
වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කිරීම සඳහා වෙන් කරන රුපියල් බිලියන 10ක මුදල අවශ්‍යතාවය පරිදි රුපියල් බිලියන 20ක් දක්වා ඉහළ නැංවීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම සිදු කරන්නේ වී අලෙවි මණ්ඩලය මගින් නොවේ. වී මිල දී ගැනීමේ යාන්ත්‍රණය දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 100ක් බැගින් මිල දී ගැනීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා මින් පෙර රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන් පියවර ගෙන තිබූණි. මේ වනවිට අවශ්‍ය වුවහොත් එම මුදල රුපියල් බිලියන 20ක් දක්වා ඉහළ නැංවීමට සූදානම් බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
ජාතික ගොවි සමුළුවේ නියෝජිතයින් සමඟ ඊයේ (22) පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙවර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මිල දී ගන්නා වී මාස දෙකක් යන තෙක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුළකට මාසයකට හාල් කිලෝ ග්‍රෑම් 10ක් බැගින් ලබා දීමට රජය කටයුතු යොදා ඇත. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහනය ලබා දීමට කලින් තීරණය කර තිබු නමුත් පසුව ජනාධිපතිතුමා එම පවුල් සංඛ්‍යාව ලක්ෂ 29ක් දක්වා ඉහළ නංවා තිබේ.