
මෑත ඉතිහාසයේ ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රය ඓතිහාසික නඩු තීන්දුවකින් එහෙම පිටින්ම වෙනස් විය. වෙනස් වූවා පමණක් නොව එය ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් එක් ස්වර්ණමය කාලපරිච්ඡේදයක අඩිතාලම දමා දුන්නේය. එය සිදු වූයේ 2013 වසරේ අයිපීඑල් තරගාවලිය අතරතුර එවකට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනකු මුදලට තරග පාවාදීම අතටම හසුවීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශනය කළ විනිසුරු මුකුර් මුඩ්ගල් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක ප්‍රතිඵලයක් ලෙසටය. ඒ අනුව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විශ්‍රාමික විනිසුරු ආර්. එම්. ලෝධාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කළේය. ලෝධා කමිටුවට පැවරුණු රාජකාරිය වූයේ ඒ වනවිට දූෂිත යැයි හංවඩු ගසා තිබුණු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පිරිසුදු කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීමය. එමෙන්ම එරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ යෝජනා කිරීමය. විශ්ලේෂණය කිරීම්, නිගමන, නිර්දේශ සියල්ල ලෝධා වාර්තාවට ඇතුළත් විය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි (CFO) සහ ප්‍රධාන මුල්‍ය නිලධාරි (CFO) පත් වීමේ කොන්දේසි, නිලතල දරන්නන්ගේ වයස් සීමාව, සහ විගණන නිලධාරියකු පත් කිරීම වැනි අත්‍යවශ්‍ය හා වැදගත් කරුණු සියල්ල ඇතුළත්ව ලෝධා වාර්තාව එළි දැක්විණි. කෙටියෙන්ම කියන්නේ නම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලතලවලට පත්වන පුද්ගලයන්ගේ වයස් සීමාව නොඑසේ නම් විශ්‍රාම වයස අවුරුදු 70ක් ලෙස නිර්දේශ කළේය. එපමණක් නොව අපරාධ චෝදනා ඇති හෝ දුර්වල මානසිකත්වයෙන් යුතු හෝ බංකොලොත් පුද්ගලයන් කිසිදාක ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලතලවලට පත් නොවිය යුතු බවට නිර්දේශ කෙරිණි. තනතුරුවලට පත්වන පුද්ගලයන් වෙනත් ක්‍රීඩා සංගම්වල නිලතල දරන්නේ නම් ඉන් ඉවත් විය යුතු විය. ඕනෑම නිලධාරියකුගේ ධුර කාලය වාර දෙකකට සීමා කිරීමටත්, විනිවිදභාවය වඩාත් ශක්තිමත් කිරීමට එක් ප්‍රාන්තයකට එක් ඡන්දය බැගින් ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු වීමත් එම නිර්දේශ අතර විය. ඒ අනුව බිලියන 1.4ක ජනගහණයක් ඇති ඉන්දියාවේ ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්තේ 38 දෙනකුට පමණි. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිධුරයට පත් වන පුද්ගලයාට වසර දෙකකට වඩා ධුර කාලය දීර්ඝ විය නොහැකිය. අයිපීඑල් තරගාවලියට ස්වාධීන පාලක මණ්ඩලයක් පත් විය යුතු විය. ඔවුන් කිසිදු ඔට්ටු තැබීමේ ක්‍රියාවකට සම්බන්ධ නොවන බව සහතික කිරීම සඳහා වත්කම් ද ඉදිරිපත් කළ යුතුව තිබිණි.
නිකුත් වූ සැණින්ම ලෝධා වාර්තාව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ ඉහමොළ රත් කළේය. ඒ හේතුවෙන්ම ඔවුහු එම නිර්දේශවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. එය සිදු කරනු ලැබුවේ ද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් විසිනි. අවසන් තීන්දුවෙන් කියැවුණේ ලෝධා වාර්තාව අනුමත කළ බවය.
