සතා සිවුපාවන් වෙනුවෙන් දංගෙඩියට ගිය වනජීවී නිලධාරීන් 82ක් | සිළුමිණ

සතා සිවුපාවන් වෙනුවෙන් දංගෙඩියට ගිය වනජීවී නිලධාරීන් 82ක්

වනජීවී සංරක්ෂණ දොපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර සහ ජ්‍යේෂ්ඨ පරිසර නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන

රිත වර්ණයෙන් අලංකාර වූ ගහ කොළ, නිලට නිලේ ගලා හැලෙන දිය දහරා, සරුසාර වූ මහා පොළොව, තෙරක් නොපෙනෙන මහා සාගරය, නිල්ල පිරුණ කඳු හෙල් මිටියාවත්, සියොත් නාදයෙන් නැඟෙන කර්ණ රසායන සුමිහිරි නාදය, බඩගානා, කුරගානා සතා සිවුපාවුන් ආදී ජෛව විවිධත්වයෙන් පිරුනු ස්වාභාවික පරිසර පද්ධතිය අප රටට ගෙන එන්නේ ලොව අන් කිසිදු රටකට නොදෙවෙනි සුන්දරත්වයකි. එවන් සුන්දරත්වයකට හිමිකම් කියන්නට අප වාසනාවන්ත වුවද සමහරුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා මෙම ස්වාභාවික පරිසර පද්ධතියට අත් වෙමින් ඇති ඉරණම මෙතෙකැයි කිව නොහැකිය. 

මෙම ස්වාභාවික සම්පත අපගේ මතු පරපුරට සුරක්ෂිතව උරුම කර දෙනු වස් 1949 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙරට ස්ථාපිත කෙරිණි. මෙරට වනජීවි සම්පත් ආරක්ෂා කිරීමේ මූලික වගකීම මෙකී ආයතනය සතු වන අතර එම කර්තව්‍යය නිසියාකාරව සිදු කිරීමේ බලතල හිමි වන්නේ වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීන්ට සහ අඩවි වන නිලධාරීන් ( Wildlife rangers and Forest Rangers ) වෙතය.

මේ වන විට වනජීවි දෙපාර්තමේන්තුව යටතේ වනජීවි නිලධාරීන් 900 ක් පමණ සේවයේ නියුක්තව සිටින අතර ඔවුන් ගිරිතලේ, මාදුරු සහ රන්දෙනිගල යන වන ජීවී රක්ෂිතයන් හි පුහුණුව ලබති. මෙහිදී ගිනි අවි පුහුණුවට අමතරව වන සත්ත්ව අඩවි ආරක්ෂකයකුගේ පුහුණුව මාස 9කි. වන සත්ත්ව අඩවි සහකාරවරයකුගේ පුහුණු කාලය මාස 6 කි. එමෙන්ම වන සත්ත්ව නියාමකවරයකුගේ පුහුණු කාලය මාස 3 කි. මෙලෙස පුහුණුව ලබන්නේ සිය සේවය උපරිමයෙන් යොදවන්නටය. මෙකී භාරධූර්ය වගකීම ඉටු කරමින් සිය රාජකාරිය දේවකාරිය ලෙස සලකා කටයුතු කළ වනජීවී නිලධාරීන් 82 දෙනකු ගත වූ වසර 74 කට ආසන්න කාලය තුළදී වන ජීවී සංරක්ෂණය වෙනුවෙන් ජීවිත කැප කර ඇත. එසේම වන ජීවි ක්‍රියාන්විතයේදී සදාකාලික අබාධිත තත්ත්වයට පත් නිලධාරීන් ද රාශියක් සිටිති. මේ ඒ නිලධාරීන්ගේ දිවි අහිමි වීම් පිළිබඳව කළ සොයා බැලීමකි.

වනජීවී නිලධාරීන්ගේ මුළු ජීවිතයේ හොඳම කාලය කැප වන්නේ තම දරු පවුලෙන් ඈත්ව වනජීවී සම්පත සුරැකීමේ භාරධූර කාර්ය සඳහාය. එහිදි ඉතා විශිෂ්ට ලෙස තම රාජකාරිය දේවකාරියකට වඩා ඉහළින් සලකමින් දිවා රෑ වෙහෙසෙන්නේ තම දරු පවුල රැකගන්නා තරම් ආදරයකින් හා සෙනෙහසකිනි.

