ඔළුවෙන් හිටගත් ඉන්දීය ක්‍රිකට් කෙළින් කළ ලෝධා නඩු තීන්දුවෙන් අපටත් පාඩමක් | සිළුමිණ

ඔළුවෙන් හිටගත් ඉන්දීය ක්‍රිකට් කෙළින් කළ ලෝධා නඩු තීන්දුවෙන් අපටත් පාඩමක්

නෑම ක්‍රීඩා සංගමයක ව්‍යවස්ථාවක් ස්ථාපනය කර ඇත්තේ අදාළ ක්‍රීඩාව නිවැරැදි දිශාවේ ගමන් කරවීම සඳහාය. පසුකාලීනව එම ව්‍යවස්ථාවල ඇති දුර්වලතා හඳුනා ගැනීමට සහ ඒවා නිවැරැදි කරගැනීමට අවස්ථාව උදාවන්නේ ප්‍රායෝගික ගැටලු මතුවීමේදීය. එය රඳා පවතින්නේ අදාළ ක්‍රීඩා සංගමයේ තනතුරුවලට පත්වන පුද්ගලයන්ගේ පැටිකිරිය මතය. තම අභිමතය පරිදි හැසිරවිය හැකි බහුතර ඡන්ද ප්‍රමාණයක් තිබේ නම් විශේෂ මහ සභා රැස්වීමකදී හෝ වාර්ෂික මහ සභා රැස්වීමකදී බහුතර කැමැත්ත මත ඕනෑම ක්‍රීඩා සංගමයක ව්‍යවස්ථාව සංශෝධනය කරගැනීමට පවතින නිලධාරී මණ්ඩලයට අවස්ථාව තිබේ. එය ක්‍රීඩාවේ යහපැවැත්මට පමණක් නොව පෞද්ගලික අභිමතාර්ථ ඉටු කරගැනීමට අවශ්‍යතාව මත පවා සිදු කළ හැකිය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වල ව්‍යවස්ථා සංශෝධන වැඩිපුර සිදු වන්නේ දෙවැනි කාරණාව වෙනුවෙනි. අද වන විට මෙරට බොහෝ ක්‍රීඩා සංගම්වල ඇත්තේ සංශෝධිත ව්‍යවස්ථාවකි. වැඩිපුරම ව්‍යවස්ථා සංශෝධන සිදුවන්නේ දිගු කාලයක් තනතුරුවල රැඳී සිටින පුද්ගලයන්ගෙන් සමන්විත ක්‍රීඩා සංගම්වලය. පවතින ව්‍යස්ථාවේ තමන්ගේ පැවැත්මට අවාසිදායක වගන්ති ඉවත් කිරීමට සහ වාසිදායක වගන්ති ඇතුළත් කරගැනීම දූෂිත නිලධාරීන්ට එතරම් අසීරු නැත. මන්ද ඒ සඳහා අවශ්‍ය බහුතර කැමැත්ත ලබාගත හැකි අයුරින් ඡන්ද ගොඩ වැඩි කරගැනීමට ඔවුන්ට ධනය හා බලය අතින් හැකියාව ඇති බැවිනි.

මීට දශකයකට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදු වූයේ ද ඒ ටිකමය. ඒ වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ලොව ධනවත්ම ක්‍රිකට් රාජ්‍යය ගොඩනඟාගෙන සිටි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ක්‍රිකට් ව්‍යස්ථාවේ 6.2.4 වගන්තිය එහෙම පිටින්ම සංශෝධනය කළේ එවකට සිටි සභාපති එන්. ශ්‍රීනිවාසන්ගේ පටු පරමාර්ථ ඉටු කර ගැනීමේ අභිලාෂයෙනි. එම වගන්තියෙන් කියැවුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිදු නිලධාරියකුට මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලබන තරගාවලියක හෝ වෙනත් තරගයකට සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධ විය නොහැකි බවය. තමා ඇතුළු නිලධාරී මණ්ඩලයට වාසිදායක අයුරින් එය වෙනස් කළේය. ඒ අනුව අයිපීඑල් තරගාවලියේ කණ්ඩායම් හිමිකාරිත්වය ගැනීමට අවස්ථාව සලසා ගත්තේය. සභාපති ශ්‍රීනිවාසන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරු බවට පත් වූ අතර, ඔහුගේ බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන් කණ්ඩායමේ පරිපාලකයා බවට පත් විය.

