වගා ළිඳක තිබී සැකකටයුතු කාන්තා මළ සිරුරක් හමුවෙයි | සිළුමිණ

වගා ළිඳක තිබී සැකකටයුතු කාන්තා මළ සිරුරක් හමුවෙයි

මිහින්තලේ පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ  වගා ළිඳක තිබී, සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක කෙරෙන තරුණියකගේ මළ සිරුරක් ඊයේ (15) පස්වරුවේ සොයා ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
 
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිප්පුකුලම කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි නිශ්ශංකගේ සන්දීපනී දිල්රුක්ෂිකා කාරියවසම් නැමැති 23 හැවිරිදි තරුණියක් බව පොලීසිය කියයි .
 
සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් සහෝදරිය වන මරණ කාරිය ආබාධිත තත්ත්වයෙන් පසුවූ තරුණියක බව ද වාර්තා වෙයි
 
මරණකාරියගේ පියා සහ අසල්වැසියකු අතර පෙර දිනයේ ඇතිවූ ආරවුලක් ගැටුමක් දක්වා දුරදිග ගොස් එම දෙදෙනා රෝහල් ගත කර ඇති බවත් ජීවිතක්ෂයට  පත් වූ තරුණියගේ පියා බැලීම සඳහා මව රෝහලට ගිය අතරතුර මෙම දියේ ගිලීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
 
මෙම සිද්ධිය සිදුවූ අවස්ථාවේදී වයස අවුරුදු 9ක වන මල්ලි සහ වයස අවුරුදු 7 වන නැගණිය නිවසේ රූපවාහිනිය නැරඹීමට සලස්වා 17 හැවිරිදි  දැරිය විසින් ආබාධ සහිත තම වැඩිමහල් සොහොයුරිය (මරණ කාරිය) නිවසේ පුටුවක හිඳුවා  ගවයන් හට ජලය ලබා දීමට නිවස අසල කුඹුරට ගොස් තිබූ බවද පොලිසිය කියයි.
 
පස්වරු 1ට පමණ ගොස් විනාඩි  10 දහයකින් පමණ එම දැරිය යළි නිවසට පැමිණි අවස්ථාවේදී වැඩිමහල් සහෝදරිය නිවසේ නොසිටීම හේතුවෙන් සොයා බලා, වහා ගම් වාසීන් දැනුවත් කර සොයා බැලීමේදී නිවස ආසන්නයේ පිහිටි අඩි 25ක් පමණ ගැඹුරු වගා ළිඳ තුළ තිබී ඇයගේ සිරුර සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි
 
මෙහිදී මියගිය තරුණිය සොයා ගම්වාසීන් සෝදිසි කිරීම් සිදු කරන අවස්ථාවේ සැකසිතී වගා ළිඳ තුළට දිග ලීයක් දමා පරික්ෂා කිරීමේදී එම ලීයේ අමුනා තිබූ කටුකම්බි වලට පැටලී සිරුර ජලය මතුපිටට පැමිණ තිබේ. 
 
මියගිය තරුණියා හට ඇවිදීමට හෝ කතා කිරීමට නොහැකිව ආබාධ තත්ත්වයෙන් පසුවන බව මෙහිදී ඥාතීහු මාධ්‍ය වෙත පැවසූහ.
 
මෙය මරණය ඝාතනයක් ද යන්න දැන ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව ද පොලිසිය පවසයි
 
 
 

Comments