වනජීවී සංරක්ෂණය සහ ආරක්ෂණය සම්බන්ධ වෘත්තීන් ලොව පුරාම සැලකෙන්නේ ඉතා අවධානම් සහගත රැකියා වශයෙනි. ඉතා බිහිසුණු වනජීවීන් සමඟ දුෂ්කර වනගත ප්‍රදේශ තුළ කටයුතු කරන්නට සිදුවීම මෙන්ම, වනජීවී සම්පත් තම ග්‍රහණයට නතු කර ගැනීමට පැමිණෙන අපරාධකරුවන් සමඟ ගැටෙන්නට සිදුවීම ඊට හේතුවයි. ලොව ජෛව විවිධත්වයෙන් අනූන රටක් වන ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එසේමය. දිවයිනේ වනජීවීන් සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගැනීමෙහිලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත්තේ විශාල කාර්යභාරයකි. එසේ ශ්‍රී ලංකාවේ සොබා උරුමයන් ආරක්ෂා කරගැනීමේ මාහැඟි කාර්යභාරයට උරදීමට ගොස් මේ දක්වා මෙරට වනජීවී සංරක්ෂණ නිලධාරීන් අසූ දෙකකට තම ජීවිත අහිමිවී ඇති බව පසුගියදා පළවූ නවතම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් මඟින් අනාවරණය කර තිබේ. 

පළමුවරට මෙලෙස මිය ගොස් ඇත්තේ වන සත්ත්ව මුරකරුවකු වූ කේ. මැණික්රාල නම් අයෙකි. හෙතෙම 1957.07.04 මිය ගොස් ඇත්තේ විල්පත්තුව උද්‍යානයේදී වලසෙක් සපා කෑම නිසාය. එමෙන්ම විවිධ අවස්ථාවන්හීදී අලි ඇතුන්ගේ ප්‍රහාරයන්ට ලක්වීමෙන් වනජීවී නිලධාරීන් බොහෝ දෙනකු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. එය තවමත් නොවිසඳුණු ගැටලුවකි.

වන සත්ත්ව මුරකරුවකු වන එස්. එම්. අසන් මවුලානා (1979.09.11) යාල ජාතික උද්‍යානයේ දී වන අලියෙකු පහර දීමෙන්, වන ජීවී නියාමක එම්. ජී. ජිනදාස (1984.07.07) උඩවලව ජාතික උද්‍යානයේ දී වන අලියකු පහර දීමෙන්, වනසත්ව අඩවි සහකාර ජී. ඩබ්. රත්නසිරි (1987.03.13) නවගත්තේගම තම්මැන්නාවැටිය දී දළ ඇතකු පහර දීමෙන්, වන සත්ත්ව නියාමක ජී. එස්. වික්‍රමසුරිය (1996.10.28) කුරුවිලදී වන අලියකුගේ පහර දීමෙන්, වන සත්ත්ව නියාමක ජී. වී. ගුණවර්ධන (1997.05.27 ) මීගලෑව අඩවියේ දී වන අලියෙකු පහර දීමෙන්, වනසත්ව අඩවි ආරක්ෂක කේ. මන්සුර් (1998.04.24) වස්ගමුව ආසන්න සේරුපිටියේ දී වන අලියෙකු පහර දීමෙන්, වන සත්ත්ව නියාමක එන්. ජී. වීරප්‍රේම (2004.04.09) කීර්ති බණ්ඩාරපුර දී වන අලි ප්‍රහාරයකින්, වනසත්ව අඩවි සහකාර එන්. එම්. ඩී. උපේන්ද්‍ර (2005.03.04) අම්පාර වන අලි ප්‍රහාරයකින්, වන සත්ත්ව නියාමක ඊ. එම්. ඒකනායක(2005.04.15) වස්ගමුව වන අලි ප්‍රහාරයකින් මිය ගියේය.