ඉන්ඩියා සිමෙන්ට් සමාගමේ හිමිකරු ලෙස එරට ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළම තලයේ සිටින ශ්‍රීනිවාසන් වැනි මුදලට ගිජු පුද්ගලයන් ක්‍රීඩා සංගම්වල තනතුරුවලට පත්වීමෙන් ක්‍රීඩාවට අත් වූ ඉරණම සුළුපටු එකක් නොවීය. ශ්‍රීනිවාසන්ලා අයිපීඑල් පිටියට මුදල් සමඟ තරග පාවාදීමේ දුෂණයත් එකතු කළහ. ක්‍රීඩකයන් ඉත්තන් බවට පත් කරමින් සිදු කළ අයිපීඑල් තරග පාවාදීමේ කාලබෝම්බය අවසානයේ 2013 වසරේදී පුපුරා ගියේය. නවදිල්ලි පොලිසිය අයිපීඑල් තරගාවලියේ තරග මුදලට පාවා දෙන බව අනාවරණය කරගත් අතර, රාජස්තාන් රෝයල් පිලේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු අත්අඩංගුවට පත් වූහ. ඒ අතරතුර එම චෝදනාවටම මුම්බායි පොලිසියත් චෙන්නායි සුපර් කිංග්ස් පිලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේය. ශ්‍රීනිවාසන්ගේ බෑනණුවන් ද ඒ අතර විය. බුකීකරුවන්ට කණ්ඩායමේ අභ්‍යන්තර තොරතුරු සපයනු ලැබුවේ ඔහු විසින් බව තහවුරු විය.

එතෙක් මෙතෙක් ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක ඇරැඹුමට මං විවර කරනු ලැබුවේ එම සිදුවීමය. කිසිදු දේශපාලන බලවේගයකට බිඳ දැමිය නොහැකි තරමට බලවත් වූ කෝටිපති ව්‍යාපාරිකයන්ගේ ඉන්දීය ක්‍රිකට් ආධිපත්‍යය අවසානයේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් බිඳ වැටුණේ සෙසු ක්ෂේත්‍රයන් පමණක් නොව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත් අධිකරණ ක්‍රියාවලියකට කළ හැකි අන්තිම සාධාරණය කුමක්දැයි ශ්‍රී ලංකාවට ද කදිම ආදර්ශයක් ලබා දෙමිනි. එය වූකලී එතෙක් කාලයක් ව්‍යාපාරිකයන්ට හිමි වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පුටුවේ හිටපු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් අසුන් ගැනීමට සැලසූ ඓතිහාසික තීන්දුවකි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව නිවැරැදි දිශාවකට හරවා තැබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලෙහෙසි පහසු එකක් නොවීය. ඊට ධනය හා බලය ඇති තරමට හරස් වී තිබිණි. ප්‍රයෝගකාරී සිදුවීම්, රහස් කුමන්ත්‍රණ හා නීතිගරුක නිලධාරීන් මුදලට යට කරගැනීම් ද එමට සිදුවන්නට ඇත. එහෙත් සැබෑව නම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය යුක්තිය අකුරටම ඉටු කිරීමය. කිසිදු බලවේගයකට නීතිය පාවා නොදීමය.

සිය තනතුර මෙන්ම ගෞරවය ද රැක ගැනීමට ශ්‍රීනිවාසන් මාමාලා බෑණලා නොගැසූ තුරුම්පුවක් නොතිබිණි. දූෂණ වංචා පොලිසියට හසුවීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සිදුවන්නාක් මෙන් එය විමර්ශනය කිරීමට ද්විපුද්ගල කමිටුවක් පත් කළේය. කවුරුත් අනුමාන කළ පරිදි එම කමිටුව රාජස්තාන් රෝයල්ස් පිලේ හිමිකාරිත්වය දැරූ කෝටිපති ව්‍යාපාරික රාජ් කුන්ද්‍රා සහ චෙන්නායි සුපර් කිංග්ස් හිමිකාරීත්වය දැරූ ඉන්ඩියා සිමෙන්ට් සියලු චෝදනාවලින් නිදහස් කිරීමට නිර්දේශ කළේය.