එතෙක් මෙතෙක් ඉන්දීය ක්‍රිකට් පරිපාලන ඉතිහාසයේ නව යුගයක ඇරඹුම සටහන් කළ මේ ලෝධා වාර්තාව නිසා එරට ක්‍රිකට් වසන්තය උදා විය. ලොව වැඩිම මුදල් ප්‍රමාණයක් සංසරණය වන ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝධා වාර්තාව මඟින් පිරිසුදු වූයේ එලෙසිනි. එතෙක් කාලයක් ව්‍යාපාරික ප්‍රජාව සිය අභිමතය පරිදි කටයුතු කළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිධුරයේ සුක්කානම අනතුරුව ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන් අතට පත් විය. අනතුරුව හිටපු ක්‍රිකට් නායක සෞරව් ගංගුලි සභාපතිධුරයට පත්වූ අතර, ඔහුගේ ධුර කාලයෙන් පසු මේ වනවිට මුල් පුටුවට පත්වී සිටින්නේ 1983 දී ඉන්දියාවට එක්දින ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකුව සිටි රොජර් බිනි ය. වර්තමානයේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු සිදු වන්නේ එසේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සාධාරණ නඩු තීන්දුවට පින්සිදු වන්නටය.
ඉහත කාරණාව සටහන් කිරීමට ලියුම්කරුට සිත් වූයේ අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිදු වී ඇති සන්තෑසිය නිසාය. කුසලා සරෝජනී වාර්තාව නිකුත් වී අවසන්ය. එහි ඇති නිර්දේශවලට අනුව කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගත්තේය. ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් සිදු කිරීමට විගණකාධිපතිවරයාට බාර දී තිබෙන අතර, එම වාර්තාව අද හෙටම නිකුත් වනු ඇතැයි ඇමැතිවරයා පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි සියලු පාර්ශ්ව බලා සිටිති. ඒ අතරතුර ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා පනත සංශෝධනය කළේය. ඊට ඇතුළත් නව නීති රෙගුලාසි සහ ලෝධා වාර්තාවෙන් නිර්දේශ කළ කරුණු අතර වැඩි වෙනසක් නැත. එහෙත් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා සංගම්වල වයසක නිලධාරීන් ඊට එරෙහිව අභියාචනාධිකරණයට ගිය අතර, අවසානයේදී ක්‍රීඩා පනතේ නව රෙගුලාසිවලට අතුරු තහනම් නියෝගයක් පැනවී තිබේ. ඒ අතරතුර ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව නිලවරණය පැවැත්වීමට වත්මන් සභාපතිවරයා ඇතුළු පාර්ශ්වය නාමයෝජනා බාර දුන්නේය. නිලවරණයට ඉදිරිපත් වන්නේ නව රෙගුලාසි අනුව පමණක් බව කියමින් ප්‍රතිවාදී පාර්ශ්වය නිලවරණයට ඉදිරිපත් නොවීය. මේ අතරතුර ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට හිටපු ක්‍රීඩකයන් සහ පරිපාලකයන් පිරිසක් අභියාචනාධිකරණයට බාර දුන් පෙත්සමේ විභාගය තවමත් අවසන් වී නැත. දැන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දුවන්නේ එවැනි පසුබිමකය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඡන්ද 147කි. මිලියන 22ක ජනගහණයක් සහිත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයට මෙතරම් විශාල ඡන්ද ප්‍රමාණයක් තිබීම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන බොහෝ රටවල විමතියට කාරණාවක් වනු නිසැකය. ක්‍රිකට් බිහි වූ එංගලන්තයේ ක්‍රිකට් පාලක මණ්ඩලයට නිලධාරින් පත් කෙරෙන්නේ ඡන්ද 41ක තීන්දුව මතය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට ඇත්තේ ඡන්ද 6ක් පමණක් බවත්, දකුණු අප්‍රිකාවට ඇත්තේ ඡන්ද 12ක් පමණක් බවත්, පාකිස්තානයේ ක්‍රිකට් නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව 38ක් බවත් වාර්තා වේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇත්තේ ඡන්ද 7ක් පමණි. එසේ නම් මෙරට ක්‍රිකට් ආයතනයට මෙතරම් විශාල ඡන්ද සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කෙසේදැයි සොයා බැලීම වටී.
