
මාර්තු පළමු වැනිදා රජයට අයත් සමහර ආයතනවල වැඩ වර්ජනයක් පැවැත්වීමට සූදානම් කර තිබුණි. ඒ සඳහා වරාය, රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා මහ බැංකුව, විදුලිය, සෞඛ්‍ය සේවාවන් වැනි ආයතන සම්බන්ධ වී සිටි බවට වාර්තා විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් (IMF) ප්‍රථම ණය වාරිකය ලබා ගැනීම සඳහා වන අවසන් සාකච්ඡාවලට මේ දිනවල සහභාගී වෙමින් සිටින අතර, එම වාරිකය මේ මස තුළ ලැබීමට හැකිවන සේ ගිවිසුම් අත්සන් කිරීමට රජය සූදානම් වෙමින් සිටියි. මේ අතිශය වැදගත් කාර්යය ඉටුකිරීමට සුදානම් වන අවස්ථාවේදී මේ මස 08 වැනි දින සිට ඇතැම් වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක් ගෙන යෑමට සුදානම් බව ද ප්‍රකාශ කර ඇත.
මාර්තු පළමු වැනිදා පැවති වැඩවර්ජනය සහ සැලසුම් කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය පිළිබඳ තොරතුරු පරීක්ෂා කර බලන විට මෙම විරෝධතාවන්ගේ අරමුණු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවකාශ සැලසෙයි. මාර්තු පළමු වැනිදා සවස වරාය වෘත්තිය සමිති නායකයෝ වරායට පැමිණීමට නියමිතව තිබු නැව් 08ක් නැවැත් වූ බව ජයග්‍රාහී ලීලාවෙන් පැවසූහ. ඒ අනුව විශාල අලාභයක් වරායට සිදු වු බවත් ඔවුහු සඳහන් කළහ. බොහෝ ආයතනවල වැඩ නවත්වා මේ ආකාරයට රජයට අලාභහානි සිදු කිරීමට කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇත. එහිදී රටට සිදු වු පාඩුව සහ මහජනතාවට සිදු වු අපහසුතා පිළිබඳ මෙම වෘත්තීය සමිති නායකයෝ දැඩිසේ සතුටට පත්ව උදම් අනන බව ද පෙනෙන්නට තිබේ.
වෘත්තීය සමිති යනු සේවක අයිතීන් දිනා දෙන අතරම ඒ සඳහා ඉඩ සැලසෙන අයුරින් රටට සහ ජනතාවට ඉටු විය යුතු යුතුකම් ද ඉටු කිරීමට බැඳී සිටින සංවිධානයන් වේ. එසේ වුවද මෙම විරෝධතා මෙහෙය වන වෘත්තීය සමිති නායකයන් එම වගකීම්වලින් බැහැර වී ගොස් තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව තම සාමාජිකයන් බිල්ලට දී වැඩ කඩා කප්පල් කිරීමට සැලසුම් සහගතව කටයුතු කර ඇත. රට ඉතාම දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුණ දී සිටින අතර, තවදුරටත් ප්‍රපාතයට ගෙන යෑම අරමුණු කරගෙන කටයුතු කරන ස්වරූපයක් මේ සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියාවලිය තුළින් දක්නට ලැබේ.
