිදු පිරිමියකු නැති නිවෙසේ සියලුම වගකීම් පැවරී තිබුණේ ශ්යාමාටය.
1984 වසරේ පෙබරවාරි 25 වැනිදා දින වලව්වේ සිටියේ ශ්‍යාමා දැදිගම සහ මුරකරු වූ හීන් බණ්ඩා පමණි. එදින පාසල් පවත්වන දිනයක් විය. රාණි දැදිගම නැවත වරක් අසනීප වීම නිසා රෝහල් ගතකර තිබුණි. එදිනත් සුපුරුදු පරිදි ශ්‍යාමා දැදිගම පාසල් ගොස් සවස දෙකට පමණ වලව්වට පැමිණියාය.
ඉන් පසුව දහවල් ආහාරය ගත් ඇය සවස් වරුවම විවේකීව ගත කර රෝහලේ සිටි තම සොහොයුරිය බැලීමට ගොස් නැවත වලව්වට පැමිණි අතර, රාත්‍රී ආහාර ගෙන නින්දට ගියේ පසුදින පාසලේ සේවයට යෑමේ බලාපොරොත්තුවෙනි.
මෙම දෙසොහොයුරියන්ගේ ඕනෑ එපාකම් පිළිබඳ සොයා බැලූ තැනැත්තා වූයේ ශ්‍යාමාගේ බාප්පා වූ ඇලෙක්ස් දැදිගමයි. වලව්වේ මුරකරු වූ හීන් බණ්ඩා ශ්‍යාමා හාමුගේ දින චර්යාව පිළිබඳ හොඳටම දනියි. පාසල් පවත්වන දිනවල ශ්‍යාමා අලුයම හතර හමාරට පමණ පිබිදෙයි. පසුදාට පහන් වී බොහෝ වේලාවක් යන තෙක් හීන් බණ්ඩා බලා සිටියේ ශ්‍යාමා හාමු නින්දෙන් අවදි වන තෙක්ය. එහෙත් ශ්‍යාමා හාමු අවදි වන පාටක් නැත. ඇයට කිසියම් අසනීපයක් වැලදී ඇතැයි යන සිතුවිල්ල හීන් බණ්ඩාට ඇති විය. වෙනදා උදෑසන හතරට පමණ අවදි වන ශ්‍යාමා හාමු එදින උදේ හත පමණ වන තෙක්ම අවදි නොවීම නිසා කලබලයට පත් හීන් බණ්ඩා අවසානයේදී ශ්‍යාමා හාමුගේ නිදන කාමරය වෙත ගොස් විපරම් කර බැලීමට සිතුවේය.
ඒ අනුව ඔහු ශ්‍යාමා හාමුගේ නිදන කාමරයේ දොරට කිහිප වතාවක් තට්ටු කළ අතර, කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. ශ්‍යාමා හාමුට කුමක් හෝ කරදරයක් වී ඇති බව හීන් බණ්ඩාට සිතුණි. ඔහු කලබලයෙන් අසල්වැසියකු වූ සුරවීරගේ නිවෙසට ගොස් ශ්‍යාමාගේ බාප්පා වූ ඇලෙක්ස්ට දුරකතන ඇමතුමක් ලබා දුන් අතර, ඇලෙක්ස් උපදෙස් දුන්නේ ශ්‍යාමාගේ නිදන කාමරයට කෙසේ හෝ ඇතුළු වී බලන ලෙසය. ඒ අනුව හීන් බණ්ඩා, සුරවීර සමඟ ගොස් ශ්‍යාමා හාමුගේ නිදන කාමරය විපරම් කර බැලුවේය. ඔහුට අදහාගත නොහැකි අවාසනාවන්ත සිද්ධියක් එහි සිදු වී තිබුණි. ශ්‍යාමා නිදන කාමරයේ වැටී සිටියාය. ඇය වැටී සිටියේ ඇඳ අසලය. කාමරයේ ජනෙල් කූරු දෙකක් ගලවා තිබුණු අතර, ඇඳ මත බ්‍රැන්ඩි බෝතලයක් ද විය.මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ හීන් බණ්ඩා වහාම ඇලෙක්ස් දැදිගමට දැනුම් දුන්නේය. ඇලෙක්ස් දැදිගම සිද්ධිය පොලිසියට දැනුම් දුන් අතර, ඔහු ඉක්මනින් දැදිගම වලව්වට පැමිණියේය.
