
- අටවිසි බුද්ධ ප්‍රතිමා සමඟ අටවිසි බෝධීන් වන්දනාමාන කළ හැකි එකම පන්සල
- අමෙරිකාව, එංගලන්තය, ජපානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඉතාලියේත් නන්ද හිමියන් නෙළුෑ බුදු පිළිම
- කොට්ටාව අධිවේගී ප්‍රවේශයට පෙනෙන අවුකන බුදු පිළිමයක්
කඨින චීවරයට අවශ්‍ය නූල් පන්සලට ගෙනවිත් කඨින චීවරය රෙදි වියන මැෂිමේ රැයක් මුළුල්ලේ වියන පන්සලක් ඔබ දැක තිබේද?
කඨින චීවරය සැකසූ විට එය පඬු පොවන්නේ පන්සලේදීමය. කඩෙන් රෙඩිමේඩ් නොගෙන පන්සලේම වියපු කඨින චීවරය කොස් කොළේ නැට්ට පේන්නටත් එළිය වැටෙන්නත් පෙර හිමිදිරියේම පූජා කෙරේ.
කඨින පූජාවට අවශ්‍ය එළවළු වවන්නේ දායකයන්ගේ නිවෙස්වලය. පන්සලේ පූජා කළ නෙළුම් මලේ දණ්ඩ ගෙදර ගෙනියන දායකයෝ ඒවා වියළා පහන්තිර සාදා කඨින පූජාවට රැගෙන එති.
ඊටත් වඩා පුදුමය පන්සලේ කුඹුරෙන් ගොයම් කැපූ පසු වී ඇට කෝප්පය බැගින් දායකයන්ට බෙදා දීමය. වී පාහින මැෂිමේ නොදමා නියපොතුවලින් වී පොතු ඇර කඨින පූජාවට අවශ්‍ය සහල් දායකයින් පන්සලට ගෙනවිත් දිය යුතුය.
කුඹුරක් ද තිබෙන මේ පන්සල එසේ නම් ඇත්තේ කොළඹ ගෙන්දගම් පොළොවෙන් හැතැප්ම දහයක් පහළොවක් එහායින් විය යුතු යැයි ඔබට සිතෙනු ඇත.
එහෙත් ඔබේ තීන්දුව වැරැදිය. මේ පන්සල පිහිටියේ නාරාහේන්පිටය. ජනතා පොළ පසු කර ටික දුරක් යන විට පිහිටි ශ්‍රී ශාරිපුත්‍ර විහාරය, ජාත්‍යන්තර කලායතනයයි. එය දුටු විට මාත් ඡායාරූප ශිල්පියාත් මවිතයට පත් වූයේ ගහකොළින් පිරි බලන බලන අත බුද්ධ රූප දැක ගත හැකි මනස්කාන්ත දසුනක් ඇති මේ සුන්දර භූමියේ පහස ලබන්නට අප මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන පැනයයි.
ශ්‍රී ශාරිපුත්‍ර විහාරය කියූ සැණින් පැරැන්නන්ගේ මතකයට එන්නේ පිරිතය. හතු පිපෙන්නාක් මෙන් රේඩියෝ, ටීවී චැනල් එදා තිබුණේ නැත. එදා තිබුණේ රේඩියෝ සිලෝන් එක පමණි. එකල සර්වරාත්‍රික පිරිත් දේශනාවක් සජීවීව විසුරුවා හරිනු ලැබුවේ රේඩියෝ සිලෝන් එකයි. එබැවින් එබඳු දේශනාවකදී නම කී පමණින් රටම දන්නා හඳුනන යතිවරයන් වහන්සේ දෙනමක් වූයේ වත්තල සීලරතන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ බස්නාගොඩ විමලරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය. පිරිත් දේශනාවේදී පැරැන්නන්ගේ මතකයෙහි අද පවා රැඳී පවතින නාම අතර බස්නාගොඩ විමලරතන මහා ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය අමරණීය නාමයකි.
