
එක්දහස් නවසිය හැට අට, හැට නවය කාලවලදී ද විශේෂයෙන් එක්දහස් නවසිය හැත්තෑවේදී ද අප පැවැත්වූ කඳවුරුවලදී මම විශේෂ සිදුවීමක් දුටුවෙමි. එනම් කඳවුරුවල අප 'පවුල් හමු' පවත්වන අවස්ථාවලදී කඳවුරේ වැඩට සහභාගී නොවුණු, එහෙත් පවුල් හමුවලට පමණක් පැමිණි දහයක පමණ තරුණ කණ්ඩායමක්, අනිත් අයගෙන් වෙනස්ව හැසිරෙන ආකාරයක් මගේ අවධානයට වැටුණේය. මේ ස්වභාවය හම්බන්තොට, මොණරාගල, කෑගල්ල, අනුරාධපුරය ආදී හැම තැනකම එකම විදියට සිදුවන හැටි දකින විට, මට කුතුහලයක් ඇති විය.
ඩඩ්ලි සේනානායක අගමැතිතුමා ප්‍රධාන රජයේ නායකයන්ටත්, විරුද්ධ පක්ෂයේ නායිකාවටත්, වෙනත් මා දැන හැඳින සිටි දේශපාලන නායකයන් මෙන්ම - පොලිස්පතිතුමා ප්‍රධාන - ආරක්ෂක නිලධාරින්ටත් මම මේ කාරණය පැවැසීමි. රටේ යම්කිසි පෙර නොවූ විරූ තත්ත්වයක්, ගැමි සමාජයේ තරුණයන් අතර ඇති වෙමින් පවතින බවට, ඒ හැම දෙනාට ම අනතුරු ඇඟවීමක් කෙළෙමි. 'ඩේලි නිව්ස්' පත්‍රයේ කර්තෘ ඇතුළු පුවත්පත් කතුවරුන් රැසක් ද හමුවී මේ ගැන කීවෙමි. හිංසක ප්‍රචණ්ඩ මානසිකයක් ගොඩනැඟෙන බව දන්වා ලිපි කීපයක් ද ලංකාදීප පත්‍රයේ පළ කළෙමි.
මේ අතර නාලන්දාවේ කාර්යාල සහායක ඩේවිඩ්, විදුහල්පතිවරයකු මා හමුවීමට පැමිණ සිටින බව, මගේ පන්තියට පැමිණ දැනුම් දුන්නේය. පාඩම අවසන් කොට පැමිණෙන තෙක් එතුමාට වාඩිවීමට සලසා, තේ කෝප්පයක් ගෙන දෙන ලෙස පැවැසීමි.
බත්තරමුල්ලේ මධ්‍ය විද්‍යාලයාධිපති හල්පේ මහතා පෞද්ගලික යමක් කීමට තිබෙන බව පැවැසීය. මම එතුමා අපේ ආපණ ශාලාවට කැඳවාගෙන ගියෙමි. දෑසේ කඳුළු පිරි එතුමා ප්‍රකාශ කළේ, ළඟක සිට පාසල කිසිසේත් පාලනය කළ නො හැකි තත්ත්වයට පත්ව ඇති බවත්, රසායනාගාර, ගුරු නිවාස, පන්ති කාමර ආදී සියල්ලම සුළු ශිෂ්‍ය පිරිසකගේ වැරදි නායකත්වය ඔස්සේ, අන් සිසුන් ද සම්බන්ධ කරගෙන පාසලේ මහා විනාශයක් සිදු කරන බවත්ය. තමන් දන්නා සියලු උපක්‍රම යෙදුවත්, කිසිසේත් තමන්ට හෝ ගුරුවරුන්ට හෝ විනය පාලනය කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වූ නිසා සර්වෝදයේ සහයෝගය පැතීමට ආ බවත් එතුමා ප්‍රකාශ කළේය.