වන සත්ත්ව අඩවි ආරක්ෂක ලෙස්ලි සෙනවිරත්න (2005.06.20) විල්පත්තුව ඇතෙකු පහර දීමෙන්, වන සත්ත්ව නියාමක එම්. ජී. උපාලි ගුණරත්න(2009.03.14) ඇලහැර අඩවියේ දී වන අලි ප්‍රහාරයකින්, රියැදුරු ගුරුසිංහ (2011) විල්ගමුව දී වන අලි ප්‍රහාරයකින්, වන සත්ව නියාමක කේ. ඩබ්ලිව්. ඒ. ජයවර්ධන (2013.07.19) තණමල්විල දී වන අලියකු පහර දීමෙන්, වන සත්ත්ව නියාමක සංජීව කුලතුංග (2015.03.20) වැල්ලවායේ දි වන අලියෙකු පහර දීමෙන්, වන සත්ත්ව අඩවි ආරක්ෂක වසන්ත මේන්ඩ ආරච්චි (2018.07.20) ගිරාදුරුකෝට්ටේ අලි පාලන ඒකකය වන අලියකු පහර දීමෙන්, වන සත්ත්ව නියාමක අනුර ශාන්ත (2019.02.14) වැලිකන්ද ප්‍රදේශයේ දී වන අලියෙකු පහ දීමෙන්, වන සත්ත්ව නියාමක බී. එම්. සී. කේ. බස්නායක (2019.08.06) නිකවැරටිය ප්‍රදේශයේ දී අලියකුට ප්‍රතිකාර කරන අතරතුර වන අලියා පහර දීමෙන්, වන සත්ත්ව අඩවි සහකාර මෛත්‍රී මධුෂාන් වික්‍රමසිංහ (2019.12.15) මාතලේ මඩවලඋල්පත ප්‍රදේශයේදී වන අලියකු පහර දීමෙන් මිය ගියේය.

පී. එම්. ඒ. ඩී. වෙන්දකඩුව (2020.06.30) තඹුත්තේගමදී වන අලියකු පහරදීමෙන් සහ ඩී.එම්. ධර්මකුමාර (2020.09.17) සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ. මීට අමතරව වල් අලි ප්‍රහාරයන්ට ලක්වීමෙන්ද විවිධ අවස්ථා වල වන සත්ත්ව මුරකරු, වනසත්ත්ව අඩවි සහකාර, වන සත්ත්ව නියාමක, වන සත්ත්ව මුරකරු, අනියම් කම්කරු ආදී වන ජීවි සේවයේ නියැළුණු පිරිස් ජීවිතයෙන් වන්දි ගෙවූහ. 1977 යාලදීත්, 1984 උඩවලව ජාතික උද්‍යානයේදීත්, 1987 නවගත්තේගම තම්මැන්නාවැටියදීත් ,1996 කුරුවිලදීත් , 1997 මීගලෑව අඩවියේත්, 1998 වස්ගමුව ආසන්න සේරුපිටියේදීත්, 2004 කීර්තිබණ්ඩාර පුරදීත්, 2005.03.04 අම්පාරේත්, 2005 වස්ගමුවේත් ,2005 විල්පත්තුවේත්, 2009 ඇලහැර අඩවියේදීත්, 2013 තණමල්විලදීත්, 2015 වැල්ලවායේදීත් ,2018. ගිරාණගම ගිරාදුරුකෝට්ටේදීත් , 2019 පොළොන්නරුවේත් ,2019 නිකවැරටියේත්, 2019 මාතලේ ඇලහැර මඩවල උල්පතේදීත්, 2020 දී තවත් නිලධාරියකුත් මෙසේ වන අලි ප්‍රහාරයන්ට ලක්ව මිය ගියහ.

මෙයින් කිහිප දෙනෙක් වන අලි ප්‍රහාරයන්ට ලක්ව ඇත්තේ ගම්වැදි වන අලි ප්‍රහාරයෙන් ගම්මු බේරා ගැනීමට ගිය අවස්ථාවේදි ප්‍රහාරයන්ට ලක්ව තුවාල වූ වන අලින්ට ප්‍රතිකාර කිරීමට යාමේදීය. මීට අමතරව කුමන දී කුළු හරකකු ඇනීමෙන් ලත් තුවාල වලින්ද, යාල පලටුපානදී කිඹුලකුට ගොදුරු වීමෙන්ද වනසත්ත්ව අඩවි සහකාරවරයකු හා අනියම් කම්කරුවකු මිය ගියහ. 

