
- ඔහු සියල්ලම පසෙකලා පාර්සලය ලිහීමට පටන් ගත්තේය. සුළු මොහොතකට පසු මහ පිපිරුමකින් ගිනි ජාලාවක් ඇති විය
- සමරසිංහ, තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගත් බව ආරංචි වූ ජයවර්ධනට, ඔහු පිළිබඳ තදබල වෛරයක් ඇති විය
- බෝගම්බර සිර ගෙදරට ආ නීතිඥ ඒලියන් පෙරේරාට විත්තිකරු පැවසුවේ නඩු තීන්දුව දෙන දිනයේ පෙරවරු එකොළහට පෙර තීන්දුව දුනහොත් තමා නිදහස් වන බවයි
දෙවැනි ලෝක යුද සමයේ මේ රටේ ජනතාවගේ භීතියට හේතු වූ එක් කරුණක් වූයේ කොයි මොහොතේ හෝ ලංකාවට බෝම්බයක් පතිත වේද යන අවදානමයි. දෙවැනි ලෝක යුද්ධය 1945 වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින අවසන් වුවත් ජපනුන් කොළඹට බෝම්බ හෙළූ මතකය ජනතා සිත් සතන්වලින් මැකී නොගිය කාලයක එනම්, 1948 වසරේ ජනවාරි මස 21 වැනිදා කඩුගන්නාව හෙල්ලුම් කෑ පාර්සල් බෝම්බය නිසා බොහෝ අය භීතියට පත් වූහ. පාර්සල් බෝම්බ පිළිබඳ පූර්ව අත්දැකීම් නොතිබූ මෙරට වැසියන්ට මෙය අතිශය අසාමාන්‍ය සිද්ධියක් විය.
කඩුගන්නාව බෝම්බ කතාව 1944 වසර දක්වා අතීතයට දිව යයි. ඉංග්‍රීසින් අපේ රට ආක්‍රමණය කිරීමෙන් පසු ඔවුන්ගේ මවු රට වන එංගලන්තයේ ස්ථාපිතව පැවති වික්ටෝරියානු සදාචාරය මෙරටේ මුල් බැස ගත්තේය.
අසම්මත ලිංගික සබඳතා මේ රටේ මිනිසුන් පිළිකෙව් කළේ වික්ටෝරියානු සදාචාරය පිළිබඳ අසා දැන ගැනීමටත් පෙර සිටය.
මෙම බෝම්බ සිද්ධියේ වින්දිතයා වූ සමරසිංහ මහනුවර ප්‍රසිද්ධ පාසලක සිසුවකු විය. කතාව ඇරඹෙන්නේ දකුණු පළාතේ ජයවර්ධන නමැත්තා මහනුවරට පැමිණීමත් සමඟය. ඒ, 1944 වසරේදීය. ජයවර්ධන ඇඳුම් මසන්නකු වූ අතර, මහනුවරට පැමිණි ටික කාලයකට පසුව ජයවර්ධනට තමාගේම ටේලර් සාප්පුවක් මහනුවර ත්‍රිකුණාමලය වීදියේ ආරම්භ කිරීමට හැකි විය. ඔහු ටේලර් සාප්පුවට නම තැබුවේ "ජයසිරි ටේලර්ස් " යනුවෙනි.
මේ අතර ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ සමරසිංහ මහනුවර නගරයේ ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් කිරීමට සමරසිංහගේ මවුපියෝ සමත් වූහ. තම පුතුට විද්‍යාලයේ නේවාසිකාගාරයේ නැවතීමට අවස්ථාවක් නොලැබීම නිසා හිතවත් පුද්ගලයකුගේ දැන හැඳුනුම්කම මත තම පුතු සමරසිංහ ජයවර්ධනගේ නිවෙසේ නතර කිරීමට මාපියෝ තීරණය කළහ. එහෙත් සමරසිංහ ටික දිනකට පසුව තම මවුපියන්ට පැවසුවේ තමන්ට ජයවර්ධනගේ නිවෙසේ සිටිය නොහැකි බවයි. තව දුරටත් ඔහු පැවසුවේ සමලිංගික චර්යාවන්ට ඇබ්බැහි වී සිටි ජයවර්ධනගෙන් තමාට හිරිහැර සිදු වන බවයි.
