ඉපදෙන්නත් ඉස්සෙල්ලා මැරුණු අයට මේක වැටහෙන්නෙ නෑ | සිළුමිණ

ඉපදෙන්නත් ඉස්සෙල්ලා මැරුණු අයට මේක වැටහෙන්නෙ නෑ

සුරත් ද මැල්

භ්‍යත්වය, සංස්කෘතිය, සදාචාරය මෙන්ම රැඩිකල් බව ද අප ලියන්නට පටන් ගත් විට පෑන් තුඩ මෙහෙයවන්නට පටන් ගන්නා මෙවලම් ය. එහෙත් පරිකල්පනය තීව්‍ර වෙද්දී එන ආවේශය විසින් නිර්මාණකරුවාට ඒ සීමා අමතක වෙයි. එකී සීමාවල පළමු අභියෝගය තී හා තා ඔස්සේත්, දෙවැන්න සී+ ඔස්සේත් තෙවැන්න මුළුමනින්ම ඩුඕ ඔස්සේත් සුරත් ද මැල් නොතකා හැරියේය.

සුරත් නිදහස් වෙන්නේ එසේය. ඒ නිදහස පාඨක අපට ද දැනෙන්නේ ය. මිත්‍ර සමාගමේදී දැනෙන නිදහස ස්වකීය නිර්මාණකරණයේදී ද පළට කළ මිත්‍ර ලේඛකයන් අතේ ඇඟිලි ගණනටත් අඩු ය. සුරත් එවැන්නෙකි. ඔහුගේ පරිකල්පනීය නිදහසේ සෙවණැල්ල විටෙක මා තිගස්සවයි; තවත් විටෙක මුවට සිනා නංවයි; පොත පැත්තකින් තියන මා වැටෙන්නේ වෙනත් සිහින ලොවකට ය. එය පාසල් කාලය සේම, විශ්වවිද්‍යාල සමයත්, එතැනින් නික්මී මහා සමාජයේ විවිධ දෑත් අතර සම්මිශ්‍රිත කල්පනා ගොන්නකි. එහිදී හමුවුණු වෙන් වුණු බොහෝ දෙනාගේ ඡායා මාත්‍ර මගේ මනසේ මැවේ. ඒ කල්පනා ලොවට මම බෙහෙවින් කැමති වෙමි. ඒත් ක්ෂණයෙන් සුරත් මා ඔහුගේ පොත කියවමින් සිටින බව සැතකින් සූරන්නාක් මෙන් මතක් කරයි. නැවත පොත අතට ගනිමි. මේ කියැවීම් අතර මට මා ද, මගේ ගමන් සඟයන් ද, මතක අයිතිකරුවන් ද වරින් වර හමු වේ. පොතක් යනු ජීවිතයකි. එහි විවිධ පිටු අතර මට දැනෙන දේ ඔබ හා බෙදා ගන්නට හැක්කේ ස්වල්පයකි. බොහෝ දැනීම්, දැනීම්වලින් ම අවසන් වෙනවා විනා වචනවලට ගොනු කළ හැකි නොවේ. ප්‍රබන්ධය ජීවිතයට වඩාත් සත්‍යතරය යැයි මට දැනුණු හැඟීම ඔබ හා බෙදා ගැනුමට මෙසේ ලියන්නට සිතුවෙමි.

සුරත් ලියන්නට පටන් ගන්නේ 40 දශකයට මුහුණ දීමට පටන් ගත් පසු ය. සුරත්ගේ පියා ජනකාන්ත ලේඛකයකු හා තීරු ලිපි රචකයකු වෙන සුන්දර නිහතමානි ද මැල් වන අතර, බොහෝ ලේඛකයන්ගේ ආදර ගෞරවය දිනූ ලාල් ප්‍රේමනාත් ද මැල් සුරත්ගේ සීයා ය. එහෙත් ඉපදුණු දා සිට ලේඛකයන්ගේ ඇසුර ලද ඔහු ලියන්නට කල් ගත්තේ ය. ලියන්නට කල් ගත්තත් ඔහු ටිකක් වේගයෙන් ලිව්වේ ය. මට ඒ ගැන තිබුණු ප්‍රශ්නයට සුරත් කියන්නේ මෙවැන්නකි.

