
- A 9ක් ගත් සිසුන්ගේ නම් විදුහලේ රන් බිත්තියේ සටහන් වෙයි
- A 9 සාමර්ථ 104ක් A 8 සාමාර්ථ 34ක්
- මෙවර ජයවර්ධනපුර කලාපයේ පාසල් අතරින් වැඩිම A සාමාර්ථ සංඛ්‍යාව අනුලා විදුහලෙන්
- නිවාඩුවට අරුතක් තුළින් නිවාඩු කාලයේ විභාගයට සූදානම් කරන්නට අසීමිත කැපවීමක්
දකුණු ආසියාවේ විශාලතම බෞද්ධ බාලිකා පාසල ලෙස විරුදාවලිය ලත් නූගේගොඩ අනුලා විද්‍යාලය සියවසකට ආසන්න කාලයක් තිස්සේ ලක්මවට කීර්තියක් අත්කර දුන් පාසලකි. එදා මෙදා කාලය තුළ වසර 82 ගමන් මඟේ රටට වැඩදායි වෘත්තිකයන්, ක්‍රීඩීකාවන්, කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයේ දස්කම් දැක්වූ ලලනාවෝ බොහෝදෙනෙක් අනුලාව රටට දායාද කර ඇත. ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ ද විශාලතම බෞද්ධ බාලිකා පාසල වූ නුගේගොඩ අනුලා විද්‍යාලය ආරම්භ වූයේ 1941 ජනවාරි 4 වැනිදාය. ඒ ආදි කර්තෘ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, ඩී. ඩබ්ලිව්. රූපසිංහ හා ඩී. ඩී. කෝදාගොඩ යන අයගේ සහායෙන් ගුරුවරු පස් දෙනකුගෙන් හා ශිෂ්‍යාවන් 38 දෙනකුගෙනි.
විදුහල්පති හා කාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීමට අනුව බෞද්ධ මූලධර්ම මත පදනම් වූ අවිහිංසාව හා ස්වයං විනය පවත්වා ගෙන යෑමට ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කිරීම අනුලාවේ පරම අභිප්‍රාය වූ අතර “පමා නොවී නැඟී සිටින්න” අනුලාවේ ආදර්ශ පාඨයයි. නුගේගොඩ අනුලාවේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් සෑම අංශයකින්ම “පරිපූර්ණ කාන්තාවන්” බවට හැඩගැස්වීම පමණක් නොව වසරක් වසරක් පාසා පාසලේ අධ්‍යාපන ප්‍රගතිය ඉහළින්ම පවත්වාගෙන යෑම එකම අරමුණ විය. පුරෝගාමී විදුහල්පතිනියක් වූ පී. බී. ප්‍රනාන්දු 1941 සිට 1956 දක්වා පාසලට ඉමහත් සේවයක් කළ අතර, පාසල සඳහා ඉඩමක් සහ ශිෂ්‍යත්ව ක්‍රමයක් ලබා ගැනීම සඳහා ඇය සිය මුළු වැටුපම පරිත්‍යාග කළ බව සඳහන්ය.
නුගේගොඩ අනුලාවේ පාසල් සිසුවියන් 5500කගේ වගකීම උසුලන්නේ වත්මන් විදුහල්පතිනිය වූ වයෝනි විශාකා රාජපක්ෂය. ඇය නුගේගොඩ අනුලාවේ 17 වැනි විදුහල්පතිනියයි. අනුලාවේ දරු පිරිසට අකුරු කරන්නට 210ක් පමණ ගුරු මණ්ඩලයක් සැදුම් ලත් අතර, පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලය 43කි. එදා සිසුන් 38 දෙනකුගෙන් ආරම්භ වූ අනුලාවේ ගමන් මඟ අද තීරණාත්මක කඩඉමකට පත්ව තිබීම ආඩම්බරයකි. වත්මන් විදුහල්පතිනිය සේම ආසන්න කාලයේ හිටපු විදුහල්පතිනියන් වන අනෝමා දසනායක (විශ්‍රාමික) හා ආශිනි කොඩිතුවක්කු යන අයගේ මඟ පෙන්වීම හා වත්මන් ගුරු සිසුන්ගේ කැපවීම මත මේ වන විට අනුලාව උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව ඉහළ කාර්ය සාධනීයත්වයක් වාර්තා කර ඇත.
