
“ඔයා මා ළඟ බන්දුගෙ වැරදි කිය කියා අඬා වැටෙද්දි මං ඔයාට ඉල්ලන තරමක් සල්ලි දුන්නෙ ඔයා මගේ හැඟීම් තේරුම් අරගෙන තවදුරටත් මට මගේ මධුරි මිය ගිය පාළුව සහමුලින්ම තුරන් කළ නිසයි මංගලිකා...”
පිරිමියාගේ ස්වරය බැගෑපත්ය.
“කට.. කට... සද්දෙ අඩු කරන්න විජේ.... ධීවර පළාත්වල මිනිස්සු ඔහොම්මයි.... හෙමින් කියන්න විජේ...”
“අන්න බලන්න මංගලිකා... එතනදිත් ඔයා මතක් කෙරුවෙ ඔයා උඩරට කුමාරිහාමිය, මම සද්දෙට කෑ ගහන පාතරට මිනිහය කියලානේ... මට එහෙම කැත විදියට කින්ඩිය දාන්න එපා මංගලිකා...”
පාළුවට ගිය තානායම් ආලින්දයේ යාබද මේසයේ අසුන් ගෙන සිටිනා යුවළගේ සංවාදය මට කනේ තිබ්බා වගේ ඇහෙනවා.
සෑම වසරකට වරක්ම අභ්‍යන්තර විගණක නිලධාරීන් පිරිසක් තානායමට පැමිණ ආයතනයේ ගිණුම් කටයුතු පවත්වා ගෙන ගිය ආකාරය විමර්ශනය කරනවා.
අපි දැන් මේ තානායම් එළිමහන් ආලින්දයේ කෙළවරම මේසයක සිට යෙදී සිටින්නේ එම කර්තව්‍යයේයි.
විගණක මහත්වරුන් ඔවුන්ගේ ලිපි ගොනු දිග හැරගෙන සිටින්නේ එම විවෘත ආලින්දයේ කෙළවරේම ඇති මෙම මේසයේ නිසා ඊට ආසන්න මේසයේ සිටින යුවළගේ කතා නෑසෙන විදියට මට මෙතනින් ඉවත්ව යන්න විදියක් නෑ.
විගණක මහත්වරුන් දිවා ආහාරය ගැනීම සඳහා භෝජනාගාරයට ගිය අතරේ හුදෙකලාවම විගණක ලිපි ගොනුවල මට අදාළ තැන්වල අත්සන යොදමින් සිටි මට යාබද මේසයේ යුවළගේ සංවාදය පැහැදිලිවම ශ්‍රවණය වුණා.
“.... නැහැ මංගලිකා... මං ඔයාට සල්ලි දුන්නෙ ඒ වෙලාවෙ ඔයාගෙ පුතාගෙ වෙඩින් එක කරන්න වෙන කිසිම ක්‍රමයක් තිබුණෙ නැති නිසයි...”
තාරුණ්‍යය ගෙවී ගොස් සිටි මැදිවියේ පිරිමියා පරාජිත කටහඬින් කියනවා.
“අනික ඔයාට දැන් සල්ලිවල කිසිම අගයක් නෑ මංගලිකා... දැන් බලන්න අද වුණත් මේ තානායම් කාමරේට දහස් ගාණක් ගෙවන වෙලාවේ අර මිස්ටර් සිල්වාගෙ වහලා දාපු ඇනෙක්සියෙ යතුර ඉල්ල ගත්තා නම් අපිට ඇති තරම් වෙලා නිදහසේ කතා කර ගන්න තිබුණා...”
ගැහැනිය පළමුව ඊට සුසුමකින් පිළිතුරු දුන්නා.
“තේරුම් ගන්න විජේ... ඒ තමයි ගෑනු හිත්වල හැටි... ගෑනු කියන්නෙ ගෑනු... මිස්ටර් සිල්වගෙ ඇනෙක්සියෙ තානායමේ වගේ ලස්සන වටපිටාවක් නෑ... ගෑනු අපි ආසයි මුදලක් වැය වුණත් ඉඳලා හිටලා හරි මේ වගේ වෙනසකට... පුදුමයි ඔයාගෙ වයිෆ් ඒ පාඩම ඔයාට කියා නොදීපු එක... එයාත් කැලණිය සෞන්දර්ය නේද?...”
“අනේ මංගලිකා මේ... පින් අයිතිවෙයි ඒ මිය පරලොව ගියපු මනුස්සයා අපේ කතාවලට ගාව ගන්නෙ නැතිව ඉමුද?...”