ඒක පුද්ගලික ප්‍රශ්නයක් ආකාරයට ගත්තොත්, පිළිතුර විදියට තව පොතක් ලියන්න වෙනවා. මාව මොහොතකට පසෙකින් තියමු. සාහිත්‍ය ප්‍රශ්නයක් විදියට ගත්තොත් අපි කතා කරන්න ඕන කර්තෘගේ නවකතා දෙකක් මුද්‍රණය අතර ගෙවෙන කාලපරාසය ගැන ද? නැත්නම් ඒවයේ ගුණාත්මක හරය ගැනද? දැනටමත් වසරකට නවකතාව ගණනෙ ලියන නවකතාකාරයෝ ඉන්නවා. සමහරු සල්ලි හොයන්න එහෙම කරනවා. සමහරු තමන්ට කියන්න දේ තියෙන හින්දා කියනවා. ලියන්නම් වාලේ ලිව්වොත් ඒකට නිසි ප්‍රතිචාරය පාඨකයන්ගෙන්ම ලැබෙනවා. මම එහෙම කළා නම් මේ ප්‍රශ්නෙ අහන්න ඔයා මට ඉන්ටර්වීව් එකක් දෙන්නෙ නෑ. ළඟ ළඟ නිර්මාණ කළා කියලා ගුණාත්මක අගය ලඝු නොකරන නවකතාකාරයොත් ඉන්නවා. උදාහරණයක් තමයි එරික් ඉලයප්පාරච්චි. ඉතින් එයාට හැම වසරක් පාසාම හොඳ නිර්මාණ කරන්න පුළුවන් නම් ඒක අනික් අයට ප්‍රශ්නයක්ද

ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් පිළිතුරු දුන්නත් ඒක සුරත්ගෙ ආඛ්‍යාන රටාවත් සමඟත් සහබන්ධයක් ඇතැයි මට සිතිණි. සුරත්ගේ නවකතා පාඨකයන් නන්නත්තාර කරවනසුලුය. මුල මැද අග හරියට ගළපා ගැනීමේ අරමුණින් හෝ කතා වස්තුවක් සෙවීමේ අරමුණින් කිසිවකු හෝ ඒ නවකතා කියවන්නේ නම් එය නිෂ්ඵල ක්‍රියාවකි. ලේඛකයකුට නන්නත්තාර වීම තරම් සිය ලේඛනයට ලැබෙන අන් පිටිවහලක් නැත. සිය ලේඛන නන්නත්තාර වීම් ගැන සුරත් පැවසුවේ මෙවැන්නකි.

දැන් අපි අපේ ජීවිත කතන්දරේ ඇතුළෙ එක එක පාරවල ගිහින් නන්නත්තාර වෙලා නැද්ද? සමහරු මඟ දෙපස පවා නොබලා අතිධාවනකාරීව එකම පාරක ගිහින් අතරමං වෙලා නැද්ද? හරි ඊළඟට අපි ඔක්කොම තම තමන්ගේ මාවත්වල අතරමං වුණා කියමුකෝ. එතකොට මොකද කරන්නේ? සමහරු අඬා දොඩා වැළපෙනවා; සමහරු වෛරයෙන් පෙළෙනවා; ආගම් අදහනවා; සමහරු නැවත අරඹනවා; වැටෙනවා; සටනින් පැරදිලා පලා යනවා; සමහරු හිතනව තමන් දින්නා කියලා. අතරමං වුණු මේ අය ගැන ලියන එකයි මම කරන්නේ. අමුතුවෙන් කාවවත් නන්නත්තාර කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ. කාටත් ඒක වෙලා ඉවරයි. අපි දැන් කරන්නෙ හිනා වෙවී හරි අඬ අඬ හරි වෙන කෙනෙක් නන්නත්තාර වූ හැටි නැවත කියවන එක