ඇලෙක්ස් දැදිගමගේ දැනුම් දීම මත කෑගල්ල පොලිසිය දැදිගම වලව්වට පැමිණ අතර, එම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. පොලිසිය මුරකරු වූ හීන් බණ්ඩාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ අතර, මෙම ඝාතනයට හීන් බණ්ඩා කිසියම් ආකාරයකට සම්බන්ධ වී ඇත යන සැකය පොලිසියට මුල සිටම තිබුණි. කෙසේ වෙතත් පොලිසිය විසින් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හීන් බණ්ඩා එම ඝාතනයට සම්බන්ධ නොමැති බව පොලිසිය නිගමනය කළේය.
ශ්‍යාමා දැදිගමගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද්දේ එවකට මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී පී.එච්.රාජපක්ෂ ය. ඔහුගේ වාර්තාවට අනුව මළ සිරුරේ දෙපාවල කුඩා රුධිර පැල්ලම් කීපයක් තිබුණි.ඇයගේ මළ සිරුර යට මුත්‍රා ප්‍රමාණයක් ද තිබුණි. තොණ්ඩුවක් ආධාරයෙන් ගෙල සිර කිරීමෙන් මරණය සිදු කර ඇත. මරණයට හේතුව හුස්ම හිර වීමය. තවද ඇයට කිහිප දෙනකු විසින් ලිංගික අතවර කර තිබෙන බව ද අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සඳහන් විය.
ශ්‍යාමා දැදිගම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවලින් එතරම් පුගතියක් අත් නොවීම නිසා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි පරීක්ෂණ කටයුතු 1984 වසරේ මාර්තු 09 වැනිදා ද රහස් පොලිසියට භාර දෙන ලදී. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක බ්‍රයන් අමුණුගම පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.
මේ අතර පොලිසිය මාර්තු මස 11 වැනිදා කෑගල්ල,පින්නකන්ද ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයකු අත් අඩංගුවට ගන්නා ලදී. ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ සැකකටයුතු හැසිරීම නිසාය. ඔහු විමලරත්න නම් පුද්ගලයකු විය.
පොලිසිය විසින් විමලරත්නගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු ශ්‍යාමා දැදිගම ඝාතනයට කෙළින්ම සම්බන්ධ පුද්ගලයකු බව අනාවරණය විය. වැඩි දුරටත් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය පිළිබඳ ඉතා වැදගත් කරුණු රාශියක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය. මෙම ඝාතනය හා සම්බන්ධ සෙසු සැකකරුවන් ලෙස කැප්ටන් හෙවත් ජයසේන ,වික්‍රමරත්න, සුනිල් තිලකසිංහ,ජයසිංහ සහ පුෂ්පසේන කපුගීකියන යන අය හඳුනා ගැනීමට පොලිසිය සමත් විය.
පුෂ්පසේන කපුගීකියන යන පුද්ගලයා මිනින්දෝරුවකු වූ අතර, ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රමය යටතේ දැදිගම වලව්වේ ඉඩම් රජයට පවරා ගැනීමේදී වන්දි මුදල ප්‍රමාණවත් නොවූ නිසා ශ්‍යාමාගේ මස්සිනා විසින් කපුගීකියන හරහා එම ඉඩම් නැවත වරක් මැන ඇත. ශ්‍යාමාගේ මස්සිනා පවසන ලද තොරතුරු අනුව දැදිගම වලව්වේ රන් භාණ්ඩ සහ මුදල් ව්ශාල ප්‍රමාණයක් ඇති බව කපුගීකියන අනුමාන කළේය. ඒ අනුව කපුගීකියනට දැදිගම වලව්වේ ඇති භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ අදහසක් පහළ විය. මේ සඳහා ඔහු පුද්ගලයන් කිහිප දෙනකු සම්බන්ධ කර ගැනීමට අදහස් කළේය. කපුගීකියන තම කාර්ය කැප්ටන් හෙවත් ජයසේන ඇතුළු කීප දෙනෙකුට භාර දුන්නේය.