ඒ අනුව සමරසිංහගේ මවුපියන් විසින් සමරසිංහ කැඳවාගෙන ගොස් මහනුවර, බූවැලිකඩ නිවෙසක නතර කළේය. එම නිවෙසේ හිමිකරු වන අප්පුහාමි වසර කීපයකට පසු සිය පදිංචිය වෙනස් කළේය. ඒ අනුව 1947 වසරේදී අප්පුහාමි කඩුගන්නාව ප්‍රදේශයේ ටාසන් බස් සමාගමට අයත් ගොඩනැඟිල්ලක පදිංචියට ගියේය. සමරසිංහ ද අප්පුහාමි සමඟ එහි නතර වූයේය. මේ අතර ජයවර්ධන විසින් සමරසිංහ තම මතයට නතු කර ගැනීමට විවිධ උත්සාහයන් දැරු අතර, සමරසිංහ ඒ කිසිවකට මෙල්ල වූයේ නැත. මෙම කාලයේදීම සමරසිංහ දිසානායක නමති තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගත්තේය. මේ බව ආරංචි වූ ජයවර්ධන බලවත් කෝපයට පත් වූ අතර සමරසිංහ පිළිබඳ තදබල වෛරයක් ද ඇති විය. එම වෛරයේ ප්‍රතිඵලයක් ලෙස සමරසිංහ ඇතුළු ඔහුගේ මවුපියන්ගෙන් මෙන්ම සහෝදර සහෝදරියන්ගෙන් ද සමරසිංහ ගේ පෙම්වතිය වූ දිසානායක ගෙන් ද පළි ගැනීමේ චේතනාවක් ජයවර්ධනට පහළ විය.
1948 වසරේ ජනවාරි විසි වැනිදා කොළඹ, හැව්ලොක් ටවුම තැපැල් කාර්යාලයට එක්තරා පුද්ගලයකු පාර්සල් දෙකක් භාර දුන්නේය. එම පාර්සල් දෙකේම යවන්නාගේ නම ලෙස සඳහන් වූයේ ඒ.එම්. සෙනෙවිරත්න යන්නයි. ඒ.එම්. සෙනෙවිරත්න යනු සමරසිංහගේ මස්සිනා විය. එදිනම කොළඹ මහ තැපැල් කන්තෝරුවට ද තවත් පාර්සල් දෙකක් භාර දෙන ලදී. කොළඹ මහ තැපැල් කන්තෝරුවට භාර දුන් පාර්සල්වල යවන්නාගේ නම ලෙස සඳහන් කර තිබුණේ ඩබ්ලිව්. බී. වික්‍රමසිංහ යන නමයි. මහ තැපැල් කන්තෝරුවට භාර දෙන ලද පාර්සල් දෙකෙන් එකක ලබන්නාගේ නම ලෙස සඳහන් වූයේ දිසානායක යන නමයි. දිසානායක යනු සමරසිංහ ගේ පෙම්වතිය විය. අනෙක් පාර්සලයේ ලබන්නා පොඩි නිලමේ විය. පොඩි නිලමේ සමරසිංහගේ වැඩිමහල් සහෝදරයාය. හැව්ලොක් ටවුම තැපැල් කාර්යාලයට භාර දෙන ලද පාර්සල් දෙකෙන් එක් පාර්සලයක ලබන්නා වූයේ සමරසිංහය. අනෙක් පාර්සලයේ ලබන්නාගේ නම ලෙස සටහන් වී තිබුණේ සෙනෙවිරත්න නමති කාන්තාවකගේ නමකි. සෙනෙවිරත්න, සමරසිංහගේ සහෝදරිය වූවාය. ඇය ඒ.එම්. සෙනෙවිරත්න ගේ බිරිය විය .
