
කාන්තාව සමාජයේ එක් කොටස්කරුවෙකි. කාන්තාවගේ භෞතික ශක්තියේ යම් අඩුවක් පවතින නිසා පිරිමින්ගේ ආරක්ෂාව සහ රැකවරණය අවශ්‍ය අවස්ථා තිබේ. භෞතිකව බැලුවහොත් කාන්තාවගේ භෞතික ශක්තිය අඩු වුවත් මානසික ශක්තිය පිරිමින් අභිභවා යන තැනක වෙයි. කාන්තාවට හිමි විය යුත්තේ නිසි තැනයි. ඒ අනුව සියලු සමාජ කොටස් සාමකාමීව සහයෝගයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් සිටීමෙන් සියලු පාර්ශ්වයන්වල අරමුණු ඉටු වෙනු ඇත. ගැහැනිය සහ පිරිමියා නිර්මාණය වී ඇත්තේ දෙයාකාරයක ශක්තීන් සහ දෙයාකාර ක්‍රමවේදයක් අනුවයි. කුටුම්භයේ සිට සමාජයට මේ දෙයාකාර වූ නිමැවුම අවශ්‍යයි. මේ දෙයාකාර නිමැවුම සංකලනයෙන් හොඳ සමාජයක් නිර්මාණය වෙයි. රටට සමාජයට මේ දෙපාර්ශ්වයෙන්ම ඉටුවිය යුතු යුතුකම් වගකීම් සම්භාරයක් වෙයි.
කාන්තාව සම්බන්ධ සංවාදයකදී කාන්තාව පිළිබඳව ඉතිහාසය කතා කළ යුතුමය. එදා බෝසත් චරිතයේ සිට බුද්ධත්වය දක්වා බුදුරාජාණන් වහන්සේ වටා ප්‍රබල කාන්තා චරිත තුනක් විය. එනම් මහමායා, යශෝධරා සහ ප්‍රජාපති යන චරිත ත්‍රිත්වය එකට ගැළපීමෙන් බෝසත්, සිදුහත් සහ ගෞතම බුද්ධත්වයට පත්වූ චරිතය දක්වාම ගමන් කරයි. බුදුන් වහන්සේ දේශනා කළේ නිවෙසේ බුදුන් මව බවයි. කාන්තාව එසේ සැලකුම් ලැබූයේ එදා කාන්තාවට සමාජයේ තිබූ පිළිගැනීම නිසයි. ශ්‍රී ලාංකේය සමාජය තුළ එදා පීතෘ මූලික සමාජ ක්‍රමයක මව ප්‍රබල චරිතයක් විය. පියා ඉදිරියෙන් සිටි නමුත් පවුල බැඳ තබන ප්‍රධාන භූමිකාව, හුය ඇයයි. පවුලක ප්‍රධාන භූමිකාව මවයි.
කාන්තාව යන සන්නාමයට විවිධාකාර පදවි හිමි වී ඇත; කුටුම්භය තුළ ප්‍රධානම කාර්ය භාරයක් ඉටු කරනු ලබන්නී ඇයයි. අතීතයේ සිට වර්තමානය දක්වා ම වහල්භාවයේ කාන්තාව සිටියා යැයි කිව නොහැකියි. නමුත් බ්‍රාහ්මීය සමාජය තුළ සහ ඇතැම් ගෝත්‍රික සමාජවල එවැනි තත්ත්වයක් දක්නට ලැබුණි. ලෝකයේම කාන්තාව සම්බන්ධයෙන් අන්තවාදී ගෝත්‍රික මතවාද සහ සීමිත ආගම් මතවාද කිහිපයක පමණක් එසේ සිදුවී ඇත.
වර්තමානය වන විට බොහෝ සමාජ ස්ථරවල කාන්තාව ඉහළ තලයක සිටින බව ඉතා පැහැදිලිය. නිවෙසටම හිරවී සිටින කාන්තාවන් පිරිස ඉතාමත් අල්පය. නමුත් නිතැතින්ම නිවෙසක වගකීම දැරීම ප්‍රධානම වගකීමකි. කුටුම්භය නිවැරදිව හැසිරවීම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීමක් සහ ප්‍රමුඛත්වයක් කාන්තාව සතු වෙයි. සමාජයට සහ රටට මිනිසුන් ගමන් කරන්නේ කුටුම්භය හරහාය; මිනිසුන් නිවැරදිව ගොඩනැඟීමට ප්‍රධාන දායකත්වය කාන්තාව සතුව පවතී.
