බහින ඩොලරය නිසා රුපියල ඇත්තටම ශක්තිමත්ද? | සිළුමිණ

බහින ඩොලරය නිසා රුපියල ඇත්තටම ශක්තිමත්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ දෛනික විනිමය අනුපාත අනුව පසුගිය සතිය අග වන විට අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 311.62ක් ලෙසය. එසේම විකිණුම් මිල සනිටුහන් වූයේ රුපියල් 328.90 ක් ලෙසය. මෙසේ ඩොලරයේ අගය අඩුවෙද්දි රුපියල තවත් ශක්තිමත් වන බව රටේ මතයයි. ඇත්තෙන්ම මෙය ලංකාවාසීන්ට සතුටුදායක පුවතක් බව ද බොහෝ දෙනාගේ අදහසයි. ඒ බඩු මිල අඩුවීම, උද්ධමනය පහතට බැසීම මෙන්ම බැංකු ණය පොළී අඩුවීමට ඉඩ ඇති බවට ඉන් සලකුණක් හඟවන නිසාය. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල ද සැලකිය යුතු පරිදි අඩු වෙමින් තිබේ. ඩොලරයේ අගය බැස්සේ කෙසේද? බැසීමේ සීමාව කොතෙක් වේද? ඇත්තමට රුපියල ශක්තිමත් වූවා ද? ඉදිරියට අපේ ආර්ථික ප්‍රතිපත්ති කෙසේ ප්‍රසාරණය වේවි ද? ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේ කෙසේද? ආර්ථික විද්වතුන් සිළුමිණට දැක්වූයේ මෙවන් අදහස්ය.

රුපියල ශක්තිමත් වීම ස්ථාවර කිරීමට නම් නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සිරිමල් අබේරත්න

මේ තත්ත්වය තාවකාලික දෙයක් විදියටයි මම දකින්නේ. ඩොලරය අඩුවීම හා රුපියල ස්ථාවර වීම තාවකාලික යැයි අදහස් කරන්නේ IMF සමඟ ඇතිවන ගිවිසුමට අදාළ ණය මුදල් මේ මාසයේ ලැබෙන බවට සමපේක්ෂණයක් ඇති වීම නිසයි.

ඒ කරුණයි, රුපියල ශක්තිමත් වීමට බලපෑවේ. ඊට තවත් හේතු කිහිපයක් බලපෑවා. සංචාරක ව්‍යාපාරය හා විදෙස් ශ්‍රමිකයන් හරහා රටට ඩොලර් ලැබීම මේ මාසයේ වැඩිවෙලා තියෙනවා. මහ බැංකුව ගිය සතියේ ලිහිල් කිරිම් කිහිපයක් සිදු කළා. මේ කරුණු කාරණා නිසා රුපියල් ස්ථාවර වීම, ඩොලරය ශක්තිමත් වීම සිදු වුණා. නමුත් රටේ ඇතිවූ මේ තත්ත්වය ස්ථාවර වීමට අවශ්‍ය ඩොලර් ඉපැයීමේ කටයුතු අපි තාමත් ආරම්භ කර නැහැ. එමනිසා මෙය තාවකාලික දෙයක් පමණයි. එය ස්ථාවරව සිදු වීමට අප රටේ අපනයන ප්‍රවර්ධනයන් සිදු විය යුුතුයි. අපිට අවශ්‍යය ඩොලර් ඉපයීමට නොහැකි වෙතොත් අවප්‍රමාණ වීමක් සිදුවිය හැකියි. ඩොලරයේ වෙනස් වීම දිගුකාලීනව ඇතිවන උපනතිය හා කෙටිකාලීනව ඇතිවන උච්ඡාවචන බලපානවා. දිගුකාලීනව 1978 සිට මේ වන තෙක් රුපියල අවප්‍රමාණ වුණා. මේ අවප්‍රමාණ වීම දිගුකාලීන උපනතියක්. මෙය අසාමාන්‍ය දෙයක්. මන්ද අපි අපනයන ප්‍රවර්ධනය අතින් දුර්වල නිසා. ඩොලරයේ උස් පහත් වීම් සිදු වෙනවා. ඒ වර්ගයට තමයි මම මේ තත්තවයත් ඇතුළත් කරන්නේ. IMF සහනාධාරය ලැබීමෙන් ඉදිරියේදි අපිට තවත් ණය ලබාගත හැකි වෙනවා. නමුත් ඉදිරියටත් ණය ගොඩගසා ගැනීමකට යනවා නම් මෙය තේරුමක් නැති වැඩක්. ජාත්‍යන්තර ප්‍රතිරූපය වැඩිකර අප ආයෝජන වැඩිකර නිෂ්පාදන ආර්ථිකයකට රට ගමන් කළ යුතුමයි.