එහෙත් දූෂිතයන්ට නීතියෙන් රිංගා යෑමට ඉඩ නොතැබූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊට දින දෙකකට පසු එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කළ කමිටුවේ නිර්දේශ ප්‍රතික්ෂේප කළ අතර, එය නීති විරෝධි බව තීන්දු කරමින් මේ සිදුවීම ගැන විමර්ශනය කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මුකුල් මුඩ්ගාල්ගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. එම කමිටුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පිටු 170කින් සමන්විත වාර්තාවෙන් ශ්‍රීනිවාසන්ගේ බෑනණුවන් වූ මෙයියප්පන් සහ රාජස්තාන් රෝයල්ස් පිලේ හිමිකරු රාජ් කුන්ද්‍රා අයිපීඑල් තරගාවලියේදී බුකීකරුවන්ට සහාය දුන් බව තහවුරු කෙරිණි. එපමණක් නොව මෙයියප්පන්ගේ ක්‍රියාකාරකම්වලට චෙන්නායි සුපර් කිංග්ස් පිලේ හිමිකාරීත්වය දරන ඉන්ඩියා සිමෙන්ට් සමාගම වගකිව යුතු බව ද අවධාරණය කර තිබිණි.

ඒ අනුව ශ්‍රීනිවාසන් විසින් අයිපීඑල් තරගාවලියට වාසිදායක ලෙස සංශෝධනය කළ ඉන්දීය ක්‍රිකට් ව්‍යවස්ථාවේ ආන්දෝලනාත්මක වගන්තියට එරෙහි වූ ශ්‍රේෂ්ඨාධිකරණය ලෝධා කමිටුව පත් කරමින් එරට ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමේ පළමු පියවර තැබුවේය. එපමණක් නොව විමර්ශනයට සහය දීමට ක්‍රිකට් සභාපතිධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රීනිවාසන්ට දැනුම් දුන්නේය.

එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවන් වන අශෝක් බාන් සහ ආර්.වී.රවීන්ද්‍රන් මහත්වරු සාමාජිකත්වය සමඟ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හා හිටපු අගවිනිසුරු ආර්. එම්. ලෝධාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අපේක්ෂාව ඒ අයුරින්ම ඉටු කරමින් ලබා දුන්නේ අතුරු සිදුරු නැති අංගසම්පූර්ණ පිටු 313කින් සමන්විත වාර්තාවකි.

ඉන්දියාවේ ක්‍රීඩා පනත පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් පසුව පූර්ණ අවබෝධයකින් යුතුව ඉදිරිපත් කර තිබූ ලෝධා කමිටුවේ වාර්තාව සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේ එවැනි කමිටුවක් පත් කිරීමට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් යොමු කරනු ලැබූ අභියාචනා දෙකක්ම ප්‍රතික්ෂේප කරමින් වීම විශේෂත්වයකි.

අයිපීඑල් තරගාවලිය අතරතුර සිදු වූ බුකීකරුවන්ට තොරතුරු සැපයීමේ සිදුවීමට පසුබිම නිර්මාණය වීමට බලපෑ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යුහය සමඟ එම කමිටුව මූලික වශයෙන් මතුවී ඇති ගැටලු 7ක් සවිස්තරාත්මකව විග්‍රහ කර තිබිණි. ඒවා මෙසේය.

1) ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට එරට සියලු ප්‍රාන්ත නියෝජනයක් නොතිබීම.

2) මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් වැනි ඇතැම් ප්‍රාන්තවලින් අසාමාන්‍ය ලෙස අධිනියෝජනයක් තිබීම.

3) ප්‍රාන්ත නියෝජනයට වඩා සේවා හා දුම්රිය ක්‍රීඩා සංගම් වැනි කණ්ඩායම්වල නියෝජනයක් තිබීම.

4) ප්‍රාන්ත නියෝජනයට ප්‍රමුඛතාව ලැබීම වෙනුවට ඇතැම් ක්‍රීඩා සමාජ සඳහා ප්‍රමුඛතාව ලැබීම.

5) පරිපාලන දිස්ත්‍රික් හෝ පළාත් නියෝජනයක් නොතිබීම.