මාර්තු මස පළමුවැනිදා පැවැත් වූ විරෝධතාව පිළිබඳ බොහෝ දෙනකු අවධානය යොමු නොකළ විශේෂ කරුණක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
එම වැඩ වැරුම සංකේත වර්ජනයක් ලෙස පවත්වන බව ප්‍රකාශ කළ ද ඒ සඳහා වෘත්තීය සමිතිවලින් බොහෝමයක් වැඩවර්ජනයකට සහභාගී වී නැති බව දක්නට ලැබෙයි. බොහෝ ආයතනවල අකුරට වැඩ කිරීම, අසනීප නිවාඩු ලබා ගැනීම, සහයෝගිතා විරෝධතා දැක්වීම වැනි වචනවලට මුවා වී ඔවුන් වැඩ වර්ජනයක් කරන බවට ඇඟවීමක් කළද එදින නිල වශයෙන් වැඩවර්ජනයක් සිදු නොවීය. එහෙත් රාජකාරී නොකර සිටියෝය. සැබෑ වැඩ වර්ජනයකදී මෙන් එදින ඔවුන්ගේ වැටුප් කපා ගැනීමක් සිදු නොවන අතර, ප්‍රසාද දීමනාවලට හෝ අනෙකුත් දීමනාවලට කිසිදු බලපෑමක් ඇති නොවෙයි. මේ ආකාරයට වැඩ නොකර රටට වැඩවර්ජනයක් කරන බව පෙන්වා වැටුප් සහ අනෙකුත් දීමනා එදින සඳහා ලබා ගැනීම හැඳින්විය හැක්කේ එම ආයතන තුළ සිදුවන මහා මංකොල්ලයක් ලෙසටය. රට ඉතා දුෂ්කර තත්ත්වයකට පත්වී ඇති අවස්ථාවක වැඩ වර්ජනය කරන බව රටට පෙන්වා දීමට උත්සහ කරයි. මහජනතාවගේ මුදල්වලින් වැටුප් ලබමින් විරෝධතා දක්වමින් විරෝධතා සඳහා ද මහජනතාවගෙන් මුදල් අය කර ගැනීම මහ දවල් මංකොල්ලයකට වඩා වෙනස් නමකින් හැඳින්විය හැකිද?
රට දැවැන්ත අර්බුදයකට මුහුණ දී බංකොලොත් බව ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) විසින් නිර්දේශ කර ඇති ආකාරයට බදු අය කිරීමට සිදුව ඇති බව රජය කියා සිටියේය. මෙය බදු අය කිරීමක් නොව රට ගලවා ගැනීමේ ව්‍යාපාරයක් බව ද රජය විසින් පෙන්වා දෙනු ලැබීය. IMF සමඟ සාකච්ඡා පවත්වන මෙම අවස්ථාවේදී බදු සහන ලබා දිය නොහැකි වුවද යම් කාලවකවානුවකින් පසුව ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙන බවද රජය ප්‍රකාශ කළේය. ඉකුත් 02 වැනිදා IMF හි ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රධානී පිටර් බර්වර් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට වේදනා සහගත වුවත් බදු වැඩි කිරීම අවශ්‍යයෙන්ම සිදු විය යුතු බවය.
උපයන විට ගෙවීමේ බදු ක්‍රමයේ නව සංශෝධන අනුව රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන සෑම අයකුගෙන්ම ඊට වඩා වැඩි වන ආදායමෙන් අනුපාතිකව බදු අය කරනු ලැබේ. බදු අය කරගන්නේ අවම වශයෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පිරිස්වලිනි. එසේ නැති නම් ලක්ෂපතියන්ගෙනි. මේ අය වසරකට අවම වශයෙන් රුපියල් 12 ලක්ෂයක් හෝ 12 ලක්ෂයකට වැඩි ආදායමක් ලබති. ඔවුහු දස ලක්ෂපතියෝය. රජය ලක්ෂපතියන්ගෙන් බදු අය නොකරන්නේ නම් මේ රටේ බදු ගෙවිය යුත්තෝ කවරහුද ? මාර්තු මස 8 වැනි දින සිට වර්ජනයට සූදානම් වන්නේ රටේ දස ලක්ෂපතියන් ලෙස සටහන් වන පිරිසගේ බදු අඩු කරවා ගැනීම වෙනුවෙනි.
රුපියල් දස ලක්ෂයකට වඩා වැඩි ආදායමක් නොලබන සමහර වෘත්තිකයන් ද විරෝධතාවට සහභාගී වී සිටින ආකාරය දැක ගත හැකි විය. ගුරුවරුන්ගෙන් ඉතා සුළු පිරිසකට පමණක් වසරකට දොළොස් ලක්ෂයකට වැඩි වැටුපක් ලැබේ. එසේ වැටුප් නොලබන ගුරුවරුන්ගෙන් සමහරක් කළු ඇඳුම් ඇඳ එදින විරෝධතාවට සහභාගී වූහ. ඇතැම් ගුරු වෘත්තීය සමිති නායකයන්ගේ බලාපොරොත්තුව වූයේ තමන්ගේ රාජ්‍ය විරෝධතාවටත් දේශපාලන අවශ්‍යතාවන්ටන් ගුරුවරුන් බිල්ලට දී කටයුතු කිරීමයි.
