
ඉන්දීය ලේඛක කර්තාර් සිංඩුගාල්ගේ (1917 - 2012) & Banked Fires නම් කෙටිකතා එකතුවෙන් තෝරා ගත් කෙටිකතා එකොළහක පරිවර්තන එකතුව චාමලී නම් වෙයි. දැන් මේ කෙටිකතා සාහිත්‍ය ඇකඩමිය විසින් සංග්‍රහ කරන ලද ඔහුගේ කෙටිකතා The Night of the Full Moon and Other Stories කෘතියේ ඇතුළත්ය.
වර්තමාන පාකිස්තානයට අයත් රාවල් පිණ්ඩිහි උපත ලැබූ කර්තාර් සිංදුගාල් රට බෙදීමේ ව්‍යාපාරය නිසා ඉන්දියාවේ පදිංචියට පැමිණි පවුලක සාමාජිකයෙකි. පන්ජාබි, හින්දු, උර්දු වැනි ඉන්දීය භාෂා මතු නොව ඉංග්‍රීසි ද මැනැවින් හසුරු වන්නට දන්නා ප්‍රකට ලේඛකයකු වන ඔහු කෙටිකතා සංග්‍රහ විසි හතරක, නවකතා දහයක, නාට්‍ය හතක, සාහිත්‍ය විචාර කෘති හතක, කාව්‍ය සංග්‍රහ දෙකක සහ ස්වයං චරිතාපදානයක කර්තෘය. ඔහුගේ බොහෝ පොත් විවිධ විශ්වවිද්‍යාල උපාධි අධ්‍යයන පාඨමාලාවල නිර්දිෂ්ටය. අමෙරිකානු කොන්ග්‍රස් පුස්තකාලයට ඔහුගේ කෘති සියල්ලම ඇතුළත් කැර ඇති බැව් සඳහන්ය. කෙසේ වෙතත් මේ කෙටිකතා කිහිපය හැර ඔහුගේ වෙනත් කෘති සිංහලට පරිවර්තනය වී නැති තරම්ය.
චාමලී මුලින්ම පළ වූයේ 1975 තරම් ඈත දිනකය. මේ එහි තුන්වැනි මුද්‍රණයයි. නිකුත් වූ අලුතම එය කියැවීමේ අවස්ථාව මට ලැබිණි. මට මතක හැටියට ඒ දවස්වල "ඒක හොඳ පොතක්" ලෙස විචාරක ඇගැයුමට පාත්‍ර විය.
මේ කෘතියේ ඇතුළත් කෙටිකතා එකොළහ මේ ය. 1. වැස්ස වලාහක දෙවියෝ සහ රේඩියෝව 2. පසළොස්වක සඳ 3. රූ සපුව 4. ලලී 5. මට බඩගිනියි 6. මීනෝ 7. ශ්‍රමයට තිළිණයක් 8. තාත්තාගේ පාපය 9.අන්ධයෝ 10. සැඟවුණු ගින්න 11 චාමලී
මේ නිර්මාණවල ඇතුළත් කතා අතරින් හයක් ගෙතී ඇත්තේ කතුන් වටාය. ඒ අතරින් ‘වැස්ස වලාහක සහ රේඩියෝව’, ‘රූ සපුව’, ‘අන්ධයෝ’සහ‘චාමලී’ තරුණ විවාහක බිරියන් සිවු දෙනකුගේ ආසාවන් ගැන කියැවෙයි.
වීරෝ නම් තරුණ බිරියට සියදරුවා ද හොඳින් සරසාගෙන මල් වත්තට, කෝවිලට, කඩපිලට සැමියාත් සමඟ යන්නට ආසාය.
එහෙත් ඇය ඒ ගැන කියන සැමදා ඔහු කියන්නේ තමාට නිවාඩු නැති බවයි. ඔහුගේ රැකියාව මහ මඟ දූවිලි වැළැක්වීම සඳහා වතුර ඉසීමයි. ඔහුට නිවාඩු ලැබෙන්නේ වැස්සොත් පමණි. ‘වහින්න කියලා දෙවියන්ට කියනවා’ඔහු බිරියට කියයි. පාළොස්වක පෝය දවසේ කෝවිලට යනු කැමැති ඕ පුර තුදුස්වක දා වලාහක දෙවියන්ට යාඥා කරන්නීය.
ඇගේ යැදුමට සවන් දෙන දෙවියෝ වැසි එවති. ඕ සිය සැමියා සහ දරුවා ද කැටිව කෝවිලටත් උයනටත් යන්නීය.