කිසිදු ලේඛකයකු තමන්ට ලියන්නට දෙයක් මෙන්න මෙතනදී හමු වෙතැයි කියා දන්නේ නැති බැව් සත්‍යයකි. ඔහු හෝ ඇය අනෙක් අය මෙන්ම මේ සමාජයේ ජීවත් වෙයි; අප මෙන්ම කුටුම්බ ප්‍රශ්න, සාමාජයීය, ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලට මුහුණ දෙති. ඒවායෙන් හෙම්බත් වෙති. ඔබට සුරංගනා ලෝක මවන ලේඛකයන් සමහර විට ජීවත් වන්නේ නිරයේ පතුලේ ය. එහෙත් ඔබේ ප්‍රමෝදය වෙනුවෙන් සියල්ල දරා ගැනීමට ලේඛකයාට හැකිය. සුරත් ද සිය අත්දැකීම් අප හා පවසන්නේ මෙකී බර දරා ගැනීමේ සීමාවේ සිට එය ලේඛනගත කර ඒ ලැබුණු සැහැල්ලුවේ ප්‍රතිඵලය විඳිමිනි. වරක් පසිඳු විචාරකයෙක් සුරත්ට බරපතළ චෝදනාවක් කළේය. ඒ සිංහල සාහිත කෙත පුරා ශුක්‍රාණු වපුරන බවකි. ලිංගිකත්වය හා නිර්මාණකරණය ගැනත් සදාචාර සීමා ගැනත් සුරත්ගේ අදහස දැන ගන්නට මා සිතුවේ එබැවිනි.

‘ සදාචාර සීමා? එහෙම ඒවා කොහෙද කියන්නේ? හැමකෙනාටම තියෙන්නේ තමන්ගේ චින්තනයේ සීමා. තමන්ගේ භීතිකාවල සෙවණැලිවලට පවා බිය වන, තමන්ගේ පැවැත්ම ගැන අනියත බියෙන් පෙළෙන මිනිස්සු නන් දොඩවනවා. සංස්කෘතික වෙනමම හැසිරෙද්දි, පටිය කඩා ගත්ත බල්ලෙක් අල්ලලා මෙල්ල කරන්න වගේ සමහරු සංස්කෘතිය පස්සෙන් පන්නනවා.

මම කිසිම දෙයක් මනඃකල්පිත මානයකින් ලියලා නෑ. ලියන හැම දෙයක්ම මේ අප ජීවත් වන සමාජයේ සිදුවුණු සහ සිද්ධ වෙන දේවල්. පරමාදර්ශී සමාජ පිළිබඳ හීන ලෝකවල ජීවත් වෙන, අපි ඉන්නෙ හරිම ෂෝක් රටක කියලා හිතන, පච කතන්දර ඉතිහාසය කියලා විශ්වාස කරන, ඉපදෙන්නත් ඉස්සෙල්ලා මැරුණු අයට මේක වැටහෙන්නෙ නෑ

සමාජයේ විවිධ නම්වලින් ඇසෙන පුද්ගල ලිංගිකත්ව කාරණා හේ කතා කරන්නේ අතිශය සරල ලෙස හා සැහැල්ලු ලෙසිනි. සුරත් මිත්‍රත්වයට විවිධ අර්ථ සම්පාදනය කරයි. කිසිවකුටත් කිසිවකු ඉදිරියේ මුළුමනින් ම නිරාවරණය විය හැකි ද යන කුකුස පාඨක අපට බරක් ව ඉතිරි කරයි. ගැහැනු පිරිමි බර දරා ගැනීම අතින් අසමාන බව සුරත් නිරන්තරයෙන් ඉඟි කරයි. සී+ ගත්තත්, ඩුඕ ගත්තත් මෙය පොදු කරුණක් සේ විදාරණය වෙයි. මේ වර්ගීකරණ ඇතුළෙ හොයන නිෂ්ටාව කුමක්ද කියා මා ඔහුගෙන් ඇසුවේ එබැවිනි.

