" හරක්කටා " සහ " කුඩු සළිදු " ලංකාවට ගෙන එයි | සිළුමිණ

" හරක්කටා " සහ " කුඩු සළිදු " ලංකාවට ගෙන එයි

විදේශයන්හි රැදී සිටිමින් ශ්‍රී ලංකාව තුළ අපරාධ කටයුතු මෙහෙයවමින් සිටි පාතාල කල්ලි නායකයින් වන " හරක්කටා " සහ  " කුඩු සළිදු අද (15)  උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
 
 මොවුන් අද උදෑසන 07.10 ට ඉන්දියාවේ මුම්බායි සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
 
මොවුන්ගේ ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ඇතුළු අත්‍යාවශ්‍ය රාජකාරී ගුවන් යානය අසළදීම සිදු කර , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ  පර්යන්තය ඔස්සේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .
 
එසේම මෙම අපරාධ කල්ලි නායකයින් දෙදෙනා රැගෙන මැඩගස්කර් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ තිබූ අතර  , එම නිලධාරීන්  ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ, ලිඛිතව , නිල වශයෙන් මොවුන්  භාර දීම සිදු කර තිබුණි .
 
මොවුන් දෙදෙනා භාර ගැනීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු , සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් වාහන 06 කින් පමණ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ  පර්යන්තය වෙත පැමිණ සිටියහ .
 
මෙම සිදුවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ , ඒ අවට ප්‍රදේශයේ සහ  ඔවුන් කොළඹ බලා රැගෙන යන මාර්ගය දෙපස දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි .

Comments