මෙම ගමන් මඟේ ආසන්නතම ජයග්‍රහණය වන්නේ පසුගිය 2022 සාමාන්‍ය පෙළ විභාගයෙන් නුගේගොඩ අනුලාව ඉහළම සාධනීය මට්ටමක් පෙන් වූ පාසල් අතරට එක්වීමය. ඔවුන් ජයවර්ධනපුර කලාපයේ විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වූ පාසල ද වන්නේය. මෙවර ජයවර්ධනපුර කලාපයේ පාසල් අතරින් වැඩිම A සාමාර්ථ සංඛ්‍යාවක් පෙන්වා ඇත්තේ අනුලා විදුහලයි. පසුගියදා පැවැති සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 361 දෙනකු මුහුණ දුන් අතර, එයින් 350 දෙනකු උසස් පෙළ හැදෑරීමට සුදුසුසෝ වූහ. ඒ අනුව 97% ක ඉහළ සාධන මට්ටමක් වාර්තා කිරීමට අනුලා විදුහලට හැකි විය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් ලද ජයග්‍රහණ අතර, මෙවර A 9 සාමාර්ථ 104ක් ද, A 8 සාමාර්ථ 34ක් ද ලබා ගැනීම සුවිශේෂි සන්ධිස්ථානයකි. කොවිඩ් අභියෝගය මෙන්ම රට තුළ පැවැති වාතාවරණය හමුවේ වුවද දරුවන්ව නිසි සැලැස්මක් යටතේ විභාගයට සූදානම් කිරීමට හැකියාව ලැබුණු නිසා මෙවර පාසලේ ඒ ඒ විෂයන් සඳහා ලබාගත් A සාමාර්ථ ද ඉහළ අගයක් ගත්තේය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 361 දෙනාගෙන් බුද්ධාගමට 257ක්, සිංහලට 231ක්, ඉංග්‍රීසි විෂයට 226ක්, ගණිතයට 193 ක්, ඉතිහාසයට 212ක්, විද්‍යාවට 148ක්, වාණිජ විෂයට 116ක් A සාමාර්ථ ලබා ගෙන ඇත. මේ අතර අනුලාවේ සාමාන්‍ය පෙළ විභාගයෙන් හින්දි භාෂා සාමාර්ථ 100% ක් විය. ජපන් භාෂාව 11 දෙනකු පෙනී සිට ඇති අතර, එයින් 10 දෙනකුටම A සාමාර්ථ ඇත. දෙමළ භාෂාවට පෙනී සිටි 23 දෙනාගෙන් 6 දෙනකු මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා 48 දෙනකුගෙන් 27 දෙනකුටම A සාමාර්ථ හිමි විය.
සාමාන්‍ය පෙළ ඉහළ ජයග්‍රහණයක් වාර්තා කිරීම පිටුපස ඇත්තේ කොවිඩ් කාලයේ මෙන්ම රට විවෘත වූ දා සිට පාසල් අනුගමනය කළ ඔවුන්ටම අනන්‍ය වූ වැඩ පිළිවෙළයි. කොවිඩ් කාලයේ සියලු අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට ඉගැන්වීම් සිදු කළේ ඒ ඒ විෂයන්ට වෙන්වූ කාල වේලාවන්වලදීය. උදේ වරුවේ මෙන්ම සවස් කාලයේ විෂය ආවරණ කටයුතු මාර්ගගත ඉගැන්වීම් හරහා පාසලේ ගුරුවරුන් විසින් විධිමත්ව සිදු කළ අතර, අනතුරුව වාර විභාගයන් මෙන්ම ඇගැයීම් පරීක්ෂණ හා පිළිතුරු පත්‍ර ඇගැයීම ද සිදු වූයේ අදාළ ගුරුවරුන්ගේ අධීක්ෂණයත් සමඟය. “නිවාඩුවට අරුතක්” යනුවෙන් නිවාඩු කාලය තුළ සාමාන්‍ය පෙළ සිසුන්ට තෝරා ගත් විෂය කරුණු ආවරණය කිරීමේ වැඩසටහන මෙන්ම “අරුණෝදය” වැඩසටහන යටතේ උදේ 6.30 සිට 7.30 දක්වා පාසල් කාලයේ සියලු සිසුන්ට පැවැත් වූ ප්‍රතිපෝෂණ වැඩසටහන් සියල්ල මේ අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීමට හේතු විය.