6) අනුබද්ධිත ක්‍රීඩා සංගම් සහ අනාගත ක්‍රීඩා සංගම් නිර්මාණය කර තිබීම.

7) ක්‍රීඩා සංගම් එක් කිරීම සහ ඉවත් කිරීම අත්තනෝමතිකව සිදු කිරීම.

මේ සම්බන්ධව ලෝධා කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ ගණනාවක් විය. ඉන් ප්‍රධාන වූයේ ජාත්‍යන්තර වශයෙන් රටවල් රැසක සිදුවන්නාක් මෙන් ‘එක් ප්‍රාන්තයක් - එක් සාමාජිකයෙක් - එක් ඡන්දයක්‘ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමය.

එමෙන්ම තනි ප්‍රාන්තයකින් ක්‍රීඩා සංගම් හෝ කණ්ඩායම් වැඩි වශයෙන් ඇති අවස්ථාවක ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහිතව තනි සංගමයක් පූර්ණ සාමාජිකයකු බවට පත් කළ යුතු බවත්, සෙසු සංගම් එම සංගමයේ අනුබද්ධිත සංගම් ලෙස කටයුතු කළ යුතු බවත් නිර්දේශ කර තිබිණි. එමෙන්ම ප්‍රාන්ත නියෝජනයකින් තොර සෙසු සංගම්වලට දේශීය තරගාවලි සඳහා නියෝජනය කිරීමේ අයිතිය රඳවා තබා ඡන්ද අයිතිය ඉවත් කළ යුතු බවත් ලෝධා කමිටුව පෙන්වා දී තිබිණි.

එමෙන්ම පූර්ණ සාමාජිකත්වය සහ අර්ධ සාමාජිකත්වය ඇති සංගම්වලට අමතරව අනුබද්ධිත හා අනාගත සාමාජික කාණ්ඩය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමටත්, ඒ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවිධ කලාප උතුරු, දකුණ, නැගෙනහිර, බටහිර හා මධ්‍යම වශයෙන් වර්ගීකරණය කිරීමේ දිගු කාලීන භාවිතයෙන් මිදී එම වර්ගීකරණය තරගාවලි සඳහා පමණක් රඳවා තැබීමටත් නිර්දේශ කර තිබිණි. එමෙන්ම එසේ වර්ගීකරණය කළ කලාප කොටස්වලට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විවිධ කමිටු සඳහා පුද්ගලයන් නිර්දේශ කිරීමට අවස්ථාව නොදිය යුතු බව ද නිර්දේශ කර තිබිණි. එය දැනට සිදුවන බව ද කමිටුව අවධාරණය කළේය. මීට අමතරව ක්‍රිකට් සංවර්ධනය සඳහා සිය සාමාජික සංගම් වෙත මුදල් බෙදා දීම එක හා සමාන නොවිය යුතු බවත්, ක්‍රීඩාවේ සංවර්ධනයට සාමාජික සංගම් දිරිගැන්වීමේ අරමුණ ඇතිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධිමත් ප්‍රතිපත්තියකට අනුව එය සිදුවිය යුතු බවත් නිර්දේශ කර තිබිණි.

ලෝධා කමිටුව හඳුනා ගත් ගැටලු අතර සෙසු රටවල ක්‍රිකට් ආයතනවලට සාපේක්ෂව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලනයේ දුර්වලතා රැසක් විය. ඒවා මෙසේය.

1) ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් අංශවල වැරදි කළමනාකරණයට තුඩු දෙන ආකාරයෙන් බලය අනිසි ලෙස භාවිත කිරීම.

2) තේරී පත්වූ නිලධාරීන්ගේ අත්දැකීම් අඩුකම සහ අකාර්යක්ෂමතාව.

3) හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවීම හෝ නොතිබීම.

4) අසීමිත කාලසීමාවක් පුරා තනතුරුවල රැඳී සිටීම.

5) තනතුරු දැරීමට ඇති නුසුදුසුකමට හේතු නොදැක්වීම.

එම ගැටලු හඳුනා ගැනීමෙන් පසු ලෝධා කමිටුව විසින් තවත් අතිශය වැදගත් නිර්දේශ ගණනාවක් සිය වාර්තාවට ඇතුළත් කර තිබිණි.