පිරිමියා ආයාචනාත්මක බිඳුණු හඬින් කීවා.
“දැන් මට තේරෙනවා මංගලිකා... තමුන්ගෙ මනුස්සයගෙන් නොලැබෙන හැම දෙයක්ම මේ මගෙන් ඇති පදම් අරගෙන... ඔයාගෙ එකම පුතා බඳින මඟුලටත් මගෙන් ලක්‍ෂ දහයකටත් වැඩිය අරගෙන දැන් හෙමින් සීරුවෙ මගෙන් ඈත් වෙන්නයි බලන්නෙ...ඔයා මට එහෙම කරන්නෙ මම ඔයාගෙන් එයින් එක සතයක්වත් ආපහු ඉල්ලලාද? නැහැනේ මංගලිකා...මට ඒ සල්ලි සතයක්වත් ආපහු එපා... නමුත් මට ඔයාගෙ ඒ උණුහුම් බැඳීම හැමදාටම ඕන මංගලිකා....මම පෙරේදා කලාප කාර්යාලයට ගිය වෙලේ ආරංචි වුණා ඔයා ඉස්කොලෙන් සිය කැමැත්තෙන් ඉල්ලලා රිටයර් වෙන්න විස්තර එහෙමත් ඇහුවය කියලා... දැන්ම ඔයා රිටයර් වෙන්න එපා මංගලිකා. ඔයා දරුවන්ගෙ වැඩවලට ගෙදරට කොටු වුණාම අපිට මෙහෙමවත් හමුවෙන්න බැරිව යනවා මංගලිකා...”
පිරිමියාගේ ආත්ම කථනය තවත් දිගු වන පාටය.
“මං ගල් වැලි ගඩොල් එක්ක හැප්පෙන කොන්ත්‍රාත් කාරයෙක් බව හැබෑව... නමුත් මං ආදර හිතුවිලි එක්ක හරිම සමීපයි... ජෝතිපාලගෙ සිංදුවලින් බාගෙට බාගයක් කටපාඩමින් කියන්න දන්න... පට්ටම පට්ට රස...”
“... ඇති... ඇති... දෙයියන්ගෙ නාමෙට නවත්තගන්න විජේ කීවම අහලා.. ඇත්තටම මේක නම් මහ මළම කෝලමක් බලාගෙන යනකොට.. පුතයි අලුත් ලේලියි දෙන්නමත් අද ගෙදර... මට තවත් පරක්කු වෙන්න බෑ...”
ගැහැනිය නිහඬතාව බිඳිමින් කීවා.
“හරි...හරි.. සද්දෙ නවත්තන්නම්... මට අඩුගාණෙ මාසෙකට දෙවතාවක්වත් ඔයාව හමුවෙන්න ඕනෑ මංගලිකා...”
“අය්යෝ විජේ... නිකන් ඕ ලෙවල් කොල්ලෙක්ගෙ මට්ටමට වැටෙන්න එපා... මට ඔයාව හමුවුණු හැටි අමතක වෙලත් නෑ....ඔයා ආවෙ අපේ ඉස්කෝලෙ මේන් හෝල් එක හදන කන්ට්‍රෑක්ටර් හැටියට. මං එතකොටත් වැඩබලන විදුහල්පතිනි.. ඒ දවස්වල අපේ ප්‍රින්සිපල් සර්ගෙ බයිපාස් ඔපරේෂන් එක නිසා ඉස්කෝලේ සේරම වගකීම් පැවරුණේ මට..ඒ කාලෙම තමයි මගේ මහත්තයත් මගෙන් සෙපරේට් වෙලා එයාගෙ හොර බඩ්ඩ ළඟම බින්න බහින්න ගියේ. අන්න ඒ දවස්වල ඉස්කෝල බිල්ඩිමක් හදන්න ආපු ඔයාට මමත් පිස්සුවෙන් වගේ මගේ සේරම දේවල් ටික කිව්වා.ඒ ඔයා එදා මට අත දිගඇරලා වියදම් කළ හින්දම නෙමේ විජේ... මං ආස කරන මොකක්දෝ ළෙන්ගතු කමක්.. උණුවෙන හිතක් ඔයා ළඟ තිබුණු හින්දා විජේ...ඒත්.. දැන් ඉතින් මටත් ඒ ජීවිතෙන් මිදෙන්න කාලෙ ඇවිල්ලා විජේ... ඒ තමයි ජීවිතේ හැටි.. තේරුම් ගන්න විජේ... දැන් මට ඉන්න එකම පුතත් කසාද බැඳලා...”