මේ අප ගිය ශාරිපුත්‍ර විහාරයේ නිර්මාතෘවරයා වන්නේ බස්නාගොඩ විමලරතන හිමියන්ය.
බස්නාගොඩ විමලරතන හාමුදුරුවෝ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති කලාශූරී මාපලගම විපුලසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුරට පත්වූ පසු පරම චේතිය පිරිවෙන්හි නේවාසිකව මාපලගම විපුලසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුරෙන් සහජයෙන් රැගෙන එන ලද චිත්‍ර හා මූර්ති කලාව අධ්‍යයනය කළහ. විපුලසාර නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් කල්කටා නගරයට වැඩමවා චිත්‍ර ශිල්පය හා වෛදික සජ්ඣායනා ක්‍රම පිළිබඳව හැදෑරූහ. කලකට පසු බොම්බායේදී “බ්‍රහ්මේශ්වාන” මූර්ති ශිල්පියා යටතේ මූර්ති කලාව ද හදාරන ලදි.
විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නෙළූ බුද්ධ ප්‍රතිමා වහන්සේ දකින්නාගේ සිත් පහන් කරවන්නට සමත් විය. ගොක් කොළය, කෙසෙල් කොළය, හබරල කොළය, පුවක් මල, පොල් මල විවිධ ධාන්‍ය වර්ග උපයෝගි කර ගනිමින් නිර්මාණය කළ පිරිත් මණ්ඩප තොරණ ආදී එදා ජනතාවගේ හිත් සතන් ඇද බැඳ ගැනීමට සමත් විය.
මාපලගම විපුලසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට විසිරී සිටි චිත්‍ර, මූර්ති, නාට්‍ය ආදී ශිල්පීන් ඒකරාශී කර පිහිටු වූ ජාතික කලා පෙරමුණ මඟින් මෙරටට සුවිශේෂ මෙහෙවරක් සිදු කළහ. ග්‍රාමීය කලාකරුවන් කොළඹට ගෙන්වා කලා භවන කේන්ද්‍ර කර ගනිමින් ඔවුන්ගේ දස්කම් ලෝකයට කියා පෑහ. ඒ අනුව මෙරට කලාකරුවාගේ සුවිශේෂි දක්ෂතා හඳුන්වා දුන්නේ ජාතික කලා පෙරමුණය. ඒ සඳහා උන් වහන්සේ කලාවට දැක්වූයේ මහත් රුචියකි.
පළමු වරට භාරතයේ කපිල වස්තුපුර ඉසිපතනාරාමයේ සිට වත්තල සීලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ ගුවනින් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව බස්නාගොඩ විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැවැත්වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
දැන් මේ ශාරිපුත්‍ර විහාරයේ අධිපති ධුරය හොබවන්නේ රත්නපුරේ නන්ද හිමියන් විසිනි. නන්ද හිමියන්ගේ උපන් ගම පුංචි කෝච්චිය නොහොත් කැලණිවැලි දුම්රියේ ගමනාන්තය වූ ඕපනායකය.
“හාමුදුරුවන්ගේ උපන්ගම ඕපනායක, ඕපනායක නන්ද නොවී ඔබ වහන්සේ රත්නපුරේ නන්ද වුණේ කොහොමද?”
“මා මහණ කරනකොට නායක හාමුදුරුවෝ කිවුවා ඕපනායක වගේ නොවෙයි රත්නපුරේ ලෝකෙම ප්‍රසිද්ධ නගරයක්. ඒ හින්දා අපි රත්නපුරේ නන්ද කියල නම තියමු කියලා”
නන්ද හිමියන් උපන්නේ ඕපනායක හුණුවලය. නන්ද හිමියන්ගේ තාත්තා හෙන්රි ජයසිංහගේ වයස දැන් 93කි. අසූ වියැති අම්මා කරුණාවතීය. දැන් තමන්ගේ මවුපියන් පන්සලේ තබාගෙන උවටැන් කිරීමට නන්ද හිමියන් පියවර ගෙන තිබේ.
