රාජ්‍ය වියදම් කළමනාකරණය ගැන ආර්ථික විද්වත් මත | සිළුමිණ

රාජ්‍ය වියදම් කළමනාකරණය ගැන ආර්ථික විද්වත් මත

ක්‍රමවේදයේ වෙනසක් ඉල්ලූ අයට මේ වන විටත් එම වෙනස අත්විඳින්නට හැකිව තිබෙන බව රජය කරවන පාර්ශ්වයේ මතයයි. වැඩි මිලට තෙල් ගෙනැවිත් අඩු මිලට ජනතාවට ලබාදීමේ ක්‍රමවේදය, විදුලියට වැඩි මිලක් ගෙවා අඩු මිලට ජනතාවට ලබා දීමේ ක්‍රමවේදය මෙන්ම වැඩි මිලට ගෑස් ගෙනැවිත් අඩු මිලට ජනතාවට ලබා දුන් අස්ථාවර ආර්ථික ප්‍රතිපත්තිය පසෙකලා රජය ස්ථාවර ගමන් මගකට අවතීර්ණ ව, ක්‍රමවේදයේ වෙනසක් ජනතාව හමුවට ගෙනැවිත් තිබෙන බව බොහෝ දෙනකුගේ මතයයි. එමෙන්ම රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් රජයේ වියදමට වඩා ආදායම ඉහළ මට්ටමකට ගැනීමට අදාළ ක්‍රමවේදයන් ද ක්‍රියාවට නංවමින් තිබේ. මේ පිළිබඳව ආර්ථික විශේෂඥයන්ගෙන් සිළුමිණ කළ විමසීමකදී දැක්වූයේ මෙවන් අදහස්ය.

මේ ආයතන තුළ ඇති නාස්තිය, දූෂණය නැති කළ යුතුයි
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ හිටපු අංශාධිපති හා ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

රටට නොගැළපෙන සහනාධාර රාමුවකයි, අපි ගමන් කළේ. රටට නොගැළපෙන ආකාරයට රාජ්‍ය අංශය ව්‍යාප්ත කළා. ඔරොත්තු නොදෙන ආකාරයෙන් රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබන්නට වුණා. රටට නොගැළපෙන පරිද්දෙන් දේශීය හා ජාත්‍යන්තර ණය ලබා ගැනීම් සිදු කළා. ඒ සමඟම රටේ පුද්ගලික අංශය අධෙර්යයට පත් කරමින් ආර්ථිකය හානිකර මට්ටමට ගෙනාවා. නිදහසින් පසු නවීකරණ වැඩපිළිවෙළ හා කාර්මීකරණය නොසලකා හැරියා. රටේ ආර්ථික ප්‍රතිපත්ති දෙස බැලිය යුත්තේ මේ පසුබිම තුළ සිටයි. රජය උත්සාහයක් ගන්නවා මේවා නිවැරැදි කරන්නට. තවමත් රාජ්‍ය අංශයේ අනවශ්‍ය වියදම් හා නාස්තිය අඩු කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නැහැ. නමුත් ආදායම වැඩි කිරීම ගැන පමණක් කතා කරනවා. කිසියම් ආයතනයක ආදායම් වියදම් අතර අසමතුලිතතාවන් ඇති විට ආදායම හා වියදම යන දෙපැත්ත ගැනම අවධානය යොමු කළ යුතුයි. ජනතාවට ලැබෙන ප්‍රතිලාභ කපා හැර තියෙනවා. නමුත් වරාප්‍රසාද ලත් පංතියේ එවැනි කප්පාදුවක් පෙනෙන්නට නැහැ. ගෑස්, විදුලිය තෙල් මිල ඉහළ යද්දි මේවාත් වෙනස් විය යුතුයි. නි‍ෙවසක ළමයින්ට ලැබෙන ප්‍රතිලාභ අඩු කරනවා නම් පවුලේ අම්මා තාත්තාගේත් වියදම් කපා හැරිය යුතුයි. මෑත කාලයේ බොහෝ දේවල මිල ඉහළ ගියා. සාමාන්‍ය කෙනකුගේ ආදායම හතරෙන් පංගුවක් වුණා. ජනතාවට තමන්ගේ වියදම් වුණත් කපා හැරීමේ සීමාවක් තියෙනවා.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර රාශියක් ගෙන තියෙනවා. නමුත් වියදම් කපා හැරීම ගැන අවධානය මදි. ආදායම් වැඩි නොකර අත්‍යාවශ්‍ය දේවල මිල වැඩි කිරීම සාමාන්‍ය ජනතාවට තවත් බර පැටවීමක් පමණයි. මේ නිසා වහාම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලික අංශයට දිය යුතුයි. තෙල්, ගෑස්, ඉන්ධන මිල වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඛණිජ තෙල්, විදුලි බල, ජල සම්පාදන ආයතන බලධාරීන් සිතාගෙන ඉන්නේ ඔවුන් වරප්‍රසාද ලත් පන්තියක් බව. මේ අය දුප්පත් ජනතාවගේ කරපිට නැඟලයි යන්නට සූදානම් වන්නේ. මේවා තුළ සිදුවන විවිධ වංචා තියෙනවා. ක්‍රමවේදයේ වෙනසකට ඒවා ගැනත් සිතිය යුතුයි.