ක්‍රිකට් ආයතනයේ ජන්ද ගොඩ වැඩි වීමට හේතු වී ඇත්තේ නිලවරණයේදී තනතුරු රැක ගැනීමේ පටු චේතනාවෙන් යුතුව එවකට හිටපු ක්‍රිකට් සභාපතිවරයකු විසින් දිස්ත්‍රික් සංගම් පිහිටුවීමට පියවර ගැනීම නිසා බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. එක් දිස්ත්‍රික් සංගමයකට ඡන්ද 2 බැගින් එතැනම ඡන්ද 44කි. ඊළඟට පළාත් ක්‍රිකට් සංගම් බිහි වී තිබිණි. ඒවායේ ඡන්ද දෙක බැගින් 12කි. සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 56ක්ම බිහි වී ඇත්තේ ඒ අනුවය. එසේ පිහිටුවා ගත් ක්‍රිකට් සංගම්වලින් 80% කම සභාපතිධුරයට පත් වී ඇත්තේ අදාළ දිස්ත්‍රික්වල දේශපාලන බලවතුන් බව නොකියාම බැරිය. හිටපු ජනාධිපතිවරු දෙදෙනකු ද, එවකට දිස්ත්‍රික් සංගම් දෙකක සභාපතිවරු ලෙස කටයුතු කර ඇති අතර, නිලවරණයට ක්‍රිකට් ආයතනයට පැමිණ සිය ඡන්දය ද ප්‍රකාශ කර ඇත. ඒවා එවකට හිටපු ක්‍රිකට් සභාපතිවරයා තනතුරු රැක ගැනීමට සිදු කළ උප්පරවැට්ටි බව බැලූ බැල්මට පෙනේ. තවත් මැති ඇමැතිවරු රැසක් නොයෙකුත් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල සභාපතිධුරයේ කටයුතු කර තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණයේ ඡන්ද ගොඩ වැඩිවූවද, ක්‍රීඩාවේ ප්‍රගතියක් නම් දකින්නට නොලැබිණි. ක්‍රිකට් පරිපාලනයට අවශ්‍ය පරිදි විවිධ පළාත්වල පිහිටුවා තිබූ බොහෝ ක්‍රිකට් සංගම්වල නොතිබුණේ ක්‍රිකට් පමණි. ඒවා හුදෙක් ‘බෝඩ් ලෑලි‘ සංගම් බව කියමින් ක්‍රීඩාවට ළැදි පාර්ශ්ව තවමත් කනගාටු වෙති.
කොළඹ නගර සභා ක්‍රිකට් සංගමය ඊට එක් නිදසුනකි. කොළඹ නගරසභාවට ක්‍රිකට් ඡන්ද 6කි. එම ඡන්ද 6ම අනිවාර්යයෙන් ක්‍රිකට් නිලවරණයේදී සහාය පළ කරන්නේ එකම පාර්ශ්වයකටය. නගර සභාවේ සේවය කරන එක්තරා පුද්ගලයකු එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, ඔහු ක්‍රිකට් ආයතනයෙන් ද වෙනම වැටුපක් ලබන බවට චෝදනා එල්ල වී තිබේ. සංගමයේ සෙසු සාමාජිකයන් ක්‍රීඩාංගණ භාර සේවකයෝ වෙති. විමතියට කරුණ වන්නේ මේ නගර සභා සේවකයන්ට විදෙස් ක්‍රිකට් තරගාවලි නැරඹීමට අවශ්‍ය පහසුකම් සියල්ල ක්‍රිකට් ආයතනයෙන් සපයා දීම බව ඇතැම් පාර්ශ්ව කියති. පසුගිය වසර අගභාගයේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට ද එවැනි පුද්ගලයන්ට වරප්‍රසාද ලැබී තිබූ අතර, විදෙස් සංචාර ලැබූ ඇතැම් පුද්ගලයන් එතෙරදී ‘ගල්‘ වූ බවට ද තොරතුරු වාර්තා වේ. කනගාටුවට කරුණ වන්නේ රට වෙනුවෙන් අප්‍රමාණ දස්කම් දැක්වූ ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන්ට එවැනි වරප්‍රසාද නොලැබීමය. ඔවුන්ට සිදුවී ඇත්තේ රූපවාහිනියෙන් තරග නැරඹීමටය.