පාසලේ ගුරුවරුන්ට හා ශිෂ්‍යයන්ට කතා කිරීමට අවස්ථාවක් සලසන ලෙස මා කළ ඉල්ලීමට එතුමා එකඟ විය. නියම කර ගත් දිනයෙහි නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කීපදෙනෙකු ද සමඟ මම එම විදුහලට ගියෙමි. විදුහලට ඇතුළු වන විට ඇති වූයේ කම්පාවක් මෙන්ම, අපේ අධ්‍යාපනයට යන කල ගැන වේදනාවකි. ශිෂ්‍යයෝ ප්‍රධාන ශාලාවට රැස්ව සිටියහ. විදුහල්පතිතුමා සමඟ ශාලාවට මා ඇතුළු වන විට පටන් ගත් හූ හඬ හා ගාලගෝට්ටිය මිනිත්තු 30 කටත් අධික කාලයක් පැවැතිණි. විදුහල්පතිතුමාගේ හඬ ඇසීමට ළමයින් ඉඩ නුදුන් නිසා, අවසන ඔහු මගේ දෙස බැලීය. මොහොතක් නිශ්ශබ්දතාවෙන් ප්‍රයෝජන ගෙන මම කතා කිරීමට පටන් ගතිමි.
"මෙතෙක් ඔබ කතා කළා. දැන් මටත් කතා කරන්න ඉඩ දෙන්නකෝ" කියමින් මම කතාව ඇරැඹීමි. මිනිත්තු කිහිපයකින් ශාලාව නිහඬ වී සියල්ලෝ සවන් දුන්හ. එවිට ශිෂ්‍යයෝ හත් අට දෙනෙක් පමණක් ශාලාවෙන් පිටතට ගියහ. දිගටම පැයක් පමණ කතා කොට, එන සති අන්තයේ කඳවුරක් පවත්වා පාසල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට ශිෂ්‍යයෝ එකඟ කර ගතිමි.
නාලන්දාවේ ශිෂ්‍යයන් පනහක් පමණ ද සහභාගී කරගෙන එම පාසලේ ශිෂ්‍යයන් සිය ගණනකගේ ද සහභාගිත්වයෙන් දින දෙකකදී පාසලට නව මුහුණුවරක් දීමට අපි සමත් වීමු. මීට වඩා වැදගත් වූයේ ශිෂ්‍යයන්ගේ සිත් හැදීමයි.
කඳවුර නිමවා ඊළඟ සතියේ මහත්මා ගාන්ධි චරිතය ගැන සමුළුවක් ද ප්‍රදර්ශනයක් ද සංවිධානය කළෙමු. කඳවුරේ ප්‍රතිඵලවලින් උද්දාම වූ විදුහල්පතිතුමා, අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයාට මෙය විවෘත කිරීමට ඇරැයුම් කළේය. එතුමා පැමිණීමට පෙර, රාජකීය විදුහල්පති බෝගොඩ ප්‍රේමරත්න මැතිතුමා, ආනන්ද විදුහල්පති එම්. ඩබ්. කරුණානන්ද මැතිතුමා, කුමාර විදුහල්පති ධර්මසේන අරම්පත්ත මැතිතුමා, වෙස්ලි විදුහල්පති ෂෙල්ටන් වීරසිංහ මැතිතුමා ආදී වූ සම්භාවනීය පිරිසක් වේදිකාවේ එළා තිබුණු පැදුර මත පනවා තිබුණු කොට්ට උඩ වාඩි වී සිටියහ.
ස්ථිර ලේකම්තුමා පැමිණියේය. විදුහල්පතිතුමා විසින් මා හඳුන්වා දෙන විට "හා ශ්‍රමදානකාරයා" යැයි කියූ එතුමා වට පිට බලා අකැමැත්තෙන් මෙන් වේදිකාවේ බිම පනවා තිබුණු අසුනේ වාඩි විය. ඉතා වැදගත් දේශනවලින් පසු එතුමා දුන් දේශනයේ හරය මෙසේය.
