රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව | සිළුමිණ

රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

සැකකරුවන් අධිකරණය වෙත රැගෙන යමින්

- ප්‍රථම වතාවට මෙරට අපරාධ නඩුවකට DNA සාක්ෂි යොදා ගත් අවස්ථාව මෙය වීම විශේෂත්වයකි
- ධම්මිකාට සවස දෙක පමණ වන විට යාබද නිවෙසකින් අසාමාන්‍ය ශබ්ද ඇසෙන්නට වූ අතර, ඒ හඬවල් ඇසෙන්නේ ලලනදාසගේ නිවෙසින් බව ඇය නිගමනය කළාය
- මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දඬුවම නියම වී සිටි උක්කුවා මීට වසර හතරකට පමණ පෙර අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී සිරකරුවන් අතර ඇතිවූ අාරවුලකදී ඝාතනය විය

පරාධකරුවන් අති දක්ෂ නිර්මාණකරුවන් බවට අපරාධ නීතියේ මතවාදයක් ඇත. ඊට හේතුව තම අවසන් අභිප්‍රාය ඉටු කර ගැනීමට ඔවුන් ඉතා ශූර ලෙස සිය අපරාධය සැලසුම් කරන බැවිනි. එහෙත් අපරාධයේ මුහුණවර කුමක් වුවත්, එම අපරාධය සිදු කිරීමට භාවිත කරන තාක්ෂණය කවර මට්ටමක පැවතියද අවසානයේදී අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු වීම වැළැක්විය නොහැකිය. 1999 වසරේ හෝකන්දරදී සිදු වූ අතිශය අමානුෂික සය පුද්ගල ඝාතනය මෙරට අපරාධ නීතියේ වැදගත් නඩු තීන්දුවක් ලෙස සටහන් වේ. 1999 වසරේ පෙබරවාරි මස 10 වැනිදා සිදු වූ ඒ ආමනුෂික මිනිස් ඝාතනය පිළිබඳ කරුණු මෙතැන් සිට විමසුමට ලක් කරමු. 

හෝකන්දර පදිංචි මැදි වියේ කාන්තාවක වූ ධම්මිකාට 1999 වසරේ පෙබරවාරි මස 10 වැනිදා සවස දෙකට පමණ යාබද නිවෙසකින් අසාමාන්‍ය ශබ්ද ඇසෙන්නට වූ අතර, ඒ හඬවල් ඇසෙන්නේ ලලනදාසගේ නිවෙසින් බව ඇය නිගමනය කළාය. සවස හය පසු වුවත් ඒ නිවෙසෙන් ඇසෙන ශබ්දවල අඩුවක් නොවීය. කෙමෙන් ගොම්මන් අඳුර පැතිර යද්දී ධම්මිකාගේ නිවසේ දුරකතනය නාද විය. දුරකතනයේ එහා කොනේ සිටියේ ඇය හොඳින් දන්නා හඳුනන පුද්ගලයෙකි. ඔහු බොරලැස්ගමුව පදිංචි චන්ද්‍රගුප්ත නමැති තැනැත්තෙකි. චන්ද්‍රගුප්ත දුරකතන හරහා ඇසූ ප්‍රශ්නවලට ධම්මිකා පිළිතුරු දුන්නේ කිසියම් භීතියකින් බව අවබෝධ කර ගත් චන්ද්‍රගුප්ත එයට හේතුව විමසා සිටියේය. නුදුරින් පිහිටි ලලනදාසගේ නිවෙසෙන් ඇසෙන ශබ්ද පිළිබඳ ඇය චන්ද්‍රගුප්තට හෙළිදරව් කළාය. ධම්මිකා අනාවරණය කළ කරුණු අනුව කිසියම් අපරාධයක් සිදු වී තිබෙන බව චන්ද්‍රගුප්තට ඉවෙන් මෙන් දැනුණි. එසේ අසාමාන්‍ය ශබ්ද ඇසෙන නිවෙසේ ලිපිනය තමාට ලබා දෙන ලෙස ඔහු ධම්මිකාට කීවේය. ලලනදාසගේ නිවෙසේ ලිපිනය තමන් හරියටම නොදන්නා බව කී ධම්මිකා අනුමාන වශයෙන් එම නිවෙසේ ලිපිනය ඔහුට ලබා දුන්නාය.