නිලධාරීන් 14 දෙනකුගෙන් සමන්විත දැනට පවතින ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවට ක්‍රීඩාව පාලනය කිරීමට වග වන ආකාරයේ කවුන්සිලයක් (Apex Council) සහ අයිපීඑල් තරගාවලියට වෙනම පරිපාලන කවුන්සිලයක් ස්ථාපිත කිරීම ඒ අතුරින් කැපී පෙනිණි. එමෙන්ම ක්‍රීඩාව පාලනය කිරීමට වග වන කවුන්සිලයේ සමතුලිතභාවය හා ස්වාධීනත්වය විනිවිද පෙනෙන සාමාජිකත්ව ව්‍යුහයක් සකස් විය යුතු ආකාරය ද ලෝධා කමිටුව පැහැදිලි කිරීමක් සිදු කර තිබිණි. ඡන්දයෙන් පත් වූ නිලධාරීන් 5ක්, කවුන්සිල නියෝජිතයන් 4ක්, ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය නියෝජනය වන පරිදි කාන්තා හා පිරිමි නියෝජනයක් බැගින් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ සාමාජිකයන් තෝරා ගන්නා එක් නියෝජිතයකු සහ ඉන්දීය විගණනකාධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන නියෝජිතයකු ඇපෙක්ස් කවුන්සිලයට ඇතුළත් විය යුතු බව සඳහන් කර තිබිණි.

එම කවුන්සිලයේ නිලතල දරන්නන්ගේ කාලසීමාව වතාවකට වසර තුනක කාල සීමා කිරීමට සහ තනතුර දැරිය හැකි සම්පුර්ණ කාලසීමාව වසර 9කට වැඩි විය නොහැකි ආකාරයෙන් විය යුතු බවත්, වසර 6ක් හෝ 9ක් අඛණ්ඩව එම තනතුරේ කටයුතු කිරීම තහනම් කරමින් සෑම වසර තුනක කාලසීමාවකට පසුව විරාමයක් ගත යුතු ආකාරයෙන් විය යුතු බවත් නිර්දේශ කර තිබිණි. එම නිර්දේශ අතුරින් අවධානයට ලක් වූ තවත් නිර්දේශයක් වන්නේ වයස අවුරුදු 70 සම්පූර්ණ කළ හෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ලැබූ හෝ නිරවුල් මනසක් නොමැති පුද්ගලයන් මෙන්ම, මැතිඇමැතිවරුන් හෝ රජයේ සේවකයන් සහ රටේ වෙනත් ක්‍රීඩා සංගමයක නිලතල දරන පුද්ගලයන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරු දැරීමට නුසුදුසු අය බවට නිර්දේශ කර තිබීමය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෘත්තීයභාවය සහතික කිරීමේ උත්සාහයක් ලෙස ඒ සඳහා ආයතනික ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට ද ලෝධා කමිටුව යෝජනා කර තිබිණි. ඊට සැලකිය යුතු නිර්දේශ කිහිපයක් ඇතුළත් විය.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩාවට අදාළ නොවන කටයුතුවලට සහ සැපයුම් අවශ්‍යතා මෙහෙයවීමට සහාය වීමට කළමනාකරුවන් 6 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක සහාය ලබන ඉහළ නිපුණත්වයකින් යුතු ප්‍රධාන විධායක නිලධාරියකු පත් කිරීමට නිර්දේශ කර ඇති ලෝධා කමිටුව ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි සියයක වාර්ෂික පිරිවැටුමක් සහිත සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස හෝ ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස වසර 5ක අත්දැකීම් ඇති පුද්ගලයකු සුදුසු බවට යෝජනා කර තිබේ. එමෙන්ම ඒ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ස්ථාපිත කර ඇති ස්ථාවර කමිටු හා අනු කමිටු විශාල සංඛ්‍යාවක් ඇති බවත්, එය ජ්‍යෙෂ්ඨ තරගාවලි, සංචාර සහ තාක්ෂණික අංශ සම්බන්ධ කමිටුව වශයෙන් ප්‍රධාන විධායක නිලධාරියාට උපදෙස් සපයනු ලබන අත්‍යවශ්‍ය උපදේශක කමිටු 2ක් දක්වා අඩු කළ යුතු බවටත් නිර්දේශ කර තිබිණි.