“නැහැ මම එහෙම හිතන්නෙ නෑ. මම හිතන්නෙ අපි ජීවත් වෙන මේ සන්දර්භය ඇතුළෙ කාන්තාවන්ව දරාගන්න බැරි තරම් පීඩනයකට තල්ලු කරනවා කියලයි. කොහොමද ඔබට කාන්තාවක් විදියට මේ තත්ත්වය දැනෙන්නෙ. මේ කතාවල බර දරා ගන්න පිරිමි ඉන්නව ද? බර අනෙකාගේ පිට පටවන අය තමයි වැඩි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය විෂයයක් විදියට ගෙන සමානාත්මතා සමාජයක් වෙත යන්න මම දහම් පණිවිඩයක් අරගෙන එන්නෙ නෑ. මම කියන්නෙ දැනට පවතින දේ. ඒක විශ්ලේෂණය කරගෙන මාවත සොයා ගැනීම පාඨකයා සතුයි. විටෙක වඩාත් වැදගත් වන්නේ පවතින යථාර්ථය හඬ ගා කීමයි කියනවනේ”

පවතින දේහි වන විශේෂත්වයත්, සාමාන්‍ය පුද්ගලයා දකින දෙයින් ඔබ්බට දකින්නට හැකි මනසකුත් නිර්මාණකරුවන්ට ඇත්තේ ය. සියුම් දෙයෙහි ඉසියුම් බවත්, සාමාන්‍ය දෙයෙහි අසාමාන්‍ය බවත්, විශිෂ්ටත්වයෙහි සුවිශිෂ්ට බවත් දකින්නට හැකි නම් ඒ නිර්මාණකරුවකුගේ සාර්ථකත්වයෙහි මුල් පියවර ය. ඉපදුණ දා සිට අප ඉගෙන ගන්නා පොතපත, කටපාඩම් කරන කරුණු නිර්මාණකරණයේ ලා කිසිදු විටෙක ප්‍රයෝජනවත් ‍නොවන බැව් ඔබ දැනටමත් දනී. ලේඛකයාගේ සිතේ යම් වස්තු බීජයක් පැළ වූ ඉනික්බිති එය කාලාන්තරයක් තිස්සේ ඔහුගේ සිතේ වැඩෙන්නට පටන් ගනී. ඔහු ගමන් කරන්නේ, නාන්නේ, කන්නේ, බොන්නේ ඒ සිතිවිල්ල විසින් ඇති කරන ලද බර දරා ගෙන ය. විටෙක ඔහු තනියම සිනාසෙයි; තවත් විටෙක ඔහු තනිය ම හඬයි; සුසුම්ලයි; නිනව්වක් නැතිව කල්පනා කරයි. ඒ සියල්ල කෙසේ කොහොම වුවත් කාලාන්තරයක් තිස්සේ ඔහුගේ සිතේ තම නිර්මාණයේ සැකිල්ල ගොඩනැඟෙයි. චරිත විග්‍රහයේදී මනෝ විශ්ලේෂණීය ප්‍රවේශය කෙරෙහි සුරත් ඩුඕ නවකතාව ඔස්සේ වැඩි ඉඩක් සම්පාදනය කරන බවක් හැඟේ. මිනිසුන්ගෙ ඔළුවලට රිංගන්න නවකතාකරුවකුට පුළුවන්ද යන පැනයට සුරත් සම්පාදිත පිළිතුරයි මේ.