නන්ද හිමියන් අපව තම මවුපියන් සිටි කුටියට එක්ක ගෙන ගියහ. “තාත්තේ මේ තාත්තව බලන්න ඇවිල්ලා” යැයි උස් හඬින් තම තාත්තාගේ කනට කර කියන්නට වූහ. තාත්තා රෝගාතුරව ඇඳෙහි දිගා වී සිටි අතර නන්ද හිමියන්ගේ මව ඒ අසලම විය.
මේ මහා කලාගාරයක් බඳු ශාරිපුත්‍ර විහාරය පෙන්වමින් විටින් විට නන්ද හිමිපාණන්ගෙන් මා ඇසූ මුල්ම ප්‍රශ්නය වූයේ මෙතරම් කෝටි ගණනක් වැය කොට රෝහලක් පරිත්‍යාග කොට එයට ප්‍රචාරයක් නුදුන්නේ ඇයිද යන පැනයයි.
“නායක හාමුදුරුවන්ගේ කාලේ ඉඳන්ම අපි කිසිම දෙයක් ගැන ප්‍රචාරයක් දුන්නේ නැහැ.”
“ඔබවහන්සේට උපන්ගමට රෝහලක් හදල දෙන්න ඕන කියන අදහස ඇතිවූයේ කොයි කාලෙද?”.
“මං උපන් ගෙදරට අම්මා තාත්තා බලන්න වඩිනකොට මම දකිනවා බෙහෙත් ගන්න ඉන්න ගැමියෝ ගස් යට ඉන්නවා ජංගම වෛද්‍ය සේවය එනකම්. මම හිතාගෙන හිටියේ කවදහරි ගමට ඉස්පිරිතාලයක් හදල මේ ගස් යට ඉන්න ගැමියන්ට සෙවණක් හදනවා කියලා.”
නන්ද හිමියන් පවසන්නේ තමන් වහන්සේට කලා කටයුුතු ඉගැන්වීමට බස්නාගොඩ විමලරතන නායක හිමියන් විසින් හේවුඩ් කලායතනයේ ගුරුවරුන් පන්සලට ගෙන්වූ බවය. ගුරු හිමියන් ගිලන් වීමත් සමඟ නායක හිමියන් සිදු කරමින් සිටි සියලු කලා කටයුතු මෙන්ම ආගමික කටයුතු ද බාර ගැනීමට නන්ද හිමියන්ට සිදු විය.
“තමන් වහන්සේ හමුවට ආ කිසිවකු හිස් අතින් නොයවපු බස්නාගොඩ විමලරතන හාමුදුරුවෝ පිරිත් නූලක් බැඳ ආශීර්වාද කිරීම සිරිතක් වී තිබුණා. ලොව පුරා සාම චෛත්‍යය ඉදි කළ ජපානයේ නිචිදත්සු පූපී නාහිමියන් බස්නාගොඩ විමලරතන නාහිමියන් හඳුනා ගත් නිසා දැකුම්කලු සිද්ධස්ථාන ගණනාවක් බිහි වුණා. නිචිදත්සු උතුමා ලොව ඇරඹූ සාම චෛත්‍යය නිර්මාතෘ සේ ශ්‍රී පාද සාම චෛත්‍යය 1977 දී ආරම්භ කළා. ඊට පස්සේ බණ්ඩාරවෙල, අම්පාර, වලපනේ ආදී චෛත්‍යය රැසකගේ සැලසුම් විමලරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තමයි.
මේ හුණුවල රෝහල ඉදිකිරීම සඳහා රත්නපුරේ නන්ද හිමියන් වැයකොට ඇත්තේ විදේශයන්හිදී තම සුරතින් නිර්මාණය කළ සම්බුද්ධ ප්‍රතිමා සඳහා දායකයන් පූජා කළ තුටු පඬුරු සහ දේශීයව හා විදේශීයව බුදුපිළිම ලබාගත් දායකයන් පූජා කළ තුටු පඬුරුය.