පාසල් අධ්‍යයන කටයුතුවලින් පසුව සාමාන්‍ය පෙළ අධ්‍යයන නිවාඩු කාලය තුළ පවා විභාගයට තම පාසල් අපේක්ෂකයන් සූදානම් කිරීමේ කාර්ය ගුරුවරු අතින් සිදුවිය. මෙහිදී ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් පමණක් නොව දරුවන්ගෙන් ගිලිහුණු විෂය කොටස් ආවරණය මෙන්ම අමාරු විෂය ගැටලු නිරාකරණය සඳහා විෂය ප්‍රවීණයන්ගෙන් යුතු සම්මන්ත්‍රණ දියත් කිරීමට පාසල විශේෂ කාර්යභාරයක් ඉසිලීය. විදුහල්පතිතුමියගේ නායකත්වයෙන් යුතු මේ ගමනේදී පාසල් සංවර්ධන සමිතිය මෙන්ම ආදි සිසු සංගම් දැක් වූයේ අමිල සේවාවකි.
සාමාන්‍ය පෙළට ජයග්‍රහණ ලබා ගැනීමේ ගමන් මඟ අනුලාවටම වෙන්වූ අනන්‍යතාවක් පෙන්නුම් කරන ගමනක් විය. Golden Wall හෙවත් පාසෙල් වූ රන් බිත්තියේ වසරක් පාසා තම නම සනිටුහන් කරන්නට දරුවන්ට හැකියාව ඇත්තේ මේ සාමාන්‍ය පෙළ විභාගය හරහාය. සාමාන්‍ය පෙළ ඉහළ සාධන මට්ටමක් පෙන්නුම් කරන සිසුන්ට තම ඡායාරූපය සමඟ නම මේ රන් බිත්තියේ කොටන්නට අවස්ථාව හිමි වන්නේය. විභාග කඩඉම කරා යන්නට සිසුන්ව අභිප්‍රේරණය කරවන මේ ගමනේදී රතු නෙළුම් මල් සංකල්පය ද වැදගත්ය. A සාමාර්ථ 9ක් ගත් සිසුන්ට පාසල විසින්ම සංවිධානය කරන අනුරාධපුර වන්දනාවේ ගොස් රතු නෙළුම් මලක් පූජා කරන්නට අවස්ථාව හිමි වන්නේය. ඒ අදහස නිතර දෙවේලේ සිසුන්ට සිහිපත් කරවන්නට සෑම පන්ති කාමරයකම රතු නෙළුම් මලක් ප්‍රදර්ශනය වෙයි. මීට අමතරව 'උනන්දුවා' යන නාමය හිමි වන්නේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ වාර පරීක්ෂණවලදීය. ඒ සඳහා වාර පරීක්ෂණවලින් කලින් ලබා ගත් සාධනීය මට්ටමට වඩා ඉහළ සාධනීය මට්ටමක් සිසුවියන් වාර්තා කළ යුතු වේ.
සාමාන්‍ය පෙළ විභාගයට ආසන්න වකවානුවේදී විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වූ ගණිත වැඩමුළු සේම විද්‍යාව සඳහා පැවැත්වූ ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළු පාසලේ අපේක්ෂිත සාධන මට්ටම කරා ළඟා වීමට අනුබල දුන් තවත් හේතු කාරණාය. වත්මන් විදුහල්පතිනිය වන වයෝනි විශාකා රාජපක්ෂ මෙන්ම හිටපු විදුහල්පතිනියන්, ගුරුවරුන් මේ ජයග්‍රහණයේ පදනම දැමුවෝ වෙති. නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා විදුහල්පතිවරියන් වන යසන්තා පියදිගමගේ, ඒ. ඒ. ජේ. ජේ. අමරතුංග, ජේ. අතුකෝරල, එච්.එච්. ශ්‍රියානි, සී. අමරසිංහ, කේ. ප්‍රදීප් දර්ශන මෙන්ම සාමාන්‍ය පෙළ පංති භාර නියෝජ්‍ය විදුහල්පතිනියක් වන නිශාන්තිකා වෙල්ලප්පූලි, අංශ භාර වජිරපානි අරවින්ද, 11 ශ්‍රේණි ප්‍රධානි මංජුලා සමන්මලී, 10 අංශ ප්‍රධාන සුපුන් නිර්මාල් බොතේජු ඇතුළු පංති භාර විෂය භාර ගුරුවරුන් මේ ජයග්‍රහණයේ සෙසු හිමිකරුවෝ වෙති.