ඡන්දය ලබා ගැනීමේ පටු චේතනාවෙන් ක්‍රිකට් පරිපාලකයන් බිහි කළ තවත් ක්‍රිකට් සංගමයක් මොරටුව ප්‍රදේශයේ තිබේ. ඇතැමුන් කියන්නේ එම ක්‍රිකට් සමාජය ‘නමට ක්‍රිකට් ගසනවා‘ කියාය. තුන්වැනි කොටසේ ක්‍රිකට් සංගමයක් වන එය ද බෝඩ්ලෑල්ලකට පමණක් සීමා වූවකි. එහෙත් ක්‍රිකට් ආයතනයෙන් වාර්ෂික අරමුදල් ද යහමින් ලැබේ. ඇතැමුන් කියන්නේ එම ක්‍රිකට් සංගමයෙන් සිදු වන්නේ එහි ඇති සමාජශාලාව පවත්වා ගෙන යෑම පමණක් බවය. ක්‍රිකට් දියුණුවට කිසිදු පියවරක් නැති බවය. එම ක්‍රිකට් සංගමයේ ප්‍රබලයා මේ වනවිට ක්‍රිකට් ආයතනයේ විශාල වැටුපක් සහිත තනතුරක් දරන බවටත් තොරතුරු වාර්තා වේ.
දැනට ක්‍රිකට් ආයතනයේ තනතුරක් දරන එක්තරා පුද්ගලයකු ක්‍රීඩා සමාජ දෙකක සභාපති හා ලේකම් ලෙස කටයුතු කරන බවත් ආරංචි මාර්ග සඳහන් කළේය. ඔහු මහමොළකරුවෙකි. නොයෙකුත් වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින මේ පුද්ගලයා ආසියා කුසලාන තරගාවලිය සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට ක්‍රිකට් ආයතනයේ මුදලින් සංචාරය කළ අයකු බව වැඩිදුරටත් වාර්තා වේ. ඡන්දය ලැබීමේ අපේක්ෂාවෙන්ම පිහිටුවා ඇති ඇතැම් ක්‍රිකට් සංගම්වල සිටින්නේ එකම පවුලේ පියවරු සහ පුත්තු පමණක් බවත්, වාර්ෂිකව ලැබෙන අරමුදල් පවුලේ සාමාජිකයන් අතර බෙදී යන බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කියමින් ක්‍රීඩාවට ළැදි පාර්ශ්වයක් අධිකරණයට ගියේ මෙවැනි සිදුවීම් තවදුරටත් බලා සිටින්නට බැරිම තැන බව කියැවේ. ක්‍රිකට් ආයතනයේ ඡන්ද සංඛ්‍යාව 147 දක්වා ඉහළ ගියේ ඇයිදැයි වටහා ගැනීමට ඉහත කරුණු ඕනෑවටත් වැඩිය. ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව තනතුරුවලට පත්වන පුද්ගලයන් අවම වශයෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටිය යුතු බවත්, එසේ නොවන පුද්ගලයන් ද තනතුරුවලට පත්වී සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව ක්‍රිකට් ආයතනයේ ඉහළම තනතුරක සිටින එවැනි පුද්ගලයකු කාන්තා පාර්ශ්වයට වැඩි ඇල්මක් දැක්වීම හේතුවෙන් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ කාන්තාවෝ ඉන් විපුල ඵල නෙළා ගනිමින් සිටිති. අදාළ පුද්ගලයා සිටින්නේ තමාගේ ‘සාක්කුවේ‘ බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් ද පසුගිය කාලයේ ප්‍රකාශ කර තිබූ බව වාර්තා වේ.