රජයට තව කිරීමට බොහෝ දේ තියෙනවා
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න

 රජයට තව බොහෝ දේ කරන්න තියෙනවා. පාඩු ලබන මේ ආයතන පවත්වා ගෙන ගියේ ණය මතයි. තෙල්, විදුලි මිල අඩුවෙන් තිබ්බා. නමුත් මේවා අයවැයෙන් පියවා ගෙන ගියා. දැන් එසේ නොකර පාඩු නොලබන තත්ත්වයට මිල ගණන් ඉහළ දමා තියෙනවා. පිරිවැය අඩු කිරීමට, තරගය වැඩි කිරීමට හා, වංචා දූෂණ අඩු කිරීමට තවමත් පියවර ගෙන නැහැ. සියලු දේ පාරිභෝගිකයා මතට වැටිලා. මෙය තිරසර ලෙස සකස් කිරීමට නම් වියදම් අඩු කිරීමේ පැත්තෙනුත් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. විදුලි බිල, ඉන්ධන බිල වැඩි කර ලාභ ලබන තත්ත්වයකට ගෙන ඒම පමණක් නොව මේ තුළ නාස්තිය දූෂණය, පිරිවැය අඩු වීමේ ක්‍රියාමාර්ගවලට යා යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කිරීමට බදු පදනම වැඩි කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයයි. බොහෝ රටවල බදු ගෙවීම් සඳහා තාක්ෂණය භාවිත කරනවා. අපේ පුංචි රටේ එවැනි තාක්ෂණය පදනම් වූ ආදායම හා වත්කම් මැන ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා රාජ්‍ය අංශයේ ආදායම ප්‍රශස්ත මට්ටමට වැඩි කර ගන්න නොහැකි වෙලා තියෙනවා. මේ වන විට කර ඇත්තේ ලෙහෙසියෙන්ම හසු කර ගත හැකි පඩි ලබන පිරිස් හසුකර ගැනීමයි. ඒ නිසා ඊට වඩා පුළුල් ක්‍රමවේදයකට යා යුතුයි.

රජය විසින් සිදු කළ ක්‍රමවේදයේ සාධනීය වෙනසක්
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

විදුලිය, ගෑස් ඉන්ධන කාලයක් පුරාවට නියම මිල වෙළෙඳපොළ තුළ නිරූපණය වුණේ නැහැ. රජය සහනාධාර යටතේ ලබා දීමක් පමණයි සිදු වුණේ. මෙහි ප්‍රතිඵලය ලෙස මේ ආයතන විශාල ලෙස පාඩු ලැබුවා. මේ පාඩුව පිරෙවුවේ ණය ලබා ගැනීම් හා බදු මුදල් හරහායි. මෙවැනි සහනාධාර ලබා දීමකදී වැඩි ප්‍රතිලාභ ලැබූයේ ආර්ථිකයේ යමක් කළ හැකි පිරිසයි. අද ගෑස්, විදුලිය, ඉන්ධන වැඩිපුර භාවිත කරන්නේ යමක් කළ හැකි පිරිසයි. මේ නිසා රජය නියමාකරයට නිරූපණය වන පරිදි මිල හැඩ ගැස්වීමක් සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ආයතන පාඩු නොවී පවත්වාගෙන යෑමටත්, බදු ආදායම වෙනත් දෙයකට යොමු කිරීම රජයට හැකි වුණා. සහනාධාරය අහිමි වුණේ මධ්‍යම හා ඉහළ පන්තියටයි. රජයේ සුබසාධන ඇති හැකි අය විසින් නතු කරගත් ක්‍රමය මේ හරහා වෙනස් වුණා.