නුගේගොඩ අනුලාව විෂය අධ්‍යයන කටයුතු සේම විෂය බාහිර කටයුතුවලින් ද දස්කම් පෙන්වූ පාසලකි. මෙවර සාමාන්‍ය පෙළ ඉහළ දස්කම් පෙන්වූ දරුවෝ පාසලට ජයග්‍රහණ අත්කරදුන්නෝ ද වෙති.
2020 වසරේ කරාතේ කොළඹ දිස්ත්‍රික් හා බස්නාහිර පළාත් තරගාවලියෙන් පළමු හා තෙවැනි ස්ථාන, එම වසරේම බස්නාහිර පළාත් කේවල චෙස් තරඟාවලියේ ජයග්‍රහණයන් ලබා සමස්ත ලංකා ජයග්‍රහණයන් සඳහා සුදුසුකම් ලැබීම මෙන්ම වොලිබෝල් කොට්ඨාස තරඟාවලියට මුහුණදීමෙන් එහි ශූරතාවයන් හා තෙවැනි ස්ථානයත්, 2022 වසරේ ශ්‍රි ජයවර්ධනපුර කලාප ක්‍රීඩා තරඟාවලියේ නෙට්බෝල් සඳහා තෙවැනි ස්ථානයත්, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ජාතික ශූරතා තරඟාවලියේ ශූරතා, අනුශූරතා මෙන්ම තෙවැනි ස්ථානයත් ලබා ගැනීමට හැකි වූයේ කොවිඩ් අභියෝග රැසක් මධ්‍යයේය. නුගේගොඩ අනුලාවේ සියලු පන්ති කාමර සැකසී ඇත්තේ හරිත පරිසරයකට අනුකූල වන පරිදිය. එම පරිසරය සාමාන්‍ය පෙළ ජයග්‍රහණයන්ට ද හේතු විය. 2021 වසරේ පරිසර සංගමය ජනාධිපති පදක්කම් ලැබීම, ඒ අතර නියමු පදක්කම් 110ක්, හරිත පදක්කම් 15ක් හා රජත පදක්කම් 25ක් ලැබීම, මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද ලෝක ළමාදින සැමරුම් මාර්ගගත ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ
(බස්නාහිර පළාත) ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන වාර්තා කිරීම හා 2022 පරිසර නියමු පදක්කම් 50ක්, හරිත පදක්කම් 48ක් හා රජත පදක්කම් 13ක් ලබා ගැනීමට නුගේගොඩ අනුලාවියෝ සමත් වූහ. මීට අමතරව භූගෝලීය සම්මාන ද දිනා ගැනීමට ඔවුහු සමත් වූහ.
අනුලා විදුහලේ ප්‍රගතිය වෙනුවෙන් ආදි සිසු සංගමය දක්වන්නේ විශාල කැපවීමකි. පාසලේ දුවා දරුවන්ගේ ක්‍රීඩා හා සෞන්දර්ය හැකියාවන් තවදුරටත් ඔප්නැංවීමේ අභිලාෂයෙන් අනුලා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මඟින් ගෘහස්ථ ක්‍රීඩාංගණයක් හා ශ්‍රවණාගාරයක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. මෙමඟින් අනූලාවියන්ම පමණක් නොව දැයේ සියලු දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා ඉහළ නංවා ජාත්‍යන්තර තලය කරා යැවීමට බලාපොරොත්තු වේ. මෙහි සංවර්ධන කටයුතු උදෙසා මූල්‍යමය ශක්තිය සම්පාදනය කර ගැනීමේ අරමුණින් දිවයිනේ ප්‍රමුඛ පෙළේ කලාකරුවන් කිහිපදෙනකු සමඟ එක්ව “අනූ 2023 - සජීවී සංගීත ප්‍රාසාංගික සංදර්ශනය” අප්‍රේල් මස 22 වැනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ එළිමහන් රඟහලේදී රාත්‍රී 7.00 ට දියත් වන්නේ පාසලේ දරු දැරියන් උදෙසාමය.
වාර්ෂිකව විභාගවලින් පමණක් නොව අනිකුත් සියලු අංශයන්ගෙන් ද නුගේගොඩ අනුලාව ඉහළම කාර්ය සාධන මට්ටමක් පෙන්නුම් කරන්නේ 'පමා නොවී නැඟී සිටින්න' අනුලාවේ ආදර්ශ පාඨය පෙරදැරි කර ගනිමිනි.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න