මෙලෙස පාළොස්වක තුනකදී දෙවියෝ ඇගේඉල්ලීම ඉටුකර වදාරති. දවසක් අල්ලපු ගෙදර රේඩියෝවෙන් කාලගුණ අනාවැකියක් ප්‍රචාරය වනු ඇය අසා සිටියි. "ඒක කොහොමද වහින්නෙ නෑ කියන්නේ?"ඇය සිතයි. කොහොම වුණත් ඊළඟ පෝය දවසේ දෙවියෝ අහක බලති. එදා රෑ සඳපාන සුදිලෙයි. කෝපයෙන් අහස දෙස බලන ඈ "මොකද කාලකන්නියෝ තොට වුණේ?" යැයි අසයි. මෙහි එන‘පසළොස්වක සඳ’ නම් කතාව ඛේදාන්තයකි.
මලාන් නම් තරුණ වැන්දඹුව සහ මණී නම් ඇගේ දියණිය එහි චරිත වෙති. මේ දෙන්නා රුවින් බොහෝ දුරට සමානය. සොහොයුරියන් දෙදෙනකු මෙනි. කිසියම් කෙනෙක් සැම පසළොස්වකදාකම මලාන්ගේ දොරට තට්ටු කරයි. එහෙත් ඇය දොර විවෘත කරන්නේ නැත. සෑම දිනකම සුනරුත් පැතුම් ඇති ඔහු "හොඳයි මංයනවා. හැම පෝය දවසකම මං ඇවිත් මෙහෙම දොරට තට්ටු කරනවා. ඔයා කවදහරි එනකම්ම මං එහෙම කරනවා"කියමින් නික්ම යයි.හෙට දියණියගේ විවා මඟුලයි. අද රෑ ඔහු හමුවන්නට පිටතට ගියාට කමක් නැත යැයි සිතන ඈ දුවගේ හිස දවටන රෙදිකඩෙන් හිස වසාගෙන පිටතට අවුත් අසල කුඹුරක ඔහු හා ප්‍රේමාලිංගනයේ යෙදෙමින් සිට අලුයම නිවෙසට පෙරළා එයි. මෙය ගමේ මුරකාරයා දැක තිබේ. උදැහැනැක්කේම මලාන්ගේ නිවෙසට එන ඔහු පෙරදා රැයේ ඇගේ දුව කළ වල්කම ගැන ශබ්ද නඟා කියයි.
ගමේම මිනිස්සු ඔවුන්ගේ මිදුලට රැස් වෙති. වැඩිහිටි සැම මණිට පරිභව කරති. ඇගේ මනාලයාගේ මව සහ පියා පැමිණ මංගල්‍යය වෙනුවෙන් මනාලියගේ පාර්ශ්වයෙන් ලැබුණු තෑගි විසිකැර යති. මේ අතර මණි පැමිණෙයි. සියල්ල බොරු බවත් තමා කාමරයේ නිදා සිටි බවත් ඇය කියන්නීය. සත්‍යය ද එයයි. එහෙත් ගම්මුන් පිළි ගන්නේ මුරකාරයාගේ බසයි. ඔවුහු දිගටම ඇයට පරිභව කරති.අම්මා කිසිවක් නොකියයි. දැරිය ළිඳට පැන දිවි තොර කර ගනියි.
මීනෝ කුඩා දරුවකු ගැන කතාවකි. මේ දරුවා පියාගේ රියෙන් උදේට පාසල් යන අතර පාසල අවසන් වූ විට ගෙදර එන්නේ සේවකයකු සමඟය. එදා සේවකයා නොපැමිණෙයි. තාත්තා එය දනියි. එහෙත් තාත්තාට එය අමතක වෙයි. දරුවා තමා කැටුව යන්නට සේවකයා එනතෙක් බලා හිඳ පාසල් ගේට්ටුව වැසූ පසු එයින් රිංගා පාර දිගේ යයි. ගෙදරට යන්නට ඔහුට පාර නිච්චි නැත. ඔහු පොලිසියට හමුවේ.
පොලිසිය දරුවා පොලිසියට ගෙන ගොස් දෙමාපියන් කවුරුන් දැයි අමාරුවෙන් සොයා ගෙන දරුවා තමන් භාරයේ සිටින බව දන්වති. බොහෝ පමාවී දෙමාපියෝ සිය රියෙන් පොලිසියට එති. "මේ ඔයාගේ තාත්තද පුතේ?"පොලිසිය දරුවාගෙන් අසයි. "නෑ"ඔහු කියයි. "මේ ඔයාගේ අම්මද?", "ඒත් නෑ"දරුවා කියයි.
සරල සිද්ධි කේන්ද්‍ර කැර ගත් මේ නිර්මාණ කියවා අවසන් වූ පසු සිතේ කිසියම් පැල්ලමක් ශේෂ කරයි.
‘චාමලී’ සිරිල්.සී. පෙරේරා ගේ කෘතියකි.