“තමන් කියන කෙනා ඉන්නෙ තමන්ගෙ ඇඟ ඇතුළෙ ද ඔළුව ඇතුළෙ ද? මම හිතන්නේ ඔළුව ඇතුළෙ. එතකොට අනෙකා ඉන්නේ එයාගේ භෞතික ශරීරය කියලා අපි හඳුනා ගන්නා ඔහුගේ හෝ ඇයගේ රූප ස්වභාවය ඇතුළෙ ද? එහෙම නැත්නම් අනෙකා කවුරුන්දැයි කියලා අප විසින් විනිශ්චය කරන ලදුව අපේ ඔළුව ඇතුළෙද? අනෙකා ඉන්නෙත් අපේ ඔළුව ඇතුළෙ. හැබැයි අනෙකා දන්න අනෙකාත් මම දන්න අනෙකාත් දෙදෙනෙක්. ඔහු තීරණය කරන ඔහුත් මම තීරණය කරන මාත් අතර තමයි අපේ සබඳතාවය ගොඩනැඟෙන්නෙ. නැතිව සැබෑ අප දෙදෙනා අතර නෙමෙයි. ඔහුත් මමත් නොකියන කොටස ඔහුත් මමත් පෙන්වන කොටස නිර්මාණය කිරීමට කෙසේ බලපෑවේ ද යන්න තමයි මම හොයන්නේ”

ඩුඕ චරිත ඇතුළෙ අපි හැමෝම එක එක මට්ටමට ඉන්නා බව හැඟෙන හැඟීමෙන් මට ගැලවිය නොහැකිය. එහි එන උමා, සාරා ඇතුළෙ වගේම මහේෂ් ඇතුළු අනෙක් අයගෙත් චරිත ගොඩනඟද්දි මේ සාම්‍යය කොතෙක් සුරත් කියන ලේඛකයාට බලපෑම් කළාද කියන කාරණයට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

රීතියක් විදියට දුරස්ථීකරණයෙන් පාඨකයා නිර්මාණයට එහායින් තබා විමසුමට මඟ පාදන්නා සේම අවශ්‍ය නම් නිර්මාපකයාටත් චරිත දුරින් තියාගෙන උන්ගෙ ඇඟේ නොගැවී දුර සිට විනිශ්චය දෙන්න පුළුවන්. මම මේ දෙක ම කරන්නේ නෑ. මම කැමතියි කතාව ඇතුළේ ඒ චරිත ඇතුළෙ ජීවත් වෙන්න. අන්තිම පාදඩයත් මම හොඳට දන්න කෙනෙක්. මම උත්සාහ කරනවා ඒ චරි‍තවලට බලපෑම් කරන්න. ඒත් සැමවිටම ඔවුන් හැසිරෙන්නෙ මට අවශ්‍ය විදියටම නෙමෙයි. ඒ චරිතයට අදාළ කර ගන්නා සැබෑ ලෝකයේ පුද්ගලයාගේ චරිත ලක්ෂණ, බුද්ධිය හා තර්ක ඥානයට අනුව. ලේඛකයත් හිටපු ගමන් කතාව ඇතුළේ අනාථ වෙනවා. සැබෑ ලෝකයේ අපට නැති, නිර්මාණ සාහිත්‍ය ලෝකයේ අපට ඇති මහඟු අවස්ථාව තමයි, කැමති වතාවක් කැමති ආකාරයකට කතාව වෙනස් කිරීමට ඇති හැකියාව. ඒක මතයි මම පිහිටන්නෙ”

සුරත්ගේ නවකතා පරිසරය ගැන කතා කරන්න අවශ්‍යතාවක් පැන නැඟුණේ ඔහු මෙවර කේරළය සිය නවකතා කේන්ද්‍රයක් කරගන්නා බැවිනි. නිර්මාණකරුවාට තමන්ගෙ කතාව ගෙතීමට පරිකල්පනය ප්‍රමාණවත් ය. සමහර අවස්ථාවලදී මුළුමනින්ම පරිකල්පනයට ඉඩ දිය නොහැකි අවස්ථා ද තිබේ. ඩුඕ නවකතාව ඔස්සේ ගොඩනැඟෙන කේරළ පරිසරය ගැන ඔහුගෙන් ඇසුවේ එනිසා ය.