සමහර වෘත්තිය සමිති නායකයන් මෙම විරෝධතාව මෙහෙය වූ ආකාරය තුළින් ඔවුන්ගේ වෘත්තියට සහ ඔවුන් සේවය කරන ආයතනවලට ඇති කළ හානිය පිළිබඳ ඔවුන්ට දැනුමක් නැති බව ඉතා පැහැදිලිය. බැංකු සේවකයන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකළ අතර, වෘත්තීය සමිති නායකයන් අදහස් කළේ රටට හා ජනතාවට විශාල හානියක් ඒ තුළින් සිදු කළ හැකි බවය.
එහෙත් ඔවුන් නව තාක්ෂණ යුගයේ බැංකු භාවිතයක් තුළ වැඩ වැරීමකින් එවැනි බලපෑමක් කළ නොහැකි බව අවබෝධ කරගෙන සිටියේ නැත. දැන් බැංකුවලින් කෙරෙන කාර්යයන් බොහෝමයක් ATM හෝ වෙනත් මාර්ගගත තාක්ෂණික ක්‍රම මඟින් ඉටු කර ගැනීමට හැකි වෙයි. උදාහරණයක් ලෙස බැංකු ගනුදෙනු මතම පවත්වා ගෙන යෑමට සිදු වන ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ මාර්තු 01 වැනිදා මුළු කාල පරිච්ඡේදය තුළම විවෘතව පැවැති අතර, වෙළෙඳ කටයුතුවලට හෝ ගනුදෙනු ප්‍රමාණයට හෝ කිසිදු බාධාවක් සිදු නොවීය. කොටස් වෙළෙඳ පොළේ මිල ගණන් ද ඉහළ ගියේය. ගනුදෙනු මතම පවත්වා ගෙන යනු ලබන ඛණිජ තෙල් සංස්ථාවේ වැඩ කටයුතු ද ඒ ආකාරයේ අවහිරයකින් තොරව පැවැත් වූ බව ද වාර්තා වෙයි.
රාජ්‍ය වැඩ වර්ජනය පැවැති මාර්තු පළමු වැනි දින කැබිනට් මණ්ඩල රැස්වීමේදී රජයේ ආයතනවල ගිණුම් පුද්ගලික අංශයේ බැංකුවල ද විවෘත කිරීමට ඉඩ දීමට තීරණය කළේය. රාජ්‍ය බැංකු පවත්වා ගෙන යෑම සඳහා විශාල ශක්තියක් ලැබී ඇත්තේ රාජ්‍ය අංශයේ ආයතනවල ගිණුම් එම බැංකු දෙක විසින් පමණක් පවත්වා ගෙන යෑමට ඉඩ දීම හේතුවෙනි. මාර්තු 01 වැනිදා විරෝධතාව මඟින් බැංකු දෙකම තමන් ලැබු එම වරප්‍රසාදය අහිමි කරගෙන තිබේ. රාජ්‍ය අංශයේ ගිණුම් පවත්වා ගෙන යෑමට එක් දින වර්ජනයෙන් පසු දැන් පුද්ගලික අංශයට ද ඉඩ ලබා දී ඇත. පුද්ගලික බැංකු විවෘත කර තිබියදී රාජ්‍ය අංශයේ බැංකු වසා තැබීමට එම වෘත්තීය සමිති ක්‍රියා කළේ රාජ්‍ය බැංකු දිය කර හැරීමේ කොන්ත්‍රාත්තුවක් මෙම වෘත්තීය සමිති විසින් භාර ගෙන තිබෙන නිසාදෝ යන සාධාරණ සැකය මතු වෙයි.
විරෝධතා පවත්වා ගෙන යන රාජ්‍ය ආයතන බොහෝමයක් තම සේවාව නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් මහජනතාවගේ අප්‍රසාදයට පත්ව තිබෙන ආයතනයන්ය. ඛණිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, දුම්රිය සේවාව වැනි ආයතනවල පවත්නා විවිධාකාර මාෆියාවන් දුෂණය සහ නාස්තිය, අධික සේවක සංඛ්‍යාව නිසාවෙන් මහජනතාවට ඒවායෙන් සැපයෙන සේවාවන් සඳහා ඉහළ මුදලක් ගෙවීමට සිදු වෙයි. මෙවැනි විරෝධතා හේතුවෙන් සිදු වනුයේ එවැනි ආයතන පුද්ගලිකකරණය කරන ලෙස මහජනතාවගෙන් ඉදිරිපත් වන බලපෑම් තීව්‍ර වීමයි.