මෙලෙස වන සත්ව ප්‍රහාරයන්ට ලක්ව මියගිය අය අතර කේ. මැණික්රාල (1957.07.04), පී. සුමතිපාල(1979.02.28) සහ එම්.සාජහාන් (1984) මිය ගියහ. විවිධ ජාවාරම් කරුවන්ගේ හා දඩයක්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්වීමෙන්ද වනජීවී නිලධාරීන් ඝාතනය විය. ඒ අය අතර ඩබ්ලිව්.එම්. මුතුබණ්ඩා (1964.09.15), බී.ඩබ්ලිව්. සුරවීර බණ්ඩා(1967.10.10), එච්.ඩබ්ලිව්. සෝමපාල (1978.05.02), පියතිලක(1979), එම්.එස්.ඒ. මොහොමඩ් (1983.10.05), එස්. ප්‍රේමලාල් (1987.08.01), ඩබ්ලිව්.ඒ.ජී. රන්බණ්ඩා (1994.07.03), ජී.ආර්. විජේරත්න(1998.11.17), එස්.කේ.සී. කුමාරසිංහ (2003.06.28), බී. එච්. එම්. ගුණබණ්ඩා(2009.07), ජේ. සෙනෙවිරත්න(2016.07.05) සහ ඒ.එම්.එස්.පී. බණ්ඩාර(2020.04.23) යන අය වෙති. මීට අමතරව ක්ෂේත්‍රයේ විවිධ කටයුතුවල නිරතවී සිටියදී අනතුරුවලට ලක්වීමෙන්ද මියගිය අය වෙති. ඔවුන් අතර ටී.කේ. බුහාරි(1971.06.03), ආර්.ආර්. සෝමපාල(1985.06.20), ඩබ්ලිව්.ජී.සෝමසිරි(1988.06.17), යූ.එස්.අම්පිටිය(1989.08.25), ජී.එම්. දයානන්ද(1993.06.30), ඩබ්ලිව්.ඒ.ඩී. ජයසේකර(1993.06.30), ජී.එච්. ධනසිරි(2005.05.16), ඩබ්ලිව්.ඒ. විජේසේකර(2008.11.30), ඒ.එම්.එස්.පී. බණඩාර(2020.04.23) පී.කේ.එස්. ප්‍රේමරත්න(2020.06.26), ආර්.එම්.පී.ඒ. රත්නායක(2022.03.18) යන අය වේ.

ලොව පුරා වනජීවී සංරක්ෂණ වෘත්තිකයන් වැඩිම සංඛ්‍යවක් මරණයට පත් වී ඇත්තේ වනජීවී ජාවාරම්කරුවන් සමඟ ඇති වූ ගැටුම්වලදීය. ඒ තත්ත්වය ශ්‍රී ලංකාව සමඟ සැසැඳීමේදී යම්කිසි අඩුවක් පෙන්නුම් කළ ද මෙම ක්‍රියාවන් නිසා ඔවුන් ලක්ව සිටින අවධානම සුළුපටු නොවේ.

