ලක්‍ෂ ගණන් මුදල් වංචාකළ දෙදෙනෙක් අත්අඩංගුවට | සිළුමිණ

ලක්‍ෂ ගණන් මුදල් වංචාකළ දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස පසුගියදා(15) මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
 
අදාල සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් කුවේට්හි රැකියාවක් ලබාදෙන බව පවසමින් රු.450,000ක මුදලක් ලබාගෙන ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියාව නොදුන් හෙයින් එම කාන්තාව විසින් 2023.03.15 දින කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල මත ක්ෂණික ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. 
 
අත්අඩංගුවට ගත් සැකකරු එදිනම ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් හා රු.10,000ක මුදල් ඇපයක් මත සැකකරු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැකකරුට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද පැනවීය. විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටත්, සෑම මසකම අවසන් සඳුදා දින කාර්යාංශයේ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම නඩුවේ වැඩිදුර විභාගය 2023 දින මැයි මස 09වැනිදා යළි කැඳවීමට නියමිතය.
 
මේ අතර, ඕමාන් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා පිරිමි පුද්ගලයෙකුගෙන් මුදල් අය කර, පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව, ක්‍රියාත්මක වූ කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
අදාල පැමිණිල්ල විභාග කිරීම සඳහා සැකකරු 2023.03.09 දින කාර්යාංශය වෙත ගෙන්වාගෙන තිබුණු අතර, එහිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම රැකියා අවස්ථාව ලබාදීම සඳහා රු.555,000ක මුදලක් ඔහු විසින් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති බව පිළිගෙන තිබේ.
 
සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත 2023.03.10 දින ඉදිරිපත් කරන ලද අතර, එහිදී රුපියල් ලක්ෂ 6 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. වැඩිදුර නඩු විභාගය 2023 ඔක්තෝම්බර් 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.
 
යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට විදේශ රැකියා සඳහා යාමට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි නීත්‍යානුකූල ආයතනයක්ද යන්නත්, අදාල රැකියා ඇණවුම් එම ආයතනය වෙත ලැබී ඇතිද යන්න සොයා බලන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් හෝ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අදාල රැකියා නියෝජිතායතනයේ නීත්‍යානුකූලභාවය පරික්ෂා කළ හැකිය. 
 

Comments