රත්නපුරේ නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් නිර්මාණය වූ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ලොව රටවල් රැසකට වැඩම කරනු ඇත. ඒ අතර ඇමරිකාව, එංගලන්තය, ජපානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය සහ ප්‍රංශය ආදී රටවල් ගණනාවකි. නන්ද හිමියන් අපට පවසා සිටියේ දැවැන්ත බුදු පිළිමයක් නිර්මාණය සඳහා තමන් වහන්සේ ලබන මාසයේ අමෙරිකාවට වඩින බවය.
ලබන වෙසක් පෝයට හයිලෙවල් පාරේ කොට්ටාව අධිවේගී ප්‍රවේශයට දර්ශනය වන ලෙස අවුකන බුදු පිළිමයක් නිර්මාණයට රත්නපුරේ නන්ද හිමියන් දැන් සූදානම් වෙමින් සිටිති. මෙය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ අදහසක් අනුව සිදු කෙරෙන්නෙකි.
මේ අතර රට රටවල කෙරුණ බෞද්ධ නිර්මාණ කටයුතු ගැන රත්නපුරේ නන්ද හිමියන් කතා කළේ මහත් තෘප්තියෙනි.
“1990 සිංගප්පූරුවේ වෙසක් උත්සවයේ බුදු පිළිමය ඇඳල සියලු සැරසිලි කළේ මං. වේරගොඩ සාරධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බුදු පිළිම නෙළන්න මෝල්ඩ් මම මෙහෙන් හදාගෙන ගෙනිච්චා. ඔස්ට්‍රේලියාවේ, ජපානේ, අමෙරිකාවේ, ඉතාලියේ, ප්‍රංශයේ මම නිර්මාණය කරපු බුදු පිළිම තියෙනවා. කොහොමත් ලබන මාසේ බුදු පිළිමයක් නිර්මාණය කරන්න මම ආයෙත් අමරිකාවට වඩිනවා.”
ශාරිපුත්‍ර විහාරයේ ඔබ මොබ ඇවිදින විට අපට පෙනුණේ උපශාන්ත ස්වරූපයෙන් වැඩහිඳින බුදු පිළිම වහන්සේලාය. එහෙත් අද වෙළෙඳසලේ විවිධාකාර අඩුපාඩුකම් ඇති බුදු පිළිම දැගත හැකිය.
“අද හදන ප්‍රතිමා නියම මිමි අනුව හදන බවක් පේන්න නැහැ. යම්කිසි ප්‍රතිමාවක් ශිල්ප ශාස්ත්‍රවලට අනුව හදලා නැත්නම් ඒ ප්‍රතිමාව වැඳුම් පිදුම් කිරීමට සුදුසු නැහැ කියලා පැරණි කාලයේ පිළිගැනීමක් තිබුණා.”
නන්ද හිමියන් කියන්නේ තමන් ලොව පුරා නිර්මාණය කළ බුද්ධ රූප නියමිත ප්‍රමිතියෙන් යුතු වන්දනාමානයට සුදුසු බුදු පිළිම වහන්සේලා බවය.
“එතකොට මේ අප වන්දනා කරන බුද්ධ රූපය මුලින්ම බිහි වන්නේ කොයි කාලේද?”