මෙසේ සේවයේ නියැළී සිටියදී මියගිය අය අතර එක් දිනක වැඩි පිරිසක් මරණයට පත්ව ඇත්තේ තිස්වසරක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී ත්‍රස්තවාදය නිසාය. එහිදී එක් දිනකදී වැඩිම පිරිසක් සිය ජීවිතයෙන් වන්දි ගෙවූයේ 1985 මැයි මස 14 වැනිදා ය. ඒ විල්පත්තුවේදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ කුරිරු ප්‍රහාරයක් හමුවේය. එහිදී ඒ කේ. ආර්. විල්සන්, එච්. එච්. ඒ. බණ්ඩාර, එච්. ගුණවර්ධන, ජී.එම්. ආර්. නවරත්න, ටී. එන්. කේ. ද සිල්වා, ඩී. බී. සෝමරත්න, කේ. බී. හේරත් බණ්ඩා, කේ. චන්ද්‍රදාස, එම්. එච්. සෝමපාල , කේ. කේ. කේ. රත්නායක, එච්. ටී. ඒ. තෙන්නකෝන්, එම්. ජී. ජයරත්න, එල්. පියදාස, එච්. ඒ. කේ. සුබසිංහ, කේ. ඒ. සද්ධාතිස්ස, ඩබ්ලිව්. ආර්. ජී. එම්. වී. සී නුගේගොඩ, කේ. බී. විජේසූරිය, එස්. එම්. දිසාබණ්ඩාර, එච්. එම්. එන්. කරුණාතිලක, ආර්. එම්. බණ්ඩා, ආර්. ඩී. පී. මුණසිංහ, පී. පියදාස , ඒ. ඒ. ටී. ද සිල්වා සහ ආර්. එම්. ජයසිංහ ඩී යන අය ඝාතනය කරන ලදී. එසේම1988 දෙසැම්බර් 18 වැනිදා එන්. ජී. ජිනදාස ද විල්පත්තුවේ කලීවිල්ලු ප්‍රදේශයේදී ඝාතනය කරන ලදී. එසේම 1990 ජනවාරි 27 වැනිදා එම්.එම්.ඩී. පෙරේරා (සහකාර අධ්‍යක්ෂ), ටී.අරුලානන්දන්, කේ. ටී. පී. පෙරේරා, ටී.ඒ. ඩිංගිරි බණ්ඩා යන අය අම්පාර කුඩුම්බිගලදී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කෙරිණි. එලෙසින්ම 1996 ඔක්තෝබර් 20 වැනිදා ඒ.පී. බර්ටි සහ පී.බී.කේ. ධර්මදාස යාලදී ඝාතනය කෙරිණි. ත්‍රස්තවාදී බෝම්බයකට ලක්ව ඩී.එම්.ඒ. දිසානායක (2006.05.26) මියගිය අතර 2007 මාර්තු මස 07 වැනිදා ඩබ්ලිව්. පුෂ්පානන්ද, කේ.ඒ. ජයවර්ධන, සී.පී. නවරත්න සහ එම්. ඒ. විතාන යන අය විල්පත්තුවේ දී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලදී.

මෙය පැය විසිහතර පුරාම රාජකාරිය ඉටු කරන ස්ථානයකි. ඒ නිසා වනජීවි නිලධාරීන් සිය රාජකාරිය කලට වේලාවට සීමා පැනවීම් නොකර මහ ගන කැලයේ මුළු දවසම සේවය කරති. එසේ වීමට හේතුව වන්නේ වන අලීන්ට ගම් වැදිමට මෙන්ම දඩයක්කාරයන්ට හා ජාවාරම්කාරයන්ට කැළෑ වැදීමට කලක් වේලාවක් නැති නිසාය. තම ආසාවට හෝ හදිසි අවශ්‍යතාවට හෝ නිවාඩු ලබා ගම්බිම් බලා යෑමට මේ රැකියාව තුළ ඉඩක් නොලැබෙන්නේ ඔවුන් සතු මේ වගකීම් ගොන්න නිසාය. වනජීවි දෙපාර්තමේන්තුවට අදාළ වනජීවි නියාමක, අඩවි ආරක්ෂක, අඩවි සහකාර වැනි රැකියා සෘජුවම වනය හා සම්බන්ධ වේ. මේ නිසා වල් අලි ගහන වුවද, කොතරම් දඩයක්කරුවන්ගේ බලපෑම් තිබුණ ද සිය සේවය පැහැර හැරීමට ඔවුනට නොහැකිය. ඕනෑම මොහොතක රැකියාවට වාර්තා කිරිමට හෝ කැළෑ වැදීමට ඔවුනට සිදු වේ. යාල විල්පත්තු, වස්ගමුව,උඩවලවේ, මාදුරු ඔය, ලුණුගම්වෙහෙර වැනි ලංකාවේ පැවැති වන භුමි වලින් සියයට 80 ක්ම ආරක්ෂා වන්නේ වනජීවි නිලධාරීන් අතිනි. එහෙත් මේවායේ සිදුවන වන විනාශ මෙන්ම නීති විරෝධී ක්‍රියා එකක් හෝ දෙකක් නොවේ. එසේම සත්ත්ව අපරාධ හා වනජීවි ආඥා පනතේ ආරක්ෂා වන ශාක මෙවැනි ප්‍රදේශවල බහුලය.