මීට අමතරව කාන්තා ක්‍රිකට්, ආබාධිතවූවන්ගේ ක්‍රිකට් ඇතුළු සියලු කණ්ඩායම් තේරීම්, පුහුණුකිරීම්, කාර්ය සාධනය හා ඇගයීම් කටයුතු අධීක්ෂණය කරන ක්‍රිකට් කමිටු 7ක් ස්ථාපිත කිරීමටත්, එක් එක් ක්‍රිකට් කමිටු සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත විය යුතු බවටත් නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා හිටපු ක්‍රීඩකයන් තෝරාගත යුතු බව සඳහන් කර තිබිණි. මීට අමතරව ජ්‍යෙෂ්ඨ පිරිමි කණ්ඩායමේ තේරිම් කමිටුව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පමණක් සමන්විත යුතු බවත්, ඒ අතුරින් වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා එම තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කළ යුතු බවටත් නිර්දේශ කර තිබිණි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාර්යයන් බාහිරව අධීක්ෂණය කිරීමට නව අධිකාරී තුනක් පිහිටුවීමට ලෝධා කමිටුව නිර්දේශ කර තිබේ. එම අධිකාරි ත්‍රිත්වයට සියලු ආකාරයේ පැමිණිලි විමර්ශනය කිරීමට හා විසඳීමට ඔම්බුඩ්ස්මන් කෙනකු පත් කළ යුතු බවත්, ඒ සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ, මහාධිකරණ විනිසුරුවරයකු හෝ හිටපු අගවිනිසුරුවරයකු වඩාත් සුදුසු බවටත් නිර්දේශ කර ඇත. ක්‍රීඩාවට සම්බන්ධ සියලුදෙනාට ආචාර්ධර්ම පිළිබඳ මාර්ගෝපදේශ සැපයීමට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයකු ආචාර ධර්ම නිලධාරියා ලෙස පත් කිරීමටත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණ සම්බන්ධ සියලු කටයුතු සිදු කිරීමට හා අවසන් තීන්දු ගැනීමට නිලවරණ නිලධාරියකු වශයෙන් එම අධිකාරි ත්‍රිත්වය ස්ථාපිත කළ යුතු බවට ලෝධා කමිටුව නිර්දේශ කර තිබිණි.

ඒ අනුව ලෝධා කමිටු වාර්තාව අධ්‍යයනයක කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන්නේය. ලෝධා කමිටුවේ නිර්දේශවලට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභා වූ අතර, කමිටුවේ නිර්දේශ පිළිගන්නා තෙක් ක්‍රිකට් පාලක මණ්ඩලය සතු කිසිදු මුදලක් වැය කිරීම සපුරා තහනම් කෙරිණි. මේ තත්ත්වය මත ලෝධා කමිටු නිර්දේශ අතුරින් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟතාව පළ කළ අතර, අවුරුදු 70 වයස් සීමාව සහ එක් ප්‍රාන්තයකට එක් ඡන්දයක් ප්‍රතිපත්තිය ඇතුළු සැලකිය යුතු නිර්දේශ ගණනාවකට විරුද්ධත්වය පළ කළේය.

මේ අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට විගණකාධිවරයකු පත් විය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට ඉවත් වීමට නියෝග කරමින් වැඩ බලන නිලධාරියා ලෙස එරට රාජ්‍ය සේවයේ හිටපු කීර්තිමත් නිලධාරිකු වූ විනෝද් රායි පත් කළේය. ලෝධා කමිටුවේ නිර්දේශ එකින් එක ක්‍රියාත්මක කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමේ ඓතිහාසික කටයුත්ත ආරම්භ කෙරිණි.

අනතුරුව දෙවැනි වරටත් ලෝධා කමිටු වාර්තාවට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉවත් කළ නිලධාරීහු ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් බාර දුන්හ. එම පෙත්සමත් නිෂ්ප්‍රභා කෙරිණි. එතෙක් මෙතෙක් ඉන්දීය ක්‍රිකට් වංශ කතාවේ අතිශය සාධාරණ නඩු තීන්දුවක් ලබා දීමේ ගෞරවය අත්කර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඬුල්ල වූ ඩී.වයි. චන්ද්‍රචෝද් සහ හිමා කෝලි දෙපළ ඉතිහාසගත වූයේ එලෙසිනි.

 

Comments