. සුබසාධනය දිය යුත්තේ නිශ්චිත ඉලක්ක පිරිසටයි. ඉබාගාතේ ගිය ක්‍රමය වෙනසකට ලක් වුණා. නමුත් මේ මිල හැඩ ගැස්සවීමෙන් පහළ පන්තියට යම් තෙරපුමක් ආවා. මේ නිසා පහළ පන්තියට ඇති වූ මේ තෙරපුම ලිහිල් කිරීමට ඉලක්ක සහනාධාර වැඩසටහනක් රජය කළ යුතුයි. අප්‍රේල් මස සිට රජය මේ සඳහා විකල්ප වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම්. මිල වෙනසට විරුද්ධ හඬක් නැඟෙන්නේ ඉහළ හා මධ්‍යම පාන්තිකයන්ගෙන්. මේ නිසා විදුලි, ගෑස්, ඉන්ධන භාවිතය අරපිරිමැස්මෙන් සිදු කළ යුතුයි. ගෑස්, ඉන්ධන, විදුලිය සඳහා නියම මිල නිරූපණයක් සිදු විය යුතුයි. එසේම මිල පමණක් වැඩි කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ ආයතනවල පවතින අකාර්යක්ෂමතා, වංචා,දූෂණය, නාස්තිය ද නැති කළ යුතුයි. ඒ වෙනස්කම් මිලක් සමඟ වෙනස් විය යුතුමයි. මෙය රජය විසින් ගත් ක්‍රමවේදයේ සාධනීය වෙනසක්. පවතින ක්‍රමවේදයේ වෙනසක් සිදු නොවන්නේ නම් රටකට අනාගතයක් නැහැ.

ව්‍යාපාරිකයෝ කිව්වේ නැහැ,  වැඩියෙන් ගෙනත් අඩුවට දෙන්න කියලා
- ලාංකේය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිනි ටානියා එස්. අබේසුන්දර

ව්‍යවසායකයන් ලෙස දේශපාලනඥයන් ගන්නා තීන්දු තීරණවලට වගකියන්න අපි සූදානම් නැහැ. ව්‍යවසායකයන් හා ජනතාව කියන්නේ නැහැ ඡන්ද බලාගෙන මේ ප්‍රතිපත්ති හදන්න කියලා. පසුගිය කාලයක් පුරාවට ඡන්ද බලාගෙන ප්‍රතිපත්ති සකස් කළ නිසාවෙන් ඇති වූ ඵල විපාකයි අපි මේ ගෙවන්නේ. නමුත් තව දුරටත් සිදු වන්නේ එයමයි. මේ සියලු බලධාරීන් එදත් අදත් හිටියා. තනතුරුවල වෙනස පමණයි සිදු වුණේ. මේ අයට කියන්න බැහැ, අපි දන්නේ නැහැ කියලා. ප්‍රතිපත්ති සකස් කිරීමේදී මේ අයත් එකතු වුණා. ව්‍යාපාරිකයන් කවුරුත් කිවුවේ නැහැ වැඩියෙන් ගෙනත් අඩුවට දෙන්න කියා. ඒ සියලු දේවල් කළේ ඡන්ද බලාගෙන. දුප්පත්කම රටේ ඇති වුණා. විනිවිද බව හා ප්‍රතිපත්ති හරියාකරව සකස් කර ව්‍යාපාර කරගෙන යෑමට පසුබිම සකස් විය යුතුයි. රජය සිතනවා නම් තෙල්, විදුලිය, ගෑස් වැඩි මුදලට ගෙන අඩු මිලට ලබා දුන්නා යැයි කියා සිදුව ඇත්තේ මහජනතාව මුළා කිරීමක් පමණයි. මුළා කිරීමේ ප්‍රතිපත්තියක ඵල විපාකවලටයි අපි මුහුණ දී ඇත්තේ. උද්ධමනය පාලනය කිරීම ආරම්භ වුණේ රට නොව මහ බැංකුව බංකොලොත් වූ පසුවයි. අදටත් රට බංකොලොත් නැහැ. අද වෙළෙඳෙපොළ බලහත්කාරකමින් හකුළවලා. ඉන්ධන, විදුලි, බැංකු පොලි විශාල වශයෙන් වැඩි වෙලා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ජිවත්වීම උල්ලංඝනය වන පරිදි බොහෝ අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වීම් නැවැත්වූවා. මේ වාතාවරණය තුළ අපිට වෙලා තියෙන්නේ පොළොවේ පස් කන්න.