“පරිකල්පනයෙන් ගොතන්න පුළුවන් කතාන්දර. චරිත ගොඩනඟන්න පරිකල්පනය ප්‍රමාණවත් නෑ. මම නොදන්නම කෙනෙක් ගැන මට ලියන්න බෑ. ඒ වගේම මට නොදැනුණ දෙයක් ගැන ලියන්නත් බෑ. මොකද මම ලියන්නෙ සැබෑ චරිත ගැන. අපි ලියන චරිත ඒ සමාජ සංස්කෘතික හා දේශපාලනික පරිසරයේ නිර්මාණ. ඒ කිසිත් නොදැන අමු මිනිස්සු දෙන්නෙක් ගැන ලියන්න පුළුවන්. ඒත් එවිට ඒ කතා පොළවේ පිහිටවන්න බෑ. කේරළය මම දන්නවා. කේරළය මට අමුතු තැනක් නොවෙයි”

අපි කාගෙත් ජීවිතවල හිස්කමක් තිබේ. මේ හිස් බව පුරවන්න අපි විවිධ ක්‍රමෝපායයන් සොයා ගනිමු. ආදරය මිත්‍රත්වය ආදියත් ඊට පිළියම් ය. බාහිරාවර්තී ලෙස මේ හිස්කම් පුරවා ගන්නා අතරේ අපගේ ආත්මරාගී බව නැති නොවේ. අපේ මේ අඩුව පුරවන සමීපතමයන්ගෙන් අපි අපේ අනන්‍යතාව හොයා ගන්න උත්සාහ කරන්නෙමු. ජීවිතය කෙනකුට අනන්‍යතා අරගලයකි. අයෙක් සුපිරි තරුවක් වීමෙන් ද තවත් අයෙක් කවියකු වීමෙන් ද, තවත් කෙනකු යහපත් බිරියක් හෝ සැමියකු වීමෙන් ද, මේ අනන්‍යතාව සොයනවා විය හැකිය. සමහරු අනන්‍යතා තරගයේ මැදින් බැස තමන්ගේ අවසානයට ළඟා නොවී අතරමැදි තැනක නවතින්න හිත හදා ගන්නා අවස්ථා ද තිබේ. හිස්ටොරික බවින් යුතු අය එය දිගින් දිගට ම හඹා යයි. ඒ වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් යැයි සමහරු පවසන්නේ ඒ නිසායි. සුරත්ගේ නවකතා තුනේම කතා ශෛලිය ඇතුළේ මෙකී කාරණය මට දැනේ. එයින් ම ගොඩනැඟුණු හාස්‍යයක සෙවණැල්ල ද මට පෙනේ. එනිසා ම මම සුරත්ගෙන් අසන්නට සිතුවේ ජීවිතේ ඔහුට බොහෝ රිදවීම්, කෙනිත්තීම් කර ඇතිද කියා ය.

“තමන් විසින් ගත් තීරණ නිසා හැඩ ගැහුණු පැවැත්මක්. එතකොට තමන් ගත්ත තීරණ තමන්ට රිදවලා තියෙනවද කියන එකයි ඔතන සැබෑ කාරණය. කවදාවත් තමන් ගත්ත තීරණයකින් රිදුණේ නැති අයත් ඉන්නව ද මං දන්නේ නෑ. සමහර විට ජීවිතේ ම හිරිවැටිලා ඉන්න අයත් ඇති. අනෙක් ප්‍රශ්නේ රිදුණට පස්සෙ නියතියක් විදියට හාස්‍ය නැත්නම් උපහාසය උපදිනව ද? මම හිතන්නෙ නෑ එහෙම. එහෙනම් ලංකාව සිනා සාගරයක් වෙලා ඒ මුහුදෙ දැන් රටම ගිලිලා. ඕනම දෙයක උත්ප්‍රාසයක් තියෙනවා. මම කැමති උත්සාහ කරන්න හාස්‍ය ප්‍රහාරයක් විදියට එල්ල කරන්න. මම ඒකට තෝර ගත්තා නවකතාව. මම කැමතියි කවි ලියන්න හැකි වුණා නම්. ඒත් කවි මට මැජික්. කවියො කවි කොහොම ලියනවද කියලා මට තේරෙන්නෙ නෑ”