“රායිට් මැනේජර් මහත්තයා.. ඔයාගෙ ලන්ච් එක නම් පංකාදු පහයි... එතකොට අපි කොතනද වැඩේ නතර කෙරුවේ...?..”
විගණක මහත්වරුන් ආයෙමත් අපි වැඩ කරමින් සිටිය මේසෙ ළඟට ඇවිත් මාව ඒ යුවළගෙ ලෝකයෙන් වෙන් කරගත්තා.
“පසුගිය මාසයේ සමස්ත ආහාර පිරි වැය ඊට කලින් වසරෙ එම මාසය එක්ක සසඳද්දී සියයට දහ නමයකින් වැඩියි... මොකක්ද ඒකට හේතුව විදියට ඔබතුමා ලියන්නෙ...”
විගණක මහත්වරුන් මගෙන් ඍජුවම ප්‍රශ්න කරනවා.
බොහෝ දේ තෙරපගෙන මම ඊට කෙටියෙන් උත්තර දුන්නා.
“හරි... එතකොට රූම්ස්.. කාමර අලෙවියත් සියයට තිහකින් අඩු වෙලා. ඒකට මොකක්ද හේතුව ලියන්නෙ..?.”
මම වහාම හැරිලා යාබද මේසයේ දොඩමලු වෙමින් සිටි යුවළ දිහා බැලුවා. ඔවුන් පේන්න නෑ.
එහෙම කපල් එකක් දැන් ඒ මේසෙ ළඟ නෑ. එයාලා ආපහු කාමරේට යන්න ඇති.
එසැණින් මගේ ජංගම දුරකතනය නද දෙන්නට පටන් ගත්තා.
“මැනේජර් මහත්තයා මම මේ කතා කරන්නේ ටවුන් එකේ සිල්වා හාඩ්වෙයාර් එකෙන්..”
පුරුදු කටහඬක් සවනත රැව් දුන්නා.
“ඔව් මුදලාලි කියන්න.”
“බලන්න මැනේජර් මහත්තයා මෙන්න මේ අංකය තියෙන කළුපාට ඩබල් කැබ් එකක් තානායමේ තියෙනවද කියලා...”
හිතවත් හාඩ්වෙයාර් මුදලාලි වාහන අංකයක් පැවසුවා.
පුදුමයි.... ඔහු ඒ විමසන්නේ මේ දැන් මා අසල සිට සල්ලාපයේ යෙදෙමින් සිටි මැදිවියේ යුවළ තානායමට පැමිණ තිබූ වාහනයේ අංකයයි.
“සිද්ධිය මේකයි මැනේජර් මහත්තයා. ඔය වාහනය අයිති පෙරේරා කියලා මහත්තයෙකුට.
එයාගෙ මෙවර උසස් පෙළ විභාගය ලියපු වැඩිමල් පුත්‍රයා පසුගිය සතියේ ඔය කැබ් රථය අධික වේගයෙන් පදවලා අපිට හිතවත් සේල්ස් රෙප් කෙනෙක් යතුරු පැදි අනතුරට පත් කරලා ඇප මත මුදා හැරලා තිබෙනවා.
නමුත් මැනේජර් මහත්තයා ඒ වාහනය හිමිකරුවා අනතුරට පත් යතුරුපැදි කරුට ගෙවිය යුතු මුදල් සම්පූර්ණ නොකිරීමෙන් ඇප කොන්දේසි කඩ කිරීමේ වරදට එම කැබ් රථය පොලිසිය භාරයට ගැනීමටයි දැන් සූදානම් වන්නේ.
තත්ත්වය එහෙම තියෙද්දී ඒ කැබ් රථය දැන් තානායමට ඇවිත් තියෙනවය කියලා මට පොඩි මැසේජ් එකක් ආවා. ඒක තහවුරු කරගන්නයි මම මේ කතා කළේ.
ඉතින් ඔබ තුමා මම කතා කරපු බවක් කාටවත් කියන්නත් එපා.. මම ඔබතුමා තොරතුරු දුන්න බවක් කාටවත් කියන්නෙත් නෑ..
වන්. වන්. නයින් එකෙන්ම වැඩේ සිද්ධ වෙන්න ඇරලා අපි දෙන්නම සද්ද නැතිව ඉමු... බීප්..බීප්.. බීප්...”
ඇමතුම විසන්ධි වී ගියා. මගේ සර්වාංගය හිරි වැටී ගියා. දැන් මා කළ යුත්තේ කුමක් ද?
රන්ජන් ගාමිණී ජයවර්ධන