"ළමයිනේ අර ඈත පේන උළුගෙවල්වල ඉන්න ළමයි රාජකීය, ආනන්ද, නාලන්දා වැනි පාසල්වලට යනවා ඇති. අර පේන පොල් අතු හා පොඩි ගෙවල්වල ළමයි මේ පාසලට එනු ඇති. ඕක තමයි අපේ රටේ තිබෙන ප්‍රශ්නය. ඇතිවුන් හා නැතිවුන් අතර තිබෙන පරතරය. පන්ති භේදය. පන්ති අරගලයකින් මෙය නැති කරන තුරු මොන ශ්‍රමදාන කරලාවත් වැඩක් නැහැ."
වැඩිහිටි අප පමණක් නොව, ශිෂ්‍යයෝ ද - මේ කතාව ගැන පුදුම වූහ. කලකිරුණහ. ස්තුති කතාව කිරීමට නැඟී සිටි මම, මේ ස්ථිර ලේකම්වරයා කෙළින්ම සමච්චලයට භාජන නොකර, ඇති - නැති පරතරය නැති කිරීමට අහිංසාවාදීව අප ගෙන යන නිර්මාණාත්මක අරගලය, පැහැදිලිව තේරුම් කොට, ළමයින් නැවත හිංසා මඟකට යොමුවීම වැළැක්වීමි.
මේ සිද්ධිය වූයේ එක්දහස් නවසිය හැත්තෑවේ අග භාගයේදීය. විශාල ලේ හැලීමක්, තරුණ ඝාතනයක් සිදුවන බවට මට නම් සැකයක් තිබුණේ නැත. ඈත නොසිතන - ආත්මවාදීව ඒ මොහොතේ මහජන සම්පත්වලින් සැප විඳින දේශපාලන නායකයන්ට හෝ නිලධාරින්ට අවබෝධයක් ඇති කරන්නට යෑම නිශ්ඵල ක්‍රියාවක් බව මම අවබෝධ කර ගතිමි. දැන් මට උවමනා කළේ අපේ තරුණ තරුණියන් හා තුන්සීයකට අධික වූ සර්වෝදය ගම්මාන මෙයින් බේරා ගැනීමටය.
අපේ පූර්ණ කාලීන සේවකයන් දැනුවත් කර, ඔවුන් මාර්ගයෙන් ලංකාවේ ස්ථාන අනූවක දී - මේ ගම් තුන්සීයයක පමණ නායකයන් කැඳවා ඔවුන් දැනුවත් කළෙමි. අවසාන රැස්වීම වවුනියාවේ දී පැවැත්විණි. ඒ එක්දහස් නවසිය හැත්තෑඑකේ මාර්තු තිස්වැනිදාය.
මා ඔවුන්ට දුන් පණිවිඩය කෙටියෙන් මෙසේය.
"අපේ රටේ විශාල හිංසාවාදී කැරැල්ලකට උවමනා කරන සම්පූර්ණ පසුබිම අපේ ඊනියා දේශපාලන නායකයන් ද, කිසිදු ජාතික හැඟීමක් නැති නිලධාරී පැලැන්තියක් විසින් ද අද සකස් කර ඉවරයි. දැන් තිබෙන්නේ කොයි මොහොතේ හෝ මේ ඉන්ධන ගොඩට ගිනිකූරක් දැල්වීම පමණයි. සර්වෝදය ආරම්භ කළ දවසේ සිටම, අද දක්වා මහන්සි ගත්තේ, සාධාරණ සමාජයක් - අහිංසාවාදී මාර්ග තුළින් ගොඩ නැංවීමේ මාර්ගය ක්‍රියාවෙන්ම පෙන්වා දීමටයි. අධ්‍යාපනය, සංවර්ධනය සහ සාමය සඳහා අප දියත් කළ ක්‍රියා මාර්ගය වරප්‍රසාද ලත් ඇත්තන්ගේ අන්ධභාවය නිසා ඔවුහු හරි හැටි නොදුටුවා. ඔවුන්ගේ බීරි බව නිසා කන්වලට නොවැටුණේය. අප සේවය කළ ගම්වල සාමය ආරක්ෂා කර ගැනීමත්, අපේ තරුණ ජීවිත රැකගැනීමත් - සර්වෝදය පූර්ණ කාලීනව වැඩ කරන තරුණ තරුණියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමත් පමණයි. දැන් අපටත් හැකි එකම දෙය. මේ වගකීම ඔබ භාර ගත යුතුයි."