එදා සිට අද දක්වා කාන්තාව නිවෙසේ සහ සමාජයේ ප්‍රධාන භූමිකාවක් දැරීම පිළිබඳව සමාජයේ එතරම් ඇගැයීමට ලක්වී නැති බවක් පෙනෙයි. සමස්තයක් ලෙස කාන්තාව අතින් වන කර්තව්‍ය ඇගැයීමේ අඩුවක් තිබේ.
අද සමාජයේ නොයෙක් ඉහළ සමාජතලවල කාන්තාවන් බොහෝ පිරිසක් වෙයි. එසේම පිරිමින් හා උරෙනුර ගැටෙන කම්කරු වැටුප් තලවල සිටින කාන්තාවන් වෙයි. ඇතැම් අවස්ථාවලදී කම්කරු රැකියාවේදී පමණක් පිරිමින්ට වඩා අඩු වැටුප් තලයක ඇය පිහිටුවයි. ඇතැම් කම්කරු සේවයේ වැටුප් විෂමතා හැර අනෙක් කිසිදු තනතුරකදී වැටුප් විෂමතා ඇයට නැත. එහෙත් අපි පිළිගත යුතු කරුණක් වෙයි.
ඇතැම් රැකියාවලදී කාන්තාවට පිරිමියාට සම ශක්තියක් නැති වන අවස්ථා ද වෙයි. එවැනි අවස්ථාවලදී සාධාරණයක් ඉටු කර ගැනීම මිස ඒ වෙනුවෙන් සටන් කිරීම කළ යුතු නැත.
බොහෝ කාන්තාවන් කුටුම්භයේ ප්‍රධාන තනතුරක් දරයි. සමාජයේ මෙන් ම සමාජ ජීවිතයේද වගකීම් රැසක් පැවැරී ඇත. ඒ අභියෝගය ඇය සාර්ථකව ජයගෙන ඇති අවස්ථා වෙයි. එහෙත් සමාජයට ඉතාම බැරෑරුම් වගකීමක් පැවැරී ඇත. කාන්තාවගේ මේ දෙවැදෑරුම් කාර්ය භාරය සහ වගකීම සාර්ථකව ජයගත් අවස්ථා විශාල වශයෙන් ඇත. ඕනෑම වැඩ කරන කාන්තාවක් විශේෂයෙන්ම නිවෙසක මවක් සමාජයේ ගෙවන ජීවිතයට වඩා වගකීම් සම්භාරයක් නිවෙසේ මවක්, බිරියක්, සහෝදරියක් ලෙස දරයි. එය අගය කිරීම සියලු පාර්ශ්වවල සමාජීය වගකීමකි. උපතින්ම කාන්තාවට ස්වභාව ධර්මයෙන් ඒ මවු තනතුරක් හිමිවී ඇත.
එයට කාන්තාව සුදුසු නිසාවෙන් ස්වභාව ධර්මයා එය ඇයට ප්‍රදානය කර ඇත. ඒ තනතුරත් සමඟ එතැනින් ඇය නොනැවතී තව විශාල තනතුරු හිමි කරගෙන එහිදී නායකත්වය හා ප්‍රධානත්වය ගැනීම ඇගැයිය යුතු කරුණකි. කුමන තනතුර භාරගත්ත ද උතුම් මවු පදවියත් එයට අදාළ රාජකාරි කටයුතුත් විශාල ප්‍රමාණයක් ඇත. ඒවා අතපසු නොකළ යුතුමය. ඒ ප්‍රධාන වගකීම කාන්තාවක් අතින් අතහැරිය නොහැකිය. එය අමතක කර කුමන තනතුර දැරුවත් ඒ කාන්තාව සාර්ථක නැත. එසේ එම වගකීම ඉටු නොකිරීම සමාජ විරෝධි ක්‍රියාවකි. නිවෙසේ තමන්ගේ දරුවන් නිසි ලෙස හැඩගැස්වා සමාජයට යැවිය යුතුමය. තමන්ගේ නිවෙසේ දරුවන් නිවැරදි ආකාරයට සකස් නොකළේ නම් එය සමාජ පිළිලයක් වෙයි. නිවෙසේ එම තනතුර නිසියාකාරව හැඩගස්වා එහි වගකීම් නිසි ලෙස දරා අනෙකුත් වගකීම් ද දැරිය යුතුමය. මෙය සමාජ වගකීමක් වන්නේ ද ඒ නිසාවෙනි. එතැනදි රැකියා ආයතනවලදී කාන්තාවන්ට සහය දීම සමාජීය වගකීමකි. මවක් ලෙස ඇය සාර්ථක නොවී ඇය සමාජයේ කුමන සාර්ථකත්වයකට පැමිණියත් කිසිසේත් ඇය සාර්ථක කාන්තාවක් නොවෙයි.