ඔවුන්ගේ සැලැස්මට අනුව 1984 වසරේ පෙබරවාරි 25 වැනිදා කෑගල්ල නගරයට රැස් වූ අපරාධකරුවෝ සිය මෙහෙයුම දියත් කළහ. එදින රාත්‍රී කාලයේදී ඔවුන් දැදිගම වලව්ව ආසන්නයට පැමිණ දැදිගම වලව්වේ කොල්ලයට සූදානම් වූ අතර, ඔත්තු බැලීමේ වගකීම කැප්ටන්ට පැවරූහ. අපරාධකරුවෝ ශ්‍යාමාගේ කාමරයේ ජනේලය ඇර ජනෙල් කූරු දෙකක් නමා කාමරයට ඇතුළු වූහ.
සිය නිදන කාමරයට පැමිණි පුද්ගලයන් දැක ශ්‍යාමා දැදිගම භීතියට පත්ව කෑගැසීමට පටන් ගත් අතර, අපරාධකරුවන් ඇයට තර්ජනය කරමින් කියා සිටියේ කෑගැසුවහොත් මරා දමන බවයි. අවසන භීතියට පත්ව සිටි ශ්‍යාමා දැදිගම ඔවුන්ට අවනත වූවාය.අපරාධකරුවන්ගේ අරමුණ වූයේ දැදිගම වලව්වේ රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කිරීම වුවත් ශ්‍යාමා දැදිගම හමුවේ සිය හැඟීම් පාලනය කර ගැනීමට නුපුළුවන් විය. ඔවුන් වලව්වේ රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කර අවසානයේදී ශ්‍යාමා දැදිගම දූෂණය කර තොණ්ඩුවකින් ගෙල සිරකර ඇය මරා දමන ලදී .
කෙසේ වෙතත් අපරාධය සිදු කර වලව්වෙන් පිටතට පැමිණි අපරාධකරුවන් තමන් ශ්‍යාමා හාමු දූෂණය කර මරා දැමූ බව කැප්ටන්ට හෙළිදරව් කළේ නැත.තමන් කොල්ල කෑ මුදල් සහ රන් ආභරණ ඔවුහු කැප්ටන්ට භාර දුන්හ. කැප්ටන් එම මුදල් සහ භාණ්ඩ කපුගීකියන හමුවීමට ගොස් ඔහුට භාර දුනි. ඒවායින් කොටසක් කැප්ටන්ට සහ අනෙක් අපරාධකරුවන් වෙනුවෙන් කපුගීකියන විසින් කැප්ටන් වෙත ලබා දුන් අතර, කැප්ටන්ට දීමට පොරොන්දු වූ මුදලේ ඉතිරි කොටස පසුව දෙන බව කපුගීකියන පැවසුවේය.
කැප්ටන් මෙහෙය වූ අපරාධ කල්ලිය ශ්‍යාමා දැදිගම දූෂණය කර මරා දමා ඇති බව කැප්ටන් දැනගන්නේ පෙබරවාරි 26 වැනිදා පළවූ පුවත් පතකිනි. පොලිසිය විසින් කැප්ටන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයට කපුගීකියන යන පුද්ගලයකු ද සම්බන්ධ බව අනාවරණය කළේය. කපුගීකියන උපක්රමිකව අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සැලසුමක් සකස් කළේය. ඒ අනුව පොලිස් නිලධාරියකු සාමාන්‍ය ගැමියකු ලෙස සරමක් සහ බැනියමක් අන්දවා කැප්ටන් සමඟ කපුගීකියන වෙත යැව්වේය. හඬ පටිගත කිරීමේ යන්ත්‍රයක් ද කැප්ටන් අත සඟවා යැව්වේය. මෙම දෙදෙනා කපුගීකියන හමු වූ අතර එහිදී කැප්ටන්, කපුගීකියනගෙන් මෙසේ ඇසුවේය.