මිල ගණන් සකස් විය යුත්තේ ජාතික ආර්ථිකයට ගැළපෙන ආකාරයෙනුයි
- දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුමනසිරි ලියනගේ

බල ශක්තීන්හි වැදගත්කම මිලෙන් පමණක් මිනිය නොහැකියි. මේවාගේ ඇති කරන වෙනස්කම් ආර්ථිකයේ සියලු අංශවලට බලපානවා. කාර්මික දියුණු රටවල බලශක්තිය නිෂ්පාදන මිලට වඩා අඩුවෙන් නිෂ්පාදකයන්ට ලැබෙන පරිදි කටයුතු කරනවා. චීනය, වියට්නාමය වැනි රටවල විදේශිකයන් වැඩියෙන් ආයෝජනය කරන්නේ ඇයි? ඒ රටවල බලශක්ති නිෂ්පාදන වියදම අඩුයි. අද ආණ්ඩුව අනුගමනය කරන්නේ IMF කියපු දෙයක්. බලශක්ති ආයතනය පවත්වා ගෙන යාම ගැන පමණක් සිතුවත් ජාතික ආර්ථිකය සැලකිල්ලට ගන්නේ නැහැ. මෙවිට වාසි ලබන්නේ බදුකාරයනුයි. නිෂ්පාදන වියදම පමණක් සැලකිල්ලට ගෙන තෙල්, විදුලිය, ගෑස් වැඩිකිරීමේ ප්‍රතිපත්තිය වැරැදියි. ජාතික ආර්ථිකයට ගැළපෙන පරිදි මිල ගණන් සකස් කළ යුතු වෙනවා. එසේ වුවහොත් පමණයි, මේ බලශක්ති ප්‍රශ්නය ජාතික ආර්ථිකයේ කොටසක් ලෙස විසඳා ගත හැක්කේ. විදුලිය භාවිත කරන නිෂ්පාදන ආයතනවලට කොතරම් බලශක්ති පිරිවැයක් දැරිය හැකිද? එය බලශක්ති සැබෑ මිල ද? එයට අඩු ද? යන කරුණු කාරණා අනුව මිල තීරණය කළ යුතුයි. හුදු සමස්ත ජාතික ආර්ථිකයේ පැවැත්ම අනුවයි, මෙය තීරණය කළ යුත්තේ. ඒ සමඟ ම නාස්තිය හා දූෂණය නැති විය යුතුයි. රටේ ආර්ථිකය බිඳ වැටී ඇත්තේ නාස්තිය දූෂණය නිසාම නෙමෙයි. අප අනුගමනය කරන ආර්ථික මූලධර්මයන්ගේම වැරැද්ද නිසයි.

බදු ගෙවීම කාටත් සාධාරණ විය යුතුයි
- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය නවරත්න බණ්ඩා

පසුගිය කාලයේ මහජනතාවගේ ඡන්ද ලබා ගැනීමටයි, භාණ්ඩ පිරිවැයට වඩා අඩුවෙන් දුන්නේ. එදා කිවුවේ සුබ සාධන ප්‍රතිපත්තියක් කියලා. ඒ ප්‍රතිපත්තිය නිසයි අපේ රට මේ තත්ත්වයට වැටුණේ. නමුත් එදා ඇති තරමට මුදල් තිබුණා. ඒ නිසා අඩු මිලට දිය හැකිව තිබුණා. නමුත් සිදු වූයේ රැවටීමක්. IMF කියනවා අපේ සුබසාධන කපා හරින්න කියලා. එවිට සුබ සාධන කපා හැරීමට ඇති එකම ක්‍රමය එය මහජනතාව මත පටවා ආර්ථිකය හකුළුවා ලීමයි. පසුගිය කාලයේ වූ වැරැදි හදන්න යන්නේ මහජනතාව පීඩනයට පත් කරමින්. භාණ්ඩ මිල වැඩි කාලයේ මේවායේ මිල වැඩි කිරීම අසාධාරණයි. පාඩුව මඟහරවා ගැනීම සඳහා මෙය කරනවා කිවුවට එදා මේක කරන්න තිබුණේ නැද්ද? එදා මේ අය නොකළ දේවල අද කරන්න හදනවා. අද මේ දේවල් කරන්නේ ජාත්‍යන්තරයට පේන්න. ජනතාවට සහනයක් දිය යුතුයි. ආදායම් වැඩි නොවුණු අවස්ථාවක මිල වැඩි කිරීමට රජයක් අවශ්‍ය නැහැනේ. විදුලි බිල වැඩි කිරීම මහජනතාව කළ වැරැද්දක් නෙමේ. IMF පවා කියන්නේ නැහැ, ජනතාව මේ ආකාරයෙන් පීඩාවට පත් කරන්න කියලා. විදුලි, ඉන්ධන හරහා බොහෝ වංචා දූෂණ සිදු වුණා. අනවශ්‍ය ආකාරයෙන් වැටුප් ඉහළ නංවා ගත්තා. මේ නිසයි පාඩු වුණේ. ඒත් ජනතාව විදුලි බලය, ඉන්ධන ගන්නේ මුදලට. නමුත් මේ අය කළ දේවලට වන්දි ගෙවන්නේ ජනතාව. අද බදු නොගෙවන පිරිස් ඕන තරම්. මේ අය නොරිද්දවා, සාමාන්‍ය ජනතාවගෙන් මුදල් හූරා කනවා. බදු ගෙවීම නොව හූරා කෑමකුයි අද සිදු වන්නේ . IMF ඇපයට තබා මහජනතාව බෙල්ලටම හිර කරලා. බදු ගෙවීම කාටත් සාධාරණ විය යුතුයි.