සුරත්ගෙ එළැඹීම් දෙස විමර්ශනාත්මක ව බැලීමේදී ඔහු සමාජයට තිළිණ කරන්නේ කාලයක් තිස්සේ තමන්ගේ සිතේ කීරි ගැසෙමින් පවතින දෑ නොවේදැයි සිතේ. නැත්නම් අපේ ම හදවත් කියවන්නට ඔහු නවකතා ඔස්සේ උත්සාහ දරනවා ද විය හැකිය. ලේඛකයාගේ ප්‍රතිභාව, වාසනාව ගොඩනැ‍ඟෙන්නේ හෙමිහිට ය. ඒත් එය සර්වකාලීන ය; සර්වභෞමික ය. ඒ ප්‍රතිභාව මුළු මහත් මිනිස් වර්ගයා ම ආදරයෙන්, ගෞරවයෙන් රැක ගන්නා ධනයක් වන්නේ ඒ ප්‍රතිභාව විසින් අත්පත් කර දෙන දේ නිසා ය. සුරත් තමන්ගෙ ජීවන විලාසාව එසේත් නැතිනම් විඳවීම හෝ වින්දනය නිර්මාණකරණයෙන් ම සපුරා ගන්නට සිතුවේ ඇයි යන කාරණය අවසන් වශයෙන් විමසුවෙමි.

“කුරැල්ලො ඇයි ගී ගයන්නෙ? පඳුරක් දැක්කම බල්ලෝ ඇයි අණ්ඩ උස්සන්නෙ?' කියලා චිත්‍රපටයක දෙබසක් තියෙනව නේද? දන්නවා මම කුරුල්ලෙක් නෙමෙයි. බල්ලෙක් කියල නම් සමහරු කියලා තියෙනවා. කොහොම නමුත් පිළිතුර ඇරඹෙන්නෙ එතැනින්. තමන් කලාකාරයෙක් වෙලා ජනතා සුබ සිද්ධිය උදෙසා නිර්මාණ කරනවා කියලා කවුරු හරි හිතනව නම් ඒක වෙනම ලොකු ලෙඩක්. එයාලා දේශපාලකයො වගේ තක්කඩි. අපේ නම් ලෙඩේ ඇරඹෙන්නේ පැහැදිලි කරන්න බැරි නිසර්ග ආධ්‍යාශයකින්. ඒක කලාව නොවන වෙනත් මාර්ගයක වුවත් ධාවනය කරන්න තිබුණා. අනතුරුව තමයි අපි ගමන් මඟ තීරණය කරන්නේ. මේ ගමන යද්දි හන්දිවල මාර්ග සංඥා නොතකා යද්දි තමයි ජීවිතය මුණ ගැහෙන්නේ. තමන් ගිය මාවත්වල අනෙකා රැගෙන යන්න තමයි නිර්මාණ කරන්නේ.”

ඕනෑ ම නිර්මාණයක් සත්‍යයේ හා පරිකල්පනයේ එකතුවක් බැව් ඔබ දැනටමත් දනී. සුරත් කලක් තිස්සේ දුටු දෑ පරිකල්පනයේ දවටා ආකෘතික අත්හදාබැලීම් ද කරමින් පාඨක අපට තිළිණ කරන්නේ වින්දනීය ඉසව්වකට අප රැගෙන යෑමට පමණක් ම නොවේ. හේ ඒ අතරෙන් සමාජ කියැවීමකට, ප්‍රශ්න කිරීමකට පාඨකයා රැගෙන යයි. නිර්මාණකරණයේ ප්‍රභාව ද එයයි.

Comments