වවුනියාවේ පැවැත්වූ අවසාන රැස්වීමේ දී මූලාසනය ගෙන ක්‍රියා කළේ මහ දිසාපති නෙවිල් ජයවීර මහතායි. දෙමළට පරිවර්තනය කළේ කච්චේරියේ වැඩ කළ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකි. එදා සිට මාසයක් යනතුරු කිසි ම ගමකට නොයන බවත්, මූලස්ථානයේ රැඳී සිටින බවත් පවසා, එදා රාත්‍රිය නෙවිල් ජයවීර මහතා සමඟ මැදියම් රැය පසුවන තුරු මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කොට පසුව ගෙදර ආවෙමි.
ඊට දෙදිනකට පසු ලෝක ආහාර සංවිධානයේ නියෝජිත විසින් පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකදී මා මිත්‍ර සුසිල් සිරිවර්ධන මහතා සමඟ ද මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කෙළෙමි. එතුමා එවකට රජයේ තරුණ ගොවිපළවල් භාරව සිටියේය. මගේ බිය බෙදා ගත් එතුමා පැවසුවේ, දැන්වත් මේ ගැන යමක් කළ නොහැකි ද යනුයි. එයට පිළිතුරු දුන්නේ පළමුවැනි වෙඩිල්ල පත්තු වී රජයට ඇහැරුණු පසු ඔවුන් විසින් යමක් කරනු ඇත කියායි.
මීට දින කිහිපයකට පසු සුසිල් සිරිවර්ධන මහතා ද සැකපිට අත්අඩංගුවට ගත් බව ආරංචි විය. ගරු ලක්ෂ්මන් පියතුමා අත ඔහු මට බන්ධනාගාරයේ සිට කෙටි ලිපියක් ද එවා තිබුණු බව මට මතකයි.
මේ කැරැල්ල ඇතිවීමට පෙර මාස කිහිපයක් ම රෝහණ විජේවීර මහතා හමුවීමට මම හැම ප්‍රයත්නයක්ම දැරීමි. මට වුවමනා වූයේ හිංසාව අතහැර, අහිංසාවාදීව මේ සටන දියත් කරන්නේ නම්, දස දහස් ගණනකගේ ජීවිත ආරක්ෂා කර ගත හැකි බව තේරුම් කර දීමටයි. එහෙත් ඔහු මුණගැසීමට මට හැකි වූයේ ඔහු සිර භාරයට පත් වූ පසුවයි.
සිරගෙයි සිට කෙසේ නමුත්, මට ලැබෙන සේ ඔහු ලිපියක් එවා තිබුණේය. එයින් විවිධ ආධාර උපකාර ඉල්ලා එවා තිබුණි. ඔහු එවූ ක්‍රමයට ම එම ලිපිය ආපසු යවා බන්ධනාගාර කොමසාරිස් තුමා මාර්ගයෙන් එම ලිපිය නැවත එවන ලෙස ඉල්ලා සිටියෙමි.
මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මම ද, සිර භාරයට ගැනීමට යම් නිලධාරියෙක් ආරක්ෂක කමිටුවේදී යෝජනා කර තිබුණු බව මේ වන විට මම දැන සිටියෙමි. ස්ටැන්ලි සේනානායක පොලිස්පතිතුමාත්, හමුදාපතිතුමාත්, තදින් ම එයට විරුද්ධ වූ නිසා, ගරු අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය විසින් පෞද්ගලික එදිරිවාසිකම් පිරිමසා ගැනීමට ජාතික අර්බුදයක් තිබෙන මෙවැනි අවස්ථාවක මෙවැනි කතා නො කළ යුතු බවට ඔහුට අවවාද කර තිබේ. මේ නිසා රෝහණ විජේවීර මහතාට සහ ඔහුගේ සගයන්ට සිර ගෙය ඇතුළත දී උදව් වීම නීතියට එකඟව කිරීමට මම පරිස්සම් වූයෙමි.