වාසිදායක තත්ත්වයක් ඇතිවෙන්න ඩොලරය රුපියල් 300කටවත් බැසිය යුතුයි
- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය නවරත්න බණ්ඩා

මේ වන විට රට තුළ ආනයන සීමා පනවා තියෙනවා. එවිට අපේ වියදම අඩුයි. අපේ අපනයන ආදායම ඉතුරුයි. පොලී අනුපාතය වැඩිවීම තුළත් ඩොලර් ඉල්ලන ප්‍රමාණයේ අඩුවීමක් පවතිනවා.

එවිට සංචිතවල වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ අනුව ඩොලරයේ අගයේ අඩුවීමක් පෙන්නුම් විය හැකියි. මේ අඩු වීම යම් පමණකට හොඳයි. නමුත් මෙය විශාල වෙනස්වීමක් නෙමෙයි. ඩොලරය අඩුවීමට නම් අඩුම තරමින් එය රුපියල් 300 කටවත් අඩුවිය යුතුයි. එවිට එක්තරා මට්ටමකට වාසිදායි තත්ත්වයක් ඇතිවී ඇති බව පැවැසිය හැකියි. අපි රුපියල ශක්තිමත් යැයි කියා සිටිනවාට වඩා තව දුරටත් අපේ නිෂ්පාදන, සංචාරක කර්මාන්තය, විදේශ රැකියා දිරිමත් කළ යුතුයි. මේ වන විට රජය විශාල වශයෙන් ආනයන සීමා පනවා තියෙනවා.

අපේ අපනයන දියුණු කර සංචාරක කර්මාන්තය දියුණු කළ යුතු වුණත් සංචාරකයන්ගේ පැමිණීම වැදගත් වන්නේ බටහිර යුරෝපා රටවලින් පැමිණෙන්නන් වුවහොත් පමණයි. එවිට විශාල වශයෙන් ඩොලර් ලැබෙනවා. රුපියල ශක්තිමත් වීමට නම් තව දුරටත් ආර්ථිකය ශක්තිමත් වීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයයි.

වර්තමානයේ ඩොලර් නොමැති නිසා ආනයන සීමා ලිහිල් කිරීමට අපහසුයි. IMF ලැබීමෙන් විශාල වෙනසක් අත් විඳින්න බැහැ.

ඩොලර් බිලියන 7-8 ක සංචිත තිබූ රටක ඩොලර් බිලියන 2.9 කින් කළ හැක්කේ කුමක්ද?. IMF ණය ලැබීම නිසා විදේශයන්හි විශ්වාසය ඇතිවෙනවා. බදු ගැසීම තුළ මධ්‍යම පන්තිකයන්ගේ ආදායම අහිමි වෙනවා. එය පහළ පන්තිය කරා බලපානවා. මධ්‍යම පන්ති පීඩාවට පත්වීමම ප්‍රශ්නයක්. දේශිය කෘෂිකර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මය, අපනයන ගුණාත්මක බව වැඩිකර කාර්මික භාණ්ඩ හැදීම කෙරේ අවධානයක් යොමු කළ හැකි නම් ඩොලරය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. අපි තාම සිටින්නේ අමුද්‍රව්‍ය අපනයනය කරන තැනකයි. ජාත්‍යන්තරය අපෙන් භාණ්ඩ ඉල්ලන මට්ටමට අපේ ආර්ථිකය පත් කළ යුතුයි. රටට අවංකව වැඩ කළ යුතුයි. මැතිවරණ වෙනුවෙන් ජනප්‍රිය තින්දු තීරණ නොගත යුතුයි.

ඉල්ලුම අඩුවීමෙනුයි ඩොලරයේ අගය පහළ ගියේ
- දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුමනසිරි ලියනගේ

ඩොලරයේ මිල අඩුවීමට එක හේතුවක් වුණේ ලෝක වෙළෙඳ පොළේ ඩොලරයේ මිල අඩුවීම. ඒ නිසා කිසියම් ප්‍රමාණයකට රුපියල ශක්තිමත් වුණා.