බුද්ධ කියන අරමුණ පිටතට ප්‍රකාශ කරන්න බැහැ රූපයක් නැතිව. අනික් අතින් ඇහැට බලන්න රූපයක් මෙතැනදී ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ රූපය ගොඩනැඟීම සඳහා සංකල්පයක් ගොඩනැඟීම අනිවාර්යය. බුද්ධ රූපය සංකල්පය ගොඩනැඟීමට ආධාර වන සූත්‍ර තුනක් දීඝ නිකායේ මජ්ජිම නිකායේ තියෙනවා. සූත්‍ර තුනේ ම බුදු හාමුදුරුවන්ගේ ශරීරය ගැන විස්තර වෙනවා. මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. බෞද්ධ ඉගැන්වීම් අනුව නම් මහා පුරුෂයෙක් වන්නේ ශරීරයෙන් නොව කෙලෙසුන්ගෙන් මිදීම සලකලයි. මේ පිළිබඳව අවධානය යොමු කරද්දී මත කිහිපයක් සලකන්න වෙනවා. ‘ඇල්ප්‍රඩ් පුෂේ‘ කියලා පුරාවිද්‍යාඥයෙක් පොතක් ලිව්වා ගාන්ධාර කලාව ගැන. ඒ අනුව ග්‍රීක ශිල්පීන්ගේ ආධාර ඇතිව ගාන්ධාරය මුල්වරට බුදු පිළිමය නිර්මාණය කළා කියලා ඔහු මතයක් ඉදිරිපත් කළා. ඇපලෝ දේව ප්‍රතිමාවට සමාන ලක්ෂණ ගාන්ධාර බුදු පිළිමයේ තිබීම නිසයි ඔශු මේ මතයට පැමිණියේ. 'වික්ටර් ගොලබේ' කියන ප්‍රංශ ජාතිකයා මෙයට විරුද්ධව කරුණු දැක්වූවා. ඊළඟට ආනන්ද කුමාරස්වාමි 1927 දී 'බුදුපිළිමයේ ප්‍රභවය' කියලා පොතක් ලියලා, කිවුවා මුලින් ම බුදු පිළිමය වුණේ මථුරාවේ කියලා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් වාද විවාද කිහිපක් ඇති වුණා. නමුත් අද බොහෝ දෙනෙක් පිළිගන්නවා මථුරාවේ තමයි මුල්ම බුද්ධ ප්‍රතිමාව ඇති වුණේ කියන මතය.
ශාරිපුත්‍ර විහාරය ලංකාවේ විහාරයක දැකිය නොහැකි අන්දමේ අටවිසි බුදුන් දැකිය හැකි පන්සලකි. අටවිසි බුදුන්ගේ රූප පිටුපසින් හිටුවා ඇත්තේ එම බුදුන් වහන්සේලා පිටදුන් බෝධින් වහන්සේලා 28 ය.
ඕපනායක හුණුවල රත්නපුරේ නන්ද හිමියන් ගොඩනැඟූ රෝහල් ගොඩනැඟිල්ලේ සැලැස්ම ඇඳ ඇත්තේ දමිත් ප්‍රේමතිලක විසිනි. ඔහු ඒ සම්බන්ධයෙන් ආසියාවේම ප්‍රධානියෙකි.
“මුල්ගල තිබ්බේ 2017 දි. ඒත් කොරෝනා ආපු නිසා රෝහල ගොඩනඟන වැඩේ ටිකින් ටික කල් ගියා. මේ ඉස්පිරිතාලේ ඇඳන් 25ක් තියෙනවා. හැම ඇඳකටම සීලිං විදුලි පංකාවක්, වැසිකිළියක් තියෙනවා.
රත්නපුරේ නන්ද හිමියන් තම ධන පරිත්‍යාගයෙන් ඕපනායක ලුණුවල රෝහල ගොඩනැඟුවේ තම ගුරු හිමියන් වන බස්නාගොඩ විමලරතන නාහිමියන්ගේ සියවැනි ජන්ම සංවත්සරය නිමිත්තෙනි. මෙම ගොඩනැඟිල්ල සහ අනෙකුත් උපකරණ සඳහා වැයවී ඇති මුදල් කෝටි පහකට ආසන්නය.
“අන්තිමට මට සල්ලි මදි වෙලා ලක්ෂ 50ක ලෝන් එකක් ගන්නත් සිද්ධ වුණා. දැන් මට ලෝන් එක ගෙවන්න වෙලා තියෙන්නේ. ඔය දැන් ගිලන් වෙලා ඉන්න තාත්තා තමයි රෝහල විවෘත කරන්න මුල් වුණේ.”