මගේ පුස්තකාලයේ තිබූ වටිනා පොත් 80කට අධික සංඛ්‍යාවකුත් හිරගත වී සිටි තරුණ තරුණියන්ට අවශ්‍ය ඇඳුම් - පැලඳුම්, පොත - පත, සබන් - තුවා ආදී දේවලුත් මගේ දියණිය චාරිකා සහ තවත් තරුණ පෙළක් මාර්ගයෙන් ඔවුනට මම සැපයුවෙමි.
රෝහණගේ බලවත් ඉල්ලීම මත ඔහු බැලීමට මම ගියෙමි. එවකට බන්ධනාගාරයේ අධිපතිව සිටි දෙල්ගොඩ මහතා මා ගැන හොඳින් දැන සිටි කෙනෙක් නිසා, ඕනෑම වේලාවක සිර මැදිරිය තුළ රෝහණ සමඟ තනියෙන් මට කතා කිරීමට අවස්ථාවදී තිබුණි. පැයක් පමණ අපි සාකච්ඡා කළෙමු. අහිංසා මාර්ගයට ඔහු ගැනීමට මගේ ශක්ති ප්‍රමාණයේ හැටියට කරුණු කීවෙමි.
එක්දහස් නවසිය හැත්තෑඑකේ - සිර භාරයට ගත් එකම සර්වෝදය තරුණයෙක් හෝ තරුණියක් නොවීය. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම පිළිබඳව මම බෙහෙවින්ම සතුටු වූයෙමි. එවකට 371 පමණ අපේ සර්වෝදය ගම්මාන ද මේ හිංසක තත්ත්වයෙන් බේරුණේය.
එක්දහස් නවසිය හැත්තෑඑකේ කැරැල්ලට සම්බන්ධ මගේ පෞද්ගලික අත්දැකීම් රැසක් ම තිබේ. වැදගත්ම කරුණ නම්, ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයෙන්ම තාවකාලිකව මැඬ පැවැත්වීමෙන් ප්‍රශ්නයට හේතු වූ සාධක ඉවත් නොවන බව අපේ නායකයන් තේරුම් නොගැනීමයි. අප්‍රේල් මුල සති දෙක මා සිටියේ මරදානේ දෙල්ගහයට ගෙදරය. හිටිහැටියේ සුපුරුදු පරිදි, පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාත්, නියෝජ්‍ය පොලිස්පති, කලින් මහින්ද විද්‍යාලයේ මගේ ආචාර්යවරයෙකු වූ ටී. බී. වේරපිටිය මහතාත් අප නිවසට ඇතුළු වූහ. සුපුරුදු සිනහව පාමින් ස්ටැන්ලි සේනානායක මහතා 'ඔබ හොඳින් සිටිනවා දැයි බලන්නට අපි ආවා' යැයි කියමින් දොරින් ඇතුළු වූහ. ඔවුන් වාඩි කර වූ මම බිත්තියට හේත්තු කර තිබූ චේ ගුවේරාගේ විශාල පින්තූරයක් පෙන්වීමි.
දෙදෙනා ම තිගැස්සී මා දෙස බැලූහ. 'කලබල වෙන්න එපා' යැයි පවසා, මා 'මේ පින්තූරය එළියට ගත්තේ මේ රටේ අද සිදු වන මේ කැරැල්ල චේ ගුවේරා ව්‍යාපාරයකැයි කීම සාවද්‍ය බව පෙන්වා දීමටයි. ඒ චේ ගුවේරාට නිග්‍රහයක්.' ඒ අය තවත් පුදුම වූහ.