කංසා වැවීම්, හේන් කෙටීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා අද ජෛව විවිධත්වයට තර්ජන එල්ල වෙයි. මේ නිසා වනජීවි නිලධාරීන් සිය උකුසු ඇස නිතරම යොමු කරන්නේ මෙවැනි විපත් වලින් පරිසරය ආරක්ෂා කර ගැනීමටය.

වනජීවී සංරක්ෂණ දොර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර සිළුමිණ සමඟ පවසා සිටියේ “ලංකාවේ වනජීවී සංරක්ෂණය කියන කාරණාව ඉතිහාසයේ පටන් පැවතුණත්; පසුකාලීනව විදේශීය සංකල්ප ඔස්සේ වර්ධනය වුණු බවයි. ඒ නිසා ලෝකයේ අනෙකුත් රටවල් නවීන තාක්ෂණය යොදාගෙන මේ කාර්ය සිදු කරන්නේ කොහොමද කියන කාරණය කෙරෙහි මේ වන විට අවධානය යොමුව ඇති බවයි. ඒ අනුව සමස්ත විෂය ක්ෂේත්‍රයම විද්‍යානුකූලව සංරක්ෂණ ක්‍රියාවලියකට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

“නිලධාරීන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොවීම බවත්, මේ කටයුත්ත සාර්ථකව සිදු කිරීමට නම් මේ ඉන්න ප්‍රමාණය මෙන් හයගුණයක පිරිසක් ලබාදිය යුතු බවත් ජ්‍යේෂ්ඨ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන සිළුමිණට පැවසීය. “දැන් ඉන්නේ දාහක් නම් හයදාහක්වත් ඉන්න ඕන. ඒ වගේම ඔවුන්ට මීට වැඩිය හොඳ පුහුණුවක් ලබාදිය යුතුයි. ඒ වගේම ඒ අයට අවශ්‍ය පහසුවක්ම සපයන්න ඕන; වාහන ඉන්ධන, ආරක්ෂිත ඇඳුම් හා උපකරණ වැනි දේ. ඒ වගේම අනෙකුත් ආයතනවල සහය මීට ලබා දෙන්න ඕන. අවසාන වශයෙන් මේ සඳහා මහජනතාවගෙන් සහයෝගයක් ලබාගත හැකි යන්ත්‍රණයක් සකස් කළ යුතු බව” හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වනජීවි අඩවි ආරක්ෂක නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් ලියනගම සිළුමිණට ප්‍රකාශ කර සිටියේ ‘මෙරටේ මුළු භූමි ප්‍ර්‍රමාණයෙන් සියයට 16 ක් පමණ ඇති වන භූමි වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන බවත්; මේ සියයට 16යම අතිශය සංවේදී සුවිශේෂී පාරිසරක කලාප ලෙස හැඳින්විය හැකි බවයි. මේ සියයට 16 හැරුණු කොට ලංකාවේ සියලුම ප්‍රදේශවල වාසය කරන වන සතුන් ආරක්ෂා කිරීමේ වගකීමත් පැවරී ඇත්තේද වනජීවී නිලධාරීන්ට බවයි.

ලෝකයේ විවිධ ජාවාරම් තිබෙනවා. ඒ අතර තියෙන ප්‍රබල සොරකමක් තමයි ජෛව සොරකම. බෙහෙතක් හැදුවත්, ආහාරයකට කිසියම් අගයක් එකතු කළත්, ගහක් හැදුවත්, මලක් හැදුවත්, සුවඳ විලවුන් හැදුවත් මේ සඳහා ලොකු ඉල්ලුමක් ලෝකයේ පවතිනවා. ඉතින් මෙවැනි දෑ පාලනය කිරීමේ වගකීම තිබෙන්නේ අපටයි. නමුත් අපට ඒ සඳහා ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නැහැ. අපට ලෝකයේ ජෛව විවිධත්වය අතින් පොහොසත් රටක් විදියට ඉදිරියට යන්න එහි ආරක්ෂාව සැලසිය හැකි නිලධාරීන් පිරිසක් අවශ්‍ය වෙනවා. අපට භූමියට වඩා අට ගුණයක් විශාල සාගරයක් තිබෙනවා. එය ආරක්ෂා කළ යුත්තෙත් අපමයි. ඒ වගේම මෙහේ එන බොහෝ සංචාරකයන් එන්නේ වනාන්තර නැරඹීම සඳහායි. එනිසා ඒ සඳහා අවශ්‍ය පහසුම් සැපයීමේදී වනජීවී නිලධාරීන්ගේ සහාය සැලකිය යුතු මට්ටමින් අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කිරීම වගකිවයුතු පාර්ශ්වයන්ගේ යුතුකම බව” හෙතෙම පවසයි.