ලලනදාසගේ නිවෙසේ සාමාජිකයන් සමඟ ධම්මිකාගේ නිවෙසේ කිසිවකු වැඩි ඇයි හොඳයියක් නොතිබුණද අමනාපයක් ද නොවීය. ලලනදාසට හෝකන්දර ප්‍රදේශයේ ඉඩම් රාශියක් තිබුණු අතර, ඔහු ඉහළ ආර්ථික තත්ත්වයක් ද අත්කර ගෙන සිටියේය. එහෙත් ලලනදාස මෙන්ම ඔහුගේ පවුලේ අය ද ගමේ කිසිවකු සමඟ වැඩි ආශ්‍රයක් තිබුණේ නැත. එහෙත් ලලනදාස පවුලෙන් ගමේ කිසිවකුට කිසිදු හානියක් වූයේ ද නැත. ලලනදාසගේ බිරිය කොලුරගේ සිරියාවතී වූ අතර, ලලනදාසට දරුවන් හතර දෙනකි. චන්ද්‍රා ප්‍රියංගනි දියණිය ගිණුම් ලිපිකාරිනියක වූවාය. චිත්‍රා දයංගනි දියණිය ජයවර්ධනපුර විශ්වවිද්‍යායේ වාණිජ පීඨයේ උපාධි අපේක්ෂිකාවක් විය. ඊළඟ දියණිය වු නයනා දමයන්ති ගණකාධිකාරි පාඨමාලාවක් හදාරමින් සිටියාය. එකම පුතු නිශ්ශංක කාර්මික ශිල්පියකු විය.

ධම්මිකාගෙන් ලලනදාසගේ නිවෙසේ ලිපිනය ලබා ගත් චන්ද්‍රගුප්ත මඳක් කල්පනා කළේය. ධම්මිකා පැවසූ කරුණු තලංගම පොලිසියට දුරකතන ඇමතුමක් හරහා චන්ද්‍රගුප්ත ලබා දුන්නේය. ඒ අවස්ථාව වන විට තලංගම පොලිසියේ රාජකාරියේ නිරතව සිටි තලංගම පොලිසියේ පොලිස් පරීක්ෂක සුරවීර ඇතුළු කණ්ඩායමක් රාත්‍රී එකොළහට පමණ ලලනදාසගේ නිවෙස බලා පිටත් වූහ. පොලිසිය හෝකන්දර, අමරගොඩ පාරේ පිහිටි නිවෙසට යන විට එහි දොරවල් විවෘතව තිබීම පොලිස් පරීක්ෂකවරයාගේ බලවත් සැකයට හේතුවක් විය. නිවෙස සෝදිසි කිරීමේදී ඉතා සාහසික ලෙස ඝාතනය කර තිබුණු මළ සිරුරු පහක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. එසේ ඝාතනය කර තිබුණේ ලලනදාස, ඔහුගේ බිරිය සිරියාවති සහ ප්‍රියංගනී, දයාංගනී සහ නයනා යන දියණියන්ය. ලලනදාසගේ සිරුර තිබුණේ පිටුපස දොරෙන් එම නිවෙසට ඇතුළු වන තැන වී ගබඩා කිරීමට භාවිත කළ විශාල ලී පෙට්ටිය මතය. ලලනදාසගේ අත් සහ කකුල් ශක්තිමත් කඹයකින් බැඳ තිබුණි. ලලනදාසගේ එක දියණියක් වන දයංගනී ඝාතනය කිරීමට පෙර දූෂණයට ලක් වී තිබෙන බව පොලිසියට බැලූ බැල්මට පෙනී ගියේය. ඇයගේ සිරුර එල්ලා තිබුණු අතර, අපරාධකරුවන් ඉතා දරුණු ලෙස හැසිරී ඇති බව පැහැදිලි විය. මෙම මළ සිරුරු පහ සොයා ගැනීමෙන් පසු පොලිසිය නිවෙසේ පිටත විපරම් කර බැලුවේය. ලලනදාසගේ නිවෙස පිහිටා තිබූ විශාල පොල් ඉඩමේ මැද ලලනදාසගේ පුතා නිශ්ශංක ඝාතනය කර තිබුණු අතර, ලලනදාසගේ අසල්වැසියකු වූ අමරදාස ද ඉතා බරපතළ තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් බිම වැතිරී සිටියේය. පොලිසිය වහාම අමරදාස රෝහලට ගෙන ගියද පසුව ඔහු මිය ගියේය.