බෙල්ජියමේ 'ලිඒජ්' විශ්වවිද්‍යාලයේදී දෙවසරකට පමණ පෙර මා චේ ගුවේරා මුණ ගැසුණු බව කියා, ඔහු හා මා අතර ඇති වූ සංවාදයක් පිළිබඳව ඔවුන්ට තේරුම් කර දුන්නෙමි. ඒ කතාන්තරය මෙසේ ය:
එක්දහස් නවසිය හැට ගණන්වල අග භාගයේ දී, නෙදර්ලන්තයේ හා බෙල්ජියමේ විශ්වවිද්‍යාල, පාසල්, ප්‍රජශාලා ආදී ස්ථාන රැසකම සර්වෝදය පිළිබඳ මම දේශන පැවැත්වූයෙමි. 'ලීඒජ්' විශ්වවිද්‍යාලයේ දේශනය සඳහා එය සංවිධානය කර තිබුණු පියතුමා සමඟ යද්දී, එතුමා මට පැවසුවේ 'චේ ගුවේරා සහෝදරයා හිංසාවාදී විප්ලවය ගැන කතා කරන බවත්, මා අහිංසාවාදී විප්ලවය ගැන කතා කළ යුතු බවත්ය. මෙය විහිළුවකට ගණන් ගත් මා එය විහිළුවක් නොවන බව තේරුම් ගත්තේ ශාලාව ඉදිරිපිටට ආ විටයි. එහි අප දෙදෙනාගේම පින්තූර සහ අප දෙදෙනා කතා කරන මාතෘකා ද සඳහන් කර තිබුණේය.
ශාලාවට ඇතුළුවීමට පෙර එහි වම්පස තිබුණු කාමරයකට මා කැඳවා ගෙන ගියේය. එහි වාඩි වී සිටි දිග රැවුලක් සහ දිගට වැඩුණ හිස කෙස් කලාපයක් තිබුණු හැඩි දැඩි පුරුෂයෙක් එකවරම දෑත් දෙපසට ඔසවා ගෙන මා ඉදිරියට පැමිණ, මාව ආදරයෙන් බදා ගත්තේය. "කම්රඩ් ආරී, මා ඔබ එනතුරු නොවඉවසිල්ලෙන් බලාගෙන සිටියේ, ඔබ හමුවන්නට ආශාවෙන්."
"කම්රඩ් චේ, ඔබ හමුවීම මගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක් එහෙත් ... අප දෙදෙනා කරන කටයුතුවල අරමුණ සමාන බවක් තිබෙන බව ඇත්ත.. එහෙත් ඔබ ලෝකයේ සිටින දරුණුම හිංසාවාදී ගරිල්ලා නායකයා , මා මදුරුවෙක්වත් තලන්නේ නැති අහිංසාවාදී පුද්ගලයෙක් ඉතින් අප දෙදෙනා සමාන වන්නේ කොහොමද?"
"කවුද කීවේ මා හිංසකයෙක් කියා ? ඒ අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රචාර"
"මම වෛද්‍යවරයෙක්. මම ආශා කළේ ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කරන්නට. නමුත් ලාදුරු රෝගයේ රෝග නිධානය අතළොස්සක් ධනේශ්වරයන් විසින්, කෝටි සංඛ්‍යාත ලතින් ඇමෙරිකානු ජනතාව එදා වේල කන්න නැති, බොන්න වතුර බිඳක් නැති, විලි වසා ගන්න රෙදි කෑල්ලක් නැති, හිසට සෙවණක් නැති තත්ත්වයට පත් කර තිබෙනවා. එම හේතුව අවබෝධ කර ගත් මම, කැස්ත්‍රෝ සමඟ එකතු වෙලා බැටිස්ටාගේ හමුදාව විනාශ කළා.
එම සටනේදී ඔහුගේ කිසිම සොල්දාදුවකුට වෛරයකින් ක්‍රියා කළේ නැහැ. මා ඇතුළු අපේ පැත්තේ භටයන්ගෙන් බැටිස්ටාගේ සෙබළුන් තුවාල වුණාම, ඔවුන් නිරායුධ කොට - අවශ්‍ය ප්‍රථමාධාර හෝ ශල්‍යකර්ම කර, ඊළඟටයි මා තව ඉදිරියට ගොස් සටන් කළේ. ඒ නිසා මා දරුණු මිනීමරුවෙක් යයි කියන ප්‍රචාර විශ්වාස කරන්නට එපා. මා විනාශ කරන්නට හැදුවේ "වරද" මිස "වරද කරන්නන් නොවේ."