කොවිඩ් අර්බුදය සහ ඉන් පසුව ඇති වූ ලෝක ආර්ථික අර්බුදය නිසා මේ වන විට බොහෝමයක් රටවල් විවිධාකාර ගැටලුවලට මුහුණ දෙමින් සිටියි. අපේ අසල්වැසි මිතුරු රටක් වන පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ණය ලබා ගැනීමට මේ දිනවල විවිධාකාර පියවර අනුගමනය කරමින් සිටියි. ආදායම් බදු වැඩි කිරීම, විදුලි මිල ඉහළ නැංවීම, සහනාධාර කප්පාදු කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම් වැනි ක්‍රියාවන් අනුගමනය කරමින් සිටියද ඉල්ලා ඇති ණය මුදල සම්පූර්ණයෙන් ලබා ගත හැකි බවක් තවමන් පෙනෙන්නට නැත.කෙසේ වුවද එම රටේ මහජනතාව ද වෘත්තිය සමිති ද රජය ගෙන යන එම පිළිවෙළට අනුකූලතාව දක්වමින් මෙම අවස්ථාවේදී රටේ ඉදිරි ගමන සඳහා තම දායකත්වය ලබා දීමට උත්සාහ කරයි.
එහෙත් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ජනතාවට දැනටමත් කරදරයක් වී ඇති ආයතන උපයෝගි කර ගනිමින් IMF සමඟ පැවැත්වෙන සාකච්ඡා අවහිර වන සේ කටයුතු කරමින් සහ යන්තමින් හිස ඔසවන මට්ටමකට පත්ව ඇති ආර්ථික කටයුතු අඩපණ වන සේ කටයුතු කරයි. එම වෘත්තීය සමිතිවලට අවශ්‍ය තම දේශපාලන වුවමනාවන් ඉටු කර ගැනීම මිස රට පිළිබඳ හෝ මහජනතාව පිළිබඳ හෝ සැලකිලිමත් වීම නොවේ.
රටේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යෑම සහතික කිරීම සඳහා 1979 වර්ෂයේදී රජය විසින් අත්‍යවශ්‍ය සේවා පනත සම්මත කරගනු ලැබීය. මෙම පනත යටතේ අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර ඇති ආයතනවල සේවකයන් වැඩ වර්ජනය කරන්නේ නම් සිර දඬුවම් සහ දඩ යන දෙකින් එකක් හෝ දෙකම නියම කළ හැකි වරදකි. එසේම වැඩ නොකිරීමට පෙලඹීම දඬුවම් ලැබිය හැකි වරදකි. එහිදී වෘත්තීය සමිතියක් ලෙස වැඩ වර්ජනය කිරීමට පෙලඹ වීම ද වරදක් ලෙස දැක්වේ. වැඩ වර්ජනය කරන අයගේ සහ පොලඹවන අයගේ දේපොළ රාජ සන්තක කිරීමට පනත මඟින් ඉඩ සලසා ඇති අතර, වැඩ වර්ජනය කරන අය කිසියම් වෘත්තියක ලේඛන ගත කර ඇත්නම් එම ලේඛනයෙන් ඉවත් කිරීමට ද හැකියාව ලැබේ. මාර්තු 08 වැනිදා දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් වන ඇතැම් ආයතන බොහෝමයක් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.
මහජනතාවට සෑම දිනකම වැඩ වර්ජන සහ විරෝධතාවන්ට මුහුණ දීමට නොහැකිය. රට යථා තත්ත්වයට පත් කර ගෙන අඩුම තරමින් නැවත පෙර පැවැති තත්ත්වයට ළඟා වී ආර්ථික අපහසුතාවලින් අත්මිදීමටත් තම ජීවිතය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට සහ දූ දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමටත් අවශ්‍ය වේ. එබැවින් විරෝධතාවලට සහ වැඩ වර්ජනවලට තිත තැබිය යුතු බවට මහජනතාව විසින් රජයට බල කරන තත්ත්වයක් උදා වීමට ඉඩ ඇති බව මෙම වෘත්තීය සමිති නායකයන් අමතක නොකළ යුතුය. යළිත් ජූලි වැඩ වර්ජනය වැනි අවාසනාවන්ත තත්ත්වයක් රට තුළ ඇති වීම වළක්වා ගැනීම එම වෘත්තීය සමිති නායකයන්ගේ වගකීමක් වේ.