අකාර්යක්ෂමතාවේ පිරිවැයත් අද ජනතාවට මත පැටවිලා
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට විකල්ප ක්‍රම ඕනෑ තරම් තියෙනවා. සෑම රටක්ම පිරිවැය පදනම් කරගෙන තමයි ගෑස්, විදුලි, ඉන්ධන මිල ගණන් තීරණය කරන්නේ. නමුත් ලංකාවේ පිරිවැය ගණනය කිරීම තුළ අකාර්යක්ෂමතා පිරිවැය ඕනැ තරම් තියෙනවා. උදාහරණයක් ලෙස 2017 ඇස්තමේන්තුවලට අනුව ලංකා ගමනාගමන මණ්ඩලය දුර ධාවනය වන බස් රථයක දිනක පිරිවැය රුපියල් 21,000 ක්. පෞද්ගලික බස් රථයක දිනකට සියලු පිරිවැය රුපියල් 9000 යි. නමුත් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් රු 21,000 ගිහිල්ලත් ලැබුවේ පාඩු. මෙතැන වැඩිපුර තිබුණේ අකාර්යක්ෂම පිරිවැයයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සෑම තැනකම තියෙන්නේ අකාර්යක්ෂමතා පිරිවැය. මේ නිසා අකාර්යක්ෂමතා පිරිවැය අඩු කළ යුතුයි. අකාර්යක්ෂමතා පිරිවැය අඩු කිරීමෙන් පසු පැවැති මිල ගණන් යටතේ වුව ද ලාභ ලබන තත්ත්වයට එනවා. ඒ තුළ මිල ගණන් පහතට ගෙන ආ හැකි වෙනවා. විදුලි බිල ව්‍යාපාරිකයකුට වුව ද දැරීමට නොහැකි පරිදි වැඩි වුණේ පිරිවැය මත පදනම්ව නෙමෙයි. අකාර්යක්ෂමතාවේ පිරිවැයත් අද ජනතාවට මත පැටවිලා. මේ ආයතනවල විශාල වැටුප් ගන්න අය ඉන්නවා. මේවා පුළුල් ප්‍රතිසංස්කරණවලට යා යුතුයි. ප්‍රතිසංස්කරණ යනු විදුලි, ගෑස් මිල වැඩි කිරීම නෙමෙයි. අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලට ගොස් මේ ආයතන කාර්යක්ෂම කිරීමට වහා කටයුතු කළ යුතුයි. අද වන විට රාජ්‍ය යන්ත්‍රණය තුළ සිටින අයගේ අකාර්යක්ෂමතාව ඉහළයි. සෑම රාජ්‍ය සේවකයකුම වැඩ කරන කෙනකු විය යුතුයි. ආයතනවලින් ලැබෙන සේවාව නිවැරැදි ලෙස සකස් කර, හොඳ සේවාවක් ලබා දුන් පසු මිල වැඩි කිරීම සිදු කළාට ප්‍රශ්නයක් නැහැ. සේවාව කඩිනමින් ලැබිය යුතුයි. හොඳ සේවාවක් ලැබෙනවානම්, සේවාව කාර්යක්ෂම නම් ජනතාව කොපමණ මුදලක් ලබා දී හෝ එය ලබා ගන්න කැමැති වෙනවා. අද වියදම් පාලනයට අනුගමනය කරන්නේ ඉතා අසාර්ථක ක්‍රම. මහා පරිමාණයේ වියදම් පාලනය නොකර පොඩි පොඩි වියදම් පාලනය කරනවා.

Comments