මේ කාරණා සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ව්‍යවස්ථාව තුළ පවතින නීතිමය අඩුපාඩු නිසා විවිධ පාර්ශ්වවලින් මෙන්ම දේශපාලන වශයෙන් ද බලපෑම් එල්ල වීමට වැඩි ඉඩකඩක් තියෙන බව කියමින් හිටපු ක්‍රීඩකයන් සහ පරිපාලකයන් 12 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අභියාචනාධිකරණයට යෑම හැම අතින්ම සාධාරණ බව කෙනකුට සිතෙන්නට බැරි නැත. හිටපු ක්‍රීඩකයන් වන සිදත් වෙත්තිමුණි, මුත්තයියා මුරලිදරන්, මයිකල් තිසේරා, තිලාන් විජේසිංහ, එස්. ස්කන්ධකුමාර්, ආනා පුංචිහේවා, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර, පාලිත කොහොන, විශ්‍රාමික විනිසුරු සලීම් මර්සූක් සහ ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් සහ විජය මලලසේකර යන අය මේ කණ්ඩායමට ඇතුළත් වූහ. පසුකාලීනව හිටපු ක්‍රිකට් සභාපතිවරයකු වූ විජය මලලසේකර ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලාපොරොත්තුව තුරුලු කරගෙන මෙලොවින් සමුගෙන ගියේය.
සැබැවින්ම රටේ අවශ්‍යතාව වෙනුවෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ උත්සාහය ක්‍රීඩාවට ළැදි පාර්ශ්ව ගණනාවක අදහස වී තිබුණේ අද ඊයේක සිට නොවේ. එය දශකයකට ආසන්න කාලයකට විහිදී ගිය එකකි. වසර 2014-2015 කාලයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙවැනි අවශ්‍යතාවක් පැණ නැඟී තිබිණි. 2015 වසරේදී එවකට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කළ නවීන් දිසානායක ඒ පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව පසුවූ අතර, අතුරු කමිටු සභාපතිවරයා ලෙස සිදත් වෙත්තිමුණි මහතා පත් කිරීමෙන් පසු එය සැබෑ වනු ඇතැයි බොහෝ පාර්ශ්ව බලාපොරොත්තු වූහ. එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ද ආශීර්වාදය ඊට ලැබී තිබිණි. එපමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් ඒ සඳහා ‘කොළ එළිය‘ දල්වා තිබිණි. එහෙත් අවසන් මොහොතේදී එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රීඩා අමාත්‍යාංශය නිදහස් පක්ෂයට ගෙන දයාසිරි ජයසේකරට බාර දීමෙන් වැඩේ එතැනම ‘ලොප්‘ විය. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව පසුව ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පත් වූ දයාසිරි ජයසේකර ද ප්‍රකාශ කර තිබිණි. ඒ වනවිට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල යළි ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරයට පත්වී සිටි අතර, ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බව ඔහු ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. ඉන් පසුව අද දක්වා හිටපු ක්‍රීඩා ඇමැතිවරු ද වරින් වර එවැනි ප්‍රකාශ සිදු කළහ. එහෙත් ගැටලුව අවසන් නොවීය.
අවසානයේදී එය යථාර්ථයක් බවට පත් කිරීමට උත්සාහ ගනු ලැබුවේ වත්මන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසිනි. ක්‍රිකට් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ඔහු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ සහභාපතිත්වයෙන් යුතුව දස පුද්ගල විද්වත් කමිටුවක් පත් කරමින් අවශ්‍ය අඩිතාලම දැමුවේය. කවුරුත් කියන්නේ ‘වෙනසක් අත ළඟ‘ බවය.