පසුගිය කාලය තුළ ඩොලර් ඉල්ලම අඩු වුණේ ඉන්ධන සලාකය නිසා. ලංකාවේ ඉන්ධන පරිභෝජනය 40% කින් පමණ අඩු වුණා. මේ හේතු නිසා ඉල්ලුම පැත්තෙන් අඩු වීම ඩොලරයේ අගය පහළ යෑමට හේතු වුණා. දෙවැන්න 2022 ඩොලරයේ එක පාරටම ලිහීම නිසා අනපේක්ෂිතව රුපියල් 380 ඉහළ ගියා. නමුත් ඇත්ත අගය තිබිය යුත්තේ රුපියල් 280 කට. අද ඩොලරයේ ගැනුම් මිල හා විකිණීම් මිල අතර විශාල වෙනස ගැටලුවක්.

මෙය තිබිය යුතු දෙයක් නෙමේ. අද මේ වෙනස රුපියල් 17 ක්. එදා තිබුණේ රුපියල් 2-3 ක්. මේ වෙනස තිබීම තුළ කිසියම් රහස්‍ය ගතියක් පෙන්නුම් කරනවා. ඩොලරයේ රුපියල් මිල අඩුවුවහොත් හොඳයි. එවිට ඩොලරයකින් ගෙනෙන බඩුවලට අපිට ගෙවන්න සිදුවන්නේ අඩු මුදලක්. නමුත් අනිත් පැත්තෙන් බඩු නිර්යාත කරන අයට මේ ඩොලර් මිල අඩුවීම නිසා ලැබෙන රුපියල් ප්‍රමාණය අඩු වෙනවා.

ඒ නිසා නිර්යාතකරුවන්ට ඇති වන්නේ අමාරු තත්ත්වයක්. මහ බැංකුව මේ තත්ත්වය මඟදි පාලනයක් කරයි කියා මම විශ්වාස කරනවා. ඩොලරයේ මිල රුපියල් 300-310 කට නැවැත්විය හැකියි. අ

ද විදේශීය ප්‍රේෂණ වැඩි වෙලා. සංචාරකයන් ඒම හා විදේශීය ප්‍රේෂණ වැඩිවීම සුබ ලකුණක්. අනිත් පැත්තෙන් මෙය ආණ්ඩුවේ සෘජු ප්‍රතිපත්තිවල ලක්ෂණයක් නෙමෙයි. ඒවා තීන්දු වෙන්නේ වෙනත් සාධක මතයි. ලංකාවට විදේශීය සංචාරකයන් පැමිණීමේදී රුසියාව විශාල ‍ෙධෙර්යය කිරීමක් කළා. අනිත් පැත්තනේ ඉන්ධන සලාකය දීම මේ තත්ත්වයට විශාල බැලපෑමක් සිදු කළා. IMF ණය සහනාධාරය ලැබුණොත් ක්ෂණිකව මේ තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරාවි.

ඉදිරියට රුපියලේ අගය තවත් වැඩිවේවි
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ හිටපු අංශාධිපති හා ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

රුපියලේ අගය තීන්දු වන්නේ ඉල්ලුම සැපයුම අනුවයි. මෑත කාලයේ සිට රුපියලේ අගය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. ඩොලර් සංචිත වැඩිවීම, ඉදිරියේ ලැබීමට නියමිත IMF සහනාධාරය, සංචාරක ව්‍යාපරය , විදේශීය ශ්‍රමික ආදායම වැනි කරුණු මේ ඩොලර් සංචිත වැඩිවීමට බලපෑවා. මේ නිසා සමපේක්ෂණ චේතනාවෙන් ඩොලර් එකතු කරගෙන සිටි අය මේ වන විට ඒ මුදල් එළියට දමමින් සිටිනවා. මේ නිසා රුපියලේ අගය ඉදිරියට තවත් ඉහළ යා හැකියි. ඩොලර්යට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවන විට විදේශයන්ගෙන් ගෙනෙන භාණ්ඩ මිල ටිකෙන් ටික පහළා යා යුතුයි.