අපරාධය සිදු වු ස්ථාන පරීක්ෂා කිරීමේදී පොලිසිය අපරාධයට සම්බන්ධ දෑ ලෙස අඩි හයක් පමණ දිග ලේ තැවරී තිබුණු අලවංගුවක්, ලේ සහ මඩ තැවරුණු කිතුල් පොල්ලක්, ගලා ගිය රුධිරය, හිස් සිගරැට් පැකැට්ටුවක් සහ සිගරැට් අළු සහ කොන්ඩම් එකක් සොයා ගත්තේය. පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙම පුද්ගලයන් සය දෙනාගේ මරණය සිදු වී ඇති ආකාරය සිය වාර්තාවේ පැහැදිලි කර තිබුණි. ලලනදාස ඝාතනය කර තිබුණේ කඹයකින් ගෙල සිර කිරීමෙන් වන අතර, ඔහුගේ සිරුරේ බාහිර තුවාල දහ තුනක් සහ එක් අභ්‍යන්තර තුවාලයකි. නයනා දමයන්තිගේ බෙල්ලේ කැපුම් තුවාල විය. ලලනදාසගේ බිරිය වන සිරියාවතිගේ සහ දියණිය ප්‍රියංගනීගේ ද බෙල්ලේ බරපතළ කැපුම් තුවාල දක්නට ලැබුණි. දයාංගනී එල්ලා මරා තිබුණු අතර, ඇයගේ ලිංගාශ්‍රිතව තුවාල තිබුණි. ඇය එක් අයකු විසින් හෝ කිහිප දෙනකු විසින් දූෂණයට ද ලක් වී තිබුණි. පොල් ඉඩමේ මරා දමා තිබුණු නිශ්ශංකගේ බෙල්ලේ ද ඉතා බරපතළ කැපුම් තුවාල විය.

මෙම සය පුද්ගල ඝාතන පිළිබඳ පරික්ෂණ කටයුතු කළ පොලිසියට ඉතා වැදගත් කරුණු රාශියක් අනාවරණය කර ගැනීමට හැකි විය. අමරදාස ලලනදාසගේ අසල්වැසියකු වූ අතර, මෙම පවුල් දෙක අතර දීර්ඝ කාලීන කෝන්තරයක් විය. තමන්ගේ පාඩුවේ ජීවත් වූ ලලනදාසට අමරදාසගේ පවුලේ සාමාජිකයන්ගෙන් නිතර නිතර විවිධ හිරිහැර සිදු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිදරව් විය. මෙම හිරිහැරවලට හේතුව වී ඇත්තේ අමරදාසගේ පවුලේ සාමාජිකයන්ට ලලනදාසගේ පවුලේ ඉහළ ජීවන තත්ත්වය පිළිබඳ ඇති වූ බලවත් ඊර්ෂ්‍යාවයි. ලලනදාසගේ දරුවන් උසස් අධ්‍යාපනය ලබා සිටීමත් මේ වන විටත් ඔවුන් කිහිප දෙනකුම ඒ වන විටත් උසස් රැකියාවල නිරතව සිටීමත් ඒ ඊර්ෂ්‍යාවට ප්‍රබල හේතුවක් විය. අමරදාසගේ පුතා ගයාන් ඉගෙනුම අතරමඟ කඩාකප්පල් කර ගත් අයකු විය. මේ හේතු නිසා ලලනදාසගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ අමරදාසගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සිත් තුළ පැසවමින් තිබූ වෛරය උච්චතම අවස්ථාවට පැමිණියේ 1999 වසරේ පෙබරවාරි 10 වැනිදාය.