මේ අන්දමින් කතා කර ගෙන යන විට මට අවබෝධ වූයේ හොඳ පරමාර්ථයක් ඉටු කර ගැනීමට හිංසාවාදී මඟක යන කෙනෙකුට වුවත් ඒ කාර්යය මානවවාදීව - මනුෂ්‍යත්වයෙන් ඉටු කළ හැකි බවයි. වරදට විරුද්ධව නිශ්ශබ්දව සිටීමේ බියගුලු බවට වඩා, හිංසාවාදීව හෝ එම තත්ත්වය වෙනස් කිරීමට මහත්මා ගාන්ධිතුමා විරුද්ධ නොවූයේ මේ නිසා වන්නට ඇත.
අහිංසක මිනිසුන් මරා දමමින්, සමාජය පෙළන්නවුන්ට එසේම ඉන්නට සලසා කරන්නට හදන හිංසක විප්ලව, සැබෑ විප්ලව නොවන බව මේ දෙපළට මම තේරුම් කර දුන්නෙමි. දාර්ශනිකවත් තාක්ෂණිකවත් - ව්‍යුහාත්මකවත් පවතින තත්ත්වය - සියයට සියයක්ම අහිංසවාදී මාර්ගවලින් වෙනස් කළ හැකි බව, අපේ තරුණ - තරුණියන්ට අවබෝධ වූ දාට - සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයත් - සැබෑ සමානත්වයත් - නියම සාමයත් ඇති වන බව එතුමන්ලාට විග්‍රහ කළෙමි.
නීතා ගෙනා තේ පැන් සංග්‍රහය අප තිදෙනාම භුක්ති විඳින අතර, මම චේගුවේරාගේ පින්තූර ඇතුළු කාමරයේ තිබුණු ස්ථානයටම ගොස් තැන්පත් කර තැබුවෙමි.
අප්‍රේල් පළමුවන සතියේම බෙල්ජියමේ සර්වෝදය සමිතියේ නියෝජිත පිරිසක් මෙත් මැඳුරට පැමිණියෝය. ඔවුන්ට සම්බන්ධ වූ කුඹුක්ගොල්ලෑව ගම බැලීමට යෑමට මොවුහු උනන්දු වූහ. මේ අවස්ථාවේදී කිසිසේත් එයට ඉඩ දිය නොහැකි බව මා ප්‍රකාශ කළත්, ඔවුන් එයට එකඟ වූයේ නැත. මේ නිසා යම් කරදරයක් සිදු වුවහොත්, තමාගේ දිවි ගියත් - මේ අය රැක ගත යුතු බව පවසා, සරත් විජේසිංහ ඇතුළු තරුණයන් කිහිපදෙනකු සමඟ ඔවුන් කුඹුක්ගොල්ලෑව ගමට පිටත් කර හැරියෙමි. අප්‍රේල් කැරැල්ල ආරම්භ වූයේ මේ අවස්ථාවේදීය. ඔවුන්ට කුමක් වූයේ දැයි සොයා ගැනීමට කිසිම ක්‍රමයක් නොතිබුණේ, අප්‍රේල් 5 දා සිට මුළු රටම කැලඹී තිබු නිසාය. ඔවුන් ආපසු පණ බේරා ගෙන පැමිණියේ සති දෙකකට පමණ පසුවය.