“ වන ජීවී ආයතයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන්ට මූලික වශයෙන් පැවරී තිබෙන කාරය වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත ක්‍රියාවට නැංවීමයි. ඒ අනුව සංචාරක පක්ෂීන් ගේ සිට ලංකා භූමියත් ඊට අයත් මහා සාගරයත් ආරක්ෂා කිරීමේ වගකීම අපමතට පැවරී තිබෙනවා. මීට අමතරව ජනතාවට සහයක් ලෙස ගම් වදින වන අලි පලවා හැරීමේ කාර්යයත් අප විසින් සිදු කරනවා. මෙන්න මේ කාර්යයේදී අපේ නිලධාරීන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුව තිබෙනවා. මෙතන තියෙන්නේ මේ නිලධාරීන්ගේ ගැටලුවක් නොවෙයි ඒ සඳහා තිරසාර විසඳුම් ලබා නොදීමයි. අප ඒ සඳහා විසඳුම් යෝජනා කර ලිඛිතව තොරතුරු අදාළ සියලු පාර්ශ්වයන්ට ලබාදී තිබෙනවා. නමුත් ඒ එකක්වත් මෙතෙක් ඉටුවී නැහැයි සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්. අයි. වසන්ත පීරිස් පෙන්වා දෙයි.

“ වන සතුන්ගේ ගොවිබිම් ගෙවල් ආරක්‍ෂා කරන්න ඕනෑ. විවේකයක් නැතිව පැය විසිහතර පුරාම වැඩ කළත් තමන් කරන රාජකාරියට නිසි වටිනාකමක් නොලැබෙන බව සිළුමිණට ප්‍රකාශ කර සිටියේ වන සත්ත්ව අඩවි ආරක්ෂක, ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. කුමාරසිරි විජේකෝන් ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඒ.ආර්. ප්‍රභාෂ් කරුණාතිලක පවසා සිටියේ “ වනජීවී නිලධාරියෙක් කියන්නේ අවධානමක් අරන් අවධානමත් එක්ක රාජකාරී කරන නිලධාරී කණ්ඩායමක්. අපට අංශ දෙකකින් අවධානම එල්ල වෙනවා. එක අංශයක් තමයි ජෛව සංම්පත්වලට ලොල් වෙච්ච; ඒ මත යැපෙන ඒවා විනාශ කරන දඩයක්කරුවන් සහ ජෛව සම්පත් කොල්ලකරුවන්. මේ කොල්ලකරුවන් අතර සාමාන්‍ය පුද්ගලයාගේ සිට විද්‍යාඥයන් දක්වා අය සිටිනවා. වර්තමානයේ මේ අයගෙන් එල්ලවන බල පෑම අපට දරාගන්න අමාරු මට්ටමක තිබෙන්නේ. මොකද මේ අය පිටිපස්සෙ දේශපාලඥයින් සිටිනවා. සමහර අය පිටිපස්සේ විශාල සමාජ බලයක් සහිතව ජීවත්ව පුද්ගලයන් සිටිනවා. ඉතා ධනවත් ව්‍යාපාරිකයන් සිටිනවා. මිනිස් ප්‍රජාවගෙන් දඩයක්කාරයකුගෙන් එල්ල වන බලපෑම නිලධාරියකු ලෙස පාලනය කළ හැකියි. නමුත් මෙවැනි පුද්ගලයන්ගෙන් එල්ලවන බලපෑම කළමනාකරණය කර ගැනීම ඉතාම දුෂ්කර වී ඇති බවයි.

Comments