අමරදාසගේ පවුලේ සාමාජිකයන්ගෙන් ලලනදාසගේ පවුලට සිදු වන අතොරක් නැති හිරිහැර නිසා අමරදාසට එරෙහිව ලලනදාස පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පැමිණිල්ල විභාග කළ පොලිසිය අමරදාසට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරුවේය. මෙම නඩුව මෙම ඝාතන සිදු වන අවස්ථාව වන විටත් විභාග කරමින් පැවතුණි. මෙම නඩුව 1999 පෙබරවාරි 10 වැනිදා ද කැඳවූ අතර, එදින පැමිණිලි පාර්ශ්වය වන ලලනදාසගේ බිරිය සහ දියණිය ප්‍රියංගනී මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියහ. විත්තිය වූ අමරදාස සහ ඔහුගේ පුතු ගයාන් අධිකරණයට පැමිණ සිටියේ නැත.

අධිකරණය මගහැර සිටි ගයාන් එදින තම නිවෙසේදී අමරදාසගේ සේවකයකු වන උක්කුවා, උක්කුවාගේ මිතුරන් දෙදෙනකු වන සම්පත් සහ සිරිවර්ධන ද ගයාන්ගේ මිතුරකු වන ජොටින් ද හමු විය. දීර්ඝ කතා බහකට පසු ඔවුහු සියලුම දෙනා ලලනදාසගේ නිවෙසට ගියහ. ලලනදාසගේ නිවෙසට යෑමට ජොන්ටි අදිමදි කළද ගයාන්ගේ දැඩි පෙරැත්තය නිසා ජොන්ටිට එහි යෑමට සිදු විය. එතැන් සිට මෙම අපරාධ වැලේ සියලුම දායකත්වය ගයාන්, උක්කුවා, සම්පත් සහ සිරිවර්ධන යන පුද්ගලයන් දැරු අතර, මේ කිසිදු අපරාධයකට කිසිම ආකාරයකට ජොන්ටි දායකත්වය ලබා නොදීම විශේෂත්වයකි. එමෙන්ම මෙම අපරාධ සියල්ලේම ඇසින් දුටූ එකම සාක්ෂිකරුවා වූයේ ද ජොන්ටිය.

මෙම ඝාතන ආරම්භ වන්නේ එදින දහවල් දෙකට පමණය. ලලනදාසගේ නිවෙසට ගිය අපරාධකරුවන් මුලින්ම ඝාතනය කළේ ලලනදාස ය.ඔහු බලහත්කාරයෙන් රැගෙනවිත් වී ගබඩා කරන පෙට්ටිය මත වාඩි කරවා අත් පා කඹයකින් බැඳ තියුණු ආයුධවලින් ගෙල කපා ඝාතනය කළ මිනීමරුවන්ගේ ඊළඟ බිල්ල වූයේ ලලනදාස ගේ බිරිය සිරියාවතීය. තියුණු ආයුධවලින් බෙල්ල කැපීම නිසා ඇය ද මිනිත්තු කීපයකට පසු මිය ගියාය. ඊළඟ ඉලක්කය වූයේ ප්‍රියංගනී ය. ඇයගේ බෙල්ල ද තියුණු ආයුධවලින් කපා තිබුණි. අපරාධකරුවගේ ඊළඟ බිල්ල දයාංගනී වූ අතර, ඇයගේ ඝාතනය අතිශය සාහසික විය. ඝාතනය කිරීමට පෙර ඇය කිහිප වතාවක් දූෂණයට ලක් වී තිබුණි. ඒ අවසානයේදී ඇය එල්ලා මරා තිබුණි.