එය ජනතාවට විශාල සහනයක්. පසුගිය කාලයේ විශාල වශයෙන් ලාබ ලැබූ අපනයනකරුවන්ට ලැබුණු සහන දැන් ටිකෙන් ටික අඩු වෙමින් තියෙනවා. මේ වන විට විදේශීය ශ්‍රමිකයන් පවා තම මුදල් ලංකාවට එවීමට පටන් ගන්නවා. උද්ධමනයත් ටිකෙන් ටික පහළට යෑමට පටන් ගන්නවා. නමුත් යම් ආකාරයකින් ආනයන සීමා ලිහිල් කළොත් මේ රුපියලේ අගය යම් ආකාරයක අඩුවීමක් දැකිය හැකියි. කෙසේ වෙතත් මේ තත්ත්වය ආර්ථිකයේ සුබ සලකුණක්. කෙසේ වෙතතත් කලින් තිබුණු තත්ත්වයට ගෙන ඒමට නම් අපනයන ප්‍රවර්ධනය කළ යුතුමයි. අපි තවමත් බලා සිටින්නේ ණය ගැනීමටයි. එදා අප අපනයන ප්‍රවර්ධනයට අත නොගැසු නිසයි, මෙවැනි තත්ත්වයක් උද්ගත වුණේ. නිදහසින් පසුව අපිට ශක්තිමක් මුදලක්, විදේශ විනිමයක් තිබුණේ නැහැ. අප එයින් පාඩමක් ඉගෙන ගත්තෙත් නැහැ. ඉදිරියට අපනයන වැඩි කළ යුතුයි. ඊට අපනයනකරුවන් සමඟ සාකච්ඡා කළ යුතුයි. විදේශ ආයෝජන ගෙන්විය යුතුයි. අප සාකච්ඡා කළ යුත්තේ ගම සමඟ පිළිසඳරක් නොව විදේශීය ආයෝජකයන් සමඟයි.

ලංකා ආර්ථිකය ශක්තිමත් වීම මත නෙමෙයි, රුපියල ශක්තිමත් වුණේ
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල

ලංකා ඉතිහාසයේ කවදාවත් මේ ආකාරයෙන් රුපියල එකවර ශක්තිමත් වුණේ නැහැ. සමහර වසර වල ගෙවුම් ශේෂයේ බිලියන 2-3 අතිරික්තයක් තිබුණා. විශාල වශයෙන් රට තුළට විදේශ විනිමය ලබා ගත්තා. ඒත් කිසිදු කාලයක රුපියල මේ ආකාරයෙන් ශක්තිමත් වුණේ නැහැ. හදිසියේ ඇයි මේ ආකාරයෙන් ශක්තිමත් වුණේ? මෙය කෘත්‍රිමව සිදු වන කාර්යයක් විද­ියටයි මම දකින්නේ.

වෙළෙඳපොළින් අපිට අවශ්‍ය ආකාරයට ඩොලර් ගන්න බැහැ. සංචාරක කර්මාන්තයෙන්, විදේශිය ප්‍රේෂණවලින් ඩොලර් සැපයුම වැඩි කර තියෙනවා. ඩොලරය මිලදී ගැනීම සම්පූර්ණයෙන් පාලනය කර තිබෙන අතර ඩොලර් සැපයුම ටිකෙන් ටික වැඩිවී තියෙනවා. ආර්ථික විද්‍යාත්මකව නම් ඒ සැපයුම වැඩිවීම රුපියලේ අගය මේ ආකාරයට ශක්තිමත් වීමට හේතුවක් වුණේ නැහැ.

මේ තත්ත්වය තුළ මහ බැංකුව උපක්‍රමශීලීව රුපියල ශක්තිමත් වීමට දිගින් දිගටම ඩොලර් සැපයුම වැඩිකර ඉල්ලුම පාලනය කළා. එය හිතාමතා කළ දෙයක්. මේ තුළ රුපියලේ අගය 362 සිට 307 දක්වා පහළ වැටුණා. මෙහි භයානක ප්‍රතිවිපාක මේ වසර අවසානය වන විට ඇති විය හැකියි. මෙවිට අපනයනකරු අ‍ෙධෙර්යවත් විය හැකියි.

ආනයනකරුවන් ධෛර්යවත් විය හැකියි. විදේශිය රටවලින් ගෙන්වන භාණ්ඩ ප්‍රමාණය වැඩිවී විදේශයන්ට යවන භාණ්ඩ ප්‍රමාණය අඩුවිය හැකියි. මේ නිසා ගෙවුම් ශේෂය හිඟයක් දක්වා ගමන් කරනවා. මෙය අවිනිශ්චිත ස්වරූපයක්. ලංකා ආර්ථිකය ශක්තිමක් වීම මත නෙමෙයි රුපියල ශක්තිමක් වුණේ. මේ නිසා ලංකාවට එවන මුදල් නැවතෙනවා.

එවිට රට තුළට එන විදේශීය මුදල් ප්‍රමාණය අඩු විය හැකියි. රුපියල අවප්‍රමාණ වීම මත සංචාරකයන් ලංකාවට එන ප්‍රමාණය කෙටි කාලයකට වේගවත් වුණත් ඉදිරියේදී රුපියල ශක්තිමත් වීම මත දිගු කාලීනව සංචාරක පැමිණීමේ අඩුවීමක් පෙන්නුම් කරන්නට පුළුවන්. ආර්ථික ප්‍රතිපත්ති ගොඩනැඟීමේදි ආර්ථික විචල්‍යයන් වෙනස් විය යුත්තේ ක්‍රමානුකූලවයි.