අද බටහිර සමාජයේ ඇතැම් කාන්තා සංවිධාන මඟින් මවු කිරිවලටත් මිලක් නියම කළ යුතුයි යන තැනට පත්වී තිබෙන අවස්ථා ඇත. මවු කිරිවලට මිලක් නියම නොවිය යුතුයි.
නමුත් කාන්තාවන්ගේ කාර්ය භාරයට මිලක් නොව ඇගැයීම වඩා වැදගත් වෙයි. භෞතිකව නොව මානසික ඇගැයීමක් ඇයට අවශ්‍යයි. ඒ ඇගැයීම තුළ ඇයට වඩා ශක්තියක් දිරියක් ලැබෙයි.
විශ්වවිද්‍යාල පද්ධතිය, පරිපාලන ක්ෂේත්‍රයේ සහ සමාජයේ විවිධ තැන්වල කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ඉදිරියෙන් සිටියි. සමාජයේ කාන්තාවගේ අයිතීන් කෑ මොර දීමෙන් දිනා ගැනීම නොව ඇගේ වටිනාකම හඳුනා ගෙන ඇගැයීම සමාජ වගකීමකි.
එහිදී කාන්තාවට ඉතාමත් ලොකු වටිනාකමක් සමාජය විසින් හිමි කර දී ඇත. එහිදී තමන්ගේ වටිනාකම ආරක්ෂා කර ගැනීමට කාන්තාව ද එසේම වටිනාකම් ආරක්ෂා කරදීමට පිරිමි පාර්ශ්වය ද කැපවී කටයුතු කළ යුතුයි.
ගෝත්‍රික සමාජවල කාන්තාව හිංසනයට ලක් වෙයි. සති පූජා කිරීම් වැනි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වූයේ එදා ඒ සමාජවල කාන්තාව යැපෙන්නියක වීම නිසයි. එනම් කාන්තාවක් පිරිමියෙක් මත යැපෙන්නියක වීම නිසයි. කාන්තාව අද වනවිට කාන්තාවක් වූ පමණින් ඇය යැපෙන්නියක නොවිය යුතු බව ඉතා පැහැදිලි වටහා ගෙන ඇත.
අධ්‍යාපන මට්ටම අනුව රැකියාවක් කිරීමේ හැකියාවක් අද වනවිට නිර්මාණ වී ඇත. එසේ ම පහළම අධ්‍යාපනික මට්ටමක් ඇති කාන්තාවන්ට තමන්ගේ අධ්‍යාපන මට්ටමට සරිලන යමක් කිරීමට සමාජයෙන් සැකසිය යුතුයි. රටක දේශපාලනික වශයෙන් ජාතික වශයෙන් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඒ සඳහා ආකල්ප දැනුම හැකියා වර්ධනය කළ යුතුයි.
එක් එක් සංස්කෘතික කාරණා මත කාන්තාවන්ට හිමි තැන විවාද සම්පන්න වෙයි. එය තර්කානුකූල සහ විවාද සම්පන්නයි. මේ හිමි තැන යන කාරණා සහ කාන්තාව සම්බන්ධයෙන් නිසි ඇගැයීම් යනු කාරණා දෙකකි. දියුණු යැයි සම්මත සමාජවල බාහිරව දකින භෞතික දියුණුවක් ඇත. කාන්තාවට නිසි තැන තිබිය යුතුයි. ඇයට නිසි තැනක් ස්වභාව ධර්මයෙන්ම ලැබී ඇත. ඇයට ශක්තිමත් හැඟීම්බර සංවේදී චරිත ස්වභාවයක් වෙයි. එය පිරිමියාට වඩා වෙනස් ස්වභාවයක් ගනී. මේ වෙනස තේරුම් ගෙන එකිනෙකා අබිබවා යෑමට වාද විවාද ගැටුම් ඇති නොකරගත යුතුයි. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ වෙනස තේරුම් ගෙන සාමකාමීව ඉලක්ක කරා යා යුතුය. ගැහැනු සහ පිරිමිගෙන් භෞතික මානසික වෙනස්කම් දෙයාකාරයෙන් ම මේ සමාජයට අවශ්‍යයි.