ඔවුන් කුඹුක්ගොල්ලෑවට ගිය හැටියේම, ඔවුන් කැටුව ගිය ළමයින් දෙපළක්, ගමේ මිනිසුන් විසින් කොයි මොහොතේ හෝ කැරලිකාර තරුණ පිරිස් ගමට පැමිණෙන බැවින්, කැලෑ මැදින් වැටුණු අඩි පාර ඔස්සේ අනුරාධපුර - පුත්තලම පාරට කැඳවාගෙන ගොස් තිබේ. ඔවුන් පිට වී පැයක් යන්නටත් පෙර, බයිසිකල් දෙකකින් ගල්කටස් තුවක්කු ද රැගෙන පැමිණි තරුණයන් පිරිසක් මුලින්ම ශාලාව ඉදිරියේ තිබු බුදු පිළිමයට බැණ වදිමින්, වෙඩි පහරක් තබා තිබේ. 'ගමට ආපු ඇමරිකන්කාරයෝ කොහිදැයි' මේ මෝඩ පිරිස ඔවුන්ගෙන් අසා තිබේ. ඔවුන් පෙර දිනම ආපසු ගිය බව ගම්මුන් කී විට, මේ අය ආපසු ගොස් තිබේ. අතරමඟදී ඔවුන්ට මුණ ගැසී තිබෙන්නේ ජිප් රියකින් එන පොලිස් භට පිරිසකි. මොවුන්ගේ ගල්කටස් ඉස්සීමට පෙර පොලීසිය විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමන ලදී.
හමුදාව සහ පොලිසියේ ආරක්ෂාව සහිතව මිනිසුන් ගෙන යන වාහන මොවුන්ට හමුව තිබේ. ඔවුන්ට කාරණය තේරුම් කර දී, අපේ විදේශ පිරිස පුත්තලමට පැමිණ දවස් ගණනක් කුසගින්නේ සිට බොහෝ දුක් විඳ, මොරටුව මෙත් මැදුරට ළඟා වුහ. මේ කණ්ඩායමේ සිටියේ බෙල්ජියෙම් සර්වෝදය නායක රෙනී ෆියට්ස් මහතා සහ රෙදි කර්මාන්ත ශාලා හිමි වොන් ෆයන් බෘක් මැතිනිය ප්‍රධාන පිරිසකි. ඔවුන්ට යම්කිසි කරදරයක් වූයේ නම් එය මුළු රටටම කැළලක් වීමට ඉඩ තිබුණි. ඒ නිසා මොවුන් ආරක්ෂා කරගෙන ආ මල්ලීට විශේෂ පවුල් හමුවක් පවත්වා මම ප්‍රශංසා කළෙමි. අපේ මුල්ම පූර්ණකාලීන සේවකයකු වූ, දැනට සර්වෝදය සීඩ්ස් ආයතනයේ වැඩ කරන එච්. සෝමරත්න මල්ලී ද එවකට වැඩ කළේ හල්මිල්ලෑව ගම බාරවය. මගේ හිතේ තිබුණු ලොකුම වේදනාව සෝමරත්න මල්ලී ගැන කිසිම ආරංචියක් නොලැබීමය. කැරැල්ලේ උච්චතම අවස්ථාව පසුවන තුරු ඔහු හල්මිල්ලෑවේ මධ්‍යස්ථානයෙන් පිට නොවී. එම භූමියේ වගා කිරීමේ කටයුතුවල යෙදී තිබේ. අවසානයේදී සියල්ල සන්සුන් වු පසු, ඔහු මෙත් මැදුරට පැමිණියේය. ඔහු මෙත් මැදුරට ඇතුළු වන විටයි, මගේ හිතේ තිබු වේදනාව සම්පූර්ණයෙන් ඉවත් වූයේ. "සෝමරත්න මල්ලී, ඔබ පිළිබඳ අපි හරිම වේදනාවෙන් - ගින්දරෙන් හිටියේ. ඇයි පණිවුඩයක් නොඑව්වේ?" ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
"සර්, මෙවැනි අවස්ථාවක කළ යුත්තේ කලබල වී එහෙ මෙහෙ දුවන එක නොවේ. පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්නා තැනම ඉඳගෙන ප්‍රයෝජනවත් වැඩක් කරන එකයි." යනුවෙන් ඔහු පිළිතුරු දුනි. අපේ සෑම පූර්ණකාලිකයකුගේම ජීවිත බේරා ගැනීමට සමත් වූයේ යැයි එදා මම සැනසුණෙමි.
ආචාර්ය ඒ.ටී. ආරියරත්න