මෙසේ කෙටි කාලයකින් ඩොලරය අඩුවීම හා රුපියල ශක්තිමත් විම යනු කෘත්‍රිමව සිදුවන දෙයක්. මේ වෙනස්වීම ක්‍රමානුකූලව සිදු වුවා නම් ආර්ථිකයට හොඳයි.

මෙය තිරසර තත්ත්වයක් නොව යහපත් අතට හැරීමේ සලකුණක්
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

ඩොලරය ශක්තිමත් වීම අපි අපේක්ෂා කළ දෙයක්. රුපියල් 300-320 ට පැමිණේවි යැයි අපි අපේක්ෂා කරනවා. ආර්ථිකය තුළ විදේශ විකිණීම් අංශය ක්‍රමානුකුලව ශක්තිමත් වෙනවා. විදේශ ශ්‍රමිකයන්ගේ ඉපැයිම්, සංචාරකයන්ගේ පැමිණීම් යථා තත්ත්වයට පත්වීමත් සමඟ රුපියල් ශක්තිමත් වීම අනිවාර්යයි. අපි අපේක්ෂා කරන IMF සහයෝගයත් සමඟ රජයට ගලා එන විදේශ විනිමය ප්‍රවාහයන් ද ශක්තිමත් වේවි. මෙය කෙටිකාලීන විදේශ විනිමය ඉපැයීම්, විදේශ ප්‍රේෂණ ඉහළ යාම් මෙන්ම සංචාරක කර්මාන්තය සමඟ ඩොලරයට ඇති වී ඇති බලපෑමයි මේ පෙන්නුම් කර ඇත්තේ.

අද ද්විපාර්ශ්වීය ණය ගෙවන්නේ නැහැ. ඩොලරයේ මේ අගය තිරසාරව පවතී ද යන්න තීරණය වන්නේ IMF අරමුදලේ ණය පහසුකම් හා ඊට සමානව අනිකුත් අංශවලින් ලැබෙන අරමුදල් අනුවයි. ඉදිරියේදී ආනයන සීමා ලිහිල් කළ යුතුව පවතිනවා. ඩොලර් සංචිත වැඩි වුණොත් ආනයනය සඳහා ඉඩ ලබා දිය යුතුයි. ආනයන සීමා ඉවත් කිරීමේදී රුපියල තවත් අවප්‍රමාණය විය හැකියි. එමනිසා තාවකාලිකව ඇති වූ මේ තත්ත්වය හොඳ සලකුණක්. ලංකාව ගැන අවධානය යොමු කරන අය දැන් හොඳ තත්ත්වයකට පැමිණ ඇති බව කල්පනා කරනවා. එයයි ඩොලරයේ අඩුවීම තුළ ඇති ප්‍රධාන සංඥාව. මෙය තිරසරව පවත්වා ගෙන ගියොත් අානයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමටත්, පොලී අනුපාත පවා අඩු කළ හැකියි. ඩොලර් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට පැමිණෙන්නේ නම් ආර්ථිකය ප්‍රසාරණය කළ හැකියි. එහි එක් කටයුත්තක් වන්නේ බැංකු පොළි අනුපාත අඩු කිරීමයි. අනික් පසින් ඩොලරය ශක්තිමත් වීම තුළින් විශාල ලෙස ඉහළ ගිය පාරිභෝගික භාණ්ඩ මිල අඩු කළ හැකියි. මේ සියල්ලටම දේශපාලන සමාජ ස්ථාවරභාවය ඉතා වැදගත්. අරගල රැල්ලක් ආවොත් මේ සියල්ල යළි ආපස්සට හැරවෙන්න හේතුවක් වේවි. මේ තත්ත්වය තිරසරව පවත්වා ගෙන යාමට ඊට අවශ්‍යය සහයෝගය රජයට දිය යුතුයි. මේ ඇති වී ඇත්තේ තිරසර තත්ත්වයක් නොව යහපත් අතට හැරීමේ සලකුණක් පමණක් බව සැවොම තේරුම් ගත යුතුයි. කෙසේ වෙතත් ඉදිරියේදී අනිවාර්යයෙන් ඩොලරයේ අගය සමතුලිතව පවතින්නේ රුපියල් 300 දී බව මගේ මතයයි.

Comments