කාන්තාවන් සුරක්ෂිත කිරීමට නම් රැකවරණය පිළිගැනීම ආදරය ලබාදිය යුතුයි. එම සැලකීම් ලැබීමට සුදුසු ලෙස කාන්තාව හැසිරිය යුතුයි. ආකල්පමය වෙනසක් කළ යුතුයි. පිරිමින් නිසියාකාරව පවුල තුළින් ගොඩ නැඟිය යුතුයි. පවුල තුළින් මවක් හෝ පියෙක් දරුවන් හොඳින් ගොඩ නොනැඟුවේ නම් ඒ දරුවන් සමාජගත වූ විට ඔවුන් සමාජයේ අනෙක් පුද්ගලයන්ට හිංසා පීඩා කිරීමට පෙලඹෙයි. එසේ ගොඩනැඟෙන පිරිමින් තවත් ගැහැනියකට තාඩන පීඩන කරයි. මවගේ රැකවරණය මත ආදරයෙන් සෙනෙහසින් ගොඩනැඟෙන දරුවෝ එසේ නොවෙති. නීති රීති ගොඩනඟනවාට වඩා සමාජයේ දී කාන්තාව හිරිහැරයට ලක් කරන පිරිමින් පවුල තුළ ගොඩනොනැඟීම නිසියාකාරයෙන් කිරීමට මව විසින් වගබලාගත යුතුය. සමාජයේ කාන්තාවකට වන වරද ආරම්භ වන්නේ කාන්තාවක් අතින් සිදුවන වරදකිනි.
ඉහළ තනතුරුවල සිටින කාන්තාවක වුව ඇය සමාජ ජීවිතේ මෙන්ම පවුල් ජීවිතේ සාර්ථක නොවෙයි නම් ඇය සාර්ථක කාන්තාවක් නොවෙයි. සමීක්ෂණ අනුව බැලූ විට ගැටලු තියෙන පිරිමින්ගේ මවගේ සෙනෙහසේ අඩුවක් කුඩා කල සිට දක්නට ලැබෙයි. ඒ කාන්තාවක් මවගේ භූමිකාව නිසි ලෙස ඉටු නොකළ විට එමඟින් බිහිවන පිරිමින්ගෙන් කාන්තාවකටම හිංසාවක් පීඩාවක් සිදුවනු ඇත. කණ්ඩායමක් ලෙස තව කෙනකුගේ ඉවසීම, ආදරය කිරීම, ගරු කිරීම ආරම්භ කළ යුතු වන්නේ පවුල තුළින්මයි. මේ ගරු කිරීමට සමස්තයක් ලෙස ජනතාව ම හුරු පුරුදු විය යුතුයි. විවාහය දික්කසාදය දක්වා ඉදිරියට යෑමට පෙර කුඩා කල සිටම නිසි ලෙස දරුවන් හදා වඩා ගැනීම වඩා වැදගත් වෙයි. ඒ මූලික පදනම ගොඩ නොනැඟුවේ නම් නීතිරීති කුමනාකාරයෙන් පැනවුවත් එහි ඵලක් නැත.
මුළු සමාජයේ ම ධන හෝ ඍණ යන දෙපාර්ශ්වය රැඳී ඇත්තේ කාන්තාවන් මතයි. ජාතික මට්ටමින් කිසිදු වෙනස්කමක් නොවෙන, වෙනස්කමක් නොකෙරෙන තීරණ ගත යුතුයි. ඇයට සමාජයේ ඕනෑම තනතුරකට යා හැකි ලෙස සමාජ පරිසරය සැකසිය යුතුයි. රටේ පරිපාලන ක්ෂේත්‍රයේ තීන්දුවලදී කාන්තාවගේ සහ පිරිමියාගේ දෙපාර්ශ්වයෙන්ම සහභාගිත්වය වැදගත් වෙයි. ඕනෑම ප්‍රතිපත්තියක්, තීරණයක් ගැනීමේදී කාන්තා නියෝජනයක් එයට එකතු වුවහොත් එය සාර්ථක වෙයි. ඇගේ දායකත්වය උපරිමයෙන් දිය හැකි ජාතික ප්‍රතිපත්තියක් සකස් කළහොත් කුමන රජයත් බලයට පත් වුවත් ඒ නොවෙනස් ප්‍රතිපත්තිය ඇයට වඩාත් වැදගත් වෙයි. කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම තුළ කාන්තාව සවිබල ගැන්වීමට අවශ්‍ය සමාජයක් නිර්මාණය වෙයි. කාන්තාව ව්‍යවසායකත්වයට ප්‍රමුඛත්වයට තැන දිය යුතුයි. එසේම සියලු දෙනා මිනිසුන් යන සංකල්පීය වෙනස සමාජයේ ඇති කිරීම වඩා වැදගත් වෙයි.