මේ කිසිවක් නොදන්නා නිශ්ශංක නිවසට පැමිණි ඇත්තේ එදින රාත්‍රී අටට පමණය. නිශ්ශංක පොල් වත්තේ ඝාතනය කර තිබුණු අතර, බරපතළ තුවාල සහිතව අමරදාස ඔහු අසල වැටී සිටි නිසා පොලිසිය උපකල්පනය කළේ නිශ්ශංක සහ අමරදාස බොහෝ වේලාවක් පොරබැද ඇති බවයි. එහෙත් නිශ්ශංකගේ මරණයත් අමරදාසගේ මරණයත් සිදුවූ ආකාරයත් නිශ්චය කර ගැනීමට නොහැකි විය. මෙම සියලුම ඝාතන සම්බන්ධව පොලිසිය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව ගයාන්, උක්කුවා, සම්පත්, සිරිවර්ධන සහ ජොන්ටි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. සැකකරුවන් සන්තකයේ තිබී ලලනදාසගේ නිවසේ රන් භාණ්ඩ කිහිපයක් ද සොයා ගත්තේය. පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් ප්‍රකාශ කළේ තමන් ලලනදාසගේ නිවෙසේ රන් භාණ්ඩ ද සොරකම් කළ බවයි.

නීතිපතිවරයා විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 24 ක් ගොනු කළේය. සමුහ ඝාතනය, ස්ත්‍රී දූෂණය, රන් භාණ්ඩ සොරකම් කිරීම යන චෝදනා ඉන් ප්‍රමුඛ චෝදනා විය. කෙසේ වෙතත් ජොන්ටි මෙම අපරාධවලට සම්බන්ධ නොවූ බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වීම නිසා නීතිපතිවරයා විසින් ජොන්ටි රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කළේය.

මෙම ඝාතන ඇතුළු අපරාධ ඇසින් දුටූ එකම පුද්ගලයා වූයේ ද ජොන්ටිය. ජොන්ටිගේ සාක්ෂිවලට අමතරව ඩී.එන්.ඒ (DNA) සාක්ෂි සහ ඇඟිලි සලකුණු යොදා ගත් අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අපරාධ නඩුවකට DNA සාක්ෂි යොදා ගත් අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එම නිසා හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව මෙරට අධිකරණ ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

නඩුව විභාග කළ මහාධිකරණය පළමු වැනි විත්තිකරු වන උක්කුවා, දෙවැනි විත්තිකරු වන සම්පත් සහ තෙවැනි විත්තිකරු වන සිරිවර්ධන මිනීමැරුම් චෝදනාවලට වරදකරුවන් බවට තීරණය කර මරණීය දණ්ඩනය නියම කළේය. පළමු, දෙවැනි සහ තෙවැනි විත්තිකරුවන් රන් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධව වරදකරුවන් කළ අධිකරණය වසර දහයක බරපතළ සිර දඩුවම් නියම කළේය. තවද පළමු,දෙවැනි, තෙවැනි සහ සිවුවැනි විත්තිකරු ගයාන්ට සමූහ ස්ත්‍රී දූෂණය නම් වරද යටතේ වසර විස්සක බරපතළ සිර දඬුවම් නියම කළේය.

මෙම මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විත්තිකරුවන් ඇපෑලක් ඉදිරිපත් කළ අතර, එහිදී විත්තිය විසින් තර්ක තුනක් ඉදිරිපත් කළේය. පළමු වැන්න ජොන්ටිගේ සාක්ෂි සනාථ වී නැත. දෙවැන්න ජොන්ටිගේ සාක්ෂිවල විශ්වාසනීය බවක් නැත. තෙවැන්න සමූහ දූෂණය සම්බන්ධයෙන් සිවු වැනි විත්තිකරු වරදකරු නොවේ. එහෙත් විත්තිය ඉදිරිපත් කළ එම තර්ක සියල්ලම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණ තීන්දුව ස්ථිර කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි උක්කුවා මීට වසර හතරකට පමණ පෙර අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී සිරකරුවන් අතර ඇතිවූ අරාවුලකදී ඝාතනය විය. ඔහු ඝාතනය කළේ ද මරණීය දණ්ඩනය නියම වී සිටි බන්ධනාගාරයේ රැඳවියකු විසිනි. අසල්වැසියන් අතර වූ සුළු ආරවුලක් දුර දිග ගොස් බරපතළ අපරාධයකින් කෙළවර වූ මෙකී හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව මෙරට නඩු තීන්දු ඉතිහාසයේ වැදගත් නඩු තීන්දුවක් බවට පත් විය.


ඡයාරූපය - දුෂ්මන්ත මායාදුන්න

නීතිඥ එස්. එම්. ජයසූරිය

Comments