1948 වසරේ ජනවාරි මස විසි එක් වැනිදා කඩුගන්නාව ප්‍රදේශයට ඉතා අභාග්‍ය සම්පන්න දිනයක් විය. එදින සමරසිංහ සුපුරුදු පරිදි පාසල් ගොස් නවාතැනට පැමිණ විට තමාට ලැබී තිබුණු පාර්සලයක් දුටු අතර, සියල්ලම පසෙකලා ඔහු පාර්සලය ලිහීමට පටන් ගත්තේය. සුළු මොහොතකට පසු මහ පිපිරුමකින් ගිනි ජාලාවක් ඇති විය. සමරසිංහගේ සිරුරේ කොටස් දසත විහිදුණි. සිද්ධිය පොලිසියට වාර්තා වීමෙන් පසු කඩුගන්නාව තැපැල් බෝම්බය පිළිබඳ මහනුවර සහ කෑගල්ල නගර ආශ්‍රිත සියලුම තැපැල් කාර්යාලවලට පොලිසිය දැනුම් දුන්නේ සැක කටයුතු පාර්සල් පිළිබඳ වහාම පොලිසිය දැනුම්වත් කරන ලෙසයි. පොලිසිය ගත් එම ක්ෂණික පියවර නිසා අනිත් පාර්සල් තුනම පොලිස් භාරයට ගැනීමට හැකි විය. මේ නිසා සිදු වීමට ගිය තවත් විනාශයක් වළක්වා ගැනීමට හැකි විය . පසුව එම පාර්සල් නිෂ්ක්‍රිය කරනු ලැබිණ.
සමරසිංහ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලින් පසු ජයවර්ධන අත්අඩංගුවට පත් විය. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වැදගත් කරුණු රාශියක් අනාවරණය විය. මෙම සියලුම තැපැල් බෝම්බ පාර්සල් තම අනුදැනුම ඇතිව එවූ ඒවා බව ඔහු පොලිසියට ප්‍රකාශ කළේය. එම පාර්සල්වල යවන්නාගේ නම් වශයෙන් සඳහන් වූ පුද්ගලයන් සැබවින්ම එම පාර්සල් භාර දුන් පුද්ගලයන් නොවන බව ද පොලිසිය විසින් තහවුරු කර ගත්තේය.
විත්තිකරු වන ජයවර්ධනට එරෙහිව රජය වෙනුවෙන් නීතිපතිවරයා විසින් මිනීමැරුම් චෝදනා යටතේ මහාධිකරණයේදී අධි චෝදනා ගොනු කළ අතර, රජයේ නීතිඥ ඒ.සී.එම්.අමීර් පැමිණිල්ල මෙහෙය වූවේය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් පනහක් ඉදිරිපත් කර තිබිණ. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ඒලියන් පෙරේරා ය.
විත්තිකරු වන ජයවර්ධන ෙජ්‍ය්තිෂය පිළිබඳ දැඩි ලෙස විශ්වාස කළ පුද්ගලයකු විය. විත්තිකරුගේ ඉල්ලීම පරිදි බෝගම්බර සිර ගෙදරට ගිය නීතිඥ ඒලියන් පෙරේරාට විත්තිකරු පැවසුවේ නඩු තීන්දුව දෙන දිනයේ පෙරවරු එකොළහට පෙර තීන්දුව දුනහොත් තමා නිදහස් වන බවයි.
මෙම නඩුව විභාග කළේ ඉංග්‍රීසි කතා කරන ජූරි සභාවක් ඉදිරියේදී වූ අතර, තීන්දුව ලබා දුන්නේ 1949 වසරේ මැයි මස විසි වැනිදාය. එදින නඩු විභාගය ආරම්භ කර අතර මැදදී ජූරිය ටික වේලාවකට විසිර ගියේය. පෙරවරු දහයයි පනස් පහ වන විටත් ජූරිය නැවත රැස් නොවූ අතර මේ නිසා විත්තිකරු ගේ හදවතේ ගැස්ම වැඩි විය. ජූරිය නැවත රැස් වූයේ හරියටම පෙරවරු එකොළහයි පහටය. මෙහිදී ජූරිය ඒකමතිකව තීරණය කළේ විත්තිකරු වරදකරු බවයි. ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය. ජයවර්ධන විසින් මහාධිකරණ තීන්දුවට එරෙහිව එවකට ඉහළ අධිකරණය වූ ප්‍රීවි කවුන්සලය වෙත ඇපෑලක් ගොනු කළ අතර, ප්‍රීවි කවුන්සලය ද මහාධිකරණ තීන්දුව අනුමත කළේය. විත්තිකරුගේ අවසන් ඉල්ලීම වූයේ තමා බෝගම්බර බන්ධනාගාරයේදී නොව වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරන ලෙසයි. ඒ අනුව 1950 වසරේ මාර්තු 18 වැනිදා වැලිකඩදී විත්තිකරු එල්ලා මරණු ලැබුවේය.
නීතිඥ එස්. එම්. ජයසූරිය