“අර වැඩේ කරපු එකේ ඉතිරි මුදල් දෙන්නේ කවදාද?”
මෙහිදී කපුගීකියන ප්‍රකාශ කළේ ළඟදීම එම මුදල් ලබා දෙන බවයි. මේ සියල්ලම පටිගත කිරීමේ යන්ත්‍රයේ සටහන් විය. මෙය කපුගීකියන අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසියට ප්‍රබල සාක්ෂියක් විය. ඒ අනුව පොලිසිය විසින් කපුගීකියන වහාම අත් අඩංගුවට ගන්නා ලද අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු අනාවරණය කළේ ශ්‍යාමාගේ මස්සිනා ද මෙම අපරාධයට සම්බන්ධ බවයි. කපුගීකියනගේ කට උත්තරය මත පොලිසිය විසින් ශ්‍යාමාගේ මස්සිනා ද අත් අඩංගුවට ගන්නා ලදී. එහෙත් ඔහු ප්‍රකාශ කළේ තමන් මේ සිද්වලට කිසිසේත්ම සම්බන්ධ නැති බවයි.
කෙසේ වෙතත් මෙම අපරාධය සම්බන්ධව විමලරත්න,වික්‍රමරත්න, සුනිල් තිලකසිංහ,ජයසිංහ ,කපුගීකියන සහ ශ්‍යාමාගේ මස්සිනා යන සැකකරුවන්ට එරෙහිව කෑගල්ල මහාධිකරණයේදී නඩු පැවරූ අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයේදීම ශ්‍යාමා දැදිගමගේ මස්සිනා නිදහස් විය. එයට හේතුව ඔහු මේ අපරාධයට සම්බන්ධ බවට සාක්ෂි නොමැති වීමය. තවද නීතිපතිවරයා විසින් කැප්ටන් රජයේ සාක්ෂි කරුවකු ලෙස නම් කළේය. මහාධිකරණ නඩු විභාගය ඉදිරියට ගෙන යන අතරතුර විත්තියෙන් විරෝධතාවක් ගොනු කළේය. එනම්, ජූරි සභාවේ සාමාජිකයන් විත්තිකරුවන් දන්නා අය බැවින් එම ජූරි සභාව ඉදිරියේ නඩුව විභාග කිරීම නිසා විත්ති පාර්ශ්වයට අගතියක් සිදු විය හැකි බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමය පරිදි නඩු විභාගය,කෑගල්ල මහාධිකරණයෙන් කොළඹ මහාධිකරණට මාරු කළ අතර, කොළඹ මහාධිකරණයේදී ජූරි සභාවක් ඉදිරියේදී නඩු විභාගය සිදු කරන ලදී .
නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර 1989 භීෂණ සමයේදී තිලකසිංහ සහ ජයසිංහ මිය ගියහ. මෙම නඩුව සම්බන්ධව 1993 වසරේදී කොළඹ මහාධිකරණ දුන් තීන්දුව වූයේ විමලරත්නට සහ වික්‍රමරත්නට මරණීය දණ්ඩනය නියම කිරීම සහ කපුගීකියනට බරපතළ වැඩ ඇතිව වසර දහයක සිර දඬුවමක් නියම කිරීමයි. මෙම නඩු විභාගය දෙස මහජනතාව ඉතා උනන්දුවෙන් බලා සිටියේ දැදිගම වලව්වේ ප්‍රභූ කාන්තාවක් ඉතා කුරිරු ලෙස ඝාතනය කිරීම ඔවුන්ගේ දැඩි පිළිකුලට සහ අප්‍රසාදයට හේතු වූ නිසාය.
නීතිඥ එස්. එම්. ජයසූරිය