මෙම රෝහල විවෘත කිරීමට පෙරදින රෝහල අවට විවිධ ප්‍රාදේශීය දේපාලනඥයන් තම තමන්ගේ නම සඳහන් කොට රත්නපුරේ නන්ද හිමියන්ට තම උපහාරය පුද කරන බැනර් රොත්තක් ගසා තිබී ඇත. නන්ද හිමියන් එතැනට වැඩිය සැණින් කර ඇත්තේ එම බැනර් සියල්ල ඉවත් කිරීමය.
“මේ වැඩේට කිසිම දේශපාලනයක් නැහැ. මේ වැඩේට ගමෙන් සහයෝගයක් ලැබුණේ නැතත්, රෝහල විවෘත කරපු දවසේ මුළු ගමටම කන්න දුන්නා මේ ඉස්පිරිතාලේ හදනවට අංචි ඇද්ද ගැමියෝම දැන් වැඩේ හොඳයි කියල පින් දෙනවාලු.”
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදයෙන් මල්වතු, අස්ගිරි උභය මහා විහාරවාසී අනුනායක ස්වාමීණ්ද්‍රයන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සඟරුවනෙහි සහ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් දෑල බණ්ඩාර සහ සබරගමු පළාත් ආණ්ඩුකාර තැම්පත් ටිකිරි කොබ්බෑකඩුව සහ සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කපිල කන්නංගර ප්‍රධාන පැවිදි ගිහි සම්භාවණීය පිරිසකගේ සහභාගීත්වයෙන් 2022 ඔක්තෝබර් 24 වැනිදා රෝහල ජනතා අයිතියට පත්කොට ඇත.
ලෝකයේ සියලු කලාවන් හි තිඹිරිගෙය ආගම යැයි පොදු පිළිගැනීමක් පවතී. එබැවින් සියලු කලාවන් ගේ උපත හා වැඩීම කෙරෙහි බලපෑ ආගමට සියලු කලාවන් ණය ගැතිය. බුදුපිළිම නෙළීමත් කලාවක් බව අප මෙහිදී අමතක නොකළ යුත්තකි. බුදුපිළිම සෑදීම අට මහ කුසලයකි. දණ්ඩකින් - ගලකින් - රන් රිදී මැණික්වලින් එදා නිම කළ බුදුපිළිම රත්නපුරේ නන්ද හිමියන් බොහොමයක් නිම කරන්නේ ෆයිබර්ග්ලාස්වලිනි. ජපානයේ සුබුනෙහි හි ගොඩනැඟූ අඩි 32ක් උස හිඳි පිළිමය පවා නූතන තාක්ෂණයේ මහිමයෙන් ෆයිබර්වලින් ගොඩනැඟූ ඒවාය. එම පිළිමය නිරාවරණය කළ මහෝත්සවයේදී අකාලයේ හිම වැටීම අදහා ගත නොහැකි කරුණක් විය. ගිලනුන්ට කරන උවටැන් තමන් වහන්සේය කරන උවටැනක් වැනි යැයි බුදු බණෙහි සඳහනක් තිබේ. මේ අනුව බුදු පිළිම නෙළා අටමහා කුසල් රැස්කර ගත් රත්නපුරේ නන්ද හිමියන් ගිලනුන්ට උවටැන් කරන්නට රෝහල තනාදී මේ පින්කම් දෙකටම දායක වී ඇත්තේ දෛවෝපගත ලෙසය. සාකච්ඡාව නිමවා අප ශාරිපුත්‍ර විහාර භූමියෙන් ඉවතට පිය මැන්නේ මනා බෞද්ධ ශික්ෂණයකින් විසිතුරු වූ කලාගාරයකට සමුදෙන අත්දැකීමක් ඇතිව බව නොකියා බැරිය.
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