කිඹුලාවල STREET FOOD වෙළඳ සැල් ඉවත් නොකරන බව ඇමති ප්‍රසන්න පවසයි | සිළුමිණ

කිඹුලාවල STREET FOOD වෙළඳ සැල් ඉවත් නොකරන බව ඇමති ප්‍රසන්න පවසයි

මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි වීදි ආහාර ස්ථාන කිසිවිටක ඉවත් නොකරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (21) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
වීදි ආහාර ක්‍රමවේදය සාර්ථක වැඩ පිළිවෙලක් බවත් එම ක්‍රමවේදයක් කිසිවකුට අවහිර නොවන සේ ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග අද සාකච්ඡාවක් පවත්වන බවය.
 
කොවිඩ් වසංගතය සමයේ සිය රැකියා අහිමිවූවන් පිරිසක් එම කාලවකවානුවේ කිඹුලාවල ප්‍රදේශයේ STREET FOOD ජංගම වෙළෙඳසැල් ආරම්භ කරනු ලැබූ අතර ඒ හරහා පවුල් 150කට වැඩි පිරිසක් සිය ජීවිකාව සරි කර ගනී.
 
කෙසේවෙතත් කිඹුලාවල STREET FOOD වෙළෙඳසැල් ඉදිරිපිට පිහිටා ඇති ස්ථීර වෙළෙඳසැල්වලින් නාගරික සංවර්ධන අධිකාරියට පැමිණිලි ඉදිරිපත් වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
 
මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, මගීන්ගේ සහ වාහනවල සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලු පැනනැගී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර STREET FOOD ජංගම වෙළෙඳසැල් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.
 
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
 
"කටකතා විශ්වාස කරන්න එපා... මේ මහා මාර්ග ආඥා පනත අනුව පාරවල් දෙවස ඉරි යොදලා මගීන්ගේ සහ වාහනවල සුරක්ෂිතතාවය ගැන නීති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව එහා පැත්තෙන් මගීන්ට ගමන් කිරීමට වෙනම තීරු සකස් කරලා තියෙනවා. ඊයේ දිනයේ දී අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා මේ මහාමාර්ගය පිළිබඳ තියෙන නිශ්චිත ස්ථාන හඳුනාගෙන වාහන අනතුරු වළක්වාලන්නත් ඒ වගේම ස්ථාන වඩා පහසුවෙන් මහජනයාට ළඟාවෙන්න පුළුවන් හඳුනාගත් ස්ථාන  3,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ අයට සුදුසු ලෙස සකස් කර දෙනවා. එතෙක් මාර්ග නිතියට අනුකූලව කිසිදු අවසරයකින් තොරව ක්‍රියාත්මක වන දේවල් ඉවත් කිරීමට, මේ ස්ථානයේ විතරක් නෙමෙයි මුළු ලංකාවේම මෝටර් රථ ආඥා පනතයට අනුව කටයුතු කරනවා. ඊට පරිභාහිරව පුද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නෑ..."
 
 

Comments